යහපාලනය – (දූෂණයෙන් තොර නවලිබරල් ධනවාදය) ප‍්‍රායෝගිකද?

wolf-dozing(පසුගිය මාර්තු 15 වැනිදා ජනරළ ‘වමේ සංවාද ’යටතේ පළ කළ ‘රනිල් – මෛතී‍්‍ර පාලනයෙන් නවලිබරල් යහපාලන මනසිකාරයට’ ලිපියට ප‍්‍රතිචාරයකි)

මාර්තු 15 වැනිදා ජනරළ පුවත්පතේ සුමිත් චාමින්ද විසින් ලියන ලද ලිපියක යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර ඇති සබඳතාව හා පරස්පරය පිළිබඳ අදහස් දක්වා තිබිණි. යහපාලනය පිළිබඳ සංකල්පය අනිවාර්ය ලෙසම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සංකල්පයත් සමඟ සම්බන්ධ වියයුතු අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් පවා යහපාලනයක් බිහිවිය හැකි බවට එහිදී තර්ක කර තිබිණි. මෙම ලිපිය ලියන ලියුම්කරු සුමිත්ගේ එම අදහස පිළිගනී. දැඩි මර්දන හස්තයකින් රට පාලනය කරන අතර දූෂණයට ද තිත තැබූ ඒකාධිපති පාලන තන්ත‍්‍ර හා හමුදා ආණ්ඩු ගණනාවක් පිළිබඳ අත්දැකීම් එම තර්කය තවත් තහවුරු කරයි. වත්මන් ආණ්ඩුව යහපාලනය හා නීතියේ ආධිපත්‍යය වැනි උද්ධෘත පාඨ භාවිත කරමින් කරන්නේ නවලිබරල් මාර්ගයේ ඉතිරි කොටස වේගයෙන් යාම බවට සුමිත් පවසන දේද ලියුම්කරු පිළිගනී. එම කරුණට අමතර ආලෝකයක් සැපයීම සඳහා ධනවාදයත් වංචා හා දූෂණත් අතර ඇති සම්බන්ධය පිළිබඳවත් එහිදී ලංකාවේ දේශපාලන අත්දැකීම් පිළිබඳවත් යම් කරුණු ප‍්‍රමාණයක් සැපයීමට අපේක්ෂා කරමි.

වංචා දූෂණ හා ධනවාදය අතර ඇති සම්බන්ධය මෙලෙස විග‍්‍රහ කරන්නේ ධනවාදය පරාජය කිරීමෙන් තොරව සොරකම නැති කළ නොහැකි යැයි ද යහපාලනය ගොඩනැඟිය හැක්කේ සමාජවාදය තුළ පමණක් යැයි ද පැවසීමට නොවේ. ධනවාදය පරාජය කිරීමේ මෙහෙයුම සඳහා සොරකමට – වංචාවට එරෙහි සමාජ මතයක් ගොඩනැඟීම වැදගත් වේ. එමෙන්ම ධනවාදයට අත්පත් කරගත නොහැකි ප‍්‍රමිතියක් නිර්මාණය කිරීම ද වැදගත් වේ. එමෙන්ම ධනවාදයට නැඟ එන සමාජ උද්ඝෝෂණවලට හෝ ඒ පිළිබඳව මතුවන මතවාදයට වාමාංශිකයන් බියක් නැත. ඒ වාමාංශික දේශපාලනය තුළ වංචා දූෂණ සාකච්ඡුා වන්නේ ඉතාම අඩුවෙන් නිසා බැවිනි. ධනවාදය තුළ ජීවත් වන්නා සිටින්නේ එමඟින්ම නිමවන ලද සංකේත ලෝකයකය. එම සංකේත මෙන්ම ඒවායේ අර්ථ ද ධනවාදයට අවශ්‍ය මිනිසා නිර්මාණය කිරීම වෙනුවෙන් විශේෂයෙන් සකස් කරන නිසා මෙම තත්වය වඩාත් සංකීර්ණ වේ. සොරකම හා ධනවාදය අතර තිබෙන අන්තර් සම්බන්ධය තේරුම් ගැනීම සඳහා ඒ පිළිබඳව ද අවබෝධයක් අවශ්‍ය වේ.

