වසත් කාලය මනරම්

ලංකාවේ ජනතාව වසන්ත උත්සව පවත්වන මාසය වන බක් මාසය එළඹ තිබෙනවා. අපි මේ කතුවැකිය ලියන්නේ ඒ උත්සවය මුව විට හිඳගෙන. අපේ‍්‍රල් මාසය ‘මෝඩයාගේ දිනය’ සමඟ හාස්‍යජනක ලෙස ඇරඹී නව අවුරුදු උත්සවයත් පසුකරගෙන අවසන් වෙනවා. මාසය පටන් ගන්නේ මෝඩයාගේ දිනයෙන් වුණත් මේ මාසය භාග්‍යවත් මාසයක් ලෙස සැලකෙනවා. වසන්ත කාලය ගැන කියද්දී පැරණි ඉන්දීය ශ්ලෝකයක් මතක් වෙනවා. එහි දළ සිංහල අර්ථය අපට මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන්.

”කපුටා කළුයි – කොවුලා ද කළුයි
මේ දෙදෙනා අතර වෙනස කිම?
වසත් කාලය එළඹි කල
කොවුලා කොවුලෙකි – කපුටා කපුටෙකි”

මේ භාරතීය කියමනට අනුව නම් මේ මාසය සත්‍යය හෙළිදරව් වන මාසයකි. සාමාන්‍ය කාලයේ දී කොවුලාත් කපුටාත් වෙන්කර හඳුනා ගන්න බෑ. ඒ දෙදෙනාම එකම පැහැයෙන්, එකම ශරීර ලක්ෂණවලින් යුත් කුරුල්ලෝ. නමුත් වසන්ත කාලය එළඹි පසු කෝකිලයා නාද කිරීම අරඹනවා. එවිට අපට කොවුලාත් කපුටාත් වෙන්කර හඳුනාගත හැකි වෙනවා. වසන්ත කාලය හෙවත් බක් මාසය භාග්‍යවත් වෙන්න මෙන්න මේ ‘ප‍්‍රඥාව පහළ වීම’ හේතු වන බවයි ඒ ඉන්දියානු කියමන පවසන්නේ. අපි මේ සූදානම් වෙන්නේ මෙවර කතුවැකිය වසන්ත කාලයේ මනරම් බව පවසන්න වෙන් කිරීමට නොවෙයි. අපට ප‍්‍රඥාව පහළ කරගන්නවා නම් ඒ සඳහා කොහාගේ හඬට අමතරව තවත් බොහෝ දේ මේ අපේ‍්‍රල් මාසය තුළ ලැබී තිබෙන බව සිහිපත් කරන්න.

සාමාන්‍ය කාලවලදී කපුටා කළුයි. කොවුලාත් කළුයි. කිසිම වෙනසක් නෑ. ඒ වගේම තමයි මැතිවරණ කාලවලදී පාලකයෝත් පාලනයට වරම ඉල්ලා සිටින්නෝත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි. ඒ කාලයට හැම දෙනාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විවිධ පොරොන්දු දෙනවා. ඇත්ත. ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා බොරුකාරයන් අතර වෙනස හඳුනාගැනීම ඉතා අපහසුයි. පසුගිය ජනවාරි 8 වැනිදා පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී හැමදෙනාම කතා කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන. නමුත් ඒ අතර ඇත්තටම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් තිබෙන අයත් තමන්ගේ බල උවමනා වෙනුවෙන් බොරුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතාකරන අයත් සිටියා. මැතිවරණ කාලවකවානු කියන්නේ ඒ දෙක අතර වෙනස හඳුනාගැනීම අපහසු කාලයක්. මේ දෙක වෙන්කර හඳුනාගන්න නම් ලොකු දේශපාලන අවබෝධයක් අවශ්‍යයි. එහෙමත් නැතිනම් අදාළ පාරිභාෂික වචනයෙන්ම කියනවා නම් දේශපාලන සාක්ෂරතාවක් අවශ්‍යයි. අපේ සමාජයේ දේශපාලන සාක්ෂරතාව තිබෙන්නේ ඉතා පහළ මට්ටමක.

