පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් වූ නව මැතිවරණ ක‍්‍රම සංශෝධනය

‘පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා සේ’ යනුවෙන් සඳහන් වෙන්නේ සද්ධර්ම රත්නාවලියේ. ඒ උපමාවේ අදහස වෙන්නේ ප‍්‍රශ්නයකට දිය යුතු විසඳුම පසෙක තිබියදී වෙනත් විසඳුම් ලබාදීම. මැතිවරණ ක‍්‍රමයට ගේන සංශෝධන ගැන සාකච්ඡුාවේදීත් ඒ උදාහරණය සිහිපත් වීම වළක්වන්න බෑ. දැනට තිබෙන මැතිවරණ ක‍්‍රමය නරකයි, ඒ නිසා ඒක සංශෝධනය කළ යුතුයි කියලා මතයක් තිබෙනවා. දැනට තිබෙන මැතිවරණ ක‍්‍රමයේ ඇති ලොකුම ප‍්‍රශ්නය ලෙස සාකච්ඡුා වෙන්නේ මනාප පොරය. මනාප පොරය නිසා එකම පක්ෂයේ අපේක්ෂකයන් ගහමරා ගන්නා බවත් අන්තිමට මැතිවරණය ජයග‍්‍රහණය කරන්නේ විවිධ අපචාරවලට සම්බන්ධ පුද්ගලයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, හොරුන්, මංකොල්ලකරුවන් හා මැරයන් බවත් දැන් බොහෝ දෙනා කියනවා. මැතිවරණවලින් වැඩිම මනාප ගෙන ජයග‍්‍රහණය කරන්නේ මැතිවරණයට වැඩිපුරම මුදල් වියදම් කරන අය. ඒ නිසා දේශපාලනය ධනවතුන්ගේ – සිටුවරුන්ගේ ක‍්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. මේ හැම ප‍්‍රශ්නයකටම සරිලන කෝකටත් තෛලය ලෙස මැතිවරණ ක‍්‍රම සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ප‍්‍රශ්නය ඇති වී තිබෙන්නේ මැතිවරණ ක‍්‍රමය ගැන වුණත් දැන් විසඳුම ලෙස යෝජනා කර තිබෙන්නේ නියෝජන ක‍්‍රමය වෙනස් කිරීම. ඒ දෙක අතර වෙනසක් තිබෙනවා. නියෝජන ක‍්‍රමය කියන්නේ මැතිවරණ ක‍්‍රමයේ එක් අංගයක් විතරයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඈත අතීතයේ පටන් පැවත එන මුල් සංකල්පයට අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත. කේවල නියෝජන ක‍්‍රමයේ මූලධර්මය තමයි බහුතරයේ කැමැත්ත. ඒ අනුව යම් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන් කිහිපදෙනකු අතරින් වැඩිපුරම ඡුන්ද ලබාගන්නා කෙනා තෝරා පත්කර ගන්නවා. ඒ අනුව මුළු රටින්ම එවැනි පත් කරගැනීම් කර ලැබෙන පාර්ලිමේන්තුව බහුතරයගේ මතය නියෝජනය කරනවා. ඒක