ධනවාදයේ මූලික ලක්ෂණ සියල්ලම පාහේ හොරකම, වංචාව හා දූෂණය දිරි ගන්වයි. අපි හොඳම නිදසුනක් ලෙස අසමානතාව ගනිමු. ධනවාදයේ ප‍්‍රධානතම ලක්ෂණයක් වන්නේ අසමානතාවයි. අසමානතාව දූෂණයේ හා වංචාවේ උල්පතයි. හොරකම ජනිත වන්නේ එක් පිරිසකට වැඩිපුර හා තවත් අයට අඩුවෙන් ඇති විට බව තව තවත් අලූතෙන් පැහැදිලි කළයුතු නැත. අනෙක් අතට ධනවාදය මිනිසුන් පරිභෝජන සිහිනයක ගිල්වයි. මිනිසුන්ගේ ජීවිතවල අගය හා වටිනාකම මැනෙන්නේ භෞතික උපකරණ හා පරිභෝජන ද්‍රව්‍ය හිමිකර ගැනීම හරහාය. එනිසාම ඒවා හිමිකර ගැනීම වෙනුවෙන් අනවරත තරගයක් ගොඩනැඟී ඇත. පරිභෝජන භාණ්ඩ පමණක් නොව විශේෂයෙන් මුදල් කෙරෙහි බරපතළ ආකර්ශනයක් ගොඩනැඟී තිබේ. බොහෝ අය මේ ඉලක්ක හඹායාමේ දී සමාජමය වගකීම, හෘදය සාක්ෂිය හා ආචාර ධර්ම අතහරියි. හොරකම සඳහා වන තත්වයන් නිර්මාණය කරන්නේ මෙයයි. තමන්ට වැඩි වැඩියෙන් ගොඩගසා ගැනීම වෙනුවෙන් සියලූ සදාචාරයන් උල්ලංඝනය කරන මිනිසුන් ධනවාදයේම නිර්මිතයන්ය. මීට අමතරව ධනවාදය සමාජය තුළ පටු පෞද්ගලිකත්වය උත්කර්ෂයට නඟන නිසා පෞද්ගලිකව දේවල් අත්පත් කරගැනීම සඳහා වන පෙලඹුම හැම විටම පාහේ සමාජය කෙරෙහි වන වගකීම් සහගත භාවයට පිටුපසින් සිටී. මේ නිසා හොරකම ධනවාදයේ නිසඟ ලක්ෂණයක් වී ඇත. බොහෝ පීඩිත පන්තියේ මිනිසුන් පවා කුඩා මට්ටමේ අල්ලස් ගැනීම් හා හොරකම්වල නියුතු බව අතිශයෝක්තියක් නොවේ. මෙය පවසන්නේ ධනවාදය හා හොරකම අතර සම්බන්ධය අවධාරණය කිරීම හරහා හොරකම් සාධාරණිකකරණය නොකිරීමට බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මාක්ස්ගේ විග‍්‍රහයට අනුව නම් සමස්ත ධනවාදයම හොරකමකි. ඒ අතිරික්ත ශ‍්‍රමයේ වටිනාකම් සූරාකෑම හරහා ප‍්‍රාග්ධනය බිහිවන බැවිනි. මාක්ස්වාදී කතිකාවට අනුව පෞද්ගලික දේපළ යනු සොරබඩු වන අතර ප‍්‍රාග්ධන හිමියා සොරකු බව මාක්ස්වාදී සාහිත්‍යයේ සඳහන් වේ. නමුත් අප මේ කතා කරන්නේ ඒ හොරකම ගැන නොවේ. සමාජයේ පවතින කතිකාවට අනුව හොරකම පවතින්නේ ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියට පිටිනි. හොරකම් හා වංචා පිළිබඳ සංවාදය බිහිවන්නේ ඒ අධිපති කතිකාවේ එන හොරකම සම්බන්ධයෙනි. ස්පිනෝසා නම්  ඕලන්ද ජාතික දාර්ශනිකයා පවසා තිබෙන පරිදි නීතිය විසින් කරන්නේ පළමුවර කරන ලද හොරකම හෙවත් පෞද්ගලික දේපළ බිහිවීම සාධාරණිකකරණය කර දෙවන වර හොරකමක් කිරීම හෙවත් පෞද්ගලික දේපළ යළි උදුරා ගැනීම නතර කිරීමයි. මේ පිළිබඳ මාක්ස්ගේ අදහස ද ස්පිනෝසාට සමීපය. එහෙත් සමාජය තුළ වත්මන් උද්ඝෝෂණය පැන නැඟී ඇත්තේ ඒ පුළුල් අරුතින්වන හොරකමට එරෙහිව නොව සාමාන්‍ය කතා බහේ ඇති හොරකමට එරෙහිවය. හොරකමට එරෙහි සමාජ මතවාදය පැන නඟින්නේ ආත්මාර්ථයට එරෙහිව සමාජමය වගකීම් සහගතභාවය වෙනුවෙන් නම් එය දෙස ධනාත්මකව බැලිය යුතුය. එමෙන්ම වාමාංශිකයන් එම සංවාදයට මැදිහත් විය යුතුය. ඒ වර්තමානයේ දී ජනතා විමුක්ති පෙරමුණ කරන්නාක් මෙන් සොරකම් නතර කළ හොත් පහළ පන්තිවල ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසඳෙන්නේය යන අන්ධ විශ්වාසය ගොඩනඟමින් නොවේ. අර්බුදය හෙළිදරව් කරන අතර හොරකම ඒ අර්බුදයේ ප‍්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කිරීමෙනි. දේශපාලකයන් මහා පරිමාණයෙන් මහජන මුදල් වංචා කිරීම පිළිබඳ ප‍්‍රශ්නය මෙතරම් උග‍්‍ර තැනකට ආවේ මෑතකදීය.

