කෝට්ටේ සහ කූරගල

ඇතැම් ලිබරල් චින්තකයන් ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය විග‍්‍රහ කළේ ‘තීව‍්‍රතාවයෙන් අඩු විප්ලවයක්’ ලෙසිනි. ඒ ඡුන්ද ප‍්‍රතිඵලයෙන් පසුව, කලින් අතීරණයක සිටි නිරවුල් අදහස් ප‍්‍රකාශ නොකළ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ ද කීවේ තමන් මෙම අවස්ථාව උදා කරගැනීමට වසර හතක් අටක් තිස්සේ සැලැස්මක් දියත් කළ බවය. පුවත්පත්වල කතුවැකි ලියැවුණේ ඒකාධිපති පාලන තන්ත‍්‍රයක් බලයෙන් පහවී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අරුණලූ වැටෙමින් තිබීම ගැනය. හැමදෙනාම බලාපොරොත්තු වූයේ සමාජයට අවම හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ දිනා ගැනීමට මේ අවස්ථාව භාවිත කිරීමටය. තැටිය රත්වුණු අවස්ථාවේ රොටිය පුච්චාගත යුතු යැයි මාඳුළුවාවේ සෝභිත හිමි පැවසුවේ එනිසාය. එතැන් සිට මාස තුනක් පමණ ගත වී තිබේ. පොරොන්දු වූ දින සියයෙන් දින 90 ක් ගත වී තිබේ. තැටිය රත්වුණු අවස්ථාවේ පුළුස්සා ගැනීමට උත්සාහ කළ රොටිය කර වී ඇත. හැම දෙනාම අතෘප්තියක, අතීරණයක සිටින අතර රටේ දේශපාලනය වෙනම කේන්ද්‍රයක් වෙත විතැන් වෙමින් පවතී. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ප‍්‍රවේශ වීම ගැන ඇතැම් අය කතා කරන අතර දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් ජාතිවාදයට මාරු වෙමින් තිබේ. අද අපි මේ ඉඩ වෙන් කරන්නේ ඒ ගැන කතා කිරීමටය.

තැටිය රත් වීම

පසුගිය ජනාධිපතිවරණය එළඹුණේ මහින්ද රාජපක්ෂගේ දූෂිත, ඒකාධිපති පාලනයේ දස වසරකට පසුවය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ඉල්ලීම් රාශියක් පෙරට පැමිණ තිබිණි. ඒ නිසා සෑම දේශපාලන පක්ෂයකටම, සෑම අපේක්ෂකයකුටම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන්නට සිදුවිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාළ පොරොන්දු දීමට සිදුවිය. එහෙත් ඔවුන් එය කළේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අභිලාෂයන් මත නොවේ. තමන්ගේ බලයට පාර කපාගැනීම සඳහාය. මේ සමාජ උවමනාවන් තම තමන්ගේ න්‍යාය පත‍්‍ර වෙනුවෙන් කළමනාකරණය කරගැනීම සඳහාය. ඒ සඳහා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොදු අපේක්ෂකයකු පිළිබඳ ඉල්ලීම ද පෙරට පැමිණියේය. එහිදී එක් එක් අය ප‍්‍රවේශ වූයේ තම තමන්ගේ න්‍යාය පත‍්‍රවලට අනුවය.

