කැටපෝලයෙන් යුද්ධ කිරීම හෙවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්

lanka-cricket-team-2015යුද්ධයක් යනු අසාමාන්‍ය ක‍්‍රමෝපායන් හා දක්ෂතාවන් නිසි පරිදි යොමු කොට සිදු කළ යුතු සංකීර්ණ ක‍්‍රියාවලියකි. යුද්ධයේ දී යුද්ධයට ඍජුව මුහුණ දෙන රණශූරයාගේ සිට යොදා ගන්නා අවි ආයුධ මෙන්ම, යුද්ධ උපක‍්‍රම ද අතිශයින් තීරණාත්මකය. මේ සියලූ කාරණා පිළිබඳව අවධානය යොමු නොකොට මීට පෙර යුද්ධ දිනුවා යැයි කියූ පමණින් සෑම යුද්ධයක්ම ජයගත නොහැක.

මේ ක‍්‍රීඩා පිටුවයි. අප මේ සටහන තබන්නේ යුද ක‍්‍රීඩා පිළිබඳව සටහන් කිරීමට හෝ ඒ පිළිබඳ විවරණය කිරීමට නොවේ. රණ ශූරයන් පිළිබඳ අධිතක්සේරුවකින් යුතුව, කැටපෝලයක් අතැතිව ලෝක යුද්ධයක් කිරීමට ගොස් ජරාජය වූ අවස්ථාවක් සිහිගන්වන තරගාවලියක් පිළිබඳ සටහන් තබන්නයි. ඒ ශ‍්‍රී ලංකාවට නිමා වූ නමුත් තවමත් පිටියේ ජීවමාන 2015 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගයයි.

මෙම තරගාවලිය පුරාම ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයන්ගේ පැවැතියේ තදබල මානසික පීඩනයක් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ශ‍්‍රී ලංකා කණ්ඩායම සැබැවින්ම ලෝක කුසලානයට මුහුණ දිය හැකි තරමේ පරිපූර්ණ කණ්ඩායමක්ද? ජාතික හැඟීමෙන් අපට මේ සඳහා ‘ඔව්’ යැයි පිළිතුරු දිය හැකි නමුත් සැබෑ ලෙසින්ම එහි පිළිතුර වන්නේ නැත යන්නයි. සමස්ත ලෝක කුසලාන තරගාවලිය පුරාම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රිඩකයන් අතුරින් සැබෑ ලෙසින්ම ඉදිරියෙන් සිටියේ කුමාර් සංගක්කාර හා තිලකරත්න ඩිල්ෂාන් පමණි. විටින් විට මහේල ජයවර්ධන ඉදිරියට පැමිණියත් සමස්ත තරගාවලියේ මහේල ඉදිරියෙන් සිටි ක‍්‍රීඩකයෙක් නොවන බව අප පිළිිගත යුතු සත්‍ය කරුණකි.

එපමණක් නොව, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන් පිළිබඳ අපට තක්සේරුවක් තිබුණිද? නැත. පසුපෙළ පිතිකරුවන් සම්බන්ධයෙන් හා පන්දු යවන්නන් පිළිබඳ අපට කිසිවිටෙක සෑහීමට පත් විය නොහැකිය. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගැටලූ පිළිබඳ තවත් බොහෝ කරුණු තිබේ. මේ ගැටලූ සියල්ලම හා පරාජයේ වගකීම අප පවරන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමටද? එයට පිළිතුරත් අපට දියහැකි වන්නේ ‘නැත’ යන්න පමණි. මෙහි වගකීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට සේම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ට ද එකලෙස පැවරෙන්නේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සැබෑ ලෙසින්ම සිය අවධානය හා පූර්ණ කැපවීම දක්වන එක් අවස්ථාවක් ඇත. එනම් ක‍්‍රිකට් නිලවරණය අවස්ථාවයි. එහිදී පමණක් සිය පූර්ණ කැපවීම දක්වන ක‍්‍රිකට් බලධාරීන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් ලංකාවට සේවයක් කිරීමට කොයි ආකාරයේ දායකත්වයක් දක්වනවාදැයි විමසීම වටී. තේරීම් කමිටුව සම්බන්ධයෙන් ද අපට ඇත්තේ මෙවැනිම විවේචනයකි.

