පැය 48 රැඳවුම ගැන ගැන සුජීව සේනසිංහ එදා කීවේ මෙහෙමයි

55958_dsc6818අපරාධ නඩු විධාන සංග‍්‍ර‍්‍ර‍්‍රහය (විශේෂ විධිවිධාන) පනත පසුගිය මාර්තු 19 දා වැඩි ඡුන්දයෙන් සම්මත කරන ලදී. එහෙත් මෙවර ඊට පක්ෂව ඡුන්දය දුන් බොහෝ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් එම පනත ගෙන ආ විට ඊට විරුද්ධ වූහ. එදා විපක්ෂයේ සිට විරුද්ධ වූ නිතියක් සම්මත කිරිමට ආන්ඩු පක්ෂයට පැමිණි විට පක්ෂ වන්නේ කුමන හේතු නිසාදැයි ඔවුන් හෙලි කර නැත. මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අවස්ථාවේ 2013 ජනවාරි මස 22 වන අඟහරුවදා එවකට විපක්ෂයේ සිටි  පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ කළ කතාවේදී දැක්වූ අදහස් පාඨක අවධානයට යොමු කරන්නට අපි කල්පනා කළෙමු. (ඉඩකඩ ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් හැන්සාඞ් වාර්තාවේ තෝරා ගත් කොටස් පමණක් මෙහි පළ කරන බව සලකන්න.)

ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි,

අද ආණ්ඩුවේ ඇමැතිවරු විශාල ප‍්‍රමාණයක් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වූවා. රට සුද්ද කරනවා කිව්වා; හොරුන්ගෙන් තුරන් කරනවා කිව්වා. (බාධා කිරීමක්) විපක්ෂයේ හිටපු ටිකත් දැන් ආණ්ඩු  පක්ෂයේ. ඒක නිසා මේ පැත්තෙන් අල්ලන්න කවුරුවත් නැහැ. (බාධා කිරීමක්) නීතිපති දෙපාර්තමේන්තුව බලන්න  ඕනෑ රටේ නීති හදන්නේ කාටද කියලා. නීති හදන්නේ කෙහෙල් කැනක් කැපූ මනුස්සයාටද, නැත්නම් එහා ගෙදර උදැල්ල හොරකම් කරපු මනුස්සයාට ද, නැත්නම් මේ රටේ ඉන්නා සියලූ‍ම ජනතාවට ද, ධනවතුන්ට, බලවතුන්ට ඒ හදන නීතිය අදාල වනවාද කියන එක ගැන පොඞ්ඩක් සැලකිලිමත් වෙන්න  ඕනෑ. නීතී හොඳයි. විශේෂයෙන්ම බටහිර රටවල ජනාධිපතිගේ පුතා හෝ සහෝදරයා වුණත් වරදක් කළා නම් අනිවාර්යයෙන්ම හිරගත වෙනවා. හැබැයි ලංකාවේ, ඉන්දියාවේ, පාකිස්තානයේ එය සිදු වනවාද කියන එක සම්බන්ධව ඔබතුමන්ලා පොඞ්ඩක් සැලකිලිමත් වන්න.
විශේෂයෙන්ම පොලිස්පතිතුමා ගැන කථා කළා. එතුමා අවුරුදු ගණනකට පස්සේ පත් වුණු හොඳ පොලිස්පතිවරයකු බව අපි දන්නවා. පොලිස්පතිතුමා හොඳ වුණාට, අවුරුදු ගණනක් තිස්සේ පොලිස් සේවය ජරාජීර්ණ වෙලා තිබෙන බව කියන්නට  ඕනෑ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්තා අරගෙන බැලූ‍වෛාත් රුපියල් 5,000, රුපියල් 2,000 වශයෙන් වැඩියෙන්ම අල්ලස් ගැනීම්වලට වරදකරු බවට පත් වෙලා තිබෙන්නේ පොලිසියේ නිලධාරි මහත්වරුනුයි. අපි පොලීසියට ඇඟිල්ල දික් කරනවා නොවෙයි. ඒකට හේතු වෙන්න පුළුවන් ඒ නිලධාරීන්ට අඩු පඩියක් ගෙවීම. මා හිතනවා පොලිසියේ නිලධාරි මහත්වරුන් වැඩියෙන් අල්ලස්වලට යොමුවීම රජයේ අඩුපාඩුවක් වෙන්න පුළුවන් කියලා.

මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, ඒ විතරක් නොවෙයි, මම හිතන හැටියට මේක අපට දෛවයේ සරදමක් වෙයි. කවදා හරිදවසක අපි ආණ්ඩු පක්ෂයේ සිටින්න පුළුවන්. මේ නීති ගෙන එන සමහර ඇමැතිවරුන්ටම මේ නීති බලපාන්න පුළුවන්. මේ නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා අදාල වන වැරදි උපලේඛනයේ දක්වා තිබෙනවා. විශේෂෙයන්ම මිනීමැරුම, මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය, මිනීමැරුමට තැත් කිරීම, මිනීමැරීම සඳහා අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම, අයුතු ලෙස සිරකර තැබීමේ චේතනාවෙන් යම් තැනැත්තකු අපහරණය කිරීම හෝ පැහැරගෙන යාම, ස්තී‍්‍ර දූෂණය, සොරකම, මරණය සිදුකිරීමට සූදානම්වීම යනාදී වැරදි මේ උපලේඛනයේ දක්වා තිබෙනවා. මේ ඔක්කෛා්ම දක්වා පහළින් තව එකක් තිබෙනවා, ”‍ඉහත සඳහන් වැරදිවලින් යම් වරදක් සිදු කිරීමට තැත් කිරීම.”‍ කියලා.

මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, අජිත් පෙරේරා මැතිතුමා කිව්වා වාගේ, පළිගැනීමේ චේතනාවක් තිබෙනවා නම්, නැත්නම් පගාවක් ගැනීමේ චේතනාවක් තිබෙනවා නම්, පොලිසියට  ඕනෑම අවස්ථාවක,  ඕනෑ පුද්ගලයෙක් මේ වරදවල් කීපය තුළට දමන්න පුළුවන්. මූලාසනාරූඪ ගරු මන්ත‍්‍රීතුමනි, බොහෝ වෙලාවට මේ නීති පදනම් වෙන්නේ රටේ අහිංසකයින්ටයි. නැත්නම් දේශපාලන වශෙයන් අහිංසක තත්වයට පත් වෙලා සිටින විරුද්ධ පක්ෂයේ පුද්ගලයන්ටයි. කිසිම අවස්ථාවක නීතිපති දෙපාර්තමේන්තුවෙන් ආණ්ඩු පක්ෂයේ පුද්ගලයන්ට විරුද්ධව ක‍්‍රියාත්මක වනවා අපි දැකලා නැහැ.

මූලාසනාරූඪ ගරු මන්තී‍්‍රතුමනි, විශේෂයෙන්ම ආසියාවේ රටවල් ගත්තොත් ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ශ‍්‍රී ලංකාව වාගේ නොදියුණු රටවල දේශපාලන වශයෙන් තමයි නීතිය පාවිච්චි කරන්නේ. නමුත් දකුණු කොරියාවේ ජනාධිපතිතුමාගේ මල්ලි යම් කිසි හොරකමකට අහු වෙලා අද එතුමා හිරේ ඉන්නවා. කැනඩාව, එංගලන්තය වාගේ රටවල දේශපාලනඥයන්ගේ සහෝදරයෝ, ඒ වාගේම ඥාතිවරු යම් කිසි වරදකට වරදකරුවන් වශයෙන් පත් වන්න තිබෙන අවස්ථාව ඉතා ඉහළයි. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවේ නීති හදන ඔබතුමන්ලා මේ නීති පාවිච්චි කරලා අල්ලපු දේශපාලනඥයෙක් අපට පෙන්වන්න. ඔබතුමන්ලා අල්ලපු ධනවතෙක් අපට පෙන්වන්න. එහෙම දෙයක් සිදු වන්නේ නැහැ. ඔය නීති හදන මහත්වරු මෙතැන සිටිනවා.

