සුගතදාස ධාවන පථයේ ඔක්කොම හෙළුවෙන්

ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක සුගතදාස ධාවන පථය පිරික්සමින්

ක්‍රීඩා ඇමැති නවීන් දිසානායක සුගතදාස ධාවන පථය පිරික්සමින්

දැන් සුගතදාස ක‍්‍රීඩා පිටියේ ධාවන පථය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයන් සිදුවෙමින් තිබේ. 2012 වසරේ පැවැති 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු කරමින් තිබිණි. කිසිදු වග විභාගයක් නොමැතිව කොමිස් වෙනුවෙන් ලංකාවේ කටයුතු කරන දූෂිත ආයතන සහ නිලධාරීන් දේශපාලකයන් හවුලේ කටයුත්තක් වූ මෙම ව්‍යාපෘතිය අනිවාර්යෙන් අසාර්ථක ව්‍යාපෘතියක් සහ කෙටිකාලීන විනාශයක් අත්කරගන්නා බව දත් අප පුවත්පත වහාම අදාළ තත්වයන් සොයාබැලීමට සුගතදාසයට ගිය අතර එවකට සුගතදාස පාලන අධිකාරියේ ලොක්කා අපව පන්නා ගැනීමට කටයුතු කළේය. ක‍්‍රීඩාව සහ එහි තාක්ෂණයත් පිළිබඳ වැටහීමකින් සිටි අප වහාම මෙම කටයුතුවලට සම්බන්ධ 20 දෙනකුට අධික පුද්ගලයන්ට කතා කරමින් මේ පිළිබඳ විමසීමට කටයුතු කළ අතර සියලූම දෙනා පැවැසුවේ ඒ ශ්‍රේණියේ ජාත්‍යන්තර සහතිකයක් මෙයට හිමිවන බවය.

නමුත් දියගම ක‍්‍රීඩාංගණයේ ධාවන පථයට සිදුවූ දේට එහා ගිය විනාශයක් මෙය අත්කරගන්නා
බව දත් අප ක‍්‍රීඩාව සම්බන්ධ යම් දැනුමක් සහිත පුද්ගලයකු ලෙස අප විශ්වාස කළ සුනිල් ජයවීර සම්බන්ධ කරගැනීමට උත්සාහ දැරුවේ ඔහු ඒ වන විට අදාළ ක‍්‍රීඩා උළෙලේ වගකිව යුතු පුද්ගලයෙක් වූ නිසාය. මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති දයා රත්නායක ඇමතූ විට කප්පරක් කයියක් ගසා මාධ්‍යයට ද චෝදනා කර හැකිනම් කාර්යාලවල සිට ලියන්නේ නැතිව ඇවිත් බලන ලෙස අභියෝග කළේය. මා සුනිල් ජයවීර ඇමතූ විට ඔහු කියා සිටියේ අධික වැඩ නිසා තමන්ට ? 10 ට අවස්ථාවක් දිය හැකි බවකි. මා ? 10 ට සුගතදාසයේ හෝටලය තුළ දී ඔහු හමුවූ අතර මා ඔහුගෙන් ඇසුවේ. දියගමට වූ දෙය සුගතදාසයට නොවන බවට දිය හැකි සහතිකය කුමක්ද යන්නයි. මොහු වැන්නකුට මෙවැනි ව්‍යාපෘතියක සහතිකයක් දිය නොහැකි බව අප දැන සිටියත් වගකිව යුතු නිලධාරීන් ලංකාවේ අනාගතය දැකිය යුතු බව අප විශ්වාස කළෙමු. නමුත් ඔහු කීවේ මේ ධාවන පථයට ඒ ශ්‍රේණියේ සහතිකයක් හිමිවන බවකි. ඒ වන විට අදාළ තරගය සඳහා කාලඝනක පද්ධතිය දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයෙන් ගලවාගෙන එන බව අප එදා කීවෙමු. නමුත් ඒවා පිළිබඳ මාධ්‍ය හෝ එතරම් තැකීමක් කළේ නැත. ඒ වන විටත් කෝටි ගණන් ගසා කෑ කිසිවකුට සුගතදාසයේ කාලඝනක පද්ධතියක් ස්ථාපිත කිරීමට මුදල් සොයා ගත නොහැකිව තිබිණි.

දැන් මහින්දානන්දට පසු නවීන් දිසානායක සුගතදාසයට සිදුව ඇති දේ පරීක්ෂා කිරීමට චාරිකා යයි. මාධ්‍ය මේවා වාර්තා කරයි. නවීන්ට අපිට කියන්නට ඇත්තේ මේ විනාශය සිදු වූ අයුරු පරීක්ෂා කිරීමට වහාම බලය සහිත කමිටුවක් ස්ථාපිත කර අදාළ සියලූ දේ සොයා බලා චූදිතයන්ට වහාම දඬුවම් කරන ලෙයසි. නිලධාරීන්ට දේශපාලකයන්ට සහ අදාළ සමාගමට එරෙහිව වහාම කටයුතු කළ යුත්තේ මේසා විශාල ජාතික ධනය විනාශ කළේ නිකම්ම නොවන නිසාය. ව්‍යාපෘතියට මිලියන 113 ක් වියදම් කළ බව පවසයි.