ලෝක කුසලාන තරගාවලියට පෙර නුවමනා ඉන්දීය සංචාරයක් යොදාගත් ක‍්‍රිකට් බලධාරීන් එතෙක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සතුව පැවැති ජයග‍්‍රාහී මානසිකත්වය බින්දුවට දැමීය. 5-0 ක් ලෙසින් පරාජයට පත් වූ මෙම ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් සංගා හා මහේල සිය විරෝධය දැක්වූයේ මෙම සංචාරය හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියට අදාළ ක‍්‍රීඩකයන්ගේ පූර්ව පුහුණුවීම් සියල්ල අඩපණ වන බව දක්වමිනි. නමුත් මේ කිසිදු කරුණක් සැලකිල්ලට නොගත් ක‍්‍රිකට් බලධාරීන් මුදල් මත පමණක් සිය අවධානය යොමු කරමින් මෙම සංචාරය අනිවාර්ය කළේය. අවසානයේ 5-0 ක් ලෙසින් පරාජයට පත් වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම මානසිකව පමණක් නොව ශාරීරිකව ද දැඩි පසුබෑමට ලක් විය.

එපමණක් නොව පසුගිය නොවැම්බර් මාසයේ සිය ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තරග 25 කට සහභාගී වී තිබිණි. ඒ අනුව ක‍්‍රීඩකයන් සියලූ දෙනා ඉතා කෙටි කාලයක් තුළ විශාල තරග ප‍්‍රමාණයකට සහභාගී වී තිබිණි. මෙය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට දරාගත නොහැකි අන්දමේ පීඩනයකි.

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම නම් කිරීමේ දී ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් එබඳු අමන තකතීරු තීරණ රැුසක් ගත්තේ, විචාරකයන්ගේ හා ක‍්‍රීඩකයන්ගේ අදහස් තඹ දොයිතුවකට මායිම් නොකරමිනි. මේ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන්නා වන සචිත‍්‍ර සේනානායක කණ්ඩායමට නම් නොකොට තරිඳු කෞෂාල්ට අවස්ථාව ලබා දුන්නේ මන්ද යන්න විමසිය යුතු කරුණකි. ශ‍්‍රී ලංකා කණ්ඩායම සමබර කණ්ඩායමක් නොවන තත්වයට පත් කළේ මෙම ක‍්‍රිකට් බලධාරීන් විසිනි.
එපමණක් නොව ශ‍්‍රී ලංකා කණ්ඩායම මූලික වශයෙන්ම කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් මත පමණක් අවධානය යොමු කිරීම විශ්මය දනවන කරුණකි. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ විකල්ප ක‍්‍රීඩකයන් සිටියේ නැති තරම්ය. එමෙන්ම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ලසිත් මාලිංගට සුදුසු සහාය පන්දු යවන්නකු සිටියේ නැත. එනම් රංගන හේරත්ගේ අඩුව පුරාවාලීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයේ කිසිදු ක‍්‍රීඩකයෙන් නොසිටියේය. එය ශ‍්‍රී ලංකා කණ්ඩායමට දැරිය නොහැකි අන්දමේ පීඩනයකි. ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් බොහෝ දෙනකු ආබාධයට ලක් වී පිටියෙන් ඉවත්වීම කෙරෙහි මෙය බල නොපෑ බව කාට නම් කිව හැකිද?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පිළිබඳව අප සිත් තුළ ඇති ආදරය මොහොතකට පසෙක ලා විමසන්නේ නම් ලෝක කුසලාන තරගාවලියේ මූලික තරගවටයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ එතරම් පීඩනයකින් යුතු කණ්ඩායම් සමඟ නොවේ. එනම් ලෝක කුසලානයේ ඒ කාණ්ඩයේ තරග වැදුණු ශ‍්‍රී ලංකා කණ්ඩායම නිරතුරුවම මුහුණ දුන්නේ දක්ෂතා අතර සිටි කණ්ඩායම් සමඟ නොවීමයි. මෙම තරගවලදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නිශ්චිත ඉලක්කයක් හා සැලසුමක් නොමැති වීමෙන් කණ්ඩායම පසුව අනවශ්‍ය පීඩනයකට ලක්වීම ඉබේම සිදුවන්නකි. මෙකී පීඩනයන් අවම කිරීමට ප‍්‍රමාණවත් සමබර කණ්ඩායමක් නම් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ට නොහැකි වීමේ වගකීම ඔවුන් බාරගත යුතුය.

