ජාතික ආරක්ෂාව(?) සහ සංහිඳියාව

1අධිආරක්ෂිත කලාප ලෙස උතුරේ දී රජයේ හමුදාව විසින් මෙතෙක් අත්පත් කරගෙන සිටි අක්කර 400 ක පමණ ඉඩම් ප‍්‍රමාණයක් එහි මුල් පදිංචිකරුවන් වෙත නැවත ප‍්‍රදානය කිරීමේ රාජ්‍ය උත්සවය පසුගිය දා යපනයේ දී පැවත්විණි. මෙම උත්සවය සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන අගමැති රනිල් වික‍්‍රමසිංහ උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් යන මහත්වරු සහභාගි වී සිටියහ. මෙහි එක් විශේෂ සිදුවීමක් වූයේ මුල්වරට (මාධ්‍ය වාර්තාකර තිබු පරිදි) විග්නේශ්වරන්  විසින් රාජ්‍ය උත්සවයක දී සිංහලෙන් ආමන්ත‍්‍රණය කිරීමයි. ලංකාවේ සිංහල, තමිල් සංහිඳියාව අපේක්ෂා කරන ඇතැමුන්ගේ අමන්දානන්දයට මෙය හේතුවක් වන්නට ඇතැයි අපේක්ෂා කළ හැකිය.

මේ අන්දමින්ම තවත් පිරිසක් පසුගියරාජපක්ෂ පාලන සමයේ දී ද සතුටට පත් වී සිටියහ.  ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා උතුරේ පැවැති රාජ්‍ය සහ දේශපාලන රැුස්වීම්වලදී තමිල් භාෂාවෙන් එහි ජනතාව ඇමතීම නිසාය. නමුත් රාජපක්ෂ පාලනය යුද්ධය නිමාවී වසර 5ක් ඉක්මවන තුරුත් උතුරේ පිහිටා තිබු අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට පියවර ගත්තේ නැත. ඊට හේතු වශයෙන් රාජපක්ෂ පාලනය හැමවිටම ප‍්‍රකාශ කළේ ආරක්ෂාව පිළිබඳ ගැටලූවයි. නමුත් යුද විiාව අනුව අධි ආරක්ෂිත කලාප නම් කිරීම සිදුවන්නේ කුමන සාධක මතද?

අපි නිදසුනක් ගනිමු. පලාලි ගුවන් හමුදා කඳවුර සහ කංකසන්තුරේ නාවික හමුදා කඳවුර අවට එම හමුදා කඳවුර පිහිටි භූමිභාගවලට අමතරව අක්කර 6500 ක අතිවිශාල භූමිභාගයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබුණි. මේ අන්දමින් හමුදා කඳවුරු අවට අතිවිශාල හිස් භූමියක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කොට පවත්වාගෙන යාමට හේතුවූයේ දුර දිග සිට එල්ලවන බර අවි ප‍්‍රහාරවලින් ආරක්ෂාවීමට එමඟින් පිටුවහලක් ලැබීමයි. යුද්ධය නිමාවීමත් සමඟ කෙසේ වෙතත් මෙම දුරදිග සිට එල්ල කළ හැකි බර අවි ප‍්‍රහාර මෙන්ම විශාල භට පිරිස් යොදාගෙන එකවර එල්ල කරන සුළු අවි ප‍්‍රහාරයන් පිළිබඳව ද කිසිදු තර්ජනයක් නොතිබුණු අතර ඒ අනුව යුද්ධය පිළිබඳ සාධකය සැලකීමේ දී එවන් අධි ආරක්ෂාක කලාප පිළිබඳ කිසිදු අවශ්‍යතාවක් නොවීය. නමුත් යුද්ධය නිමාවී වසර 5 ක් ඉක්ම යන තුරු මහින්ද රාජපක්ෂ පාලනය විසින් අධි ආරක්ෂිත කලාප එලෙසම පවත්වාගෙන යන ලදී. ඊට බලපාන ලද හේතු වූයේ යුද සාධකය නොව රාජපක්ෂ පාලනය පවත්වාගෙන යාමට උපයෝගි කරගත් දකුණේ ජාතිවාදී දේශපාලන සාධකයයි. එම බලවේග තෘප්තිමත් කිරීමයි. එය ජාතික ආරක්ෂාව ලෙස නාමකරණය වී තිබුණි. ඊට අමතරව ජාතික සංහිඳියාව ගැන සැලකුවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිදු කළේ තමිල් භාෂාවෙන් උතුරේ ජනතාව ඇමතීම පමණි. එම දේශපාලන අපරිණතභාවය වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේ දී එක්තරා විදියකින් වන්දි ගෙවීමට ඔහුට සිදුවිය.

