ලී ක්වාන් යූට ගෞරවය! මෙන්න සිංගප්පූරුවේ ඇත්ත

‘කරුණාකරලා ඔබට ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන්ය කියලා හිතන්න නම් එපා. තරුනයන් මෙන්න මේක තේරුම් ගන්නෙ නෑ!‘ – ලී ක්වාන් යූ (2006 මහමැතිවරනයේදී)

සිංගප්පූරුව කියලා ඇහෙන විටම එකවර අපේ රටේ හැම කෙනාටම චිත්ත රූපයට නැෙඟන කරුණක් තමයි එය ඉතාමත් ස්වයංපෝෂිත රටක්ය කියන එක. ඒ වගේම ජනතාව ඉතාමත් ඉහළින් සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් භුක්ති විඳින රටක්ය කියන එක. කොටින්ම හැම පැත්තකින්ම සුපිරි ජීවිතයක් ගතකරන ජනතාවක් ඉන්න ඉතාම හොඳ රටක් විදියට තමයි කියැවෙන්නේ. එවැනි ආර්ථිකයක්, දේශයක් ගොඩනඟපු නායකයාගේ අභාවය පිළිබඳවත් බොහෝ දෙනා කනගාටු වෙනවා. ඒ අතරම ඔහුගේ ආදර්ශයන් අපේ රටේ නායකයන් විසින් අනුගමනය කරනවානම් අපේ රටත් දියුණු කරන්න පුළුවන් කියලා හිතන අයත් ඒ අතර ඉන්නවා. හැබැයි මෙහෙම හිතන අය සහ කතා කරන අය ලී ක්වාන් යූ සිංගප්පූරුවේ හිටපු අගමැතිවරයා ගැන හෝ එයා අනුගමනය කළ ප‍්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයකින්ද ඉන්නේ කියන එක ගැටළුවක්.

නැතිනම් ඒ කියන අය ඉතා හොඳ අවබෝධයෙන් සහ දේශපාලන වුවමනාවකින් එහෙම කියනවා විය හැකියි. ලී ක්වාන් යූ සිංගප්පූරුව භෞතික ලෙස දියුණු කර ඇති බව හැමෝම පිළිගන්නා කරුණකි. ඒ වගේම භෞතික දියුණුව පමණක් හිමිකර ගැනීම සමාජයක, රටක සංවර්ධනය ලෙස පිළිගැනීමට නොහැකි බවත් ප‍්‍රසිද්ධ කාරණයක්. ඉතින් ලී ක්වාන් යූ ගැන කියන මහා වර්ණනා කතා මැද සඟවන වසංකරන රහස කුමක්ද?

සිංගප්පූරුව භූමිභාගයෙන් ඉතා කුඩා රටකි. ජනගහනය ද මිලියන 5.47කි. 1959 වන තෙක්ම තිබුණේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත්විජිතයක් ලෙසත් මැලේසියානු ෆෙඩරේශනයේ කොලනියක් ලෙසටත්ය. නාවික මෙහෙයුම්වලදී සිංගප්පූරුවේ භෞතික පිහිටීමේ වැදගත්කම හේතුවෙන් එය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ප‍්‍රධාන නාවික මධ්‍යස්ථානයක් බවට ආරම්භයේ සිටම පත්ව තිබුණා. සම්පත් ලෙස ඊට හිමිව ඇත්තේ සීමිත ශ‍්‍රම බලකාය පමණි. කෘෂිකර්මාන්තය සඳහා වගා භූමියක් නැත. පානීය ජලය ගෙන්වනු ලැබුවේද මැලේසියාවෙනි. මෙම පසුබිම තුළ එරට අධිරාජ්‍ය විරෝධී අරගල මතුවිය. වමේ ව්‍යාපාරය සහ ශිෂ්‍ය ව්‍යාපාරය ඊට නායකත්වය ලබා දෙමින් 1963 වන විට සිංගප්පූරුව ස්වෛරීභාවය අත්පත් කරගත්තේය.