තමයි කේවල නියෝජන ක‍්‍රමයේ මූලධර්මය. නමුත් පසුකාලීනව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සාකච්ඡුාව වෙනත් තලයකට එක් වුණා. ඒ අනුව බහුතරයේ මතයට පමණක් නොව සුළුතරයේ මතවලටත් නියෝජනයක් අවශ්‍ය බවට මත පළවුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු සුළුතරයේ අයිතීන් ද ඇතුළත් කරගන්නා දෙයක් ලෙස අර්ථකථනය කෙරුණා. ඒ සංවාදයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි මැතිවරණ සඳහා සමානුපාතික නියෝජන ක‍්‍රමය හඳුන්වා දෙන්නේ. ඒ තුළ බහුතරයේ මතය පමණක් නෙවෙයි පරාජය වූ සුළුතර මතය සඳහාත් යම් නියෝජනයක් ලැබෙනවා.
බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ සමානුපාතික නියෝජන ක‍්‍රමයත් මනාප ක‍්‍රමයත් එකක් කියලා. නමුත් ඒ දෙක එකක් නෙවෙයි. 1978 ව්‍යවස්ථාවෙන් මුලින්ම සමානුපාතික නියෝජන ක‍්‍රමය හඳුන්වා දෙද්දී එහි මනාප ක‍්‍රමයක් තිබුණේ නෑ. ඒ මුල් ක‍්‍රමයට අනුව අපේක්ෂක ලැයිස්තුවක් යම් පක්ෂයක් විසින් ඉදිරිපත් කරන්නේම ප‍්‍රමුඛතා අනුපිළිවෙළකට අනුව. ලැබෙන ඡුන්ද ගණන අනුව නිශ්චිත වන මන්තී‍්‍ර ධුර ප‍්‍රමාණයට ලැයිස්තුවේ ඉහළ සිට පහළට අපේක්ෂකයන් පත්වෙනවා. නමුත් ඒ ක‍්‍රමය ගැන තිබුණු ලොකුම විවේචනය එහිදී තෝරා යවන අපේක්ෂකයන් ගැන සැලකිය යුතු බලයක් පක්ෂයට හිමි වීම. දෙවැනි ප‍්‍රශ්නය වුණේ ලැයිස්තුවේ ඉහළ ඉන්න අය තමන් කොහොමත් තේරී පත්වන නිසාත් ලැයිස්තුවේ පහළ ඉන්න අය තමන් තේරීපත් වීමට ඇති ඉඩ අඩු නිසාත් මැතිවරණය සඳහා වෙහෙස නොවීම. දක්ෂිණාංශික පක්ෂවල මැතිවරණ ව්‍යාපාරය ගෙනයන්නේ පක්ෂය නෙවෙයි. ඒක රඳා පවතින්නේ එක් එක් අපේක්ෂකයන් කරන ප‍්‍රචාරක කටයුතු මත. ඡුන්දදායකයා ඡුන්දය දෙන්නේත් පක්ෂයක ප‍්‍රතිපත්තියකට නෙවෙයි, පුද්ගලයන් කරන ප‍්‍රචාරක කටයුතුවලට අනුව ඔවුන්ට. ඒ නිසා  සමානුපාතික නියෝජන ක‍්‍රමයෙන් දක්ෂිණාංශික පක්ෂ අර්බුදයට ගියා. ඒ අර්බුදයට විසඳුම ලෙස තමයි 1988 මැයි 24 වැනිදා 14 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මනාප ක‍්‍රමයක් හඳුන්වා දුන්නේ.

