වැන්දඹු වූ සමාජය සස්වාමික කරන”වැන්දඹුවෝ”

widows-rollඒරියල් ඩෝෆ්මාන්  විසින් රචනා කරන ලද උසාදඅි නම් නාට්‍ය, සිරිල් සී.පෙරේරා විසින් සිංහලයට පරිවර්ථනය කරන ලද අතර සංජීව නුවන් විසින් ‘වැන්දඹුවෝ’ නමින් අධ්‍යක්ෂණය කර ඇත. මෙය කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව හදාරණ සිව්වන වසරේ ඉගෙනුම ලබන විද්‍යාර්ථීන්ගේ නිෂ්පාදනයක් වන අතර Academic Players නාට්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමකි. මීට පෙර 2003  ජූඞ් ශ‍්‍රීමාල් හා තුෂාන් ඩයස් විසින් ‘ආයෙත් එන්නෙ නෑ’ යන නමින් නිෂ්පාදනය කරන ලද්දේ ද මෙම නාට්‍යයයි.

චිලී දේශයේ සරුසාර කෙත්වතුවල ජීවත් වූ පාරම්පරික ගොවි ජනතාව අමෙරිකානු  පාලකයන්ගේ අවශ්‍යතාව මත සමූල ඝාතනය කර, එය යටත් රාජ්‍යයක් බවට පත්කර ගැනීම වැන්දඹුවෝ නාට්‍යයට පදනම් වේ. ම’විසින් උත්සාහ දරන්නේ එකී දේශපාලන සන්දර්භයන් මත බිහි වූ වැන්දඹුවෝ නාට්‍ය ලාංකේය වේදිකා නාට්‍ය පසුතලයෙහි කෙලෙසින් චිත‍්‍රණය වූවාදැ’යි විමසීමටය.

‘වැන්දඹුවෝ’ මා හඳුනා ගන්නේ දේශපාලනික නාට්‍යයක් වශයෙනි. නාට්‍ය කලාව හා දේශපාලනය එකිනෙකට අවියෝජනීයව බැදී පවතින්නකි. මහාචාර්ය ඩෙස්මන් මල්ලිකාරච්චි ප‍්‍රකාශ කරන පරිදි ‘අපට දේශපාලනයෙන් වියුක්ත විය හැකිය. එහෙත් දේශපාලනයෙන් අපට මිදී සිටීමට නොහැකිය.’ ලෝකයේ නාට්‍යය ආරම්භ වන්නේ දේශපාලනය පාදම වශයෙන් යොදාගෙනය. ජනතාවගේ ආගමික විශ්වාසය හා නාට්‍ය කලාව ග‍්‍රීක පාලකයන් විසින් තම ‘බලය’ තහවුරු කරගැනීමට ගණිකා වෘත්තියේ යොදවා ගනු ලැබීය. ප්ලේටෝ විසින් රාජ්‍යයෙන් නෙරපා දමන ලද ‘නාට්‍ය කලාව’ නැවත ග‍්‍රීකයට කැඳවන්නේ දේශපාලනික හේතු නිසාවෙනි. ග්ලැඩියේටර් සටන්වලින් ලේ රසයෙන් මත් වී සිටි රෝම ජනතාව හුදු ප‍්‍රහසන නාට්‍ය කලාවක් ගොඩනැඟීය. පාලකයන්ගේ හා පල්ලියෙන් උදුරාගනු ලැබූ නාට්‍ය කලාව නැවත ජනතාව අතට පත් වන්නේ ශේක්ෂ්පියර් යුගයෙන් පසුවයි. යුරෝපීය පුනරුද සමයේ ජනතාව ලැබූ කෘතහස්ත ජයග‍්‍රහණය නම් නාට්‍ය කලාව නැවත ජනතාවගේ අතටම උදුරා ගැනීමයි. එතැන් සිට නාට්‍ය මගින් ඉදිරිපත් කෙරුනේ ජනතාවගේ හෘද ස්පන්දනයයි. වැන්දඹුවෝ නාට්‍යය ද චිලී දේශයේ හුදකලා වූ ජන කොට්ඨාසයක් පිළිබඳව කරන අනාවරණයෙකි. ෆිනොෂේ රජයේ ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූ ගමක් අරඹයා රචනා වූ නාට්‍ය ලාංකේය අපට, අද දින වැදගත් වන්නේ කෙසේද? විසිවන සියවසේ දරුණුතම මිනිස් ඝාතකයා ලෙසින් හඳුන්වන ‘ෆිනොෂේ දහස් ගණන් චිලී ජනතාව ඝාතනය කරනු ලැබීය.
ඩෝෆ්මාන්  ප‍්‍රකාශ කරන වැන්දඹුවන්ගේ ඛේදවාචකය ලංකාවට වලංගු වන්නේ කෙසේද?

