වලිකාමම් ප‍්‍රදේශයේ පාරිසරික ඛේදවාචකය

chunnakamපසුගිය වසර කිහිපය තුළ බරපතළ පාරිසරික විනාශයක් මෝදු වෙමින් තිබෙන අතර එහි ප‍්‍රතිවිපාක දැනටමත් උතුරු ශ‍්‍රී ලංකාවේ වලිකාමම් ප‍්‍රදේශය තුළ මතු වන්නට පටන් ගෙන ඇත.

වලිකාමම්වල ජීවත් වන මිලියන කාලකට අධික ජනතාවක් තමා පාවිච්චි කරන භූ ජලය අපද්‍රව්‍යයීය තෙල්වලින් දූෂණය වී ඇති බව අනාවරණය කරගෙන තිබේ. 2013-14 කාලය තුළ චුන්නාකම් විදුලි බලාගාර අවට කිලෝමීටර් 1.5 ක විෂ්කම්භයක් සහිත ප‍්‍රදේශයක් ආවරණය වන ලෙස තිබෙන ළිංවලින් ගනු ලැබූ ජල සාම්පල් පරීක්ෂාවක දී හෙළිවූයේ එම අති බහුතරයක් ළිංවල (සියයට 73 ක්) අනුමත ප‍්‍රමාණයට වඩා වැඩියෙන් තෙල් මට්ටම් සංයුක්ත වී තිබූ බවයි. (ජල ලීටරයකට තෙල් මිලිග‍්‍රෑම් 1 අනුමත ප‍්‍රමාණයයි*. එතැන් සිට ප‍්‍රදේශවාසීන් විසින් කළ නිරීක්ෂණ මඟින් පෙන්නුම් කරන්නේ මෙම තෙල් සංයුතිය කිලෝ මීටර් 4 ක විෂ්කම්භයක් දක්වා වූ කලාපයක ළිං ආවරණය කරමින් ව්‍යාප්ත වී ගොස් තිබෙන බවයි. මෙම ජල දූෂණය මඟින් ඇතිවන සෞඛ්‍ය, පාරිසරික සහ වෙනත් දීර්ඝකාලීන ප‍්‍රතිවිපාක තවමත් නිසියාකාර ලෙස හඳුනාගෙන නැත. මෑතක දී නිකුත් වූ ජල සම්පත් මණ්ඩල වාර්තාවක් මෙසේ කියයි. ‘‘දීර්ඝ කාලයක් තිස්සේ අපවිත‍්‍රකරණයට භාජනය වීම පිළිකා, ගබ්සාවීම්, මුල් ළමාවිය සංවර්ධනයට සිදුවන හානි, චර්ම හා මානසික සෞඛ්‍යයට සිදුවන හානි සඳහා මඟපෑදිය හැක’’.මෙම ජල දූෂණ තත්වය ගැන පුළුල් අවධානයක්, වටහා ගැනීමක්, කලබල වීමක්, ආතතියක් සහ ව්‍යාකූලත්වයක් මහජනයා අතර පවතී. එසේ වූවද තවමත් එම දූෂණ තත්වය නිසා ඇති විය හැකි ප‍්‍රතිවිපාක ගැන හෝ මහජනයා කළ යුතුව තිබෙන දේ ගැන හෝ මෙම විනාශය සම්බන්ධයෙන් ආණ්ඩුව ගත යුතු ක‍්‍රියාමාර්ග ගැන හෝ මහජනයා වෙත දැනුම් දීමක් සිදුවී නොමැත. පැහැදිලි, වගකිවයුතු සහ නිශ්චිත තොරතුරු නොමැතිකම නිසා කටකතා, ඕපාදූප, වැරදි තොරතුරු, න්‍යායන්, භීතීන් සහ අසංකූලතාවන් මහජනයා අතර පැතිරී යමින් තිබේ. 2015 පෙබරවාරි 28 වැනි දා යාපනයේ දී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් යහපාලනය පිළිබඳ මහජන රැුස්වීමක් කැඳවා තිබූ අතර එම අවස්ථාවට සහභාගී වූ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් පවසා සිටියේ මෙම ජල දූෂණය සඳහා ඊයම් හේතුකාරක වී තිබෙන බවයි. කෙසේ වුවද ජල සම්පත් මණ්ඩල වාර්තාව තමා පරීක්ෂාවට ලක්කළ සාම්පල්වල බැර ලෝහ අඩංගුවන බවක් දක්වා නැත.
මෙකී දූෂණය ඇති කරන ප‍්‍රභවය ලෙස ජල සම්පත් මණ්ඩල වාර්තාව අනුමාන කරන්නේ චුන්නාකම් පොසිල ඉන්ධන විදුලි බලාගාරයයි.