දැන් අපි මෛතී‍්‍ර – රනිල් නව පාලනය පිළිබඳව අවධානය යොමු කරමු. මෙම පාලනය පැරණි පාලනයේ ලේ පැල්ලම් තැවරුණු ‘ජාතික අරක්ෂාව’ නමැති කැත නාම පුවරුව ඉදිරියෙන් ‘ජාතික සංහිඳියාව’  නමැති අලූත් තීන්තෙන් පින්තාරු කළ නාම පුවරුවක් ඉදි කරමින් සිටියි. එය බැලූ බැල්මට දැකුම්කලූය. එහිදි මෛතී‍්‍ර රනිල් පාලනය මහින්ද රාජපක්ෂ මෙන් තමිල් භාෂාවෙන් උතුරේ  ජනතාව ඇමතීමට වෙහෙසෙන්නේ නැත. ඒ වෙනුවට විග්නේශ්වරන් සිංහල භාෂාවෙන් දකුණේ ජනතාව අමතයි. ඒ සඳහා දේශපාලන ගෙවීමක් ලෙස අධි ආරක්ෂක කලාප නමැති ආරක්ෂාව අතින් දැනට කිසි වැදගත් කමක්් නැති හිස් භූමි භාගයන් ජනතාව වෙත මුදාහරියි. අනෙක් අතට එය තර්කානුකූලව ගත් කළ වාණිජ අතින් ද ඵලදායි පියවරකි. නමුත් මතුපිටින් පෙනෙන මෙම ලක්ෂණ හරයාත්මකව බලන කළ එලෙසම පවතීද? මෙය පැරණි පොතට නව කවරයක් දැමීම පමණක් නොවන්නේද? මේ ගැන ජනතාව විචාරශීලීව විමසා බලා තීරණය කළ යුතුය.

යුද හමුදාව විසින් මැතකදී කටුකම්බිගසන ලද වාසවිලාන් පාර

යුද හමුදාව විසින් මැතකදී කටුකම්බිගසන ලද වාසවිලාන් පාර

එහිදී පහත කරුණු පිළිබඳව අවධානය යොමු විය යුතුය. දැන් සිදුවන ආකාරයට අධි ආරක්ෂිත කලාප (හමුදා කඳවුරු අවට ඇති ජනශුන්‍ය කර තබා ඇති හිස් භූමි භාගයන්) ඉවත් කළාට උතුරේ හෝ දකුණේ හෝ පිහිටි කිසිදු හමුදා කඳවුරක් ඉවත් කරන්නේ නැත. සේවයේ නියුතු හමුදා භට සංඛ්‍යාවන් ද අඩු කරන්නේ නැත. දකුණට සාපේක්ෂව උතුරේ හමුදා කඳවුරු සහ භට සංඛ්‍යා ඝනත්වය වැඩිය. උතුරේ ජනතාවට සාමානය ජීවිතයක් සහතික කිරීමේ ආරම්භය තැබීමට නම් ඒවා ඉවත් කළ යුතුය. එසේ නැත්නම් අඩු කළ යුතුය. වැදගත්ම කරුණ එය පමණක් නොවේ. යුද හමුදාව සිවිල් නීති කටයුතුවලට යොදා ගැනීමට තවමත් නතර කර නොතිබීමයි. එය උතුරට මෙන්ම දකුණට එකසේම බල පැවැත්වේ. මේ සඳහා නීතිමය අනුමැතිය පිණිස පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී  භාවිත කළ ගැසට් නිවේදනවලට නව පාලනය තුළ ද ජනාධිපතිවරයා අත්සන් තබා ඇත.

