ජාතික ආණ්ඩුව; කාගේ ප‍්‍රශ්නයට උත්තරයක්ද?

Photo Storyජාතික ආණ්ඩුවක් ගැන කතා බහ පෙරට පැමිණ තිබේ. ඒ පසුගිය ඉරිදා, එනම් 22 වැනිදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතරින් 11 ක් කැබිනට් ඇමැතිවරු ලෙසත් 5 ක් රාජ්‍ය ඇමැතිවරු ලෙසත් 10 ක් නියෝජ්‍ය ඇමැතිවරු ලෙසත් දිවුරුම් දීමත් සමඟය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර සම්මුතියක් සහිත ජාතික ආණ්ඩුවක් ප‍්‍රකාශයට පත්වී ඇත. මේ දිනවල හැමදෙනාම ජාතික ආණ්ඩු ගැනත් ඒ ජාතික ආණ්ඩුව නිසා සමාජයට සිදු විය හැකි බලපෑම ගැනත් කතා කරන නිසා අපි ද ඒ ගැන අදහසක් ප‍්‍රකාශ කිරීමට අදහස් කළෙමු.

ජාතික ආණ්ඩුවක් පිහිටුවා තිබෙන බව මාධ්‍යවල ප‍්‍රචාරය වන විට නැෙඟන පළමු ප‍්‍රශ්නය වනුයේ මෙතෙක් කලක් තිබුණේ ජාතික ආණ්ඩුවක් නොවේද යන ප‍්‍රශ්නයයි. පුළුල් අර්ථයෙන් ගත හොත් වසර 65 ක් පමණ කාලයක් පැවතුණේ ජාතික ආණ්ඩු බව විග‍්‍රහ කරගත හැක. එක් පක්ෂයක් බලයට පත්වී සිය කොල්ලකාරී ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන අතර අනෙක් කණ්ඩායම කරන්නේ ඒ ප‍්‍රතිපත්ති කිසිවක් විවේචනය නොකර ප‍්‍රශ්නය පුද්ගලයන්ට බැර කිරීමට විපක්ෂයේ සිට කටයුතු කිරීමයි. එජාපයේත් ශ‍්‍රීලනිපයේත් ප‍්‍රතිපත්ති අතර වෙනසක් නැති අතර ඔවුන් හැමකෙනාම අනෙකා ගැන විවේචනය ඉදිරිපත් කරන්නේ පුද්ගලවාදී දෘෂ්ටිකෝණයකිනි. එනිසා ජනතාව තුළින් ද ප‍්‍රතිපත්ති පිළිබඳ සංවාදය තුරන් වී යයි. කලින් වක‍්‍රව සිදුවූ මෙම සහයෝගිතා ක‍්‍රියාදාමය 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් පසු විවෘතවම හා ඍජුවම ක‍්‍රියාත්මක වීම ඇරඹිණි. ඒ අනුව ඉදිරිපත් වන පනත්වලදී ශ‍්‍රීලනිපය හා එජාපය සිටියේ එක මතයකය. පසුගිය කාලයේ පාර්ලිමේන්තුවේ සිදුකරන ලද ඡුන්ද විමසීම් ගණනාවකදී විරුද්ධව තිබුණේ එක ඡුන්දයක් පමණි. අතුරු අයවැය, ඖෂධ පනත හා පැය 48 නීතිය මීට හොඳ උදාහරණ වේ. ඒ අනුව බලන කල මෙතෙක් පැවැතී ඇත්තේ ද එජාප – ශී‍්‍රලනිප ජාතික ආණ්ඩුවකි. එහෙත් එය ක‍්‍රියාත්මක වූයේ තිරය පිටුපසය. දැන් රංගනය වේදිකාව මතටම පැමිණ ඇත. ‘ජාතික ආණ්ඩුවක් පිහිටුවීම’ නමින් සාකච්ඡුා කෙරෙන්නේ ඒ එළිමහනේ කරන රංගනයයි. කොහොමත් හැංගි හැංගි වෙස් බැන්දාට නටන්න වෙන්නේ එළියේය.