‘තෙල් ව්‍යාප්ත වී තිබෙන රටාව’ පිළිබඳ කළ විස්තරාත්මක විශ්ලේෂණයේ දී චුන්නාකම් විදුලි බලාගාරය
අවට ප‍්‍රදේශවලට අඩු වී යන අනුක‍්‍රමයකින් තෙල් හා ග‍්‍රීස් සංකේන්ද්‍රණ තට්ටු විහිදී ගොස් තිබෙන බව හෙළිදරව් වී තිබේ. 2015 වන විට මෙම අපවිත‍්‍රකරණය වඩාත් වැඩියෙන් පැතිරී ගොස් තිබෙන බව පෙනෙන්නට තිබේ. ළිංවල ජල සාම්පල් පරීක්ෂාවට ලක්කිරීම ආණ්ඩුව සහ පෞද්ගලික සංවිධාන විසින් මීට පෙර සිදුකොට තිබෙන අතර ඒවායේ ප‍්‍රතිඵල ප‍්‍රසිද්ධ කොට නැත. සිදුරු කරන ලද කුහර තුළින් අධික පීඩනයක් යටතේ අපද්‍රව්‍යයීය තෙල් අවට ප‍්‍රදේශවලට පොම්ප කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මේ දූෂණ තත්වය ඇති වී තිබෙන බවට සැක පහළ කෙරේ. යාපන අර්ධද්වීපයට ලක්ෂපාන බලාගාරය වෙතින් සෘජුව විදුලිබලය ලැබීමට පෙර කාලාන්තරයක් තිස්සේ පොසිල ඉන්ධන මඟින් විදුලිය නිපදවීමේ දී ඇති වන අපද්‍රව්‍යය මෙලෙස බැහැර කිරීම පුරුද්දක් වශයෙන් අනුගමනය කරන ලදී.

යාපනයට ඍජුව ලක්ෂපාන බලාගාරය වෙතින් විදුලිය ලැබීම පටන් ගන්නේ 1973 දීය. 1950 ගණන්වල සිට ඒ දක්වාම ලංකා විදුලිබල මණ්ඩලය ඉහත කී භාවිතාව පවත්වා ගෙන ආවේය. එසේම මෑතකාලීනව යුද්ධ කාල පරිච්ඡුයේ දී යාපනයට තිබූ විදුලි සැපයුම කපා දමා තිබූ තත්වයක් යටතේ ද මේ භාවිතාව අනුගමනය කරන ලදී. යුද්ධ කාලයේ චුන්නාකම් විදුලි බලාගාරය හමුදාව මඟින් දැඩිලෙස රැුකවල් දමා ආරක්ෂා කරන ලදී. ඒ නිසා එම අක්කර 20 ක භූමි ප‍්‍රදේශය තුළ සිදුවන්නේ මොනවාදැයි මහජනයාට දැනගන්නට හැකියාවක් තිබුණේ නැත. විදුලිබලය නොමැතිව ගත කළ දශකයක පමණ කාලයකට පසු අවිධිමත්ව හෝ විදුලිය ලැබෙනවාට මහජනයා තුළ තිබුණේ ප‍්‍රසාදයකි. කිසිවක් නැතිවාට වඩා මොනවා හෝ ලැබීම හොඳ යැයි ජනතාව සිතූ අතර ප‍්‍රශ්න ඇසීමට ඒ නිසා ඔවුන් යොමු වූයේ ද නැත.

දැන් යුද්ධය අවසාන වීමත් සමඟ භූගත ජලය දූෂණය වීම ගැන මහජන අවධානය එන්න එන්න වැඩෙමින් තිබේ. ඒ නිසා එමඟින් මහජන සෞඛ්‍යයට සහ පරිසරයට ඇති විය හැකි බලපෑම සලකා බලා මෙම අපවිත‍්‍රකරණයේ මූලය කවරේද යන්න ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ විශාල වගකීමක් රජය වෙත ඇත. මේ සඳහා සම්බන්ධතාවක් දක්වන සියලූ සංවිධානවලට තමා කළ දේ හෙළිකරන ලෙස නීතිය මඟින් බලකොට සිටිය යුතුය. දූෂණය සඳහා හේතු වන්නට ඉඩ ඇතැයි සැක කෙරෙන ප‍්‍රදේශය කැණීමට ලක්විය යුතුය. එමඟින් අපවිත‍්‍රකරණයේ ප‍්‍රභවය හඳුනාගැනීමටත් තවදුරටත් ජලය දූෂණය වීම නතර කිරීමට සහ දූෂණය පැතිරී යාම නතර කිරීමටත් පුළුවන්කම ලැබෙනු ඇත. කෙසේ වුවද මහජන සුභසිද්ධිය සඳහා අතිශය වැදගත් මේ තොරතුරු හෙළිවීම බලවත් පාර්ශ්වයන් විසින් වළක්වන බවට අනුමානයන් පහළ වී තිබේ.