මේ අතර සාමාන්‍ය සැකකරුවකු පොලිස් අත්අඩංගුවේ තබාගත හැකි  කාලය පැය 48 ක් දක්වා දීර්ඝ කිරීමට ක‍්‍රියාත්මක කළ නීතිය තවත් වසර දෙකක් සඳහා බල පැවැත්වීමේ යෝජනාව නව පාලනය යටතේ ද පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත විය. එහි දී ඊට පක්ෂව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ද සිය ඡුන්දය පාවිච්චි කරන ලදී. ඒ අනුව දේශපාලනිකව කල්පනා කරන  ඕනෑම කෙනෙකුට මෛතී‍්‍ර – රනිල් – විග්නේශ්වරන් අතර ගොඩනැගෙමින් පවතින මෙම සංහිඳියාව කවර පන්තියක උවමනාවක් ඉටු කරන්නේදැයි පැහැදිලිවම තේරුම් ගත හැකිය.

මෙහිදී සාමාන්‍ය සැකකරුවකු පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමේ කාලය පිළිබඳ ප‍්‍රශ්නයේ බරපතළකම යළිත් අවධාරණය විය යුතුය. මන්ද, දැනටමත් සාමාන්‍යයෙන් ආරක්ෂක අංශ විසින් නම් කරන ලද ත‍්‍රස්ත සංවිධානවලට මෙය අදාළ නොවේ. ඔවුන්ව  ඕනෑ තරම් කාලයක් රැුඳවුම් භාරයේ තබා ගත හැකි ලෙස ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත දැනටමත් කි‍්‍රයාත්මක වෙමින් පවතින නිසාය. අනෙක් අතට ධනවතුන්ට සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන්ට ද මෙය කිසිසේත්ම අදාළ නොවේ. එවැනි අත්‍යවශ්‍ය මොහොතකදී ඔවුන් දැනටමත් අනුගමනය කරමින් සිටින වරප‍්‍රසාද ලෙස පොලිස් ආරක්ෂාව යටතේ ඍජුවම අධිකරණයට භාරවීමේ කි‍්‍රයා පිළිවෙත      එලෙසම අනුගමනය කළ හැකි නිසාය. ඒ නිසා පැය 48 ක්
පොලිස් අත්අඩංගුවේ රඳවා තබාගැනීම අදාළ වන්නේ සාමාන්‍ය ජනතාවට පමණි. එහිදී මහින්ද       රාජපක්ෂ පාලනය මෙන්ම මෛතී‍්‍ර – රනිල් පාලනයට ද දෙමළ ජාතික සන්ධානයට ද ඒ පිළිබඳව විවාද නැති බව පෙනේ.

ඒ නිසා වමට මෙතෙක් මඟ හැරුණු දේශපාලනය මෙය බව අපේ අදහසයි. එය සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, වැනි සාම්ප‍්‍රදායික වමට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද එක සේ අදාළ වේ. ජාතික ආරක්ෂාව යනුවෙන් යමක් වර නැෙඟන සෑම විටම එමඟින් අර්ථ ගැන්වෙන්නේ ධනපති  පන්තියේ සහ එහි රාජ්‍යයේ ආරක්ෂාව බවත් ජාතික සංහිඳියාව නමින් වර නැෙඟන විට එමඟින් අර්ථ ගැන්වෙන්නේ විවිධ ධනපති කොටස්වල සංහිඳියාව  පමණක් බවත් අමතක කළ යුතු නැත.

චන්ද්‍රසිරි ලන්දගේ

Advertisements