උභය ජීව

‘උභය ජීව’ යනු සෝවියට් විද්‍යා කල්පිත කතා ලියූ ලේඛක ඇලෙක්සැන්ඩර් බෙලායෝගේ විශිෂ්ට කෘතියක ජේ.ඊ ගුණසේකර විසින් කරන ලද සිංහල පරිවර්තනයකි. එහි අන්තර්ගත වන්නේ විද්‍යාඥයකු විසින් මත්ස්‍ය කරමල් බද්ධකර නිර්මාණය කරනු ලැබූ දියෙහිත් ගොඩෙහිත් යන දෙකේම ජීවත්විය හැකි තරුණයකු පිළිබඳ කතා පුවතකි. උභය ජීව එක පැත්තකින් ගොඩබිම් වාසී මනුෂ්‍යයකු වන අතර තවත් පැත්තකින් ජලචර මත්ස්‍යයෙකි. මේ සූදානම් වන්නේ උභය ජීව නවකතාව ගැන විචාරයක් ලිවීමට නොවේ. මේ දිනවල පාර්ලිමේන්තුව දෙස බලන විට එහිද ‘උභය ජීව තත්වයක්’ දක්නට ලැබෙන නිසා ඒ ගැන ලිවීමටය. මේ තත්වය පැන නැඟුණේ මාර්තු 22 වැනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගීත්වයෙන් ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීමත් සමඟය. එනිසා පළමුව මේ ජාතික ආණ්ඩුව ගැන කතා කළ යුතුව තිබේ.

ලැජ්ජා නැතිකම
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත්වීමත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බවට පත්වීමත් සිදුවූයේ පසුගිය ජනාධිපතිවරණයේ දීය. ඒ ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ ප‍්‍රධාන තේමාවක් බවට පත්වූයේ මහින්ද රාජපක්ෂ එළවා දැමීමය. මහින්ද එළවිය යුතු බව කීවේ හේතු ගණනාවක් මතය. ඥාති සංග‍්‍රහය, ඒකාධිපතීත්වය, වංචා දූෂණ වැනි චෝදනා ඒ අතර තිබිණි. දූෂණ හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය පිළිබඳ චෝදනාව එල්ල වූයේ රාජපක්ෂ පවුලට පමණක් නොවේ. රාජපක්ෂ ආණ්ඩුවේ ඉදිරිපෙළ ඇමැතිවරු ගණනාවකට ද ඒ චෝදනාව එල්ල විය. මේ ආණ්ඩුව බලයට පත්වූ ගමන් කළ ප‍්‍රධාන කටයුත්ත වූයේ හොර බඩු ඇල්ලීමේ සන්දර්ශනයක් ක‍්‍රියාත්මක කිරීමයි. ඇල්ලූ හොරෙක් නැත. එහෙත් අල්ලස් කොමිසම ඉදිරියේ ලිපිගොනු ගොඩ ගැසිණි. එක හොරකමක් ගැනවත් ඊට වගකිව යුත්තන් පිළිබඳ සාක්ෂි ගොනු වූයේ නැත. ජාතික ආණ්ඩුව පිහිටවනු ලැබූයේ ඉන් අනතුරුවය.

ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගෙන ඇති පිරිස දෙස බලන විට පෙනීයන්නේ හොරකම් ගැන, මැරකම් ගැන චෝදනාවට ලක්වූ අයටම ඒ තනතුරු ලැබී ඇති බවය. පුවත්පත්වල කාටූන් ශිල්පීන්ගේ අලූත්ම ගොදුර බවට පත්ව සිටින්නේ ග‍්‍රාමීය ආර්ථික ඇමැති ධුරයෙන් පිදුම් ලැබූ හිටපු උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායකය. වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල ක‍්‍රියාකාරිනියක වන හා වත්මන් ජනාධිපතිවරයා සභාපති ධුරය දරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශිකාවක වන චන්ද්‍රිකා කුමාරණතුංගව නිර්වස්ත‍්‍රව පාරේ ඇවිදවන බව කියූ එස්.බී කැබිනට් මණ්ඩලයට ඇතුළුවීම කාටූන් ශිල්පීන්ගේ උපහාසයට ලක්වී තිබේ. කාටූන්වල ඇඳ ඇත්තේ එස්.බී නිර්වස්ත‍්‍ර වී සිටින ආකාරයයි. එහෙත් හැබැවින් නිර්වස්ත‍්‍ර වී ඇත්තේ සමස්ත ආණ්ඩුවමය. එජාපය හා ශී‍්‍රලනිපයෙහි හොර මැරකම් දුරලන, ඒවාට වගකිව යුත්තන්ට ද`ඩුවම්දෙන යහපාලනයක් පිළිබඳ අපේක්ෂාවන් සියල්ල විනාශ වී ජනතාව අන්දමන්ද වී සිටී. මහින්ද පාලනයේ අති දැවැන්ත මෙගා කැබිනෙට්ටුව ගැන ඉදිරිපත් කළ විවේචන සුළෙඟ් ගහගෙන ගොස් දැවැන්ත ඇමැති මණ්ඩලයක් නිර්මාණය වෙමින් තිබේ. කලින් කතාව තිබුණේ ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා විශාල යැයි කියාය. දැන් ඒ පිරුළ සංශෝධනය කළ යුතුය. ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා විශාල වන අතර එය අගමැතිකමටත් විපක්ෂ නායකකමටත් වඩා විශාලය.