‘මැයි 13 ශිෂ්‍ය ව්‍යාපාරය’ සිංගප්පූරුව තුළ අධිරාජ්‍ය විරෝධී අරගලය අවුළුවාලීය. වාමාංශික ව්‍යාපාරය පීඩිත ජනතාව සංවිධානය කරමින් කොමියුනිස්ට් ජනතා ක‍්‍රියාකාරී පක්ෂය’ (CPAP) ගොඩනඟමින් නායකත්වය ලබාදුනි. ‘යූ’ ඒ වන විට ඉංග‍්‍රීසි උගත් නීතිවේදී ප‍්‍රබුද්ධයෙකු ලෙස එම පක්ෂයට නීති උපදෙස් සපයනු ලැබූ ධනේශ්වර උගතෙකි. වාමාංශික ව්‍යාපාරයේ හා ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්ත කැපකිරීම් තුළ රටට නිදහස දිනාගන්නා විට එහි අගමැති ලෙස කරලි ගත වන්නේ ඔහුය. ඒ වාගේම
ඉතාමත් කෙටි කලකින් ‘කොමියුනිස්ට්’ යන වචනය ඉවත්කර ‘ජනතා ක‍්‍රියාකාරී පක්ෂය’ (PAP) ලෙසට පක්ෂය වෙනස් කර පවත්වාගෙන යාමට තරම් ‘යූ’ උපායශීලී විය.

නිදහසට පෙර වමෙන් ගමන් කළ පක්ෂය නිදහසින් පසුව ‘දකුණට’ ගමන අරඹෙන්නේ එලෙසය. එකී කි‍්‍රයාවලිය තුළ වාමාංශික ව්‍යාපාරයට හා නායකත්වයට සිදු වූ දේ කුමක්ද? ඔවුන්ගේ ඉරණම වූයේ මර්දනයට ගොදුරු වීමය. ඒ හැර අන් යමක් විය නොහැක. අද දවසේත් සිංගප්පූරු ජනතාව තළාපෙළෙන මර්දන අණපනත් හා පාලනය ඊට කදිමට සාක්ෂි දරනු ඇත.

‘සිංගප්පූරුවේ නිර්මාතෘ’ යන අන්වර්ථ නාමය ලැබූ ලී ක්වාන් යූ කොමියුනිස්ට්වාදයට බරපතළ ලෙස විරුද්ධවාදියෙක් විය. මෙපමණක් නොව ඔහු ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයට’ එතරම් කැමැත්තක් දැක්වූ කෙනකු ද නොවේ. රටක් සංවර්ධනය කිරීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් එය කළ නොහැකි බව තදින්ම විශ්වාස කළ අයෙකි. ඒ නිසා ජනතාවගේ අයිතිවාසිකම් කොල්ලකන්න; උදුරා ගන්න දඟලන රාජ්‍ය පාලකයන් ලී ක්වාන් යූ වැනි නායකයන් ආදර්ශයට ගැනීම පුදුමයට කරුණක් නොවේ.

සිංගප්පූරුවේ ප‍්‍රධාන වශයෙන් කි‍්‍රයාකාරී දේශපාලන පක්ෂ ඇත්තේ තුනකි. ජනතා ක‍්‍රියාකාරී පක්ෂය (PAP)  සිංගප්පූරු ජනතා පක්ෂය (SPA) කම්කරු පක්ෂය (WP) ඒවාය. ඊට අමතරව තවත් දේශපාලන පක්ෂ දහයක් පමණ දක්නට ලැබුණේ ක‍්‍රියාකාරීත්වය සමාජ බලපෑම් අතින් ඒවායේ ශක්තිය අවමය. ජනතාව මත පටවා ඇති ආඥාදායක පාලනය ඊට හේතුවයි. රජය විවේචනය කළ නොහැකිය. හතර දෙනකුට වැඩිය ඒකරාශී වී කතා බහ කළ නොහැක. සමිති හෝ වෙනත් ජනතා ඒකරාශී වීමක් කෙරෙන්නේ නම් ඊට ප‍්‍රථම පොලිසියෙන් අනුමැතිය ලබාගත යුතුය. මරණාධාර, කී‍්‍රඩා, සාහිත්‍යය හෝ කුමන ආකාරයේ ජනහමුවක් වුවද ප‍්‍රාදේශීය පොලිසියේ අනුමැතිය යටතේ සිදු කෙරේ. එසේ නොවන සියලූ ක‍්‍රියාකාරකම් රාජ්‍ය විරෝධීය. ‘මහජන සාමය පවත්වා ගැනීමේ නීතිය’ (Public Order Act) මඟින් ඊට නෛතික ආවරණය සලස්වා ඇත. මෙය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පනවනු ලැබූ නීතියකි. එය අද ද එලෙසම ක‍්‍රියාත්මකය.

