මං ලියන ඒවා කවි නොවුනට කිසිම ප‍්‍රශ්නයක් නෑ- පියන්කාරගේ බන්දුල ජයවීර

Piyankarage-Bandula-Jayaweeraපියන්කාරගේ බන්දුල ජයවීර කවියා විසින් සිය හතරවැනි හා පස්වැනි කවිපොත් ජනගත කිරීම පසුගිය දා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී සිදු කළා. එම කාව්‍ය සංග‍්‍රහයන්ගේ පැමිණීම නිමිති කරගෙන කවියා සමඟ අප කළ සංවාදයක සටහනයි මේ.

  •  කවි පොතක් මුද්‍රණය කරලා ජනගත කරනව කියන්නෙ  ඕනම කවියකුට අභියෝගයක්. බන්දුල කවි පොත් දෙකක් එක පාරට ජනගත කරනව. අභියෝගයක් වුණේ නැද්ද මේ කාර්ය?

අභියෝගයක් වෙන්නෙ කවි පොත් විකිණෙන් නෑ වගේ කතාත් එක්කනෙ. ඒ වුණාට වැඩිපුර ලියවෙන්නෙ කවි. පත්තරවලටත් වැඩියෙන්ම ලැබෙන්නෙ කවිලූ. ගොඩගේ මහත්තය මාත් එක්ක කිව්ව වැඩියෙන්ම ගහන්නෙ කවි පොත්, අඩුවෙන්ම විකිණෙන්නෙ කවි පොත් කියල. කොහොමත් කවි ලියවෙනව. කවි ලියන්න දේවල් සිද්ධවෙනව මේ රටේ. ඒක අභියෝගයක් උනත් අපිට ලියන වැඬේ නොකර ඉන්න බැහැ. ඇත්ත, මේ කි‍්‍රයාවලිය දුෂ්කරයි. ලියනවට වැඩිය කවි පොත් පළකර ගැනීම අමාරුයි. විකිණෙන්න නෑ කියනව, ඇත්තටම විකිණෙන් නෑ නෙමෙයි විකුණන්නෙ නෑ. විකිණෙන තැන්වලට ගෙනියන්නෙ නෑ. අවුරුද්දකට සැරයක් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ තියෙන ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට වැඩියෙන්ම ගෙනියන්නෙ වැඩියෙන් විකිණෙයි කියල හිතන නවකතා, අධ්‍යාපන ප‍්‍රකාශන, ප‍්‍රශ්නෝත්තර පොත් වගේ දේවල්. අපි මිත‍්‍රයො කිහිප දෙනෙක් එකතුවෙලා කවි පොත් කුටියක් කළා කවි පොත් විතරක් තියෙන. මිනිස්සු හොයාගෙන ඇවිත් පොත් ගත්ත. අභියෝගතා ජයගන්නත් පුළුවන්. යම් තරමකට උනන්දුවක් තියෙන්න  ඕනෙ ඒකට.

  •  ‘යට කඬේ උඩ ගෙදර’ වගේ කවි පොතක් ගත්තහම කවි සියයක් පමණ තියෙනව. ඇයි මේ තරම් විශාල කවි එකතුවක් කරන්න හිතුවෙ? ලියන හැම කවියක්ම පොතකට ඇතුළත් විය යුතුයි වගේ අදහසක් තියෙනවද?

නෑ. මගෙ එහෙම අදහසක් නෑ. මේ කවි 101 තෝරගන්නෙ කවි තුන්සිය ගාණකින් හාරසියයකින් විතර. මේ පොතට ඇතුළත් කරන් නැතුව අතඇරපු කවි ගොඩක් තියෙනව. මේ කවි තේරීම කළෙත් පත්තරේට දාපු කවි ගොඩකින්. සමහර ඒව පත්තරේට දැම්මට පොතකට ගන්න බෑ. ඒ හින්ද එහෙම ගොඩක් කවි අතඇරිය. ඒ හින්ද එහෙම හැම කවියක්ම පොතකට එන්න  ඕනෙ කියල අදහසක මම නෑ. මං ගොඩක් කවි ලියල තියෙනව. අවුරුදු කිහිපයක් තිස්සෙ ලියපු කවි තමයි මේ. සංඛ්‍යාව වැඩි වෙන්න හේතුව ඒකයි.