තමන්ගේ සම්මුතිය ගැන කිසිම දෙයක් සඟවන්නේ නැතිව එළිමහනේ, ප‍්‍රසිද්ධියේ හවුල් ආණ්ඩු ඇටවීමට එජාපයටත් ශ‍්‍රීලනිපයටත් සිදුවූයේ ඇයි? මේ වන විට සාම්ප‍්‍රදායික දක්ෂිණාංශික පක්ෂ හා චිරාගත දේශපාලනය බරපතළ අර්බුදයකට ගොදුරු වී ඇත. එක් පැත්තකින් බලන කල එවැනි අර්බුදයක් අනිවාර්ය වේ. ඒ එජාපයටත් ශ‍්‍රීලනිපයටත් ඇත්තේ එකම ප‍්‍රතිපත්තිය බැවිනි. මේ දෙකේ ප‍්‍රතිපත්තිමය වෙනසක් නැති බව මෑත මාස කිහිපයේ දී තරම් හොඳින් අන් කවරදාකවත් තහවුරු වී නොතිබිණි. මෙවර අතුරු අයවැයට පක්ෂව ඡුන්දය දෙමින් ශ‍්‍රීලනිප ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා පැවසුවේ රවි කරුණානායකගේ අයවැය මහින්ද රාජපක්ෂගේ වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යාමට එයට සහාය දෙන බවයි. මෙසේ එක් පක්ෂයක් අනෙක් පක්ෂය නැවැත් වූ තැනින් පටන්ගෙන එම වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යන බව තවදුරටත් රහසක් නොවේ. අනෙක් අතින් මෙය වඩාත් හොඳින් හෙළිදරව් වූයේ පසුගිය ජනාධිපතිවරණයේ දී සිදුවූ පිල්මාරුවෙනි. කිසිම දෙගිඩියාවකින් තොරව දෙපැත්තේම සිටි අය අනෙක් පැත්තට පිල් මාරු කළේ තමන්ට කිසිදු ප‍්‍රතිපත්තිමය ප‍්‍රශ්නයක් නැති බව ලොවටම විදහා දක්වමිනි. අවසානයේ දී එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා පිල්මාරු කළ අතර පක්ෂ ලේකම්වරුන්ගේ ද මේ පැනීම චිරාගත දක්ෂිණාංශික තට්ටුමාරු පක්ෂ දේශපාලනයේ එක් අර්බුදකාරී අවස්ථාවක් සනිටුහන් කළේය. සැබැවින්ම එකම ප‍්‍රතිපත්තියක් සඳහා පක්ෂ දෙකක් අවශ්‍ය නැති අතර පක්ෂ දෙකක් පවත්වාගෙන යනවා නම් එසේ අවශ්‍ය වන්නේ ජනතාව රවටා මුළා කිරීමට මිස අන් යමකට නොවේ.

මේ අර්බුදයෙන් මිදීම සඳහා පාලකයන් විවිධ උපක‍්‍රම භාවිත කිරීම ඇරඹීය. දින සියයේ සංදර්ශනය ඒ අතරින් එක් උපක‍්‍රමයකි. දින සියයක් තුළ අලූත් රටක් හැදීමට පක්ෂ භේදයෙන් තොරව හැමදෙනාම එකතු වන බව ප‍්‍රකාශ කෙරිණි. නමුත් ඒ උත්සාහය උපන් ගෙයිම මියගියේ ඒ දින සියය තුළ සිදුකළ දෙයක් නොමැති බැවිනි. සිදු කළ හැම දෙයක් ගැනම විවිධ බල දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව එක් හෝ තවත් පක්ෂයක් සිය අනුමැතිය ලබාදී නැති බැවිනි. ඉන් අනතුරුව උත්සාහ කළේ රනිල් හා මෛත‍්‍රී අතර සම්මුතියක් ඇති කරගැනීමටය. අන්තිමේ දී ඒ සම්මුතිය, ඒ අවබෝධතා ගිවිසුම රට ඉදිරියට ආවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නමිනි. අන්තිමේ දී සිදුවූයේ මේ පක්ෂ දෙක අතර සම්මුතිය රටේ මූලික නීතිය බවට පත්කිරීමට උත්සාහ කිරීමය. අවසන එය ද හෙළිදරව් විය. 19 සංශෝධනය පුස්සක් බව හෙළිදරව් විය. ජාතික ආණ්ඩු කතාව ආවේ අවසන් උත්සාහය ලෙසය. මේ, පාලකයන්ට ඇදිමට තිබෙන අවසාන කොළයයි. ක‍්‍රීඩාවේ ආරම්භයේම පාහේ තුරුම්පු ආසියාම මේසය මතට දමා ඇත. මේ තුරුම්පු ආසියාත් සාර්ථක නොවුණහොත් එජාපයටත් ශ‍්‍රීලනිපයටත් වෙනත් විකල්ප නැත.