මහින්ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සාකච්ඡුාව යටපත් කරමින් ජාතිවාදය එසවීමට උත්සාහ කළේය. රනිල් උත්සාහ කළේ විධායක අගමැතිවරයකු පිළිබඳ අදහස ජයග‍්‍රහණය කරවීමටය. ඒ විධායක බලය තමන් සතු කරගැනීම සඳහාය. චන්ද්‍රිකාට හා මෛතී‍්‍රට උවමනා වූයේ මහින්ද එළවා දමන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තමන් සතු කරගැනීමටය. චම්පිකට අවශ්‍ය වූයේ මේ සමාජ කලබැගෑනිය හරහා තමන්ට ජනාධිපති ධුරය දක්වා යාමට පාරක් කපාගැනීමටය. අන්තිමේ දී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය පසුපසට විසි වී ගොස් මහින්ද එළවීමේ පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල බෞතීස්ම විය.
ජනාධිපතිවරණ ප‍්‍රචාරක වැඩපිළිවෙළ තුළත් මේ හැමදෙනාම උත්සාහ කළේ විධායක ජනාධිපති ක‍්‍රමය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ආදිය ක‍්‍රමයෙන් පිටුපසට ගෙන මහින්ද එළවීමේ සටන් පාඨය මූලික සටන් පාඨය බවට පත් කරගැනීමටය. ජනාධිපතිවරණයෙන් පසුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සටන් පාඨය පසෙකට ඇද දමා දූෂණ විරෝධය පෙරට ගන්නා ලදී. හොරු ඇල්ලීමේ සටන් සංදර්ශන මාධ්‍ය හරහා උත්කර්ෂයට නංවන ලදී. ඒ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම් යටපත් විය. අතුරුදන් වූවන්, දේශපාලන ඝාතන, දේශපාලන සිරකරුවන්, මර්දනය නිසා විදේශගත වූවන් ආදී ප‍්‍රශ්න ක‍්‍රමයෙන් අමතක කරවන ලදී. මහින්ද ගෙනා මර්දන නීති, හමුදාවට පොලිස් බලතල පැවරීමේ නීතිය, පැය 48 ක් රඳවා තබාගැනීමේ නීතිය වැනි නීති අලූත් වටයකින් තහවුරු කෙරිණි. ශිෂ්‍යයන්ගේ හා ගොවියන්ගේ උද්ඝෝෂණවලට මර්දන හස්තය එල්ල කෙරිණි. නව ආණ්ඩුවක් බලයට පත්වීමත් සමඟ තැටිය රත් වූ නමුත් මෛත‍්‍රීලා රනිල්ලා තැටිය රත් කළේ සිය දේශපාලන බලයේ කොත්තුව සකස් කිරීම සඳහාය. ඒ තැටිය රත් වූ නිමේෂයේ සිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රොටිය පුච්චා ගැනීම ඇතැම් සිවිල් ක‍්‍රියාකාරීන්ගේ අපේක්ෂාව විය. අන්තිමේ දී මුළු තැටියම මෛත‍්‍රීගේත් රනිල්ගේත් කොත්තුව සඳහා වෙන් වූ අතර ඒ තැටියේ පැත්තක දැමූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නම් එකම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රොටිය කෑමට ගත නොහැකි තරමට කරවී ගියේය. සමාජය තුළ තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ප‍්‍රගතිශීලී උවමනාවන් බොඳ වී, විසිරී, ඉවත ගොස් ඇත. දින 90 ක ශේෂ පත‍්‍රය එයයි.

ජාතිවාදය හිස එසවීම

සමාජයේ ප‍්‍රගතිශීලී උවමනාවන් බොඳව ගොස් ‘තීව‍්‍රතාවයන් අඩු විප්ලවයක්’ ලෙස ඇතැම් අය හැඳින්වූ ක‍්‍රියාදාමය දේශපාලකයන්ගේ උපාය උපක‍්‍රම හා බල ක‍්‍රීඩාවක් තුළ ගිලෙන විට සිදුවන දේ අපි මෙම තීරුවෙන් සති ගණනාවක් පුරා සාකච්ඡුා කළෙමු. එවිට සමාජය තුළ ඇතිවන අතෘප්තිය, කලකිරීම හා අපේක්ෂාභංගත්වය උරාගනු ලබන්නේ ජාතිවාදය හා ආගම්වාදය විසින් බව අපි දිගින් දිගටම සඳහන් කළෙමු. ලංකාවේ පාලක පන්තියට ජාතිවාදය පරාජය කිරීමේ දේශපාලන පදනමක්, දැක්මක් හෝ උවමනාවක් නැති අතර, ඊට ප‍්‍රතිපක්ෂව එවැන්නක් තමන්ගේ බලය වෙනුවෙන් භාවිත කිරීමට ඔවුන් කිසිවිටෙකත් නොපැකිළෙන බව ද අපි සාකච්ඡුා කළෙමු. දැන් සිදුවෙමින් පවතින්නේ එයයි.

මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව පැනනැඟුණු සමාජ විරෝධය, ජාතිවාදය හා ආගම්වාදය කරා තල්ලූ කිරීමේ උත්සාහය මේ සඳහා හොඳම උදාහරණයකි. එම මාතෘකාවට අදාළව එක් අන්තවාදී සංවිධානයක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක එක් පසෙකින් ෆුල්ෆේස් හෙල්මට් පැලඳි අයෙකු ද සාමාන්‍ය හෙල්මට් පැලඳ මුහුණ ආවරණය කරගත් අයකු ද වූ අතර අනෙක් පසින් වූයේ මුස්ලිම් බුර්කාව පැලඳි අයෙකි. මේ මාධ්‍ය හමුවේ දී ෆුල්ෆේස් තහනමට එරෙහි විරෝධය බුර්කාවට එරෙහි විරෝධයක් හරහා මුස්ලිම් විරෝධයක් වෙත ගාල් කරන්නට උත්සාහ දැරිණි. හොරකම් හා මංකොල්ලකෑම්වලට ෆුල්ෆේස් හෙල්මට් භාවිත කිරීම නිසා ඒවා තහනම් කළ යුතු යැයි පොලිසිය ගත් මුග්ධ තීරණය විචාරශීලීව විවේචනය කරනවා වෙනුවට මේ අය කළේ මුස්ලිම් ජනතාව නිසාත් එවැනි අවදානමක් තිබෙන බව මතු කිරීමයි. බුර්කාව පැලඳ මංකොල්ලකෑමේ සිදුවීම් එකක්වත් වාර්තා වී නොමැති තත්වයක් තුළත් මේ ජාතිවාදී මතවාදය ලැව් ගින්නක් සේ පැතිර යමින් තිබේ.

ඒ අතරම පසුගිය සතියේ තවත් සිදුවීමක් වාර්තා විය. ඒ තවත් අන්තවාදී සංවිධානයක් දැනට මුස්ලිම් ජනයා වැඩිපුර වෙසෙන බලංගොඩ, කූරගල ප‍්‍රදේශයට ගොස් කළ ප‍්‍රචණ්ඩකාරී හැසිරීමයි. කූරගල තම ආගමික සිහිවටනයක් ලෙස බෞද්ධයන් මෙන්ම ඉස්ලාම් භක්තිකයන් ද විශ්වාස කරයි. වසර ගණනාවක් තිස්සේ කූරගල අයිතිය පිළිබඳ ප‍්‍රශ්නයක් මේ ප‍්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනතාව අතර පැන නොනැඟුනු අතර ඒ ප‍්‍රශ්නය ඇති කරන ලද්දේ ජාතිවාදී කණ්ඩායම් විසිනි. කූරගලින් මුස්ලිම් ජනතාව එළවා දැමීමට යැයි පිටස්තර ප‍්‍රදේශවලින් මැර කණ්ඩායම් යන්නේ මේ සංවිධානවල ව්‍යාපෘතිවලට අනුවය. මෙය මහා ලේ වැගිරීමක් බවට වර්ධනය වීමට ඇති ඉඩ ප‍්‍රස්ථාව ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. මෙහි ඇති ඛේදවාචකය වන්නේ වත්මන් දේශපාලන මොහොත ගැන අතෘප්තියෙන් සිටින සිංහල පිරිස් අතර මේ ජාතිවාදය ජනපි‍්‍රය වෙමින් පැවතීමයි.

ඒ නිසා කෝට්ටේ, ජයවර්ධනපුර පිහිටි පාර්ලිමේන්තුව තුළ දියත් වී තිබෙන බල අරගලයත් මෛත‍්‍රී – රනිල් සීතල යුද්ධය හරහා වර්ධනය වී තිබෙන මාලිගාවේ කුමන්ත‍්‍රණත් පාර කපමින් සිටින්නේ කූරගල වැනි සිදුවීම් වෙතය. එය යළිත් අපේ සමාජය දැවැන්ත විනාශකාරීත්වයක ගිල්වනු ඇත. එයට පිළිතුර වන්නේ ‘අවස්ථාව ලැබුණු එකේ ටිකක් හරි කරගමු’ කියමින් බංකොලොත් ආණ්ඩුවලට මුක්කු ගැහීම වෙනුවට ලිබරල් අදහස් දරන්නන්, විද්වතුන් හා සමාජ ක‍්‍රියාකාරීන් අලූත් ප‍්‍රවේශයකට එළඹීමයි. අප පසුගිය සතියේ පැවසුවාක් මෙන් ‘හාෆ් බොයිල් විප්ලව’ ගැන විශ්වාසය තැබීම වෙනුවට ගැඹුරු වෙනසක් ඉලක්ක කරගෙන ක‍්‍රියාත්මක වීමෙනි.