අප පසුගිය සතියේ සාකච්ඡුා කළේ මහින්දගේ ආකෘතියෙන් නොව වෙනත් ආකෘතියකින් රාජ්‍යය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක් දියත් වෙමින් පවතින බවයි. ජාතික ආණ්ඩුව පිහිටුවීම මඟින් ඔප්පු වූයේ එම ව්‍යාපෘතිය ඉදිරියට යන බවයි. එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ව්‍යාජ ප‍්‍රතිවිරෝධතාවක් හෝ පෙන්වමින් දෙපසට වී සිටින තත්වයක් වෙනුවට ඒ දෙපාර්ශ්වයම එකතු වී රජය තවදුරටත් ශක්තිමත් කරන ක‍්‍රියාදාමයක් දියත් වී තිබේ. රජය ශක්තිමත් වන තරමට ජනතාවගේ පීඩාව වැඩිවේ. එමෙන්ම එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුර්වල කරයි. මේ ආණ්ඩුව බලයට පැමිණි පළමු නිමේෂයේ සිටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතහැර දමා යහපාලනය පමණක් වැලඳගත් අතර දැන් යහපාලනයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් යන දෙකම අතහැර දමා පැරණි පාරටම ප‍්‍රවේශ වී තිබේ.

උභය ජීවී විපක්ෂය

එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික ආණ්ඩුවකට එක්වූ පසුව එම පක්ෂ දෙකම ආණ්ඩු පක්ෂයේ සිටින විට පාර්ලිමේන්තුවේ විපක්ෂය වන්නේ කවුද? මෙම ලිපිය ලියන මොහොත වන විටත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දරන්නේ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වාය. දැන් ඔහු ද්විත්ව භූමිකාවක් රඟපායි. ඔහු විටෙක ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම සඳහා සංවිධාන කටයුතු කරන අතර තවත් විටෙක විපක්ෂ නායකයා ලෙස ආණ්ඩුවට එරෙහිව ගෝරනාඩු කරයි. විපක්ෂ නායකයා උභය ජීවියකු වී සිටින අතර ඇලෙක්සැන්ඩර් බෙලායෝගේ උභය ජීව කෘතිය සිහිපත් වන්නේ ඒ නිසාය. ශ‍්‍රීලනිපයේ මේ දෙබිඩි භූමිකාව විවේචනය කරමින් විපක්ෂ නායක ධුරය පැහැර ගැනීමට මාන බලන අනික් අයද සුදනන් නොවේ. පසුගිය අඟහරුවාදා ධුරයේ සුජාතභාවය ගැන පාර්ලිමේන්තුවේ කෑගැසූ ජනතා විමුක්ති පෙරමුණ මේ ජාතික ආණ්ඩුවේ ද ප‍්‍රධාන සුක්කානම හසුරුවන ජාතික විධායක කමිටුවේ සාමාජිකයෙකි. දෙමළ ජාතික සන්ධානය ද එහි සාමාජිකයෙකි.
පසුගිය කාලයේ පැමිණි අණපනත් වෙනුවෙන් විපක්ෂව තිබුණේ එක් ඡුන්දයක් පමණි. මේ හැමදෙනාම නියෝජනය කළේ ආණ්ඩුවය. එනිසා නිමල් සිරිපාල වෙනුවට සම්බන්ධන් හෝ අනුර දිසානායක විපක්ෂ ඇමැති වුවත් විපක්ෂයේ උභය ජීව ස්වභාවය වෙනස් වෙන්නේ නැත.

