ජාතික ආණ්ඩු කතිකාව සහ පන්ති බලයේ ප‍්‍රතිස්ථාපනය

 

mic1මේ දිනවල මාධ්‍ය අවකාශයේ රඟදෙන නවතම ආකර්ෂණීය තේමා පාඨය බවට පත්ව ඇත්තේ ජාතික ආණ්ඩුවයි. මෙතෙක් කලක් මහින්දගේ දෘෂ්ටිවාදී සාටකය අත්හරිනු නොහැකිව ලතවෙමින් සිටි එ.ජ.නි.ස. මන්ත‍්‍රීන් රැුසක් මේ වන විටත් මෛත‍්‍රීගේ විධායකයේ මැජික් පොල්ලෙන් ස්පර්ෂය ලැබ ජාතික ආණ්ඩු කැබිනට් මණ්ඩලය වෙත ක්ෂණිකව සම්ප‍්‍රාප්ත වී ඇත. වත්මන් යුගයේ දේශපාලනයේ අභව්‍ය තර්කණය මනාව ප‍්‍රතීයමාන කරමින් ඊනියා ජාතික ආණ්ඩුවේ කොටස්කරුවකු වන ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරයෙක් මේ ලිපිය ලියැවෙන මොහොත වන විටත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය හොබවමින් සිටී. ජාතික ආණ්ඩුවේ ඊළඟ කොටස්කරුවන් විය හැක්කේ කව්රුන්දැයි දන්නේ ජනවාරි 08 වැනිදායින් පසුව රට පාලනය කරන මෛත‍්‍රී – රනිල් – චන්ද්‍රිකා රජ තුන් කට්ටුව පමණි.

කෙසේ නමුත් ඊනියා යහපාලන ව්‍යාපෘතියට ඉතා සිතින් සහාය දැක්වූ සිවිල් සමාජ කණ්ඩායම් සහ බුද්ධිමතුන් ඇතැම් විට සඟවාගත් අපුලකින් හා කනස්සල්ලකින් යුක්තව උවත් ජාතික ආණ්ඩුවේ පා¥ර්භූත වීම ඉවසා සිටින්නට තීරණය කරගෙන ඇති බවක් පෙනේ. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරමින් ඇත්තේ සරල මැකියාවේලියානු ප‍්‍රයෝජ්‍යතාවාදී සූත‍්‍රයකි. එනම් ‘අන්තය විසින් මාර්ගය සාධාරණිකකරණය කරන්නේය’ යන්නයි. ඔවුන් සියලූදෙනා ඉත සිතින් අපේක්ෂා කරන්නා වූ යහපත් අන්තය නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරලීම හෝ අඩු කරමින් එහි බලතල අවම කිරීමයි. දැනට ඉදිරිපත්ව ඇති 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අවම වශයෙන් ජනාධිපතිගේ නීතිමය මුක්තිය පවා ඉවත් කර නොමැති වීම යහපාලන දෘෂ්ටිවාදයෙන් ඇස් ගිනිකන වැටුණු වියතුන්හට මෙහිදී මඟ හැරීගොස් ඇත. මේ ලිපියෙන් මා අවධානය යොමු කරන්නේ අධිපති මාධ්‍ය කතිකාවටත් යහපලන – බුද්ධිමතුන්ටත් මඟහැරුණු එවන් සමීප කාරණා නොවේ. ඒ වෙනුවට ඔවුනගේ ළඟ පෙනීමට නොව දුර පෙනීමට අදාළ බරපතළ ගැටලූවක් සාකච්ඡුාවට ලක්කරන්නට මම ප‍්‍රයත්න දරමි.