දැනට මිලියන 22 ක් ගහකොළ ලෑන්ඞ්ස්කේප් ආයතනයට නොගෙවා සිටින බව මාධ්‍ය වාර්තා කර ඇත. වහාම අදාළ දූෂිත ගනුදෙනු හෙළිකළ යුතු අතර සමාගමට නඩු පැවරීමට කටයුතු කළ යුතුය. අදාළ ගහකොළ කොම්පැනියෙහි ලොක්කෙක් මාධ්‍යයට කියා ඇත්තේ මේ ධාවන පථය ඉදිකළේ පුහුණු වීමට නොවන අතර තරග පැවැත්වීමට බවයි.  මෙවැනි කොම්පැනිවල තක්කඩි ලොක්කන්ට ලංකාවේ ක‍්‍රීඩාව සම්බන්ධ ලොක්කන් කිසිවක් නොකියන්නේ ඇයි? ධාවන පථයක පුහුණු නොවී ක‍්‍රීඩකයන් ක‍්‍රීඩා කරනුයේ කෙසේද යන්න කුඩා දරුවකු පවා දනී. තමන්ට ඉතිරි මිලියන 22 ගෙවන්නේ නම් ධාවන පථය නැවත සකස් කරදීමට සූදානම් බව ඔහු කියයි. මේ මහත්වරුන් කතා කරනුයේ රෙදි ඇදගෙනද යන්න සොයාබැලිය යුතුය. ලක්ෂ 58 ක් වියදම් කර සුගතදාසයේ සාදන ලද ගේට්ටුව ක‍්‍රියාත්මක වී ඇත්තේ එක් දිනක් පමණක් බව බලධාරීන් කියා තිබේ. අපට ගැටලූව වන්නේ මේ පිටුපස සිටි දේශපාලකයන්ට සහ නිලධාරීන්ටත් සමාගම්වලටත් වර්තමාන යහපාලනය කරන හුරතල් කිරීමයි. මේ සමාගම්වලට නිලධාරීන්ට සහ වගකිව යුත්තන්ට වහාම නඩු පැවරීමටත් අලාභයන් අයකර ගැනීමටත් කටයුතු කළ යුතුය. මේ වියදම් කර ඇත්තේ රටේ මිනිසුන්ගේ මුදල්ය. අපි  ඕනෑම උසාවියක පෙනී සිටීමට මාධ්‍ය ලෙස සූදානම් අතර අවශ්‍ය සියලූ සටහන් සහ මාධ්‍යය විසින් කළ හෙළිදරව්වල විස්තර අප සතුය. මේ දේවල් කළේ මාධ්‍ය වෙත චණ්ඩි නිලධාරීන් සහ උද්දච්ඡු නිලධාරීන් චණ්ඩිපාට් දමමිනි. මේ තරම් වියදම් කළ රටේ ජනතාවගේ මුදල් සඳහා වර්තමාන යහපාලන ආණ්ඩුව වගකීම් සහගත විය යුතුය.

සුගතදාස ධාවන පථය නිසි ප‍්‍රමිතියට ඉදිකර නැතැයි අන්තර් ජාතික මලල ක‍්‍රීඩා සංගමය 2012 වසරේ ජුනි 12 වැනි දින පරීක්ෂණයකින් පසුව ලංකාවට දැනුම් දී ඇතැයි දැන් ප‍්‍රකාශ කර තිබේ. මාධ්‍යයට බොරු කියමින් මේ අමන ව්‍යාපෘති වෙනුවෙන් ක‍්‍රියා කළ සියලූ නිලධාරී නඩයන්ට විරුද්ධව වහාම පරීක්ෂණ කටයුතු පටන් ගත යුතුය. මේ පිළිබඳ මාධ්‍යයට විවර නොකර සිටීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය, මලල ක‍්‍රීඩා සංගමය සහ අදාළ සියලූ නිලධාරීන් කටයුතු කළේය. මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් පැවැත්වීමට නීති කටයුතු සමපාදනය කිරීමට අධිනීතිඥ නවීන් දිසානායක කටයුතු කළ යුතුය. නැත්නම් අධිනීතිඥ පට්ටම බල්ලාටය යන්න බව පමණක් පැවසිය යුතුය. නවීන් මේ වෙනුවෙන් කටයුතු කළ යුත්තේ ගහකොළ සමාගමත් නිලධාරීනුත් ඇස් පනාපිට ජාතික ධනය කොල්ලකා ඇති නිසාය.  අප එම නඩු වෙනුවෙන් පෙනී සිට මාධ්‍ය විසින් කළ හෙළිදරව් සහ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කළ මෙහෙවර පිළිබඳ අවශ්‍ය කටයුතු කිරීමට සූදානම්ය.

මහේන්ද්‍ර කුමාර

Advertisements