කොහෙන් පුපුරයිද?

may dayරටේ දේශපාලනය තුළ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? ඒ තත්වය වටහා ගැනීම සඳහා නිදර්ශකයක් ලෙස පසුගිය සතිය භාවිත කළ හැකිය. පුවත්පත් පිටු පිරී යන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා පිළිබඳ පුවත්වලිනි. හෙළ උරුමය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අභියෝග කරයි. කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න රනිල් වික‍්‍රමසිංහ විවේචනය වන සේ ඉඟිබිඟි සහිත අදහස් ප‍්‍රකාශ කරයි. ජාතික විධායක සභාව තුළ සිටින ජනතා විමුක්ති පෙරමුණ තමන් ආණ්ඩුව තුළ ඉන්නවාද යනවාද යන කරුණ ගැන දෙගිඩියාවක් ප‍්‍රකාශයට පත්කරයි. මෙසේ ආණ්ඩුව තුළ ඇති වෙමින් පවතින ප‍්‍රතිවිරෝධතාවන් ද ආණ්ඩුව පිළිබඳව පොදු සමාජයේ වර්ධනය වෙමින් තිබෙන අතෘප්තියේම ප‍්‍රකාශනයකි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතාව කිසිසේත්ම සෑහීමට පත්වී නැත. ආර්ථික සහන මිරිඟුවක් බවට පත්ව ඇත. පසුගිය නොවැම්බරයේ සිට රුපියල් 4,000 ක් දක්වා ඉහළ දැමුණු මහපොළ වාරිකය රුපියල් 2,500 තෙක් අඩු කරන්නට ආණ්ඩුව සූදානම් වන බවට විශ්වවිiාලයීය ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ලිපියක් මත පදනම්ව සිසුහු චෝදනා කරති. මෙය සිසුන්ගෙන් පමණක් නොව ජනතාවගේ අන් සියලූ කොටස් තුළින් ද නැෙඟන චෝදනාවකි. ඒ, සහන ලබාදීමේ ප‍්‍රතිඥා එලෙසම තිබිය දී සහන කප්පාදු කෙරෙමින් පවතින බවට වන චෝදනාවයි. මේ අතර මහින්ද යළි හිස ඔසවමින් සිටී. පසුගිය දා රත්නපුරයේ පැවැති රැුලියට සන්ධානයේ මන්ත‍්‍රීවරු ගණනාවක් එක් විය. මහින්ද දැන් ටිකෙන් ටික සිය දේශපාලන ව්‍යාපෘතිය විවෘත කිරීම අරඹා ඇත. සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මහින්දගේ පසුගාමී –  ඒකාධිපති පාලනයට යළි පාර සැකසෙමින් තිබේද?

ජාතික ආණ්ඩුව
දැන් තිබෙන්නේ ජනප‍්‍රිය වහරට අනුව ‘ජාතික ආණ්ඩුව’ යන නමෙන් හඳුන්වනු ලබන ආණ්ඩුවකි. බොහෝ දෙනා විධායක ජනාධිපති ක‍්‍රමය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති ලොකුම අනතුර ලෙස වටහාගෙන සිටිය ද ජාතික ආණ්ඩුවක් මඟින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල විය හැකි තර්ජනය දෙස බලන විට එය කුඩා වී පෙනේ. එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට එක්වී අනෙක් සුළු සුළු කණ්ඩායම් ද එකතු කරගෙන නිර්මාණය කරගන්නා ආණ්ඩුවක් යනු කිසිදු ප‍්‍රමාණවත් විරෝධයකින් තොරව  ඕනෑම දෙයක් කළ හැකි ආණ්ඩුවකි. මෙතෙක් කල් ජනාධිපති ධුරය හා අගමැති ධුරය පාලන බලය හොබවන කණ්ඩායම අත පැවැති අතර දැන් විපක්ෂ නායකකමත් ඒ කණ්ඩායමම සතු කරගෙන තිබේ. ආණ්ඩුව වෙත අති විශාල බලයක් කේන්ද්‍රගත වී ඇත. ජේ.ආර්. ජයවර්ධන පැවසූ ආකාරයේ ගැහැනියක් පිරිමියෙක් කිරීම හා පිරිමියෙක් ගැහැනියක් කිරීම හැර අන්  ඕනෑම දෙයක් කළ හැකි සර්බලධාරී පාලනයක් ඇත්තටම බිහිවිය හැක්කේ මෙවැනි ක‍්‍රියාමාර්ග හරහාය.

