මහින්ද- හමුදාව කැඳවීම සහ නිදහස් වීම

soldier-3-hiහිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 (3 ඒ) වගන්තිය ප‍්‍රකාරව ඔහුට ලබාදී තිබු බලතල මත වර්ෂ 2014 නොවැම්බර් 20 වැනි දින ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා වූ සිය අවශ්‍යතාව ප‍්‍රකාශයට පත්කරන ලදී. පසුව මැතිවරණ කොමසාරිස්වරයා ඒ සඳහා නාමයෝජනා කැඳවීමෙන් පසුව වර්ෂ 2015-01-08 වැනි දින ජනාධිපතිවරණය පවත්වන ලදී. කෙසේ නමුත් මාසයකට අධික කාලයක් පැවැති ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවල දී රාජ්‍ය මාධ්‍ය හැසිරුණ ආකාරය, පෞද්ගලික මාධ්‍ය මෙහෙයවන ලද ආකාරය, රාජ්‍ය දේපළ භාවිත කරන ලද ආකාරය අනුව ධනේශ්වර මැතිවරණ ක‍්‍රියාවලිය යනු අවස්ථානුකූලව පීඩිතයන්ව මෝහනය කර විකෘති ජනමතයක් බලහත්කාරයෙන් ප‍්‍රකාශයට පත්කරවා ගැනීම බව පැහැදිලිය. එය හොඳින් කරගත නොහැකි වන තැන බලහත්කාරය සහ මර්දනය හරහා එය සිදුකරවා ගැනීම සඳහා වූ අණපනත් ද ධනේශ්වර නීතිය තුළ පවතී. ඒ අනුව මහින්ද රාජපක්ෂ මුල සිටම අධ්‍යයනය කර තිබූ කරුණ නම් උතුරු නැෙඟනහිර ජනතාවගේ ඡුන්දය තමුන්ට එරෙහි වන බවය. දකුණේ ඡුන්ද ව්‍යාපාරය සඳහා විවිධ ප‍්‍රශස්ති ඊනියා සංවර්ධන විජ්ජා භාවිත කළ උතුර සඳහා එකම විකල්පය මර්දන නීති බව ඔහු වටහා ගන්නා ලදී. ඒ අනුව 1947 අංක 25 දරන මහජන ආරක්ෂක පනතේ 12(1) වගන්තිය අනුව මහජන ආරක්ෂාව සඳහා ජනාධිපතිවරයාට අත්‍යවශ්‍ය යැයි හැෙඟන අවස්ථාවක පොලිස් බලතල ක‍්‍රියාත්මක කිරීම සඳහා හමුදාව කැඳවීම සඳහා හැකි බවට වූ වගන්තිය භාවිත කිරීමට මහින්ද රාජපක්ෂ තීරණය කරන ලදී. වර්ෂ 2015-01-02 වැනි දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත් අංක 1895/24 මඟින් මහජන ආරක්ෂාව පිළිබඳව කිසිදු තර්ජනයක් නොතිබු අවස්ථාවක සහ මැතිවරණයට දින 6 ක් තිබිය දී අදාළ ගැසට් පත‍්‍රය පළ කිරීමේ යටි අරමුණ පැහැදිලිය. එකී වගන්තිය පහත පරිදි වේ.
“Where circumstances endangering the public security in any area have arisen or are imminent and the President is of the opinion that the police are inadequate to deal with such situation in that area, he may, by Order published in the Gazette, call out all or any of the members of all or any of the armed forces for the maintenance of public order in that area.”
ඒ අනුව හමුදාවට පොලිස් බලතල ලබාදීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන්නේ මහජන ආරක්ෂාවට හානිකර යම් සිදුවීමක් සිදුවන්නේ නම් හෝ යම් තත්වයක දී පොලිස් බලඇණි ප‍්‍රමාණවත් නොවන බවට ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම් පමණි. අප දන්නා පරිදි එබඳු ගැසට් පත‍්‍ර නොමැති අවස්ථාවන්වල දී පවා මහින්ද පාලනය විසින් රතුපස්වල කටුනායක හලාවත සිද්ධිවල දී හමුදාව කැඳවා සාමාන්‍ය ජනතාව ඝාතනය කරන ලද අතර ඒ අනුව හමුදාවට නීත්‍යනුකූලවම පොලිස් බලතල ලබාදීමෙන් උද්ගත විය හැකි තත්වයන් පිළිබඳව පූර්ව නිගමනයක් කිරීම අපහසු නොවේ. අනෙක් අතට අලූත්ගම දී මුස්ලිම් ජනතාවට පහර දෙද්දී හමුදාව සීරුවෙන් බලා සිටි ආකාරය ද සටහන් කළ යුතුව ඇත. ඒ අනුව මර්දනීය හමුදා ඒ ඒ අවස්ථාවට ධනපති පන්ති උවමනා වෙනුවෙන් භාවිත කිරීම සාමාන්‍ය තත්වයයි. කෙසේ නමුත් ජනාධිපතිවරණ මැතිවරණයට පෙර නිකුත් කළ ඉහත ගැසට් පත‍්‍රය මඟින් මහින්ද රාජපක්ෂ පාලනය අපේක්ෂා කළේ මැතිවරණය තමන්ට අවාසි සහගත දිශාවකට යොමු වුවහොත් හමුදාව භාවිතකර ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීම වේ. ඒ අනුව විශේෂයෙන්ම උතුරු නැෙඟනහිර ප‍්‍රදේශවල හමුදා
බැරැුක්කවල සිටින සෙබළුන්ට ජනතාව පරීක්ෂා කිරීම, අත්අඩංගුවට ගැනීම ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතු වැළැක්වීම ආදී පොලිස් කාර්යයන් සිදුකිරීමට බලය ලැබිණි.

