කාගේ බලයද කුමන බලයද?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඇත්තටම මේ ව්‍යවස්ථා සංශෝධනවලින් වෙන්නේ මොනවගේ දෙයක්ද? ඒක කාටවත් පැහැදිලි නෑ. හැම කෙනාම තම තමන්ගේ කණ්ණාඩියෙන් බලලා විවිධ දේවල් කියනවා. මෛතී‍්‍රපාල සහ රනිල් කියන විදියට නම් මේක විධායක ජනාධිපති සතු බලතල කප්පාදු කරනවා. ඒ නිසා මේක ඓතිහාසික පියවරක් කියලයි එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් කියන්නේ. මේක හොඳයි තමයි, තව ටිකක් බලය අඩුකළා නම් හොඳයි කියලා ජනතා විමුක්ති පෙරමුණ නහයෙන් අඬනවා. දෙමළ ජාතික සන්ධානය මොකක් කියන්නද කියලා හිතාගන්න බැරිව එක එක දේවල් කියන විපරිතයක් බවට පත් වෙලා. මේ ව්‍යවස්ථා සංශෝධනය රනිල් සහ මෛත‍්‍රී අතර ඇතිකර ගතයුතු එකඟතා ගිවිසුමක් රටේ මූලික නීතිය බවට පත්කිරීම හැර වැඩකට ඇති දෙයක් නෙවෙයි කියලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියනවා. ජාතික හෙළ උරුමය ජනාධිපතිගේ බලය කැපුවා වැඩියි කියලා මේ සංශෝධනයට විරුද්ධයිලූ. මේ ඔක්කොම කතා මැද මේ ව්‍යවස්ථා සංශෝධනයේ ඇත්තටම තිබෙන දේ ගැන යමක් කතා කරන්න අපි මේ සතියේ ජනරළ කතුවැකිය වෙන් කරනවා.

ජනාධිපතිවරණයට පෙර තිබුණු ලොකුම කතා බහ තමයි සමස්ත විධායක බලය එක් පුද්ගලයකු අත ගොනුවීමේ ප‍්‍රශ්නය පිළිබඳ කතාබහ. ඒ කතා බහේ ප‍්‍රතිඵලයක් හැටියට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන සංවාදයක් ආවා. ඒකෙදි විවිධාකාර මත පළවුණා. මාදුළුවාවේ සෝභිත හිමි ප‍්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය කීවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලා ඒ බලය පාර්ලිමේන්තුවට පවරන්න  ඕන කියලා. ජාතික හෙළ උරුමය කීවේ විධායක ජනාධිපතිවරයා සතු බලතලවලින් කොටසක් ඉවත් කරලා එය අගමැතිවරයාට සහ පාර්ලිමේන්තුවට පැවරිය යුතුයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ යෝජනාව වුණේ විධායක බලය අගමැතිවරයාට පවරා විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට විධායක අගමැති ක‍්‍රමයක් ස්ථාපිත කිරීම. මෛත‍්‍රීපාල සිරිසේන තමන්ගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මේ කිසිවක් නිශ්චිතව කීවේ නෑ. ඒ වෙනුවට කීවේ මේ යෝජනා තුනේම තිබෙන දේවල් එකට එකතු කරලා ව්‍යවස්ථා සංශෝධනයක් හදනවා කියලා. මේ එකිනෙකට පරස්පර යෝජනා එකට එකතු කරන්නේ කොහොමද කියලා කාටවත් පැහැදිලි වුණේ නෑ. ඒත් මහින්ද එළවන්න  ඕන නිසා මෛත‍්‍රීට සහාය දුන්නා. මේ යෝජනාවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් රාජ්‍ය බලය ජනතාව විසින් අභ්‍යාස කරන නව රාජ්‍ය ව්‍යුහයක් යෝජනා කළේ වමේ පෙරමුණ විතරයි. ඒත් මහින්ද එළවීම පිළිබඳ සටන් පාඨයෙන් දෑස් නිලංකාර වෙලා තිබුණු නිසා බොහෝ දෙනකුට ඒක පෙනුණේ නෑ.