ප‍්‍රශ්නය ජාතික ආණ්ඩුව තුළ ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයේ අවදානම පමණක් නොවේ. එය මේ ආණ්ඩුව දේශපාලන වශයෙන් පදනම් වන්නේ කා මතද යන්න පිළිබඳ ඉඟියකි. ආණ්ඩුව තුළම ඇති මෛත‍්‍රීපාල හා රනිල් අතර ප‍්‍රතිවිරෝධයත් මහින්ද යළි බලය ඇල්ලීමේ සැලැස්මත් සමඟ ආණ්ඩුව සිය බලය ස්ථාවර කරගන්නේ කෙසේද? ඒ සඳහා ඉතා පහසු මාර්ගය ලෙස තෝරාගෙන ඇත්තේ විපක්ෂය තුළ සිටින උන්නතිකාමී, බලකාමී පිරිස් එකතු කරගැනීමය. විශ්වාසය තබා ඇත්තේ කලින් ආණ්ඩුවේ සිටි ¥ෂිතයන් පිළිබඳවය. මෙහිි ප‍්‍රතිඵලය වී ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රීට සහය දුන්, මෛත‍්‍රීගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඉදිරියට පැමිණි පිරිස් තව තවත් ආණ්ඩුවෙන් දුරස්වීමය. අපි නිදසුනක් ගෙන මෙය තවදුරටත් පැහැදිලි කරගනිමු. රත්නපුරයේ මහින්ද රැුළියක් පවත්වා මෛත‍්‍රීට අභියෝග කරන විට  මෛත‍්‍රී විශ්වාසය තබන්නේ තමන්ට ඡුන්දය දුන් රත්නපුර ජනතාව හා ඡුන්දදායක කොටස ගැන නොවේ. ඔහු විශ්වාසය තබන්නේ පවිත‍්‍රා මතය. පවිත‍්‍රා සතුව ඇති ඡුන්ද බැංකුව ගැනය. පවිත‍්‍රා ආණ්ඩුවට එක් කරගැනීම හරහා එකතු විය හැකි ඡුන්ද ගැනය. එනිසා දේශපාලනය වැඩි වැඩියෙන් පිල්මාරු හා පක්ෂ අතර සම්මුති වෙත ගමන් කරමින් තිබෙන අතර ජනතාවගේ අභිලාෂයන් දෙවැනි තැනට වැටෙමින් තිබේ. තවත් නිදසුනකින් පැහැදිලි කරන්නේ නම් ආණ්ඩුවට වැදගත් වන්නේ එස්.බී. මිස එස්.බී. ට එරෙහිව පසුගිය කාලයේ නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් අරගල කළ බලවේග නොවේ.

ජනතාවගේ ප‍්‍රතිචාරය
මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට ජනතාවට බලපෑ ප‍්‍රධාන කරුණු දෙක වූයේ ආර්ථික අර්බුදය හා දේශපාලන අතෘප්තියයි. ආර්ථිකයේ අර්බුදය ජනතාවට සංවේදී වූයේ ඉහළින් පෙන්වන සංඛ්‍යා විජ්ජා හරහා නොව තමන්ගේ නිවසේ ආර්ථිකය හරහාය. අද වන විට එයට විකල්පයක් සැපයීමට තමන් අසමත්ව සිටින බව මේ ආණ්ඩුව ද ප‍්‍රසිද්ධියේ පෙන්වමින් සිටී. පසුගිය අතුරු අයවැය හරහා විවිධ සහන දෙන බවට ප‍්‍රචාරයක් ගිය ද ඒ සහන කිසිවක් ලැබී නැති බව ජනතාවට දැන් ඒත්තු යමින් තිබේ. අතුරු අයවැයෙන් භාණ්ඩ කිහිපයක මිල පහළ ගිය ද ඒ මිල පහළ යාම ප‍්‍රධාන ආහාර වේලේ මිල අඩුවීමට බලපා නැති බැවින් දැනෙන මට්ටමෙන් ජීවන වියදම අඩු වී නැත. නිදසුනක් ලෙස කෑමවේලක ප‍්‍රධාන සංඝටක වන සහල්, පොල්, එළවලූ, අල, ලූනු, පරිප්පු, මස්, මාළු ආදී කිසිවක මිල අඩු වී නැත. කුළු බඩුවල මිල අඩුවීම කෑමපතේ මිල අඩුවීමට බලපාන්නේ අවම වශයෙනි. එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත‍්‍රය ඇතුළු ඇතැම් ක්ෂේත‍්‍රවල සමාගම් වැසීයමින්, දහස් ගණනින් රැුකියා අහිමි වෙමින් තිබේ.