දැනට අටවා ගනිමින් තිබෙන යහපාලන ජාතික ආණ්ඩුව මඟින් එහි ප‍්‍රකාශිත ආසන්න අරමුණ එනම් දැන් බහුතරයක් විසින් ප‍්‍රගතිශීලී හා ජනහිතකාමී යැයි භාරගෙන තිබෙන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමෙන් පසුව සිදුවිය හැක්කේ කුමක්ද? ඉන්පසුව ඇතැම් සමාජ විiාඥයන්ගේ සර්ව සුභවාදී ආඛ්‍යානවල කියැවෙන්නාක් සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරමාදර්ශී යුගයක් නිර්මාණය වේද? සැබවින්ම එජාපයේ හා ශ‍්‍රීලනිපයේ ප‍්‍රභූ ධනපති නායකත්වයන්ට ඓතිහාසික සම්මුතියක් ගොඩනඟා ගන්නට උවමනා වූයේ මන්ද? හුදෙක් රාජපක්ෂ නව-ප‍්‍රභූ තන්ත‍්‍රයේ අභියෝගය ජයගන්නට පමණක්ද? යහපාලනය හා ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිංස්කරණ සඳහාද? මෙම සම්මුතිය පසුපස වෙනත් මූලික දේශපාලන – ආර්ථික අභිලාෂයන් තිබිය නොහැකිද? ඉදිරියේ දී මෙම ජාතික ආණ්ඩු යන්ත‍්‍රය ආර්ථික ජීවිතයට හා රාජ්‍ය ප‍්‍රතිපත්තීන්වලට අදාළ තීරණාත්මක වෙනස්කම් ඇති කරලීම සඳහා යොදාගත නොහැකිද? කොටින්ම දැනට ප‍්‍රකාශිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සම්පූර්ණ කරලීමෙන් පසුව එජාප – ශ‍්‍රීලනිප ප‍්‍රභූ නායකත්වයන්ගේ සම්මුතිය අවසන්වේය යන්නට ඇති සහතිකය කුමක්ද? එම සම්මුතිය ඉන්පසුව ආර්ථික ප‍්‍රතිපත්ති හා රාජ්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳ එතරම් ජනප‍්‍රිය නොවන බරපතළ තීරණ ගැනීම සඳහා දිගුකාලීනව භාවිත කළ නොහැකිද? එවන් දිගුකාලීන පාලක සන්ධානයක් ඉලක්ක කොටගත් උපායමාර්ගික දැක්මක් සමකාලීන එජාප – ශ‍්‍රීලනිප ප‍්‍රභූ – ධනපති නායකත්වයන් අතරින් අඩුතරමින් වක‍්‍රව හෝ ඉදිරිපත් වෙමින් නොතිබේද?