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම හැරුණු කොට ක‍්‍රීඩක සංචිතයක් ඇතිකර ගැනීමට ශ‍්‍රී ලංකා කි‍්‍රිකට් බලධාරීන් තවමත් අපොහොසත් වී ඇත. අතීතයේ දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සිය අවධානය වැඩි ලෙසින් යොමු කරන්නේ පාසල් ක‍්‍රිකට් තරග හෙවත් ‘බිග් මැච්’ වෙතය. රෝයල්-තෝමස්, ඞී.එස්.-මහානාම ආදී පාසල් ක‍්‍රිකට් තරග වෙත අවධානය යොමුකර එහිදී දක්ෂතා දක්වන ක‍්‍රිඩකයන් ඉදිරියට ගෙන ඒමේ වැඩපිළිවෙළක් අතීතයේ දී පැවැතිණි. නමුත් එබඳු ක‍්‍රියාවලියක් මේ වන විට නැති තරම්ය. අතීතයේ දී ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම, සභාපතිගේ පිළ වැනි පසු පෙළ කණ්ඩායම් ගණනාවන් පූර්ව සූදානම් ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පැවැතිණි. එකී කණ්ඩායම් ශක්තිමත් කර ජාතික කණ්ඩායමට ක‍්‍රීඩකයන් පෙර සූදානමකින් පවත්වා ගැනීම මඟින් අවස්ථානුකූලව නිවැරදි, ඉලක්කගත, සැලැසුම්සහගත කණ්ඩායමක් නිර්මාණය කිරීමට එවකට අවස්ථාවන් රැුසක් තිබිණි. නමුත් වර්තමානයේ එවන් පසුබිමක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ නොමැතිවීම මෙම පරාජයේ තවත් එක් හේතුවක් ලෙසින් දැක්වීම වරදක් නොවේ.
කෙසේ වෙතත් මේ වන විට මෙම පරාජයේ වගකීම භාර ගත යුතු පිරිස් එකිනෙකාට මඩ ගසමින් සිය තනතුර රැුකගැනීමේ වෑයමක නිරත වනවා මිස පරාජය ජයග‍්‍රහණය කරා ගෙන යාමට වෙර දරනු නොපෙනේ. සිදුවීම් සිදුවී අවසානය. දැන් ඇත්තේ ඒ පිළිබඳව පසුතැවීම නොවේ. ඒ අවස්ථාවන් මැනවින් අවබෝධ කොට ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් අනාගතය සකස් කිරීමයි. නමුත් එබඳු ක‍්‍රියාවලියක් සිදුවන බවක් පෙනෙන තෙක් මානයේ වත් නැත.

බලධාරීන් සිය අඩුපාඩු පිළිගන්නා බවක් නොපෙනේ. නිසි කළමනාකාරීත්වයකින් යුත්, සැලැසුම්සහගත ක‍්‍රියාවලියකට නොපිවිසෙන තාක් අපට මින් ඉදිරියට ජයග‍්‍රහණ සිහිනයක් පමණක්ම වනු ඇත. අප සිහිනයෙන් පමණක් යැපෙමුද? අපට හිමි, ක‍්‍රිකට් නම් වූ ඉතිහාසයක් පමණද? නැත. ක‍්‍රිකට් ලෝලීන් කිසිවිටෙක ඒ වෙනුවෙන් හිත හදාගෙන නැත. කළයුතු කටයුතු බොහෝය. වැරදුණු තැන් අවබෝධ කර ගෙන, නිසි සැලැසුම් සකස් කළ යුතුය. බලධාරීන් මුදලට ඇති ගිජුකම වෙනුවට ජයග‍්‍රහණ වෙත ගිජු විය යුතුය. නිසි ක‍්‍රීඩක සංචිතයක් ඇති කළ යුතුය. ස්වංක‍්‍රීය අවිවලින් නවීන උපක‍්‍රමවලින් යුද්ධ කරනා මේ කාලයේ ගල්කටස්වලින් යුද්ධ කළ නොහැක. ඒ බව බලධාරීන් දැන්වත් තේරුම්ගත යුතුය. දැන් ඉතින් මඩින් නොව ගොඩින් ද නොව වැඩවලින් ඉදිරියට පැමිණිය යුතු කාලය එළඹ ඇත.

අවන්ත ඉඩමේගම

Advertisements