මෙසේ ආර්ථික ප‍්‍රතිලාභ පිළිබඳ අපේක්ෂා බිඳවැටෙන අතරම දේශපාලන අතෘප්තියට ද විසඳුම් ලැබී නැත. මේ ආණ්ඩුව බලයට පත්වූ මුල් කාලයේ සිටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතාබහ ක‍්‍රමයෙන් පසෙකට කළ අතර අද එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබේ. පසුගිය 31 වැනිදා ශිෂ්‍ය උද්ඝෝෂණයට ම්ලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල වූ අතර ඊට පෙර පැල්වෙහෙර ගොවියන්ට ද මර්දනය එල්ල විය. මර්දන නීති අහෝසි කිරීම වෙනුවට මර්දන නීති ක‍්‍රමයෙන් සක‍්‍රීය කරමින් තිබේ. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ තත්වයයි. ආණ්ඩුව වැඩිපුරම කෑමොර දුන් යහපාලනය ගැන ද අවසන් ප‍්‍රතිඵලය එයමය. පොරොන්දු වූ පරිදි හොරු ඇල්ලීමක් සිදු නොවූ අතර සිදුව ඇත්තේ ජාතික ආණ්ඩුව නමින් හොරු ආණ්ඩුවට එකතු කරගැනීමයි. අප කලින් අනුමාන කළ පරිදිම හොරු ඇල්ලීම හුදු රූපවාහිනී සංදර්ශනයක් බවට පමණක් පත් විය.

මේ ආකාරයට ජනතාව ආණ්ඩුවෙන් දුරස් වෙමින් පවතින අතර ආණ්ඩුව ද තමන්ට ජයග‍්‍රහණය වෙනුවෙන් උරදුන් බලවේගවලට පයින් ගසා උපාය උපක‍්‍රම, පිල්මාරු, රාජතාන්ත‍්‍රික කුමන්ත‍්‍රණ සහිත දේශපාලන බල ක‍්‍රීඩාවක් වෙත මාරුවෙමින් සිටී. ඒ අතර එම තත්වය භාවිත කර මේ ජනතා අතෘප්තීන් ජාතිවාදී ව්‍යාපෘතියක් වෙත උරාගැනීමට මහින්ද, වීරවංශ හා ගම්මන්පිල ඇතුළු පිරිස කඳවුරු බඳිමින් සිටී. ආණ්ඩුව තුළ සිටින පක්ෂවල බල න්‍යායපත‍්‍ර විසින් ජනිත කර ඇති ප‍්‍රතිවිරෝධයන් ද මෙහිදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. පවතින තත්වය ඉතා අවිනිශ්චිත තත්වයක් වන අතර දැන් ප‍්‍රශ්නය ඇත්තේ මේ දේශපාලන අර්බුදය කොහෙන් පුපුරයි ද කියාය.  ඕනෑම විනාශකාරී ආකාරයකට පුපුරා යා හැකි තරමට අර්බුදය තීව‍්‍ර වී තිබේ.

මේ කලබැගෑනිය මැද සිදුවිය හැකිව තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව තුළ ඇති වූ දේශපාලන සක‍්‍රීයත්වය ක‍්‍රමයෙන් තුරන් වී ගොස් අපේක්ෂා භංගත්වයක් හා කලකිරීමක් හරහා නිර්-දේශපාලනික මනෝභාවයකට ජනතාව ඇදවැටීමයි. එසේ සමාජය නිර්-දේශපාලනිකකරණය වීම යනු ප‍්‍රතිගාමී දේශපාලනයයි. එයට එරෙහිව වාම, ප‍්‍රගතිශීලී බලවේග කළ යුත්තේ කුමක්ද? එක් පැත්තකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආර්ථික සාධාරණත්වය, ජාතිවාදයට එරෙහි මතවාදය හා සමාජ යුක්තිය පිළිබඳ සමාජ සංවාදය යළි බලාත්මක කළ යුතුය. අනෙක් අතට ජනවාරි 8 වන විට සමාජය තුළ පැවැති දේශපාලන උද්ඝෝෂණය යළි ඇවිළවිය යුතුය. එහෙත් ඒ ගියවර මෙන් ‘සිම්පල් සයිමන්ලාට’ කොල්ල කෑ ලෙස නොවේ. බාගෙට තැම්බුණු, මතුපිට වෙනස්කම් පමණක් සහිත ‘හාෆ් බොයිල් විප්ලවයක්’ ලෙස ද නොවේ. එය සමාජයේ ගැඹුරු හා කල් පවතිනා පරිවර්තනයක් ඉලක්ක කරගත් සමාජ ක‍්‍රියාකාරීත්වයක් බවට පෙරළිය යුතුය. දැන් ඇත්තේ එක්කෝ ඒ ප‍්‍රගතිශීලී ව්‍යාපෘතිය පණ ගැන්වීමයි. නැතිනම් දේශපාලන විනාශකාරීත්වයක් කරා සමාජය ඇදී යන අයුරු බලමින් නිහඬව සිටීමයි. අප තෝරාගත යුත්තේ ඒ අතරින් කුමක්ද?

Advertisements