Dorfmanවැන්දඹුවන්ගේ ඛේදවාචකය උතුරට සිදුවන විට දකුණ නිහ`ඩව සිටියේය. එහෙත් එකී සංහාරය දකුණට එල්ලවන විට දකුණ සසල විය. සංජීව නුවන් විසින් ‘වැන්දඹුවෝ’ නිෂ්පාදනය කරන්නේ උතුරත් දකුණත් සසල වී සිටින මොහොතකය. 1971 හා 1988 කැරැුල්ල දේශීය සමාජයේ නොමැකෙන කළු පැල්ලම් එකතු කළේය. උතුරේ යුද්ධය යුදමය විසඳුමකින් විසඳෙන විට අප සියල්ලෝම සිතා සිටියේ සාමය උදා වූ බවකි. එහෙත් සැබෑව එය නොවේ. පසුගිය කාලයේ මෙරට සිදුවූ ප‍්‍රධාන සමාජ පරිවර්ථනයන් දේශීය නාට්‍ය නිර්මාණ සඳහා පාදක කරගනු ලැබූවේ අල්ප වශයෙනි. ඉතිහාසයේ සිදුවූ දරුණු මනුෂ්‍ය ඝාතන පිළිබඳව ගැඹුරු විග‍්‍රහයකට යන්නට මෙරට කලාව අසමත් විය. අඩුම තරමින් ජනතාවට සමීපතම නාට්‍ය කලාවෙන් හෝ එවන් දෙයක් නොවීය. සංජීව මෙකී නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ එතෙක් සිදු නොවූ කථිකාවතට බරසාර මැදිහත් වීමක් අවශ්‍යම යුගයේ දීය.

වැන්දඹුවෝ නාට්‍යයේ එන අත්දැකීම උතුරේ ද දකුණේ ද එක ලෙසින් සිදු වූ දේවල්ය. රාජ්‍ය විසින් පොලිසිය, අධිකරණය, හමුදාව රාජ්‍ය තන්ත‍්‍රය යනාදි සියල්ලම පවත්වාගෙන යන්නේ ජනතාව යටපත් කරගෙන පාලනය ගෙන යාම සඳහාය. ප‍්‍රසන්න විතානයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘දෙබිඞ්ඩෝ ’ නාට්‍යයෙහි දැක්වෙන පරිදි ආණ්ඩුවේ සැබෑ උරුමකරුවන් වන්නේ ඡුන්දය දෙන ජනතාව නොව ධනය හිමි ධනවතුන්ය. චිලී දේශයේ ද ඉඩම් හිමි පන්තියගේ අවශ්‍යතාව මත සියලූ රාජ්‍ය තන්ත‍්‍රයම ක‍්‍රියාත්මක වේ. එමෙන්ම ලංකාවේ ද ක‍්‍රියාත්මක වන්නේ ධනපති අර්ථ රටාවට ස්වකැමැත්තෙන්ම යටපත් වන ආණ්ඩුය. දශක තුනක් පුරා පැතිරී පැවැති යුද්ධයෙන් වැඩියෙන්ම පීඩාවට පත් වූයේ කාන්තාවන් හා දරුවන් බැව් අලූතෙන් ප‍්‍රකාශ කළ යුතු නැත. එවන් සමාජයක මානව හැ`ගීම් ප‍්‍රශ්න කිරීමට, නැවත ඒ ගැන සිතන්නට වර්ගවාදී දෘෂ්ටියෙන් තොරව, මානව දෘෂ්ටිය පසක් කරන්නට සංජීව නුවන් තම නිර්මාණය ඔස්සේ උත්සාහ දරයි.