පරිසර ආරක්ෂාව නියාමනය කිරීමේ වගකීම දරන එසේම මෙබඳු ව්‍යාපෘතිවලට අදාළ පටිපාටිය අධීක්ෂණය කිරීමේ වගකීම දරන මධ්‍යම පරිසර අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රජයේ ආයතන මෙම ප‍්‍රශ්නයේ දී තමාගේ වගකීම පැහැර හැර තිබේ. ජල දූෂණය ගැන අනතුරු හැඟවීම මුලින්ම මතු කරන ලද්දේ චුන්නාකම් දකුණ ගොවි සංවිධාන විසිනි. තමා භාවිත කරන ජලය තෙල් නිසා අපවිත‍්‍ර වී තිබෙන බවට ඔවුහු දිසාපතිවරයාට ලිඛිතව පැමිණිලි කළහ. එහෙත් ඒ ගැන කිසිදු ක‍්‍රියාමාර්ගයක්
ගැනුණේ නැත. ඊට මඳ කලෙකට පසු ප‍්‍රදේශයේ කලෙයිවානි ප‍්‍රජා මධ්‍යස්ථානය තමා පාවිච්චි කරන ජලයෙන් එන දුර්ගන්ධය හා එහි තිබෙන තෙල් සංයුතිය ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජල සම්පත් මණ්ඩලය එම ප‍්‍රදේශයෙන් බෙදාහැරීම සඳහා ජලය ලබාගැනීම නතර කළේය. පැතිරී යන ජල දූෂණය ගැන ජල සම්පත් මණ්ඩලයේ ප‍්‍රධානියා විසින් 2012 දී අනතුරු හැඟවීමක් කරන ලදී. එය නොතකා හරිනු ලැබුවා පමණක් නොව ඔහුව පසුව ධුරයෙන් ඉවත් කිරීමට ද කටයුතු කෙරිණ.

ප‍්‍රාදේශීය සිවිල් සංවිධානයක් වන පරිසර ආරක්ෂක සංවිධානය විසින් ඉක්බිති නඩුවක් පවරන ලදී. 2015.02.26 වැනි දා එම අධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් මත උතුරු බලශක්ති සමාගමේ වැඩකටයුතු නතර කරන ලදී. ඒ වන තෙක්ම අදාළ බලාගාරයේ කටයුතු නතර කිරීමට කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගනු ලැබූයේ නැත. මෙය හොඳ පුවතකි. සිවිල් සමාජය විසින් ගෙන ගිය උද්ඝෝෂණයේ ප‍්‍රතිඵලයක් ලෙස බලධාරීන් රේඩාර් භාවිත කොට ජල දූෂණ ප‍්‍රභවය අනාවරණය කරගන්නා ලෙස නෝර්වීජියානු විශේෂඥයන්ගෙන් සහ ජාතිය ගොඩනැඟීමේ පර්යේෂණ සංවිධානයෙන් ඉල්ලා තිබේ. මේ ප‍්‍රශ්නය ගැන විමර්ශනය කිරීම සඳහා ජාතික විශ්වවිද්‍යාල කිහිපයක් නියෝජනය කරන විද්වතුන්ගෙන් යුක්ත කමිටුවක් පත් කොට ඇත. දූෂණය සඳහා පිළියම් යොදන්නේ කෙසේද යන්න හඳුනාගැනීම උදෙසා දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් අදහස් මේ වනවිට විමසා ඇත.