ජනාධිපතිවරණය පසුව නිමා වී මහින්ද පාලනය හමාර වුව ද ප‍්‍රතිපත්තිමය වශයෙන් ධනපති පාලනය ගන්නා තීන්දු තීරණ අභියෝගයට ලක්කිරීම ප‍්‍රගතිශීලි කොටස්වල කාර්යය වේ. සමහරුන් මහින්ද වෙනුවට මෛත‍්‍රී ගෙන ඒමෙන් පසුව සිය කාර්යභාරය නිමාවූ බවට විශ්වාස කළ ද එය එසේ නොවන බව තහවුරු වූයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ද වර්ෂ 2015-02-03 වැනි දින ඉහත කී ගැසට් පත‍්‍රය තවත් මසකින් දීර්ඝ කිරීමෙන් වේ. ඒ අනුව මූණු මාරු වුව ද ප‍්‍රතිපත්ති මාරු නොවූ එනම් කැළේ මාරු වුව ද
පුල්ලි මාරු නොවූ ධනපතියන්ගේ මර්දන නීති අභියෝග කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව සහෝදරයා විසින් මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් පවරා ඉහත කී ගැසට් පත‍්‍රය අභියෝග කරන ලදී. එහිදී අධිකරණය ඉදිරියට ගෙන ආ තර්කය වූයේ ඉහත ගැසට් පත‍්‍රය මත හමුදාව පොලිස් බලතල භාවිත කිරීමෙන් උතුරු නැෙඟනහිර ප‍්‍රදේශවල ජනාධිපතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට බලපෑම් සිදුවන ලද බවත් එමඟින් සාධාරණ මැතිවරණයක් සඳහා ඉඩකඩ ඇහිරෙන ලද බවත් එය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් වන බවය. රජය සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් කරන ලද කරුණු දැක්වීම වූයේ මහජන ආරක්ෂාව සඳහා ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙන් සහ මහජන ආරක්ෂක පනතින් ලබාදී ඇති බලතල අභියෝගයට ලක් කළ නොහැකි වන බවය.

අවසානයේ දී ධනේශ්වර අධිකරණය ධනේශ්වරය නීතිය අර්ථ නිරූපණය කරමින් ජනාධිපතිවරයා සතු බලය අභියෝගයට ලක්කළ නොහැකි බව ප‍්‍රකාශ කරන ලදී. එකී තීන්දුව විග‍්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ නොවන්නේ එකී අවසන් විග‍්‍රහය අප පූර්ව නිගමනය කළ විග‍්‍රහයම වන බැවිනි. නමුත් අපගේ දෘෂ්ටිකෝණයෙන් බලන කළ මර්දන අණපනත් සිය පන්ති අරමුණ වෙනුවෙන් යොදා ගන්නා සෑම අවස්ථාවකම නිර්ධන පන්තිය අරගල මතින් හෝ ධනේශ්වර ආයතන මඟින් හෝ අඛණ්ඩව ඒවා අභියෝග කළ යුතු වේ. එසේ නොවන්නට ඊනියා සමාජවාදීන් මෙන් එක් මැතිවරණයකින් පසුව තවත් මැතිවරණයක් සඳහා ජනතාවට මානසික අල්ලස් ලබාදීම මඟින් සිදුවන්නේ නිර්ධන පන්තිය රැුවටීම පමණි.

නීතිඥ
නුවන් බෝපගේ

Advertisements