ආධුනික නාට්‍යකරුවකු වශයෙන් සංජීව නුවන්ගේ නිෂ්පාදනයෙහි බොහෝ දුර්වලතා අඩුපාඩු පැවතිය හැකිය. එහෙත් මෙහිදී වැදගත් වන්නේ ඔහු විසින් ආරම්භ කරන්නට උත්සාහ කරන නාට්‍ය කථිකාවයි. වර්තමාන දේශීය නාට්‍ය ක්ෂේත‍්‍රයේ ලාභයට විකිණිය හැක්කේ හුදු ප‍්‍රහසන රසය රැුඳී නාට්‍යයයි. පහසුවෙන් අලෙවි වන වෙන්දේසියක සංජීව හටත් වැඩි මුදලකට අලෙවි වන නාට්‍යයක් විකිණීමට හැකියාව තිබුණි. සංජීව එවන් අලෙවි භාණ්ඩයක් නිෂ්පාදනය කළේ නම් ඒ පිළිබඳව සාකච්ඡුා කළ යුතු දෙයක් ඉතිරි වන්නේ නැත.
”නිවේදකයා – විරුද්ධවාදීන් පසුපස පොලිස් බල්ලන් දමා එළවා අල්ලා තම ආදරණීය බිරිඳගෙන්, තම පෙම්බර දරුවන්ගෙන් වෙන් කිරීමේ බලය තිබෙන මිනිසුන් ටික දෙනකු විසින් පාලනය කරනු ලබන රට කුමක්ද කියා මා ඔබට කිව යුතුද? ඒ රට මැදින් ගලා බසින ගගක් අසල හිද තමාගේ අතුරුදන් වූ පියාගේ, සැමියාගේ, දරුවන්ගේ මළකඳන් ගග දිගේ ගසාගෙන එන තෙක් බලා සිටින ගැහැනුන් වෙසෙන රට කුමක්දැ’යි දැනගැනීමට ඔබ කැමතිද? ”

ඒ රට වෙනකක් නොවේ. ඒ අපේ රටයි, අපගේ මාතෘ භූමියයි. ජාතියේ නාමයෙන් අවුළුවා ලූ යුද්ධයෙන් අනාථ වූයේ සිංහල පමණක් නොවේ, දෙමළ පමණක් නොවේ. ස්වාමිවරුන් නොමැති බිරින්දෑවරුන් ද දරුවන් නොමැති මෑණිවරුන් ද කොතෙකුත් සිටිත්ද? ස්වභාව ධර්මයාගේ රීතිය ඛණ්ඩනය කළ පාලක අධිකාරියේ ආධිපත්‍යයෙන් අප සමාජයට සිදුකළ විනාශය සුළුපටු නොවේ. කලක් හංදියක් හංදියක් ගානේ මංමාවත්වල දැවි දැවී ගිය ආදරණීය තරුණයන්ගේ ජීවිතවලට වගකිව යුත්තෙක් නැත. ගං`ගාවන් දිගේ මළමිනී ගසාගෙන යනවිට ඒවා තම ස්වාමියාගේය, පුතාගේය, සහෝදරයාගේය යනුවෙන් සොයමින් වෙහෙසන ජනතාවක් අප ඉදිරියේ සිටී. යුද්ධය හෝ වෙනත් හේතුවක් නිසා තම පෙම්වතා ඝාතනයට ලක්ව මුළු ජීවිත කාලයම විඳවමින් කල් ගතකරන කාන්තාවන් කොපමණ මේ සමාජයෙහි අපට හමුවේද? එහෙත් ඒවාට වැරැුදිකරුවන් නැත. සාක්ෂිකරුවන් නැත. සැමවිටම පාලක පක්ෂය විසින් නිරතුරුවම ප‍්‍රකාශ කරන්නේ ඒ ජනතාව විසින් ඇතිකරන ලද තත්වයක් බවයි. සමාජය එවන් දුර්භාග්‍යයකට යොමු කිරීමට පාලක පක්ෂය ඍජුවම වගකිව යුතුය. එහෙත් මෙකී ඛේදයන් මෙම දූපතෙන් එපිටට යන්නේ නැත. නූතන තාක්ෂණය කොතරම් දියුණු වුවත් ඒවා මැඬ පවත්වන්නට පාලක පක්ෂය උත්සාහ දරන්නේ එබැවිණි.
අත්අඩංගුවට ගැනීම්, පැහැර ගැනීම්, තර්ජනය කිරීම්, බලහත්කාරකම් කිරීම්, දූෂණ කිරීම්වලින් අප සමාජය කිසි විටෙක දිළිඳු නැත. එක මිනියකට අයිතිවාසිකම් කියන වැන්දඹු කාන්තාවන්ගේ ඇස්වලින් කියවෙන ශෝකයේ අඩුවක් නැත. සමාජය නිද්‍රාගතකර ඇත. සැණකෙළි, ස්ටාර් තරග, ක‍්‍රිකට් මැච්වලින් සමාජය මෝහනය කර ඇත. එහෙත් සමාජ අභ්‍යන්තරයේ ඇත්තේ කුණු ගඳ ගහන,  ඕජස් ගලන, පාලක පෙළැන්තිය විසින් ක‍්‍රියාත්මක කරන රාජ්‍ය මර්ධනයයි. එය කිරිගරුඩ වැස්මකින් වැසී ඇත. පණුවන් පිරුණු තුවාලයක් සොයා ගැනීම සඳහා කිරිගරුඩ පාෂාණයට කුළුගෙඩි පහරක් එල්ල කරන්නාක් මෙන් සංජීව අප හට අවකාශය සලසයි. තුවාල පිළී ගඳමය, දුගඳය, අප‍්‍රිය සහගතය, ඒ වෙන කිසිවක් නිසා නොව ඔබ අප දෙපා තබා සිටින මහපොළොවේ යථාර්ථය නිසාය. නාට්‍යකරු උත්සාහ දරන්නේ එකී පිළිකුල් සහගත යථාර්ථයේ උදරය විවර කර අතුණුබහන් විධාරණය කරන්නටය.