ඒ නිසා මැතිවරණ ක‍්‍රමය කියන්නේ නියෝජන ක‍්‍රමය නෙවෙයි. ඒ වගේම සමානුපාතික නියෝජන ක‍්‍රමය කියන්නේ මනාප ක‍්‍රමය නෙවෙයි. දැන් කෙරෙන්නේ මනාප ක‍්‍රමය වැරදියි කියලා, මනාප ක‍්‍රමය නොව සමානුපාතික නියෝජන ක‍්‍රමයම වෙනස් කිරීම. එසේ නියෝජන ක‍්‍රමය මැතිවරණ ක‍්‍රමය ලෙස අර්ථ දැක්වීම. නියෝජන ක‍්‍රමය වෙනස් කළාම වත්මන් මැතිවරණ ක‍්‍රමයේ ඇති දුබලතා ඉවත් වෙයි කියලා විශ්වාසයක් හදන්න යනවා. සෑම දෙයක්ම පටලවලා තිබෙන්නේ. අපි මේ එකින් එක ලිහාගන්න උත්සාහ කරමු.

නියෝජන ක‍්‍රමය නොව මුදල් මතම රඳා පවතින වත්මන් මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතුයි. වත්මන් ආණ්ඩුවලට එය කරන්න හැකියාවක් හෝ උවමනාවක් නෑ. මැතිවරණ මත ප‍්‍රාග්ධනයේ ආධිපත්‍යය පැටවෙන තත්වය වෙනස් කරන්න නීති සම්මත කරන්න මේ අය සූදානම්ද? ඒ සඳහා මැතිවරණ ප‍්‍රචාරක සංස්කෘතියම වෙනස් කරන්න වෙනවා. විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත් මඟින් මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් ප‍්‍රචාරය කිරීම පිළිබඳ ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. මාධ්‍යවල හැමදෙනාටම සම අවස්ථා අවශ්‍යයි. මේ මැතිවරණ සංශෝධනයේ ඒ කිසිවක් නෑ. මාධ්‍යවල සම අවස්ථා හිමි කරදීම වෙනුවට තිබෙන්නේ මාධ්‍යවලට මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදීම තමන් සහාය දක්වන පක්ෂය ප‍්‍රකාශයට පත් කර මැතිවරණ නීතිවලින් ගැලවිය හැකි බව. මුදල්වලින් මැතිවරණ ප‍්‍රතිඵල තීරණය වීම වළක්වන්න කිසිදු විකල්පයක් ඒකෙ නෑ. සිදුවෙන්නේ සමානුපාතික නියෝජන ක‍්‍රමය වෙනුවට කේවල හා සමානුපාතික ක‍්‍රමවල මිශ‍්‍රණයක් යෝජනා කිරීම පමණයි. මේක මිශ‍්‍ර ක‍්‍රමයක් කීවාට සමානුපාතික පදනමින් තෝරා පත්කර ගැනෙන අපේක්ෂකයන් අතරින් සාතිශය බහුතරය පත්වෙන්නේ වැඩිපුර ඡුන්ද ගන්නා පක්ෂ දෙකෙන්. වෙනත් මතයකට මේ තුළ නියෝජනයක් ලැබෙන්නේ නෑ. ප‍්‍රාදේශීය ඡුන්ද පදනම් ඇති පක්ෂවලට මේ නව ක‍්‍රමය වාසිදායක වුණත් රට පුරාම විසිරුණු සුළුතර මතයකට මේ නව ක‍්‍රමයෙන් නියෝජනයක් නෑ. වඩාත් පැහැදිලිව කියනවා නම් මේ ක‍්‍රමය තුළ පාර්ලිමේන්තුව සකස් වෙන්නේ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, උතුර හා නැෙඟනහිර පදනම් සහිත දෙමළ ජාතික සන්ධානය, නැෙඟනහිර පදනමක් සහිත ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා වතුකරයේ පක්ෂවලින් පමණයි. අනෙක් පක්ෂවලට කිසිදු නියෝජනයක් ලැබෙන්නේ නෑ.

ඒ නිසා මේ සිදුකර තිබෙන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක්. නව මැතිවරණ ක‍්‍රම සංශෝධනය හරහා මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් වෙන්නේ නෑ. නියෝජන ක‍්‍රමය වෙනස් වෙනවා. ඒත් ඒ වෙනසත් ධනාත්මක වෙනසක් නෙවෙයි. ඍණාත්මක වෙනසක්. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩ තවත් පටු කරනවා. එකම පක්ෂයේ අය ගහගැනීම පාලනය කරගන්න පුළුවන් වෙයි, ඒත් පක්ෂ දෙකක අය ගහගැනීම, වෙඩිතබා ගැනීම නතර වෙන්නෙ නෑ. මේ මැතිවරණ ක‍්‍රම සංශෝධනයෙන් වසර කිහිපයකට පස්සේ අපට මෙහෙම කියන්න වෙයි. ”නටපු තොවිලෙකුත් නෑ – බෙරේ පලූවකුත් නෑ”

මනෝජ් ප‍්‍රසන්න

Advertisements