ඉහත අවසන් ප‍්‍රශ්නයෙන් ආරම්භ කරමු. මෑතකදී ගම්පහදී පැවැති මහජන රැුස්වීමකදී චන්ද්‍රිකා කුමාරතුංග මේ සම්බන්ධයෙන් ඉතා බරපතළ ප‍්‍රකාශයක් කළාය. එනම් ප‍්‍රධාන පක්ෂ දෙකට තවත් වසර විස්සක්වත් එක්ව වැඩ කළ හැකි නම් කිසිසේත් ආපස්සට හැරවිය නොහැකි ව්‍යුහාත්මක වෙනස්කම් රැුසක් ඇති කළ හැකි බවයි. ඉන්පසුව රනිල් වික‍්‍රමසිංහ ද කිහිප වතාවකදීම ඉතාම අවධාරණයෙන් කියා සිටියේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ද මෙරට නිර්මාණය වනු ඇත්තේ ජාතික ආණ්ඩුවක් බවයි.
ජාතික ආණ්ඩුවක් පවතින විට කැබිනට් මණ්ඩලය 25 ට සීමා වියයුතු නොවන බවට දැනට ඉදිරිපත් කොට තිබෙන 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ ද සඳහන් වේ. නමුත් කාරණය නම් ඉදිරි මැතිවරණයෙන් පසුව ද ජාතික ආණ්ඩුවක් (එනම් රනිල් වික‍්‍රමසිංහගේ වචනයෙක් කිවහොත් පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පරිවර්තනය කිරීමක්* අවශ්‍ය වන්නේ ඇයි? කුමක් සඳහාද? රනිල්ගේ මෑත ප‍්‍රකාශයක සඳහන් කෙරුණේ දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් දියුණු වූයේ එවන් සම්මුතිවාදී මාවතක ගමන් කිරීමෙන් බවයි. ඔහු මෙහිදී අදහස් කරන්නේ ඉතාම පැහැදිලිව ආර්ථික ප‍්‍රතිපත්ති පිළිබඳ දිගුකාලීන එකඟතාවකි. ඉන්දියාවේ තන්ති ටී.වී. නාළිකාව සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡුාවක දී රනිල් පවසා ඇත්තේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව පත්වන පාර්ලිමේන්තුවේ කොටසක් ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගෙන් ද අනෙක් කොටස ආණ්ඩුවේ කටයුතු අධීක්ෂණය කරන කමිටුවලින් ද සමන්විත විය හැකි බවයි. ඔහු ඒ සඳහා යුරෝපීය පාර්ලිමේන්තුව සහ අමෙරිකානු කොංග‍්‍රසය නිදසුන් කොට දක්වයි. මෙම අදහස යථාර්ථයක් වේවිද යන කාරණය පසෙක තිබිය දී වඩා වැදගත් වන්නේ එයින් ගම්‍යවන ඉදිරි දැක්ම කවරාකාර වූවක් ද යන්නයි.

සැබවින්ම වත්මන් එජාප හා ශ‍්‍රීලනිප නායකත්වයන් අතර දිගුකාලීන සම්මුතියක් නිර්මාණය වීම මූලධාර්මිකව සිදුවිය නොහැක්කක්ද? අවම වශයෙන් 1990 දශකයේ මුල්භාගය දක්වා මෙම පක්ෂ දෙක අතර ධනවාදී ආර්ථික ප‍්‍රතිපත්ති කළමනාකරණය කිරීමේ මාදිලීන් අළලා යම් නොඑකඟතාවක් තිබිණි. එජාපය සාපේක්ෂව වැඩියෙන් පෞද්ගලික ව්‍යවසායකත්වයට හා වෙළෙඳපොළ ක‍්‍රියාකාරීත්වයන්ට සහාය දක්වන විට ශ‍්‍රීලනිපය රාජ්‍ය සුභසාධක ප‍්‍රතිපත්තීන් වෙතට නැඹුරුතාවක් දැක්වූ වාමාංශිකයන් සමඟ වඩා මිත‍්‍රශීලී විය. 1980 දශකයේ ඉස්මත්තට ආ විවෘත ආර්ථික විරෝධී ජනතා රැුල්ල තුළ ශ‍්‍රීලනිපය ද නියෝජනය විය. නමුත් 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ‘විවෘත ආර්ථිකයට මානුෂික මුහුණ්වරක්’ යන අලංකාරිකය යට සැඟවී නවලිබරල් ප‍්‍රතිසංස්කරණ සමඟ වූ ඇයගේ එකඟතාව ප‍්‍රකාශයට පත්කිරීම සමඟම මෙම පක්ෂ දෙක අතර ආර්ථිකමය ප‍්‍රවේශයන් අළලා වූ පරස්පරතාව අහෝසි විය. ඉන්පසු කාලයේ දී ක‍්‍රම ක‍්‍රමයෙන් එජාපය හා ශ‍්‍රීලනිපය අතර වූ වෙනස්කම් මැකී යන්නට පටන්ගත් අතර එක් පක්ෂයක සිට අනෙකට පැති මාරු කිරීම සාමාන්‍ය ක‍්‍රීඩාවක් බවට පත්වීමෙන් මෙය මනාව ප‍්‍රතීයමාන විය.