මේ තත්වය තුළ විපක්ෂයේ කාර්යභාරය ඉටුකරනු ඇත්තේ කවරෙක්ද? හැබෑ විපක්ෂයක් පාර්ලිමේන්තුව තුළ නැත. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 225 දෙනාගෙන් එක් අයකු හැර අන් හැම දෙනාම ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ය. මේ තත්වය තුළ කළයුතුව ඇත්තේ ජනතාවගේ විපක්ෂයක් පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනැඟීමයි. ඒ සඳහා කළ යුත්තේ කම්කරු, ගොවි, ධීවර, ශිෂ්‍ය, තරුණ කොටස් ඒකාබද්ධ වීමයි. ආණ්ඩුව ගෙන ආ අතුරු අයවැයට, ඖෂධ පනතට, අධ්‍යාපන චක‍්‍රලේඛයට, පැය 48 නීතිය ඇතුළු මර්දන නීතිවලට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි විරෝධයක් පාර්ලිමේන්තුව තුළ නැත. එය ගොඩනැඟිය හැක්කේ, ගොඩනැඟිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව අතරය. විපක්ෂයේ කාර්යභාරය දේශපාලන පක්ෂවලට භාර නොදී එය ජනතාව අතට ගත යුතුය.

මෛත‍්‍රීපාල සිරිසේන ජයග‍්‍රහණය කරවීම සඳහා මැදිහත් වූ බලවේග තුළ තිබූ පාර්ශ්ව දෙකක් ගැන අපි පසුගිය සතියේ මෙම තීරුව තුළ සඳහන් කළෙමු. එකක් රාජපක්ෂගේ පවුල්වාදී ආකෘතිය නිසා අනතුරට හා අභියෝගයට ලක්ව තිබූ රාජ්‍ය ව්‍යුහයන් යළි ශක්තිමත් කිරීමේ ප‍්‍රවණතාවයි. දැන් ආණ්ඩුව ඍජුව හා පැහැදිලිව පෙනී ඉන්නේ ඒ වෙනුවෙනි. අනෙක මේ අවස්ථාව භාවිත කර ජනතාවගේ සක‍්‍රීයතාව හා දේශපාලන මැදිහත්වීම වර්ධනය කළ යුතු බව විශ්වාස කළ ප‍්‍රවණතාවයි. ආණ්ඩුවෙන් එම අරමුණ ඉටුකර ගත නොහැකි බව තේරුම් ගත්තේනම් ඒ සඳහා ඔවුන්ට ඇති අවසාන අවස්ථාව ජාතික ආණ්ඩුවකි. මේ බලවේග අතර සමාජයේ ක‍්‍රියාකාරීත්වයක් ශක්තිමත් කිරීම වෙනුවෙන් අවංකව පෙනී සිටින කවරකු හෝ සිටී නම් ඔවුන් දැන් තීරණයක් ගත යුතුය. ඒ තීරණය අන් කිසිවක් නොව පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා විපක්ෂය ගොඩනැඟීම සඳහා මූලිකත්වය දීමේ තීරණයයි.

ආණ්ඩුව පළමු ප‍්‍රවණතාවයෙන් දෙවන ප‍්‍රවණතාවයට මාරුවේ යැයි තවදුරටත් බලා සිටීමේ කිසිදු අර්ථයක් නැතිබව දැන්වත් තේරුම්ගත නොහැකි නම් ඔවුන් කිසිවිටෙක එය තේරුම් ගන්නේ නැත.
එළඹෙමින් තිබෙන්නේ විසිතුන් වන පැයයි. තීරණය ගත යුතුව තිබෙන්නේ මේ මොහොතේදීය. මේ මොහොතින් පසුව එළඹෙන මොහොත යනු ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන්නන් තීරණය කරන මොහොතකි. විපක්ෂය දෙබිඩි වූවාට උභය ජීවී වූවාට මේ තීරණාත්මක මොහොතේ දී දෙබිඩි වීමට, උභය ජීවී ලක්ෂණ පෙන්වීමට අන් කිසිවකුට අයිතියක් නැත. සිදුවෙමින් පවතින දේශපාලන වර්ධනයන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ද එය දේශපාලන සක‍්‍රීයත්වය අවධි කරගතයුතු මොහොත මෙය බවයි. බර්ටෝල් බ්‍රෙෂ්ට් නම් ජර්මානු සාහිත්‍යවේදියා සිය කවියකින් කියා ඇති පරිදි ජනතාව නායකත්වය උදුරාගත යුතු මොහොත මෙයයි. ජාතික ආණ්ඩුව වෙනුවට ජනතා ආණ්ඩුවක් පිහිටුවීමේ මඟ එය පමණි.

Advertisements