එබැවින් ජාතික ආණ්ඩු සංකල්පය ආවේ සමාජමය අවශ්‍යතාවක් පැවරීමට නොව කාගේ හෝ බල ව්‍යාපෘතියක කොටසක් වශයෙනි. මෙයින් සමාජයට ඇතිවන යහපතක් නැත. මීට පෙර අවස්ථා ගණනාවක් අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්ව රට පාලනය කරනු දැක ඇත්තෙමු. එම පාලනයන් මඟින් කළේ ප‍්‍රශ්න උග‍්‍ර කිරීමයි. එක්සත් ජාතික පක්ෂය ද තනිව රට පාලනය කරනු අපි දැක ඇත්තෙමු. එම ආණ්ඩු කළේ ද ප‍්‍රශ්නය තව තවත් උග‍්‍ර කිරීමයි. අප අද මුහුණපාන සමාජ – ආර්ථික – දේශපාලන – සංස්කෘතික – පාරිසරික ගැටලූ හැම එකකටම වගකිව යුත්තේ මේ පක්ෂ දෙකයි. එම පක්ෂ වෙන් වෙන්ව රටට කළ දේට වඩා වෙනස් යමක් එකතු වී කරනු ඇතැයි බලාපොරොත්තු වීම මෝඩකමකි. මේ සිදුවන්නේ නරකට නරක එකතු වීමයි. නපුරට නපුර එකතු වීමයි. ජාතික ආණ්ඩුව නොහොත් එජාප – ශ‍්‍රීලනිප දීගය කොහොඹ ගහට කරවිල වැල ගියා මෙන් යැයි අප මීට පෙරද ජනරළේ ලීවේ ඒ නිසාය. එජාප – ශ‍්‍රීලනිප සම්මුතිය සමාජයට වඩාත් බරපතළ විනාශකාරීත්වයක් මිස යහපතක් උරුම කර නොදෙනු ඇත.

ජාතික ආණ්ඩු සම්මුතිය මඟින් පෙනී යන්නේ මෛත‍්‍රීපාල සම්මුති ගහන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථික සාධාරණත්වය, ජාතික සහජීවනය හා නෑ බෑ යන පාලනය අපේක්ෂා කරමින් තමන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දායක වූ ජනතා බලවේග සමඟ නොවේ. ඔහුගේ සම්මුතිය ඇත්තේ ධනය, බලය, ඇමැතිධුර හා වෙනත් වරප‍්‍රසාද වෙනුවෙන් දේශපාලනය තීරණය කරන හොරුන්, මිනීමරුවන් හා ¥ෂිතයන් සමඟය. මේ අශුද්ධ සන්ධානය ගොඩනැෙඟන්නේ එජාපයේත් ශ‍්‍රීලනිපයේත් බල උවමනාවන් වෙනුවෙන් මිස සමාජයීය උවමනාවන් සඳහා නොවේ. එය ගොඩනැෙඟන්නේ ඔවුන්ගේ, පාලකයන්ගේ අර්බුදවලට පිළිතුරුක් ලෙස මිස සමාජයේ දැවෙන ප‍්‍රශ්නවලට පිළිතුරක් ලෙස නොවේ.
සමාජය පැත්තෙන් මේ පවතින අර්බුදයට පිළිතුරක් සෙවිම කෙරෙහි අපේ අවධානය යොමු විය යුතුය. දැන් පාලකයන් සිය සක‍්‍රීය බව වේගයෙන් ඉහළ නංවා ගනිමින් සිටී. ඔවුන් සතියකට වරක් බැගින් කුමන හෝ නව ක‍්‍රියාමාර්ගවලට එළඹෙයි. එහෙත් ජනතාව ඉන්නේ නිශ්ක‍්‍රීයවය. දුර්මුඛවය. ජනතාව මේ නාඩගම් දෙස විලම්බීතව බලා සිටී. දැන් කළ යුත්තේ පාලකයන්, දක්ෂිණාංශික දේපාලන පක්ෂ රාජ්‍යතාන්ත‍්‍රික කුමන්ත‍්‍රණකරුවන් හා ප‍්‍රභූන් සක‍්‍රීය වන ආකාරය නිශ්ක‍්‍රීයව බලා නොසිට ජනතාව සක‍්‍රීය වීමයි. සමාජමය අර්බුදයට පිළිතුරක් සෙවීමට නම් සම්මුතිය අවශ්‍ය වන්නේ එජාපය හා ශ‍්‍රීලනිපය අතර නොව ජනතා බලවේග අතරය. පීඩාවට පත් ජනතා බලවේගවල පෙරමුණකින් මිස මේ ජාතික ආණ්ඩු ප්‍රෝඩාව හරහා අලූත් වටයකින් ශක්තිමත් වන රාජ්‍යයට මුහුණ දිය හැකි අන් මඟක් නැත.

දිනිත් හෙට්ටිආරච්චි

Advertisements