‘සාගරයක් මැද’ වැනි චිත‍්‍රපටවල 1970 දශකයේ දූෂිත දේශපාලකයන්ගේ ක‍්‍රියාකාරීත්වය විග‍්‍රහ කරන අතර එය බොහෝ විට රැුකියාවක් ලබාදීම සඳහා අල්ලසක් ලබාගැනීම, ගමේ මාර්ගයක් ඉදිකරන ව්‍යාපෘතියක ටෙන්ඩරය ලබාදීම හරහා මුදලක් ලබාගැනීම වැනි සුළු සිද්ධීන්ට සීමා විය. නමුත් 1977 න් පසුව හොරකම ප‍්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද වෙනස් විය. එය සුළු අල්ලස් ලබාගැනීමේ සිට විදෙස් ආධාරවලින් 30% – 40% අතර ප‍්‍රමාණයක් අපහරණය කරන මට්ටමට වර්ධනය විය. ලංකාවට සැබැවින්ම ධනවාදය ඇතුළු වූයේ හා එය ශීඝ‍්‍ර ලෙස ව්‍යාප්ත වූයේ 1977 න් පසු නිසාත් ඉන් අනතුරුව විදේශ ආධාර හා ණය මත විශාල සංවර්ධන ව්‍යාපෘති ඇරඹීම නිසාත් මෙම කි‍්‍රයාවලිය වේගවත් විය. ලංකාවේ දේශපාලනය ¥ෂිත වීමේ තවත් ප‍්‍රධාන මාර්ගයක් වූයේ දේශපාලනය ‘පොදු ජනතාව’ වෙත ප‍්‍රවේශ වීමයි.

කලින් දක්ෂිණාංශික දේශපාලනය ප‍්‍රභූ පවුල්වලට සීමා වූ අතර එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂයක් ගතහොත් එය කුරුඳුවත්තේ ධනපතියන්ට හා ග‍්‍රාමීය ප‍්‍රභූන්ට හිමි පක්ෂයක් විය. එම ප‍්‍රභූන් දේශපාලනයට පිවිසියේ ධනය එක්රැුස් කිරීම සඳහා නොව තමන් ඒ වන විටත් එක්රැුස් කරගෙන සිටි මුදලට සමාන්තරව දේශපාලන බලය අවශ්‍ය බැවිනි. නිදසුනක් ලෙස මහින්ද රාජපක්ෂ හොරකම් කරන්නේත් රනිල් වික‍්‍රමසිංහ හොරකම් නොකරන්නේත් මහින්ද නරක නිසා හෝ රනිල් හොඳ නිසා නොවේ. නමුත් අප රනිල්ගේ ඉතිහාසය පිරික්සන්නේ නම් ඔහුගේ මුතුන් මිත්තන් හොරකම්, දූෂණ හා ජාවාරම්වල නියැළී ධනවතුන් වූ ආකාරය සොයාගත හැකිවනු ඇත. ඔවුන් සොරකම් කරන ලද ධනයෙන් සංතෘප්ත වී ඇති නිසා දැන් ඒ ධනය පවත්වාගෙන යන හා වර්ධනය කරන දේශපාලන බලය සඳහා දේශපාලනයේ නිරත වෙයි. අතීත ලංකාවේ ඉතා පිරිසිදු දේශපාලනයක් තිබූ බව බොහෝ දෙනා කියන්නේ මේ ප‍්‍රභූ පන්තියේ දේශපාලනය සිහියේ තබාගෙනය. නමුත් පසුකාලීන දේශපාලකයන්ගේ අරමුණ වූයේ ධනය හා බලය යන දෙකමය. එය වර්ධනය වීමට දක්ෂිණාංශික පක්ෂ ද පීඩිත පන්ති වෙත හැරීම විශාල බලපෑමක් සිදු කළේය.