පිඩෙලියාගේ කතා නොකරන පුතුට කරන ආමන්ත‍්‍රණය අප සමාජයට කළ යුතු ආරාධනයකි.
”පිඩෙලියා – මගේ රත්තරන් පුතේ. උඹ කොහොම හරි කතා කරන්න ඉගෙන ගනින්. අනාගතයේ දී ලෝකයට අප ගැන, අප ගෙන යන සටන ගැන, කියන්න බොහෝ දේවල් තියෙන නිසා කොහොම හරි කතා කරන්න ඉගෙන ගනින්. ඒ කතාන්දර උඹට වචනයෙන් කියන්න බැරි නම් උඹේ ඩාදියත් සමග පිට කරපන්……. කොහොම හරි කතා කරලා අප විඳින මේ දුක ලෝකයාට ඇහෙන්න කෑගා කියාපන්.”
යහපාලනයේ වචන සංදර්ශනවලින් නොව සැබෑ ලෙසින් යහපත් සමාජයක් ගොඩනඟා ගැනීමට එකී අවදිවීම අද අත්‍යවශ්‍ය වී ඇත. ඔබ කතා නොකරන තෙක් මෙකී ඛේදයන් චිලී දේශයේ පමණක් නොව උතුරේ ද දකුණේ ද සිදුවිය හැකිය. ලොව පුරා සිදුවිය හැකිය. එය නවතා දැමිය හැක්කේ පුරවැසියන් දැනුවත් වීමෙන් පමණි. සංජීව නුවන් නාට්‍යකරුවකු වශයෙන් වැදගත් වන්නේ එවන් ප‍්‍රඥාවකට සමාජය ගමන් කරවීමට මැදිහත් වීම නිසාය.