  •  රාජ්‍ය සේවය කියන්නෙ අලස නීරස වෘත්තියක් වැනි හැඟීමක් අපිට තියෙන්නෙ. ඔබ රැුකියාව කරන අතරතුර කවි ලියන්න කාලය හොයා ගන්නෙ කොහොමද? එවැනි නිර්මාණකරණයකට අවශ්‍ය වටපිටාව ඔබ වටා තියෙනවද?

නැහැ, එහෙම එකක් නෑ. ක‍්‍රමයත් එක්ක ප‍්‍රශ්නයක් තියෙනව. ඒත් මිනිස්සුන්ට සමාජය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්. ඒකට සමාජවාදය හදනකන් ඉන්න  ඕනෙ කියල එකක් නෑ. මිනිස්සු තම තමන් ඉන්න තැන්වලම ඉඳන් රස්සාවෙ කටයුතු, පවුල් ජීවිතේ කටයුතු සමාජ කටයුතු යම් මට්ටමකට හරි කරනවනම් සුන්දරයි. නමුත් ප‍්‍රශ්නෙ වෙන්නෙ ඒව මඟ අරිනව. හිතා මතා මග අරිනව, මඟ ඇරෙනව. ඒව නඩත්තු කරන්න  ඕනෙ. රස්සාවක් කරනව, පවුල් ජීවිතයක් ගත කරනව, ළමයි ඉන්නව. ඉතිං මං කොහෙන් හරි කාලය හොයා ගන්නව පොත පත කියවන්න, ලියන්න. සමහර විට නින්දෙන් කාලය අඩු කරල හරි මං කාලය හොයා ගන්නව. මේ දේ හින්ද වෙන දෙයක් අත්හරිනව කියල එකක් නෑ. කාලයක් නෑ කියන එක බොරුවක්

  • බොහෝ කලාකාරයො කවියෙන් පටන් ගත්තට එතනින් නවකතාවට එහෙම නැත්නම් වෙනත් කලා මාධ්‍යයන්ට යනව. බන්දුල දිගටම කවියෙ රැුඳී ඉන්නව. කවියට සීමා වෙලාද?

නෑ, එහෙම සීමා දාගෙන නෑ. දැනට මට දැනෙන දේවල් හොඳටම කියන්න පුළුවන් කවියෙන් කියල තමා මං හිතන්නෙ. මං ඒ ගැන යම් හැදැරීමකුත් කරල තියෙනව. දැනට මට සමීප මාධ්‍යය තමයි කවිය. ඒත් කවියම කියල සීමාවක් දාගෙන නෑ. ඉස්සරහට සමහර විට නවකතාත් ලියයි. මං කෙටි කතාත් ලියල තියෙනව. ඒක තීරණය වෙන්නෙ මට කියන්න  ඕනෙ දේ එන්න  ඕනෙ මොන හැඩයෙන්ද කියන එක අනුවයි. මට කියන්න  ඕනෙ දේවල් ඇවිල්ල තියෙන්නෙ කවියක් විදිහට. මට නව කතාවකින් කියන්න  ඕනෙ දෙයක් ආවොත් මං නවකතාවකුත් ලියාවි. මට වැදගත් නෑ ඒක කවියක්ද නවකතාවක්ද නාට්‍යයක්ද චිත‍්‍රපටියක්ද කියන එක. ඒ මාධ්‍ය මොකක් වෙන්න  ඕනෙද කියන එක ලබන අත්දැකීම අනුව තීරණය කරන්න  ඕනෙ. කවියා කියන කීර්තිනාමය වෙනත් කලා ක්ෂේත‍්‍රයකට එන්න ආයෝජනය කරපු අයත් ඉන්නව. මේක ජනපි‍්‍රය නෑ. ඒ හින්ද වැඩියෙන් ජනපි‍්‍රය නවකතාවට වගේ යොමු වෙනවත් දකින්න පුළුවන්. කවි ලිවීම අත්ඇරල නවකතා ලියන අයත් ඉන්නව. ඒකෙ දොසක් කියන්න බෑ.

  •  මාතෘකා දෙකකින් කවි පොත් දෙකක් ජනගත කෙරෙනව. මේ මාතෘකාත් එක්ක අනන්‍ය මොනව හරි විශේෂයක් මේ කවි ඇතුළෙ තියෙනවද?