1970 මැතිවරණ පරාජයත් සමඟ පරාජයට හේතු විග‍්‍රහ කරගත් ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය ‘පොදුජනකරණය’ කිරීමට තීරණය කළේය. ආර්. පේ‍්‍රමදාස, සුගතදාස, සිරිල් මැතිව් ආදීන් එජාපය තුළ ඉදිරියට එන්නේ ඒ අනුවය. ඊට සමාන්තරව පහළ පීඩිත ස්ථරවලින් එජාපයට ජනයා එක්වූ අතර එම පීඩිත පන්තිවල පුද්ගලයන් නායකත්ව මණ්ඩල කරාද ගමන් කළේය. මේ වන විට වමේ ව්‍යාපාරය දුබල වී බිඳවැටී තිබීම නිසා දක්ෂිණාංශික පක්ෂවලට පහළ පන්ති ආමන්ත‍්‍රණය කිරීම වඩාත් පහසු විය. මෙසේ දේශපාලන නායකත්වය සඳහා පීඩිත පන්තිවල පුද්ගලයන් එක් වුවද ඔවුන් කිසිදා තම පන්තිය දේශපාලන වශයෙන් නියෝජනය කළේ නැත. ඔවුන් වෙනම ප‍්‍රභූ ස්ථරයක් ලෙස ඉහළට එසවුණේය. හොරකම හා වංචාවත් දේශපාලනය හරහා මුදල් සෙවීමත් වැඩිපුර උත්තේජනය වූයේ මෙම පිරිස් හරහාය.

ලංකාවේ මහා පරිමාණ දූෂණවලට හේතුව දේශපාලකයා පමණක් නොවේ. සමාජයේ පහළම ස්තරවල ඉපිද නිදහස් අධ්‍යාපනය හරහා ඉහළට පැමිණි නිලධාරී තන්ත‍්‍රය ද අතිශය දූෂිතය. ඔවුන් දේශපාලකයන්ගේ දූෂණවලට පහසුකම් සපයන අතර ඒවා ආරක්ෂා කරයි. එම ක‍්‍රියාවලිය තුළ තමන් ද මුදලක් උපයා ගනී. මේ අතර ලංකාවේ ව්‍යාපාරික ප‍්‍රජාව ද නිෂ්පාදනීය ක්ෂේත‍්‍රයට සම්බන්ධ අය නොවේ. වැඩි දෙනකුගේ ව්‍යාපාර වන්නේ අතරමැදි සේවා සැපයීමය. ඒ සඳහා ටෙන්ඩර් ලබාගැනීම, රජයට විවිධ සේවා සැපයීම, මහා පරිමාණ ව්‍යාපෘතිවල කුඩා කොන්ත‍්‍රාත් ගැනීම වැනි ආකාරවලින් මුදල් සොයන මේ ව්‍යාපාරික පන්තිය සිටින්නේ තම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන්  ඕනෑම මොහොතක  ඕනෑම කෙනකුට අල්ලස් දීමේ සූදානමිනි. මේ නිසා හොරකම, දූෂණය හා වංචාව හේතු සාධක ගණනාවක් මත සමාජයේ ස්තර ගණනාවක සහභාගීත්වයෙන් වර්ධනය වෙමින් පවතී. කල්ගත වන විට හොරකම ව්‍යුහගත වී ආයතනගත විය. දැන් යම් ව්‍යාපෘතියක ඇස්තමේන්තුගත වියදමට ඇමැතිවරයාගේ සිට තාක්ෂණ නිලධාරියා දක්වා සෑම කෙනාටම දෙන අල්ලස් ඇතුළත් වේ. එනම් දැන් හොරකම නීතිගත වී ඇත.

එබැවින් හොරකම – දූෂණය තුරන් කිරීම ඉතා බැ?රුම් කටයුත්තක් වන අතර හුදු යහපාලන සටන් පාඨවලින් එය කළ නොහැක. ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය වැනි පක්ෂ කරන්නේ මැද පාන්තික වෘත්තික ස්තරයන්ගේ උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටීමයි. එම මැද පාන්තික ස්තරයට අවශ්‍ය වන්නේ මේ ක‍්‍රමය මෙලෙසම පවත්වාගෙන යන අතර එය ඔහුට ද ඇතුළත් විය හැකි ආකාරයට පිරිසිදු කරගැනීමයි. දැන් ජවිපෙ හා හෙළ උරුමය කරන්නේ පිරිපහදු කර පවත්වාගෙන යාම සඳහා මැද පන්තියෙන් එන තෙරපුමට ප‍්‍රතිචාර දැක්වීමයි. සිය දේශපාලන උපක‍්‍රමයක් ලෙස හොරුන් ඇල්ලීම ගැන කතා කරන මෙවැනි අය ගැන කතා කිරීමට වඩා හොරකමේ සමාජමය මූලයන් වටහාගෙන එය තුරන් කළ හැකි ක‍්‍රමවේද සෙවීම වඩාත් ඵලදායී වනු ඇත. යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර සම්බන්ධය හොඳින්ම අවධාරණය වන්නේ එවැනි ව්‍යායාමයක් තුළය.
දිනිත්  හෙට්ටිආරච්චි

Advertisements