1994-2004 අතර දශකය එජාපය හා ශ‍්‍රීලනිපය අතර ඓතිහාසික හවුලක් ගොඩනැඟීම සම්බන්ධයෙන් ගත් කල්හී පරිවර්තනීය දශකයකි. මේ කාල පරිච්ෙඡ්දයේ දී රනිල් – චන්ද්‍රිකා දෙපොළම ආර්ථීක ප‍්‍රතිපත්තිමය එළඹුමට අදාළව සේම ජනවාර්ගික ගැටලූවට අදාළව ද සමාන ප‍්‍රවේශයක සිටියහ. එනම් එක් අතකින් නවලිබරල් ආර්ථික ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් අනෙක් අතින් උතුරට අදාළව ජාත්‍යන්තර සහාය ලත් ඊනියා ලිබරල් – සාම වැඩපිළිවෙළක් පිළිබඳව යම් එකඟතාවක් පැවැතිණි. ලිබරල් – සාම ව්‍යාපෘතියේ මූලික උපාය මාර්ගයක් වූයේ ගැටුමට මුහුණ දී සිටින ප‍්‍රජාවන් වෙත වඩ වඩාත් ආර්ථික ප‍්‍රවේශයන් විවෘත කිරීම මඟින් ගැටුම්කාරී විභවතාවන් ක‍්‍රම ක‍්‍රමයෙන් අවම කිරීමට පියවර ගැනීමයි. කෙසේ වුවත් ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකේ මෙම ප‍්‍රතිපත්තිමය එකඟතාවන් දෙකම (වෙනස් හේතු සාධක පදනම් කරගෙන) ජනතාව අතර ජනප‍්‍රිය නොවූ ඒවා විය. 1994-2004 දශකය තුළ මෙම පක්ෂ දෙකින් ගිලිහුනු යම් යම් සමාජ ශ්‍රේණීන් සෙසු සිංහල පක්ෂ වෙත ආකර්ෂණය වීම ප‍්‍රවණතාවක් ලෙස සිදුවිය. එම කාල පරිච්ෙඡ්දයේ දී ජවිපෙ සහ හෙළ උරුමයේ ඡුන්ද පදනමේ ක‍්‍රමානුකූල වර්ධනය නිරීක්ෂණය කිරීමෙන් මෙය වටහාගත හැකිය. රනිල් – චන්ද්‍රිකා අතර යම් මූලධාර්මික එකඟතාවක් පැවැතිය ද පක්ෂ දේශපාලනය තුළ මුල්බැසගෙන තිබූ තරගකාරී අපේක්ෂාවන් ඉස්මතු වීමෙන් ඔවුන් සිය පොදු පන්තිමය ප‍්‍රතිලාෂයන්ට පරස්පර තීන්දුවලට එළඹිණ. චන්ද්‍රිකා ජවිපෙ විසින් ඉදිරිපත් කළ අසීරු කොන්දේසිවලට එකඟ වී ඊනියා පරිවාස ආණ්ඩුවක් ගොඩනැඟීම සහ එජාප ආණ්ඩුව වැට්ටවීම එසේ නිර්මාණය වෙමින් තිබූ ඓතිහාසික හවුලට බාධා කළ තීන්දුය. එය තමන් අතින් සිදු වූ බරපතළ දේශපාලන අත්වැරදීමක් යැයි පසුකාලීනව චන්ද්‍රිකා පිළිගත්තාය. විශේෂයෙන්ම සටන් විරාම ගිවිසුම පැවැති කාල පරිච්ෙඡ්දයේ දී රනිල් – චන්ද්‍රිකා දෙපොළටම එරෙහි ජනප‍්‍රිය සිංහල ජාතිකවාදී විරෝධයක් ප‍්‍රධාන පක්ෂ දෙකට පරිබාහිර අවකාශයක් තුළින් වර්ධනය විය. 2004 දී මහින්ද රාජපක්ෂ ප‍්‍රයෝජනයට ගන්නේ මෙකී ජනප‍්‍රිය – ජාතිකවාදී විරෝධයයි.