කොහොම උනත් අන්තිමේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් හැටියට අප ඉදිරියට පැමිණ තිබෙනවා. මේ කෙටුම්පත සෝභිත හිමියන්ගේ යෝජනාවට අනුව සැකසුන එකක් නෙවෙයි. මේකෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වෙන්නේ නෑ. මේක හෙළ උරුමයේ යෝජනාවට ටිකක් කිට්ටු උනාට කරලා තිබෙන්නේ ඒ අය කියූ දේ නෙවෙයි. මෛත‍්‍රීපාල විධායක බලයේ සැලකිය යුතු විශාල කොටසක් තමන් අතේ තියාගෙන ඉන්න නිසා මේක එජාපයේ විධායක අගමැති යෝජනාවක් නෙවෙයි. ඇත්තටම වෙලා තිබෙන්නේ විධායක ජනාධිපති සතු බලයෙන් අති විශාල කොටසක් ජනාධිපතිවරයා අතේම තියාගන්න එක. ඒකෙන් කුඩා කොටස් ඉවත් කරලා සමහර කොටස්වල බලය අගමැතිට පවරලා. ඇත්තටම වෙලා තිබෙන්නේ ජනාධිපති සහ අගමැති අතර යම් විදියක බලය බෙදාගැනීමක් කරගෙන තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කීවාට ඒකෙන් කරලා තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිගේ අතට ලැබෙන එක සීමා කරලා පත්වී වසර හතරහමාරක් යනතුරු විසුරුවන්න බැරි තත්වයක් හදපු එක විතරයි. ජනාධිපතියි අගමැතියි අතර බලය බෙදාගැනීම මෛතී‍්‍රට හා රනිල්ට අදාළ වෙන්න පුළුවන්. ඒත් 1978 දී මේ ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වූ දිනයේ සිට ඉතා කෙටි කාල ප‍්‍රාන්තර හැරුණාම අනෙක් හැමදාම ජනාධිපති සහ අගමැති පත්වූයේ එකම පක්ෂයෙන්. අගමැති පත්කිරීමේ බලය තවදුරටත් තිබෙන්නේ ජනාධිපති අතේ නිසා ඔහුට හෝ ඇයට තමන්ගේ රූකඩයක් අගමැති කරන්න පුළුවන්. ඒ නිසා ජනාධිපතියි අගමැතියි බලය බෙදාගත්තාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වෙයි කියලා හිතන එක මහ මෝඩකමක්. ඒ බලය පාර්ලිමේන්තුවට පැවරුවා කියලත් ලොකු වෙනසක් වෙයිද කියලා විචාරශීලීව කල්පනා කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ හැකි එකම ක‍්‍රමය ජනතාව විසින් රාජ්‍ය බලය මෙහෙයවන තත්වයක් ඇති කිරීම විතරයි.

ඇත්තටම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කෙරෙන්නේ රාජ්‍යය තව තවත් ශක්තිමත් කරන එක. මුලින් හිතුවේ සමස්ත බලය එක පුද්ගලයකු අතට කේන්ද්‍ර වුණාම රාජ්‍යය ශක්තිමත් වෙනවා කියලා. නමුත් ඒ තනි පුද්ගලයා නිසා රාජ්‍ය ව්‍යුහයන්, යාන්ත‍්‍රණයන් ක‍්‍රමයෙන් අතාර්කික වී යනවා. තනි කෙනෙක් මේක හසුරුවන විට ආඥාදායකත්වය ඍජුව හා පැහැදිලිව පෙනෙනවා. එවිට එයට ජනතා විරෝධයක් එනවා. රාජ්‍යය පවත්වාගෙන යාමේ දී හොඳම ආකෘතිය ඒ ආඥාදායකත්වය සඟවන එක. පුද්ගලයෙක් වෙනුවට ක‍්‍රමයක් යාන්ත‍්‍රණයක් ශක්තිමත් කරන එක. එතකොට පුද්ගලයා ගැන විරෝධය ඇවිළෙද්දීත් ක‍්‍රමය ආරක්ෂා කරගන්න පුළුවන්. බලය තනි පුද්ගලයකු අත නොව දෙදෙනකු හෝ කිහිපදෙනකු අත පවතින විට ප‍්‍රතිවිරෝධය, ඝර්ෂණය තුනී කරගන්න පුළුවන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ දක්ෂිණාංශික රාජ්‍ය බලය ශක්තිමත් කරන ක‍්‍රියාමාර්ගයේ තවත් ඉදිරි පියවරක්. මෙවර ඒ යන්ත‍්‍රයේ කොටස් එකිනෙක ඇතිල්ලී ගිනි පුපුරු දැල්වෙන්න ඉඩ නොදී ඒ අතරට ලිහිසි තෙල් යොදවනවා. ඉතින්  ඕක තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියලා අර්ථ දක්වන්නේ. සංශෝධනය නිසා දිගුකාලීනව ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට වාසිද – අවාසිද යන ප‍්‍රශ්නවලට වහා පිළිතුරු සෙවිය යුතුයි. ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කළ හැක්කේ ඒ විදියට පමණයි.

Advertisements