අද මේ නීති භාවිතා කරන පොලීසියේ මහත්වරුන්ගෙන් මම අහනවා, ඔබතුමන්ලා අල්ලපු දේශපාලනඥෙයෝ කවුද කියලා. ඔබතුමන්ලා අපට කියන්න, හොරකම් කිරීම් සම්බන්ධයෙන් අල්ලපු ඇමැතිවරෙයක්. අද එහෙම පෙන්වන්න අවස්ථාවක් නැහැ, මූලාසනාරූඪ ගරු මන්තී‍්‍රතුමනි. එතකොට මේ සියලූ‍ම නීති අද බල පවත්වන්නේ රටේ සිටින දුප්පත් මනුස්සයින්ටයි. නැත්නම් දේශපාලන වශයෙන් විපක්ෂයේ සිටින පුද්ගලයින්ටයි.

මූලාසනාරූඪ ගරු මන්තී‍්‍රතුමනි, මගේ කථාව විනාඩි දහයකට සීමා කරලා තිබෙනවා. නැවත වරක් මේ ගැන සලකා බලන්න කියලා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා. අද මේ පනත් කෙටුම්පත සම්මත වෙයි. ආණ්ඩුවෙන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරනවා. ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ලබා ගෙන තිබෙනවා. ඒ, ඡුන්ද බලෙයන් නොවෙයි. කෙසේ හෝ තුනෙන් දෙක් බලය ආණ්ඩුව ලබා ගෙන තිබෙනවා. ඒ බලය පාවිච්චි කරලා දින කීපයක් ඇතුළත රටේ සිටි අග විනිසුරුවරිය ඉවත් කළා. මූලාසනාරූඪ ගරු මන්තී‍්‍රතුමනි, එහෙම රටක තමයි අපි මේ නීතිය ගෙැන කථා කරන්නේ?

මූලාසනාරූඪ ගරු මන්තීතුමනි, ඒ වාගේම මම කලින්කථාවේත් සඳහන් කළා, ඒකාධිපති වියරුවෙන් රටවල විපක්ෂ නායකවරු හිරේ දැමූ බව. තවත් රටවල අග විනිසුරුතුමන්ලා ඉවත් කළා. තවත් රටවල තමන්ගේ බලය කාලයකින් තොරව දීර්ඝ කර ගත්තා. අපේ රටේ මේ ක‍්‍රියා තුනම කළා. හැබැයි ඔබතුමන්ලා ඔය කථා කරපු නීතිය මේ අවස්ථාවල කි‍්‍රයාත්මක වුණේ නැහැ. ඉදිරි අනාගතයේදී මේ රට සිම්බාබ්වේ වාගේ රටක්, ඉරාකයක් වාගේ රටක් බවට පත් වන්න පුළුවන්. මම දන්නවා, විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ බොහෝ ඇමැතිවරු හෘදය සාක්ෂියට එකඟව නොවෙයි මේ පනත් කෙටුම්පතට සහයෝගය දෙන්නේ කියලා.

ඉදිරි අනාගතෙය්දී ඒ ඇමැතිවරුම විපක්ෂයේ මන්තී‍්‍රවරුන් වන අපට කියන්න පුළුවන් ”‍මේ යන මාර්ගය වැරැුදියි, මේ මාර්ගය නිවැරදි කරන්න ඔබතුමාන්ලාත් අපට සහයෝගය දෙන්න” ‍කියලා. මූලාසනාරූඪ ගරු මන්තී‍්‍රතුමනි, එහෙම නම් විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ගෙන්, ඒ වාගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලා සිටිනවා මේ නීති ගෙනෙනකොට ඔබතුමන්ලා, ඔබතුමන්ලා ගැන පමණක් හිතන්න එපා, ඔබතුමන්ලාගේ පහසුව ගැන පමණක් හිතන්න එපා, මේ නීති බලපාන්නේ කාටද කියන එක සම්බන්ධයෙන් පොඞ්ඩක් සැලකිලිමත් වෙන්න කියලා. පැය 48ක් දක්වා පොලිස් භාරයේ රඳවා තබා ගැනීමේ නීතිය ඉතාමත් ඛේදජනක නීතියක් බවට ඉදිරි අනාගතයේදී පත් වෙනවා. එය දේශපාලන වශයෙන් පළිගැනීම් සඳහා සහ අනෙකුත් පළිගැනීම්වලට, ඒ වාගේම පගා ගැනීම්වලට පාවිච්චි කළ හැකි බව සඳහන් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.

Advertisements