මෙහෙමයි, එතනදි මායි තව මිත‍්‍රයෙකුයි තමයි ඒ වැඬේ කරන්න හැදුවෙ. දේශපාලන කවි එක පොතකටයි, එහෙම නොවන කවි තව පොතකටයි ගන්නයි. එහෙම නොවන කවි කියල එකක් නෑ ඇත්තටම. අන්තිමට අපේ තේරීමම අසාර්ථක වුණා. එහෙම ගොඩවල් දෙකකට ගහන්න ගිහින් අන්තිමට එක විදිහෙ කවි ගොඩවල් දෙකටම ආව. අන්තිමට ඒ මිනුම් දඬුවලින් තේරුමක් නැතුව ගියා. මගෙ හැම කවියක්ම දේශපාලනිකයි කියල අන්තිමට දැනෙන්න ගත්ත. එදාවේල කවි පොතේ එදිනෙදා සිදුවීම් පාදක වුණ කවි වැඩි වෙන්න පුළුවන්. ඒකෙත් අනිත් කවිත් තියෙනව ඒව දේශපාලනික නෑ කියනව නෙමේ. ‘යට කඬේ උඩ ගෙදර’ කියන නම ඇතුළෙ න්‍යායක්නෙ තියෙන්නෙ. මතුමහල හා පදනම කියන. ඒක ඇතුළට මේ ලියවෙන සියලූම කවි දාන්න පුළුවන්. ඉතිං මේ කවි පොත් දෙකේ එහෙම වෙන්කර ගැනීමක් ඇත්තටම නෑ.

  • මේ පොත් දෙක ජනගත කරන අවස්ථාවෙ මතුවෙච්ච අදහසක් තමයි ඔබ මාක්ස්වාදය පදනම් කරගනිමින් කවි ලියනව කියන එක. ඒකට එකගද?

විරුද්ධවෙන්න විදිහක් නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. මට යම් අත්දැකීමක් ලැබිල කවියක් ලියද්දි මේක මාක්ස්වාදී දර්ශනය අනුව ලියන්න  ඕනෙ කියල හිතන් මං ලියන් නෑ. නමුත් මං හිතන පතන විදිහ, මං පොළොවෙ පය ගහල ඉන්න විදිහ මේකට බලපෑමක් කරනව ඇති. අපිට ජීවන විලාසයක් තියෙනවනෙ. ඒක ගොඩනැෙඟන්නෙ යම්කිසි මතවාදයක් මතනම් අපි ලියන කියන දේවල්වලට
ඒකෙ බලපෑම තියෙනව. හැබැයි සූත‍්‍රයක් අනුව එකයි එකයි දෙකයි, ඒ විදිහට කවි ලියවෙන් නෑ.

  • කවියට හිමි සෞන්දර්ය බන්දුලගෙ කවිවල නෑ කියල චෝදනාවක් තියෙනව. ඒකට දෙන්න උත්තරයක් තියෙනවද?

ඔව්. මං පිළිගන්නව සමහර කවිවල ඔය කියන සෞන්දර්ය නෑ, කාව්‍යාත්මක ගුණය හීනයි. හැබැයි එහෙම නොවන කවිත් මං ලියල තියෙනව කියල විශ්වාස කරනව. මේවගෙ අරමුණක් තියෙනව. සමහර වෙලාවට මට  ඕනෙ කවියක් ලියන්නම නෙමේ. මොකක් හරි අසාධාරණයකට විරෝධයක් පළකිරීම හරි, මොන විදිහකින් හරි ඒක ප‍්‍රකාශ කිරීමක්. එතනදි ගලකින් ගහන්න  ඕනෙ නම් ගලකින් ගහනව. තුවක්කුවකින් වෙඩි තියන්න  ඕනෙ නම් වෙඩි තියනව. මට ඒ වෙලාවට මට  ඕනේ වදින තැන්වලට වදින්න, රිදෙන තැන්වලට රිදෙන්න ගහන්නයි මං ලියන ඒව කවියක් නොවුණට කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඒක සටන් පාඨයක් වෙන්න පුළුවන්. මං සමහර වෙලාවට ඒ වෙලාවට දැනෙන හැඟීම එහෙම ලියල කල් අරන් ඒකම වඩා සෞන්දර්යාත්මකව ලියපු අවස්ථාත් තියෙනව.

සංවාද සටහන – රිවිහාර පින්නදූව

 

Advertisements