දේශීය නාට්‍ය කලාව විමසීමේ දී අපට පළමුව හමුවන බාධාවක් ඇත. එනම් මෙරට නාට්‍ය කලාව සම්බන්ධයෙන් සාධනීය විචාර කලාවක් නොමැති වීමයි. මහාචාර්ය සරච්චන්ද්‍ර  මහතා මෙරට නාට්‍ය ක්ෂේත‍්‍රයට සුවිශාල මෙහෙවරක් කළ බැව් සැබෑය. එහෙත් සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කලාව බැබළවීමට භාජනය වූයේ එවක විචාරකයන් එම නිර්මාණ වෙත එල්ල කරන ලද විචාර ආලෝක කදම්බයෙහි අනුහසෙනි. නාට්‍ය කලාව ‘මනමේ’ නාට්‍යයෙන් ඔබ්බට ගොස් ඇත. එය කවරකු හෝ නොදකියි, නොහඳුනයි. ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු නාට්‍ය හෝ වෙනත් කලා මාධ්‍යයන් පිළිබඳව විචාර කරනවා’ය යනුවෙන් සිදුකරන්නේ ‘කතා වස්තුව’ නැවත කියවීමයි. එහෙත් නාට්‍ය කලාවට මීට වඩා යථාර්ථවාදී ජවසම්පන්න විචාර කලාවක් අවශ්‍යව ඇත. එසේ නොවන්නේ නම් දේශීය නාට්‍ය කලාව කොතෙක් දුරට ශිල්පීය වශයෙන් හා නිර්මාණාත්මක වශයෙන් දියුණු වුව ද ඉන් ප‍්‍රයෝජනයක් නැත. අප අද නාට්‍ය විචාරය නමින් දකින්නේ සති අන්ත පුවත්පතවල පිටු භාගයක යම් නාට්‍යයක හොඳ සහ නරක කිහිපයක් දක්වන පැරැුණි කාලයේ කවි කොළ සිහිපත් කරන විචාරයන්ය. මේ නිසා නාට්‍ය කලාව සම්බන්ධයෙන් බරසාර මැදිහත් වීමක් කිරීම විචාරකයාගේ සමකාලීන සමාජ වගකීම වී ඇත. එවන් ආස්ථානයක හිඳම ‘වැන්දඹුවෝ’දේශීය වේදිකා නාට්‍ය කෙතෙහි කොතෙක් දුරට රෝපණය වූවාදැ’යි විමසීමට උත්සාහ ගතිමි.

විශ්වවිද්‍යාලය යනු අද ආප්ප කඩ බවට පත්වෙමින් පවතී. ඉල්ලූමට සැපයුම් කරන සල්පිල් බවට පත්වෙමින් පවතී. පෙරදා පොතපත, සංවාද, විවාද කළ සරසවිය අද පාළුවට ගොසිණි. පොත් මුදලාලි සිටින්නේ නුවර පාරේය. ‘කපල් සිම්’ විකුණන්නා සිටින්නේ මානව ශාස්ත‍්‍ර පීඨය ඉදිරිපිටය. ‘කොණ්ඩා මල්’ විකුණන්නා සිටින්නේ ලෙක්චර් රූම් දොරටුව අසලය. හොඳ දේ ඉවත් කර කුණු තබාගන්නා ‘පෙනේරය’ මෙන් සරසවිය බුද්ධිමතුන් නෙරපා දමා, කඳ හා බඩ ඇත්තවුන් රඳවා ගන්නා තත්වයට පත්වෙමින් තිබේ. අද වන විට බාහිර සමාජය, කියවීමෙහි හා නව දැනුම සෙවීමෙහි  සරසවියට වඩා ඉදිරියෙන් සිටී. අද වන විට විශ්වවිද්‍යාලය විසින් නොකරන්නේම ශාස්ත‍්‍ර ගවේෂණයයි. නව නිර්මාණ බිහි වන්නේ නැත. එවන් නිර්මාණකරුවන්ට රැුකවරණය දෙන්නේ නැත. පෙර පැවතියා වූ ආලෝකයෙන් දිදුලන අතීත කාමයෙන් ජීවත්වන ධනය හා බලය වෙනුවෙන්  ඕනෑම තුච්ඡු ක‍්‍රියාවක් කරන තැනට අද සරසවිය පත්වෙමින් පවතී.

