වේලාසනින් අවදි වු පරපුර ගැන

මෙවර ජනරළ පුවත්පතේ දාතම සඳහන් වෙන්නේ ‘අපේ‍්‍රල් 05’ විදියට. ලංකාව ඇතුළු බොහෝ දකුණු ආසියාතික රටවලට අපේ‍්‍රල් මාසය සිහිගන්වන්නේ වසන්ත කාලය. මීට අඩ සියවසකට කලින් නම් ලංකාවෙත් අපේ‍්‍රල් මාසය කියනවිට සිහිපත් වුණේ රතු එරබදු මල්, කෝකිල කූජනය සහ අවුරුදු උත්සව. ඒත් 1971 වසර ඒ සියල්ල වෙනස් කළා. ලෝකයේ කම්කරු රාජ්‍යයක් සඳහා වන පළමු අරගලය වන පැරිස් කොමියුනය පිහිට වූ 1871 න් පසු හරියටම සියවසක් ගෙවෙන මොහොතේ දී ලංකාව තුළ කම්කරුවන්ගේ – ගොවියන්ගේ – පීඩිතයන්ගේ රාජ්‍යයක් සඳහා වන ප‍්‍රථම අවිගත් නැඟිටීම සිදුවුණා. ඒ නැඟිටීම ලෙයින්, යකඩින්, ගින්දරෙන් විනාශ කර අළු දූවිලි බවට පත් කරනු ලැබුවා. ඒ නිසා ගෙවුණු වසර 44 පුරාම ලංකාවේ අපට අපේ‍්‍රල් මාසය සිහිපත් වන්නේ  මර්දනය ගැන මතකයන් සමඟ.

1971 දීම නොවුණත් 1980 දශකයේ දී අරගලයේ දී මිය ගිය විප්ලවවාදියකු ගැන රත්න ශී‍්‍ර විජේසිංහ ලියු කවියක මාතෘකාව ‘පළමු සොහොයුරා’. එහෙම නම යොදන්න ඇත්තේ ඔහු නින්දෙන් ඇහැරුණු පළමු වැන්නා නිසා විය හැකියි. එහෙමත් නැත්නම් අරගල බිමේ ඉදිරියෙන්ම සිටි කෙනා නිසාත් විය හැකියි. ඒත් නැත්නම් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්. ඒත් අපි 1971 අරගලය ගැන කතා කරන අතර ‘පළමු සොහොයුරන්’ ගැන කතා කරන්න අදහස් කළා. සමාජයක් වෙනස් කරන්න, ඒ වෙනුවෙන් සංවිධානය වූ සුළු පිරිසකට බැහැ. ඒ වගේම සමාජය වෙනස් කරන්න සමාජයේම දායකත්වය අවශ්‍යයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ ඉබේම, ස්වයං සිද්ධව, ප‍්‍රාතිහාර්යකින් වගේ සමාජය වෙනස් කරන්න පෙරට එනවා කියන එකත් නෙවෙයි. ඒ සඳහා මුල පුරන පිරිසක් අවශ්‍යයි. පළමු සොහොයුරන්, පළමු සොහොයුරියන් අවශ්‍යයි. ලෙනින් කීවේ ‘පෙරටුගාමී කාර්යභාරයක්’ තිබෙනවා කියලා. 71 පාරම්පරාවේ පළමු සොහොයුරා වූ රෝහණ විජේවීර සහෝදරයා ඒක ටිකක් වෙනස් විදියට කීවා. ඔහු කීවේ ‘‘වේලාසනින් අවදිවෙමු. අප වේලාසනින් අවදි වූ පමණින් හිරු පායන්නේ නැතත් ඉර පායන වෙලාවට අප අවදිව සිටීම ප‍්‍රයෝජනවත් වනු ඇත.’’ කියය.