ඒ නිසාම මේ සිදුවෙමින් පවතින දේ ගොඩක් අයට වැටහුනේ නෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අබමල් රොනක තැකීමක් නැති මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික‍්‍රමසිංහ, මෛත‍්‍රීපාල සිරිසේන වැනි අය ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ලෙස පෙනෙන්න පටන් ගත්තේ ඒ නිසා. නමුත් ජනවාරි මාසය අවසන් වී, පෙබරවාරි හා මාර්තු මාසත් නිමාවී අපේ‍්‍රල් මාසය වෙත අප පැමිණ සිටිනවා. අපේ‍්‍රල් මාසය පටන් ගත්තේම, ඊට පෙරදින, එනම් මාර්තු 31 ශිෂ්‍ය උද්ඝෝෂණයට පොලිසිය කළ පහරදීම ගැන ප‍්‍රවෘත්තියෙන්. මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ලෙස පෙනී සිටි අය ශිෂ්‍ය උද්ඝෝෂණයට ම්ලේච්ඡු ආකාරයෙන් පහර දුන්නා. මීට පෙර පැල්වැහැර බීජ ගොවිපළ පෞද්ගලිකකරණයට එරෙහි දඹුල්ල ගොවි උද්ඝෝෂණයටත් මර්දනය දියත් වුණා. නමුත් ඒ ගැන සමාජ කතා බහ සිදුවුණේ ඉතා අඩුවෙන්. ඒත් ශිෂ්‍ය උද්ඝෝෂණයට සමාජයේ අවධානය යොමු වී තිබුණා.
එහෙම පටන්ගත් අපේ‍්‍රල් මාසය දැන් ඇදී යන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡුාවක් හරහා. මුලින් පොරොන්දු වුණේ විධායක ජනාධිපතිවරයා සතු බලය වැඩි ප‍්‍රමාණයක් අහිමි කරන ව්‍යවස්ථා සංශෝධනයක්. නමුත් දැන් කරළියට පැමිණ තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය පමණක් සීමා කරන ලද, විධායක ජනාධිපතිවරයාට සැලකිය යුතු තරම් බලයක් තිබෙන සංශෝධනයක්. ඒකටත් චම්පික රණවක, නිමල් සිරිපාල වගේ අය විරුද්ධ වෙනවා. ඔවුන් කියන්නේ මේ හරහා ජනාධිපතිවරයා රූකඩයක් වෙනවා කියලා. මුලින් පොරොන්දු වුණේ විධායක ජනාධිපති ක‍්‍රමයම නැති කරන්න. දැන් රූකඩයක් ගැන කියනවා. චම්පිකලා, නිමල් සිරිපාලලා හරහා ඉදිරියට එන්නේ මෛත‍්‍රීගේ හඬ. තමන් සතු බලය බිංදුවක්වත් අඩු කරගන්න අකමැති මෛත‍්‍රීපාල බව රහසක් නෙවෙයි.

මේ අපේ‍්‍රල් මාසයේ දී මේ හැම කෙනාම කට ඇරලා ඇති නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඇත්තටම කතා කරන අයයි බොරුවට ඒක ගැන කියවන අයයි වෙන් කරගන්න පුළුවන්. කපුටා සහ කොවුලා වෙන් කරගන්නවා වගේම. අපි සමාජයක් විදියට ඒක හඳුනා ගන්න සමත් වෙනවා නම්, ඒ ප‍්‍රඥාව පහළ වෙනවා නම්, ඒ හරහා දේශපාලන සාක්ෂරතාව ඉහළ යනවා නම්, මේ වසන්ත කාලය මනරම් වන බවට සැකයක් නෑ.