පුරාවිද්‍යාත්මක සාධක මඟින් පෙන්වා දෙන පරිදි සියවස් ගණනාවක් තිස්සේ වලිකාමම් ප‍්‍රදේශයේ මිනිස්සු ජීවත් වෙති. මෙම ප‍්‍රදේශයේ පිරිසිදු ජලය පානය කිරීම සඳහා මෙන්ම කෘෂිකාර්මික කටයුතු ඇතුළු වෙනත් භාවිතයන් සඳහා යොදාගනු ලැබේ. ඉතිහාසයක් පුරා ජනතාව විසින් පාවිච්චි කළ මේ නැවුම් ජල සම්පත දැන් විශාල පරිමාණයෙන් විනාශයට ලක්වී තිබේ. ජලය පාවිච්චි කිරීම ජනගහනයට සහ සියලූම ජීවීන්ට අවදානමක් ගෙන එන්නේ නම් මේ දේශයේ අනාගතය කුමක් වනු ඇද්ද? චුන්නාකම් විදුලි බලාගාරය අවට පිහිටි ප‍්‍රදේශයේ ළිංවල පාවෙන තෙල් තට්ටු දක්නට ලැබේ යන්නේ අර්ථය මුළු ජල තලයම වසාගෙන දූෂණය පැතිරී ගොස් තිබෙන බවද? කෘෂිකාර්මික පරිසරය සඳහා අධිකතර ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය යොදාගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ඇතැම් ළිංවල අධික නයිටේ‍්‍රට් සාන්ද්‍රණයක් තිබෙන බවට ජල සම්පත් මණ්ඩලය විසින් අනාවරණය කරගෙන තිබේ. නයිටේ‍්‍රට්වල අධික සාන්ද්‍රණය රුධිර අක‍්‍රමිකතා ඇතුළු රෝග සඳහා මග පාදන්නකි. මිනිසා විසින් නිර්මාණය කළ විනාශයන් නූතන ලෝකය තුළ එන්න එන්නම සුලභ වෙමින් තිබේ. ඒ පරිසරය සූරාකෑමේ සහ ආක‍්‍රමණශීලී සහ තිරසාර නොවන සංවර්ධන ආකෘතියේ ප‍්‍රතිඵලයක් ලෙසය.

මෙම පැතිරී යන ජල දූෂණයේ අවසාන විපාකය කුමක් වනු ඇද්ද? ෆුකුෂිමාවල හෝ චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනයන්ට පසුව හෝ බෝපාල් ගෑස් කාන්දුවෙන් පසුව හෝ සුඩානයේ හෝ සෝමාලියාවේ සාගතවලට පසුව හෝ මිනිසුන් මහා පරිමාණයෙන් වෙනත් ආරක්ෂිත පරිසරයකට සංක‍්‍රමණය වූවා හා සමාන තත්වයක් ඇති වනු ඇද්ද? ජල සම්පත මත පතිත වී තිබෙන මිනිසා විසින් නිර්මාණය කළ මේ විනාශය වසර ගණනාවක් තිස්සේ ජීවය සඳහා සරු බිමක් වූ මේ භූමිය විනාශ වී යාම සඳහා හේතු වී තිබේ. දකුණු ලංකාවේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැලිවේරිය ප‍්‍රදේශයේ ජනයා මෙන් වලිකාමම් ප‍්‍රදේශයේ ජනයා ද ජල දූෂණයට එරෙහිව උද්ඝෝෂණය කිරීම අරඹා ඇත. ඒ සාමකාමී උද්ඝෝෂණයේ අරමුණ මේ ප‍්‍රශ්නයට ක්ෂණික පිළිතුරක් ඉල්ලා සිටීමය. මෙම දූෂණ ක‍්‍රියාවලිය නතර කිරීම සහ ප‍්‍රදේශයේ ජනතාවට මුහුණ පාන්නට වී තිබෙන ප‍්‍රශ්නයට ක්ෂණික සහ දීර්ඝකාලීන පිළියම් යෙදීම බලධාරීන්ගේ වගකීම වන්නේය. විපතට පත්වී තිබෙන ඇතැම් ග‍්‍රාමීය ප‍්‍රදේශවලට දැනට බවුසර් මඟින් ජලය ලබා දෙනු දැකගැනීමට පුළුවන. මෙය සාධනීය ලකුණකි. කෙසේ වුවද මෙය විපතට පත් සියලූ ප‍්‍රදේශ වෙත ව්‍යාප්ත විය යුතුය. පිරිසිදු ජල සැපයුමට සමගාමීව අපවිත‍්‍ර ජලය පාවිච්චි කිරීම නිසා ඇති විය හැකි අවදානම් ගැන නිසි තොරතුරු මහජනයා වෙත ලබාදී ඒ පිළිබඳ මහජනයා දැනුවත් කළ යුතුය. දැනට අගතියට පත්වී සිටින ජනයාට සහ අවදානමට නිරාවරණය වූ ජනයාට වන්දි ලබාදිය යුතුය. කෙසේ වුවද වඩාත් වැදගත් වන්නේ තවදුරටත් ජල දූෂණය පැතිරීම නැවැත්වීම සහ ඊට පිළියම් යෙදීම සඳහා ගනු ලැබෙන කෙටිකාලීන හා දීර්ඝකාලීන ක‍්‍රියාමාර්ග ගැනීමය.
මහාචාර්ය දයා සෝමසුන්දරම්- යාපනය විශ්වවිද්‍යාලය –

(පරිවර්තනය – රමිඳු පෙරේරා)

Advertisements