එජාප – ශ‍්‍රීලනිප සාම්ප‍්‍රදායක ප‍්‍රභූ – ධනපති නායකත්වයේ ඇසින් බැලූවිට මහින්දට බලයට ඒමට අවකාශය සැලසීම ඓතිහාසික අත්වැරදීමකි. මන්දයත් රාජපක්ෂ ප‍්‍රභූතන්ත‍්‍රය ලංකාවේ නිදහසින් පසුව බලය දැරූ කොළඹ කේන්ද්‍රීය පශ්චාත් යටත් විජිත ප‍්‍රභූ පන්ති ස්ථරයට පිටස්තරය. කෙටි කලක් බලය දැරූ පේ‍්‍රමදාස ද ඉහත කී සාම්ප‍්‍රදායික පාලක පවුල් ස්ථරයට පිටතින් පැමිණියෙක් වුව ද ඔහුට රාජ්‍ය ව්‍යුහය තුළ එකී පවුල් ස්ථරයේ ආධිපත්‍ය අභියෝගයට ලක්වන ආකාරයේ වෙනස්කම් කළ නොහැකි විය. නමුත් රාජපක්ෂට එය කළ හැකි විය. රාජපක්ෂ බලය දැරූ දශකයට ආසන්න කාල පරිච්ෙඡ්දය තුළ රාජ්‍ය හෝ ආයතනික ව්‍යුහයන් තුළ (විශේෂයෙන්ම රාජ්‍ය සේවය හා විදේශ සේවය තුළ) නව ප‍්‍රභූ තන්ත‍්‍රයක බලය ස්ථාපිත කෙරිණි. සංකේතාත්මකව කිවහොත් අතීතයේ රෝයල් – ටි‍්‍රනිට් ආදී සිසුන් බලය දැරූ තැන්වලට ආනන්ද – නාලන්ද ආදී සිසුන් ආදේශ විය. එපමණක් නොව මා ඉහත ලිපියක පැහැදිලි කොට ඇති පරිදි රාජපක්ෂ ගෝලීය ධනවාදයේ ක‍්‍රමවත් (ඊනියා සාමාන්‍ය) ක‍්‍රියාකාරීත්වයට හානි පමුණුවන තරමින් නව ප‍්‍රාග්ධන සමුච්චන මොඩලයක් හඳුන්වා දුන්නේය. එනම් රාජ්‍යයේ බලය හා අනුග‍්‍රාහකත්වය භාවිත කරමින් ඥාති සංග‍්‍රහය පදනම් කරගත් මහා පරිමාණ ප‍්‍රාග්ධන සමුච්චනයයි. මෙය සමකාලීන නවලිබරල් ගෝලීය තන්ත‍්‍රය විසින් හඳුනාගනු ලබන්නේ ධනවාදී ක‍්‍රමය අභ්‍යන්තරිකව අස්ථාවරත්වයට පත්කරන වෛරසය තර්කණයක් ලෙසයි. මෛ වෛරසය ඉවත් කිරීම සඳහා යෝජනා කෙරෙන්නේ යහපාලනයයි. ලංකාවේ වාම බුද්ධිමතුන් පිරිසක් ද ඇතුළු ලිබරල් සිවිල් සමාජය අවිවේචනාත්මක මෙකී නවලිබරල් යහපාලන සටන්පාඨය වැලඳ ගත්හ. එනයින් සැබෑ ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජ පරිවර්තනයක් පිණිස වූ අරගලයන් යහපාලනයට ඌනනය කොට අත්හැර දැමූහ.

