පවරා ගත් පැලවත්තේ කුඹුරුවලට වන්දි දෙන්නේ කවදාද?

three-forces-HQපසුගිය සතියේ ජනරළ දුරකතනයට බත්තරමුල්ල, පැලවත්ත ප‍්‍රදේශයේ ගොවියෙක් කතා කළා. ඔහු කිව්වේ, බත්තරමුල්ල, අකුරන ප‍්‍රදේශයේ ඉදි කරමින් පවතින නව හමුදා මූලස්ථානයට පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම නිසා කුඹුරු විශාල ප‍්‍රමාණයක් වගා කරන්න බැරිව තියෙනවා කියලා. පවරා ගත් ඉඩම්වලට තවමත් වන්දි ලබාදී නැති බවත් ඔහු කිව්වා.

මේ කතාව ගැන තොරතුරු සොයන්න හිතාගෙන අපි බත්තරමුල්ල, පැලවත්ත හන්දියෙන් හැරිලා පෙරේරා මාවත දිගේ ගියා. අප ඉදිරියේ තිබුණේ කුඹුරු යායක් මැදින් යන විශාල පාරක්. ඒ පාර බත්තරමුල්ලේ, විදේශ සේවා කාර්යාංශ කාර්යාලයට ආසන්නයෙන් තමයි ප‍්‍රධාන පාරට සම්බන්ධ වෙන්නේ. අලූතෙන් ඉදිකරන පාරේ බස් රථයක් ධාවනය කරන නිසා ජනතාවට අලූතින් බස් පාරක් ලැබෙනවා කියලාත් නිල නොවන විදියට ප‍්‍රදේශවාසීන්ට කියලා තියෙනවා. කොහොම වුණත් ඒක වෙන්නේ කොහොමද කියලා ගමේ කාටවත් හරි අදහසක් නෑ.
මිල්ලගහවත්ත කුඹුර, දිවෙල් කුඹුර, නින්ද කුඹුර ආදී නම්වලින් මේ කුඹුරු යායේ කොටස් හැඳින් වෙනවා. කුඹුරු යාය අවුරුදු සිය ගණනක් පැරණියි. දැන් ජීවිතයේ මැදි විය ඉක්මවා සිටින කුඹුරුවල වත්මන් හිමිකරුවන් කියන්නේ, ඔවුන්ගේ සීයලාගේ කාලේ ඉඳලා කුඹුරු වගා කළා කියලා. ඒ නිසා ඒවා පාරම්පරික ඉඩම්.

ජල ගැලීම්වලින් පාර්ලිමේන්තු පරිශ‍්‍රයට බාධාවක් නොවන්නත් කොළඹ ජලය බැස යාම විධිමත් කරන්නත් මේ කුඹුරු යාය ජල රැුඳවුම් ප‍්‍රදේශයක් ලෙස අත්කර ගන්න  ඕන කියලා 1990 දී යෝජනාවක් ඇවිත් තියෙනවා. කොහොම වුණත් ඒක ක‍්‍රියාත්මක වුණේ නැහැ. එතකොට තිබුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව.

ඊට පස්සේ මේ ප‍්‍රදේශයේ අලූත් හමුදා මූලස්ථානය ඉදිකිරීම් ආරම්භ කෙරුණා. මුදල් ඇමැති රවි කරුණානායකට අනුව මේ මූලස්ථානය ඉදිකරන්න වැයකර තිබෙන මුදල අමෙරිකාවේ පෙන්ටගනය ඉදි කරන්න වැය කළ මුදලටත් වඩා වැඩියි. මේ නිසා ඉදිකිරීම් තාවකාලිකව නතර කරලා, වැය කළ මුදල් පිළිබඳව පරීක්ෂණයක් කරන්න  ඕන කියලා ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නතර කර තිබුණත් කුඹුරු යාය දෙපළු කරමින් ඉදි කළ පාර තාමත් එහෙමමයි.

”2011 දී කෘෂි නිලධාරීන් ඇවිත් කිව්වා, කුඹුරු වගා කරන්න එපා කියලා. හේතුව විදියට කිව්වේ ජල රැුඳවුම් ප‍්‍රදේශයක් ලෙස සංවර්ධනය කරන්න ආණ්ඩුව තීරණය කරලා තියෙන නිසා කුඹුරු කරන්න එපා කියලා.” කුඹුරු හිමියකු අපට එසේ විස්තර කළේය.

ඉඩම් පවරා ගැනීම සිදු වී තිබෙන්නේ සම්මත ක‍්‍රමවේදයන්ට අනුව නොවේ. එය සිදුව ඇත්තේ මුළුමනින්ම හමුදා බලය පෙන්වා ප‍්‍රදේශවාසීන්ගේ කටවල් වසා තැබීම හරහාය.
”පස් ගේන ලොරියක ඩ‍්‍රයිවර් කෙනෙක්ටවත් මොනවත් කියන්න බෑ. කිව්වොත් ඊට පැය කීපයකට පස්සේ හමුදාවෙන් දහයක් දොළහක් ඇවිත් මොකද කියලා අහනවා.”

DSC09448වන්දි ප‍්‍රදානය කිරීමක් ගැනද ප‍්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදු කර නැත. කවුරුවත් ඒ ගැන ප‍්‍රශ්න කරන්නට ගියේ නැත්තේ හමුදා බලය සමඟ ගැටුම් ඇති කරගැනීම නුවණට හුරු නැති නිසාය. ඉඩම් පවරා ගැනීමට විරෝධය පළ කරමින් ඊට කැමැත්ත පළ කිරීමේ ලියුමට අත්සන් නොකිරීමට ඔවුහු තීරණය කළහ. එහෙත් අවසානයේ ඊට අත්සන් තැබීමට ඔවුන්ට සිදු විය. පසුගිය වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට කුඹුරු ඉඩම් පවරා ගෙන අවසන්ය. ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබේ.

පාර ඉදිකරන අතර වගා කළ හැකි කුඹුරු වගා කිරීමට අවශ්‍ය ජල කළමනාකරණ පද්ධතියක් සැකසීම බලධාරීන්ගේ වගකීමය. එහෙත් සිදුව තිබෙන්නේ කුඹුරුවල අයිතිය ඇති පවුල් 25 ක් පමණ හා අඳ ගොවි පවුල් 30 ක් පමණ ප‍්‍රශ්නාවලියකට ඇද දමමින් කුඹුරු වගා කළ නොහැකි තත්වයට පත් කර තිබීමයි.
ඊළඟ ප‍්‍රශ්නය වන්දි පිළිබඳ ප‍්‍රශ්නයයි. ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී තිබුණේ කුඹුරු ඉඩම් පර්චස් එකකට ගෙවිය හැක්කේ රුපියල් 5,000 ක් පමණක් බවයි. එහෙත් එම ඉඩම්වල වටිනාකම් ඊට වඩා බෙහෙවින් වැඩිය. කිහිප දෙනකු පමණක් එම කුඩා වන්දි මුදල ලබාගෙන තිබේ. බහුතරයකට එය ද ලැබී නැත. තමන්ට සාධාරණයක් ඉටු වන තුරු ඔවුහු බලා සිටිති.

ජේ.ටී. ගමගේ – සුදර්ශන කළුඅග්ගල

Advertisements