ඇත්තටමත් 1971 අරගලයේ පරම්පරාව වේලාසනින් අවදි වූ පරම්පරාවක්. ඒ අරගලය ඇරඹෙන විටත් තිබුණේ අලූත් ආණ්ඩුවක්. 1970 මහ මැතිවරණයෙන් බලයට පත්වු ආණ්ඩුව හඳුන්වා දී තිබුණේ සමාජවාදී ආණ්්ඩුවක් කියලා. ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පැරණි වමේ පක්ෂ ඒ ආණ්ඩුව නියෝජනය කළ නිසා එය තවත් තහවුරු වුණා. නමුත් ඒ ලස්සන කතා මැද බරපතළ අර්බුදයක් වර්ධනය වෙමින් තිබුණා. බරපතළ අර්බුදයක් හිස ඔසවමින් තිබුණා. ඒක බොහෝ දෙනාට පෙනුනේ නෑ. බොහො දෙනාට වැටහුනෙත් නෑ. 1971 අරගල පරම්පරාව බොහෝ දෙනාගේ දෑස් නිදිබරිතව තිබූ මොහොතක වේලාසනින් අවදි වුණා. ඔවුන් මෝරමින් තිබූ අර්බුදය දැක්කා. සමාජවාදයේ නමින් දියත්වන විකාරය ලංකාවේ ජනතාවට සමාජවාදයක් එපා කරලා. ඊළඟට දැවැන්ත ප‍්‍රතිගාමීත්වයකට බලයට එන්න පාර කැපෙනවා කියලා ඔවුන් දැන සිටියා. ඒ පරම්පරාව වේලාසනින් අවදි වුණා. වේලාසනින් කි‍්‍රයාත්මක වුණා. ඒ මොහොතෙ අරගලයකට ජනතාව සුදානම්ව සිටියාද, ජනතාවගේ පන්ති සවිඥානය වර්ධනය නොකර එවැන්නක් ඇරඹු එක නිවැරදිද වැනි කරුණු ගණනාවක් ගැන අපට සාකච්ඡුාවක් තිබෙනවා. අරගලයේ නිශේධනීය පැති ගැන අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. ඒත් ඒ ඔක්කොම මැද 71 පරම්පරාව කළ පෙරටුගාමී කාර්යභාරය ගැන කළ යුතු ඇගයීම ඒ නිසා දුර්වල වෙන්නේ නෑ.

අපි ජීවත්වන වර්තමාන මෙහොතෙත් ඒ මුලපිරීමේ කාර්යභාරය අවශ්‍ය වී තිබෙනවා. දැන් මේ තිබෙන්නේ අලූත් ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තමන්ව හඳුන්වා ගත්තේ යහපාලන ආණ්ඩුවක් විදියට. කට ඇරියොත් කතා කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැනයි. වංචා – දූෂණ නතර කරන විදිය ගැනයි. ඒත් මේ සියල්ලට යටින් සියුම් විදියට ලංකාවේ ධනපති රාජ්‍ය අලූත් වටයකින් ශක්තිමත් කරන කි‍්‍රයාවලියක් යනවා. හොරකම් කරන, පසුගාමී වැඩ කරන, ජනතාවගේ විරෝධයට පාත‍්‍ර වූ පාලනයක් වෙනුවෙන් එවැනි දේට එරෙහි විරෝධය තමන්ගේ සටන් පාඨය කරගත් පාලනයකට මේ ක‍්‍රමය වඩා හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. (ඒ කලින් කියූ අගතීන් දුරු කරලා නෙවේ. ඒව කරන අතර ඒවාට එරෙහි විරෝධයක් පාවිච්චි කරලා* සමහරු හිතාගෙන ඉන්නේ රාජ්‍ය ශක්තිමත් වෙන්න තිබෙන උපරිම ක‍්‍රමය විධායක ජනාධිපති ක‍්‍රමය කියලා. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට ඒ සඳහා තිබෙන විකල්ප අපි අමතක කළ යුතු නෑ. මේ ආණ්ඩුව සිය ආඥාදායකත්වය වෙනුවෙන් හෙමින් සීරුවේ ගෙනයන වැඩපිළිවෙළ තේරුම් ගන්න ජාතික ආණ්ඩු සංකල්පය පමණක් වුණත් ප‍්‍රමාණවත්. සමාජයේ වැඩි දෙනෙක් නිද්‍රෝපගතව ඊනියා යහපාලනයට වහවැටිලා ඉන්න මොහොතක වේලාසනින් අවදි වූවන් වැඩි වැඩියෙන් අවශ්‍ය වී තිබෙනවා.

ඒ නිසා වත්මන් මොහොත 1971 අරගලය දෙස වඩාත් ගැඹුරින් විමර්ශන දෑස් යොමු කළ යුතු මොහොතක්. 1971 අපේ‍්‍රලය හා 2015 අපේ‍්‍රලය අතර සමානකම් වගේම වෙනස්කම් රාශියක් තිබෙනවා. වත්මන් අභියෝගවලට පිළිතුර 1971 අරගලය අනුකරණය කිරීම නොවෙයි. ඒ අරගල ආකෘතිය අනුරාගයෙන් වැලඳගන්න එකත් නොවෙයි. ඒත් ඒ අරගලය තුළ තිබු දේශපාලන පාඩම් උකහා ගැනීමට අප පසුබට විය යුතු නෑ. එහි නිශේධනිය ලක්ෂණ සාකච්ඡුා කරන අතරම අවධානයට ලක්කළ යුතු සාධනීය ලක්ෂණ අතර ‘පෙරටුගාමී කාර්යභාරය’ විශේෂ තැනක් ගන්නවා. 71 අරගලය අනුරාගික ලෙස
වැලඳගැනීම හෝ හිතුවක්කාරකමක් ලෙස බැහැර කිරීම වෙනුවට අප ඒ සඳහා උත්සාහ කළොත් එය අනාගතය උදෙසා වන ආයෝජනයක් බවට පත්වනු නොඅනුමානයි.