මෙවන් වාතාවරණයක සංජීව නුවන් කරන මෙකී නිර්මාණ කටයුත්ත ඉතා පැසසිය යුතුය. දශකයකට ආසන්න කාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ කීර්තිය ආරක්ෂා කරගන්නටත් නාට්‍ය කලාව පර්යේෂණාත්මකව හා නිර්මාණාත්මකව වර්ධනය කරන්නටත් නාට්‍ය හා රංගකලා අධ්‍යයන ඒකකය කරන්නා වූ මෙහෙය අගය කළ යුතුය. මේ තත්වයට නාට්‍ය කලාව වර්ධනය කරන්නට එම අධ්‍යයන අංශයේ මහාචාර්ය පැට්රික් රත්නායක, ප‍්‍රියංකර රත්නායක ප‍්‍රමුඛ ආචාර්ය මණ්ඩලයත් එදා සිට මේ දක්වා සිටි විද්‍යාර්ථයන් ද විශාල කැප කිරීමක් කර ඇත.

සංජීව නුවන්ට පමණක් නොව අප සැමටම සමාජයීය වගකීමක් පැවරී පවතී. දේශීය නාට්‍ය කලාවක් පිළිබඳව අනාගතයේ යම් බලාපොරොත්තුවක් පවතින්නට අප විසින් එය කළ යුතුය. පේරාදෙණියේ නාට්‍ය කලාව සුපෝෂිත වූයේ නාට්‍ය කලාවට සාපේක්ෂ විචාර කලාවක් ද පේරාදෙණියෙන් බිහි වීමයි. පේරාදෙණියෙන් පසුව නාට්‍ය කිරුළ පලඳා ගන්නට කැලණි සරසවිය සමත් විය. නාට්‍ය බිහිවිය, විචාර බිහි නොවීය. විචාර කලාවක් නොමැති කලාව, හුදකලා වනු ඇත. අද කරන නිෂ්පාදනයන් අදට වඩා වටින්නේ හෙටය. 1956 නිෂ්පාදිත සිංහබාහු අද අමිල වන්නේ එබැවිණි. කැලණියේ නාට්‍ය කලාව ඉතා ප්‍රෞඩ නාට්‍ය කිරුළකි. එය උදුරා ගන්න බාහිර නාට්‍ය ලෝකය නොඉවසිල්ලෙන් බලා සිටී.

අනෙක් වැදගත් කරුණ වන්නේ දේශීය නාට්‍ය කලාව වෙනුවෙන් ස්වතන්ත‍්‍ර නාට්‍ය රචනා කිරීමයි. ග‍්‍රීක නාට්‍ය ග‍්‍රීකයන් විසින් ලියනු ලැබීය. අමෙරිකානු නාට්‍ය අමෙරිකානුවන් ලිවීය. සංස්කෘත නාට්‍ය, සංස්කෘත නාට්‍යකරුවන් විසින් රචනා කරනු ලැබීය. කැලණියේ නාට්‍ය කිරුළ රැුක ගැනීමට නම් ස්වතන්ත‍්‍ර නාට්‍ය රචනා කිරීමේ කාලය එළඹ ඇත. එකම තැටියේ එකම රොටී දැමීම නවතා සමාජයේ ගතික ස්වභාවයන් අනුව සමාජය සම`ග ගනුදෙනු කළ හැකි නාට්‍ය රචනා කරන්නේ නම් අපට අපේ කියා කිව හැකි නාට්‍ය කලාවක් ගොඩනඟා ගැනීමට හැකිය. නාට්‍ය විචාරයට හා නාට්‍ය රචනයට වැදගත් වගකීම් සහගත මැදිහත් වීමක් නොකරන්නේ නම් අනාගතයේ අපේ කියා නාට්‍ය කලාවක් ඉතිරි වන්නේ නැත.
අප විදේශීය නාට්‍ය කලාවෙන් අභාෂය ගත යුතුය. ඒවා නිෂ්පාදනය කළ යුතුය. එහෙත් ඒවාට නතුවිය යුතු නැත. අපට අපේ කියා නාට්‍ය කලාවක් ගොඩනඟා ගත හැක්කේ අලූතෙන් නාට්‍ය රචනා කිරීමෙනි. එහෙත් එවන් නිර්මාණකරුවන් නාට්‍ය කලාවට උර නොදෙන තෙක් අශ්වයන් නොමැති රටක පෝනියන් පෙන්වමින් සිනාසෙන්නාක් මෙන් සැනසීමට සිදුවෙනු ඇත.

ගාමිනි බස්නායක