ලංකාවේ බහුතර පීඩිත ජන කොටස්වලට ද වෙනස් අරුතකින් ‘රාජපක්ෂ – වෛරසය’ පලවා හැරීමට උවමනා වී තිබිණ. එනම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි, ප‍්‍රජා පීඩක, ඒකාධිපතිවාදී පාලනයක් නිමාකරලීමේ අරුතින්ය. එම ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය ආරම්භ වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ වියුක්ත නීතිමය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ව්‍යාපාරය තුළින් නොවේ. කටුනායක පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අරගලය, මීගමුවේ සහ හලාවත ධීවර අරගලය, අඛණ්ඩ ශිෂ්‍ය අරගල හා විශ්වවිiාල ගුරුවරුන්ගේ දිගුකාලීන වෘත්තීය සමිති අරගලය යනාදිය ඔස්සේ ගොඩනැඟුණු මෙකී බහුජන ප‍්‍රජාතාන්ත‍්‍රික ව්‍යාපාරය රාජපක්ෂ පරාජය කරලීමේ සැබෑ ඓන්ද්‍රීය බලවේගය විය. ‘යහපාලන සන්ධානය’ මෙකී සැබෑ ජනතා ව්‍යාපාරයේ අභිලාෂයන් ‘හොරුන් ඇල්ලීමේ ක‍්‍රීඩාවකට’ ලඝු කොට නොසලකා හරින විට එම ව්‍යාපාරය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටින්නේ වාමාංශයයි. අද දිනයේත් දළුලා වැඩෙන තරුණ ජවයෙන් ඔද වැඩෙන ශිෂ්‍ය ව්‍යාපාරයෙන් සංකේතවත් වන්නේ එයයි.

කෙසේ වුවත් අමතක නොකළ යුතු කාරණයක් නම් රාජපක්ෂ – විරෝධී ව්‍යාපෘතිය තුළ ලංකාවේ සාම්ප‍්‍රදායික ප‍්‍රභූ – ධනපති (සංකේතාත්මකව රෝයල් – ටි‍්‍රනිටි – හාවර්ඞ්) පන්තිය යම් සාමූහික පන්තිමය අභිලාෂයක් ගොඩනඟාගත් බවයි. ඔවුන් පැහැදිලිවම තම පන්ති බලය ප‍්‍රතිස්ථාපනය කරගත්හ. මීට සමාන්තරව ලංකාව ගෝලීය නවලිබරල් ක‍්‍රමයේ කලාපීය ආධිපත්‍යයික අක්ෂය වන වොෂින්ටන් – නවදිල්ලි අක්ෂය සමඟ මනාව බද්ධ වෙමින් තිබේ. ‘රාජපක්ෂ වෛරසය’ ඉවත්කළ පසුව ලංකාව අභ්‍යන්තරිකවත් බාහිරවත් ගෝලීය ධනවාදයේ ඊනියා සාමාන්‍ය ක‍්‍රමවත් ගමන් පථයට යළි අවතීර්ණ වෙමින් පවතී. ඒ සමඟම රනිල් – චන්ද්‍රිකා ප‍්‍රමුඛ සාම්ප‍්‍රදායික ප‍්‍රභූ – ධනපති නායකත්වය ස්වකීය ආධිපත්‍යය යළිත් අර්බුදයට ලක්නොවන තත්වයන් ගොඩනඟා ගන්නට උත්සුක වීම ද අපේක්ෂා කළ යුතුය. එක් අතකින් දැනට යෝජනා කෙරෙමින් පවතින මැතිවරණ ක‍්‍රම සංශෝධනය මඟින් කුඩා සහ සුළුතර පක්ෂවල පාර්ලිමේන්තු නියෝජනය මුලිනුපුටා දැමීමේ අවදානමක් ඇත. ‘එක් මැතිවරණ කොට්ඨාසයකට එක් මන්ත‍්‍රීවරයෙක්’ යන අති සරල සටන් පාඨය මහින්ද සංකේතවත් වන්නේ සාම්ප‍්‍රදායික ප‍්‍රභූ නායකත්වයට පරිබාහිර නියෝජනයන් හැකි තරම් පාලනය කිරීම විය හැකිය.