සිංගප්පූරුව ප‍්‍රතිසංස්කරණවාදී පක්ෂයේ නායක කෙනත් ජෙයරත්නම් රටේ පාලනය පිළිබඳව දක්වන අදහස් මෙසේය. ”අපේ රටට වෙනසක් අවශ්‍යයයි. සිංගප්පූරුව ‘ලී’ පවුලේ දේපළක් නොවෙයි. සිංගප්පූරුව භීතියක් සහිත වාතාවරණයන් නිදහස් වෙන්න  ඕන.” කම්කරු පක්ෂ නායක ජොෂුවා බෙන්ජමින් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක චී ෂුන් ජුවාන් රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳව අදහස් එක හා සමානය. එනම් සිංගප්පූරුවේ ජනතාවට තබා පාර්ලිමේන්තු නියෝජිතයන්ටවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් නැත යන්නය. ප‍්‍රාග්ධනයේ සහ නීතියේ ආඥාදායකයෙක් බලයේ සිටී යන්නය. ඔවුන්ට අනුව ‘පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතියක්’  ක‍්‍රියාවට නඟා නොමැත. පොදුවේ සලකන විට මහජන නියෝජිතයනට ධනේශ්වර නීතිය යටතේ යම් වැඩි
රැුකවරණයක්, වරප‍්‍රසාදයක් හිමිය.

සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට එවැනි අයිතියක් අහිමිය. දෙවැනි කරුණ ලෙස ‘මහජන විනෝදය හා රැුස්වීම් පිළිබඳ සභා’  මඟින් සහ ‘මහජන සාමය පවත්වා ගැනීමේ නීතිය මඟින් සිංගප්පූරුවේ ජනතාව හා අනාගතය මුනින් අතට හරවා ඇති බවය.

මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශනයේ නිදහස මේ අනුව නාමිකය. මාධ්‍ය සියල්ල රාජ්‍ය පාලනය නැතහොත් රජයට සම්බන්ධය. සමාජ මාධ්‍ය ජාලාවන් කොතරම් ප‍්‍රබල වුවත් සිංගප්පූරුව තුළ දී එහි ප‍්‍රබලතාව ද හීනය.
ඡුන්ද පත‍්‍රිකා බෙහෙවින් ප‍්‍රතික්ෂේප වේ. මැතිවරණ කටයුතු වෙනස් වීම සිදුවනුයේ සම්පූර්ණයෙන්ම අගමැතිගේ ඍජු මෙහෙය වීම යටතේය. කිසිදු ජාත්‍යන්තර නිරීක්ෂක කණ්ඩායමකට හෝ සංවිධානයකට එහි මැතිවරණ නිරීක්ෂණය කිරීමට ඉඩ නැත. ඒ පිළිබඳව සිංගප්පූරු ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව නන්දොඩවන අමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී කඳවුරම නිහඬය.
මෙහි මෙබඳු බොහෝ කරුණු සිංගප්පූරුවේ භෞතික දියුණුව ගැන කතා පවත්වන අයවලූන් විසින් ඉදිරිපත් නොකෙරෙනු ඇත. ලී ක්වාන් යූ අභාවප‍්‍රාප්ත වන විට ඔහුගේ ලොකු පුතා අගමැති ලෙස රට පාලනය කරයි.

සිංගප්පූරුවේ නිර්මාතෘවරයා අගය කරනවුන් ඒ ගැනද පවුල් පාලනය ගැන ද බොහෝ විට නොකියනු ඇත. සිංගප්පූරුව ලෝකයේ ධනවත්ම රටවල් පහ අතර සිටින බව නොරහසකි. නමුත් ‘යූ’
සිංගප්පූරුවේ ඉදිරි පෙළ ධනපතියන් පස්දෙනා අතර සිටින බවද සත්‍යයකි. සිංගප්පූරුවේ ‘යූ’ ප‍්‍රතිපත්තියේ රසය එයයි. එකී රසයට හිතැත්තෝ ‘යූ’ ප‍්‍රතිපත්තිය ඉහ මුදුනෙන් සලකති. ‘කොමියුනිස්ට්’ යන වචනය පක්ෂ නාමයක් හා ප‍්‍රතිපත්තිවලින් ඉවත් වූ ආකාරය එවැනි අයට අදාළ නොවනු ඇත.

රංජිත් පියතිලක

 

Advertisements