පසුගිය සතියේ ‘ජනරළ’ පුවත්පතේ දිනිත් හෙට්ටිආරච්චි සොයුරාගේ ලිපිය මඟින් මනාව විශ්ලේෂණය කළ පරිදි 1970 දශකයේ අගභාගයේ දී ජේ.ආර්. ජයවර්ධන එජාපයේ ජයග‍්‍රහණය සඳහා සමාජයේ සාම්ප‍්‍රදායික ප‍්‍රභූ නොවන ශ්‍රේණීන් පක්ෂයට ආකර්ෂණය කරගත යුතුයැයි කල්පනා කළේය. ඉන්පසුව ඔහු හඳුන්වාදුන් නියෝජන ක‍්‍රමය යටතේ එම සමාජ ශ්‍රේණීන් මහා පරිමාණයෙන් දේශපාලන ක‍්‍රමය වෙත ඇදී ආවේය. ඒ සමඟම දේශපාලන බලය හා ඍජුව සම්බන්ධ ජාවාරම්කාරී ආර්ථිකයක් ගොඩනැඟුණු අතර එමඟින් රටේ නව දේශපාලන ප‍්‍රභූ තන්ත‍්‍රයක් නිර්මාණය විය. නමුත් දශක තුනක් ගතවන විට රනිල් – චන්ද්‍රිකා මඟින් නියෝජනය වන සාම්ප‍්‍රදායික ප‍්‍රභූ ධනපති පාලක පවුල් ස්තරය මුහුණ දී තිබෙන අභියෝගයක් නම් ජේ.ආර්. දේශපාලනයට කැඳවූ නිර්-ප‍්‍රභූ නව-ප‍්‍රභූන් පාලනය කරගන්නේ කෙසේද යන්නයි. එම නව-ප‍්‍රභූ ස්තරයේ සමකාලීන අසමසම නායකයා මහින්ද රාජපක්ෂයි. ජවිපෙ, හෙළ උරුමය වැනි කුඩා පක්ෂවලින් ද සුළු ජන පක්ෂවලින් ද එල්ල වූ දෘෂ්ටිවාදීමය තෙරපුම් පාලනය කරගැනීම ද ස්ථාවර ධනවාදී සංවර්ධනයක් සඳහා උවමනා යැයි ඔවුන් කල්පනා කරන බව පෙනේ. මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳ යෝජනාව කුඩා සහ සුළුතර පක්ෂවල බලපෑම හැකිතරම් අවම කරලීමට හැකි වන පරිදි හැඩ ගස්වන්නට ඉදිරියේ දී ප‍්‍රයත්න දැරෙනු ඇත. නමුත් දැනට ඉදිරිපත්ව ඇති වඩාත්ම භයානක යෝජනාව එජාප – ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවයි. ඉදිරි මැතිවරණයෙන් පසුවත් ජාතික ආණ්ඩුවක් කරායාමේ අදහසක් පවතී නම් ඒ යම් අධිපති ආර්ථික ප‍්‍රතිපත්තිමය මොඩලයක් ක‍්‍රියාවට නැංවීමේ උවමනාව හා බැඳුනක් වීමට හොඳටම ඉඩ තිබේ. එහිදී මහින්ද මෙන්ම රනිල් ද තම නිදර්ශකය කොටගන්නේ දකුණු කොරියාව හා සිංගප්පූරුවයි. අප සැබවින්ම ගමන් කරමින් සිටින්නේ ඒ දිශාවට නම් එවන් ජාතික ආණ්ඩුවක් විධායක ජනාධිපති ක‍්‍රමයටත් වඩා ඒකාධිපති හා නිර්-ප‍්‍රජාතාන්ත‍්‍රික ගති ලක්ෂණවලින් යුක්ත වූවක් වනු ඇත.

සුමිත් චාමින්ද

Advertisements