සෝමවංශ අමරසිංහගේ නික්ම යාම – සිදුවන්නේ කුමක්ද?

imagesඅපේ‍්‍රල් 16 වැනිදා සවස 3 ට බත්තරමුල්ල, පැලවත්ත, ‘ෆැන්ටේෂියා’ හෝටලයට මාධ්‍ය සාකච්ඡුාවක් සඳහා පැමිණෙන ලෙස මාධ්‍ය කිහිපයකට පණිවිඩයක් ලැබී තිබුණා. එතැනට ආරාධනා ලැබුණේ මුද්‍රිත මාධ්‍ය කිහිපයකට පමණයි. විiුත් මාධ්‍ය කිසිවක් ඒ සඳහා සහභාගී වී තිබුණේ නෑ. එතැනට ගිය මාධ්‍යවලට දකින්න ලැබුණේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වන බව ප‍්‍රකාශ කරන ආකාරයයි.

වසර 46 ක් ජවිපෙ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ, වසර 24 ක් එහි නායකයාව සිටි තමන් ජවිපෙ හි වත්මන් දේශපාලන උපායමාර්ගයට එකඟ නොවන නිසා ඉන් ඉවත් වන බව ඔහු ප‍්‍රකාශ කළා. ඔහු එවැනි ප‍්‍රකාශයක් සිදුකිරීම වැළැක්වීමට ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් එතැනට පැමිණි මුත් ඔහුට බලාපොරොත්තු වූ ආකාරයේ බලපෑමක් සෝමවංශ වෙත කළ නොහැකිව පසු බසින්න වුණා. ඉන් අනතුරුව මාධ්‍යවල ප‍්‍රධාන පුවත් මැවුණේ සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වීම ගැන. ඇත්තටම සිදුවී තිබෙන්නේ කුමක්ද? සෝමවංශ ජවිපෙන් ඉවත් ඉවත් වූයේ ඇයි?

ඔහු ඉන් අනතුරුව පුවත්පත් හා විද්‍යුත් මාධ්‍ය කිහිපයකට සම්මුඛ සාකච්ඡුා ලබා දුන්නත් ඒ කිසිවකින් ඔහුගේ තීරණය සඳහා බල පෑ සැබෑ හේතු හොඳින්ම ප‍්‍රකාශයට පත් වුණේ නැහැ. ඒ නිසා වත්මන් ජවිපෙ අර්බුදයේ පෙනෙන – නොපෙනෙන අඳුරු අහු මුලු ගැන පුළුල් අදහසක් සකසා ගැනීම අවශ්‍යයි. ඒ ලාංකේය ජනතාවට ජවිපෙ සම්බන්ධයෙන් නිවැරදි කියවා ගැනීමක් අවශ්‍ය නිසා.

ජවිපෙ මුල් ප‍්‍රතිචාරය

සෝමවංශ අමරසිංහ ඉවත් වීම දේශපාලන ප‍්‍රශ්නයක් නොවේය, එය ඔහුගේ පෞද්ගලික තීරණයක්ය කියලා ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නිවේදනයක් නිකුත් කර තිබුණා. මොවුන් මුලින්ම කීවේ සෝමවංශව නැවත පක්ෂයට එක්කර ගැනීමට කටයුතු කරන බවකුයි. නමුත් ක‍්‍රමානුකූලව සෝමවංශ මාධ්‍ය වෙත තම අදහස් දක්වන්න පටන් ගත්තායින් පස්සේ, පක්ෂයට නැවත එකතු කරගන්නා අදහස වෙනස් කරමින් ‘පෞද්ගලික හේතුවක්’ මත ඔහු ඉවත් වූ බව කීවා. හැබැයි එහෙම කීවේ ඒ වනවිටත් සෝමවංශ තමන්ගේ ඉවත් වීම දේශපාලන හේතූන් පදනම් කරගත්තක් බව පැහැදිලිවම ප‍්‍රකාශ කොට තිබියදී. ඒ නිසා මේ ‘පෞද්ගලික හේතු’ කතාව අතේ පැලවෙන බොරුවක් බව දැන් තහවුරුයි.

තමන්ගේ ඉවත්වීම ජවිපෙ වත්මන් දේශපාලන උපායමාර්ගය සමග ගැටීමක් නිසා හටගත්තක් බව සෝමවංශ පැහැදිලිවම ප‍්‍රකාශ කරනවා. ඒ අනුව, ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් ඇතුළු පිරිස ‘පෞද්ගලික හේතු’ කතාවක් පුන පුනා කියන්නේ පැහැදිලිවම පසුවට වෙනත් ‘කතාවක්’ කීම සඳහා පසුබිම නිර්මාණය කරන්න බව දැන් දැන් පෙනී යනවා. ජවිපෙ විසින් පසුව කියන්න යන කතාව දැන් දැන් සෝමවංශටත් තේරී තිබෙන බව හෝ දැනගෙන තිබෙන බව ඔහු විසින් ‘නෙත් එෆ්.එම්.’ ගුවන් විදුලි නාලිකාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව තුළින් එළියට පැන්නා.

සඳුදා රාත‍්‍රී ‘දෙරණ’ රූපවාහිනී සේවයේ වැඩසටහනකට එක්වෙමින් සෝමවංශ කියා සිටියේ ජවිපෙ තුළ සිදු කළ දේශපාලන සංවාදය පල රහිත වූ නිසා තමන් එයින් ඉවත් වූ බවයි. මේ සංවාදය මොකක්ද? එය පෙරටුගාමී

සමාජවාදී පක්ෂය බිහි වීමට මුලපිරූ, ජවිපෙ තුළ වසර ගණනාවක් පුරාවට පැවතුනා වගේ වම – දකුණ අතර සංවාදයක් නොවන බව සෝමවංශ අමරසිංහ පවසන කරුණුවලින් පැහැදිලි වෙනවා. එය දකුණේම කඳවුරු දෙකක් අතර එනම්, දකුණ – දකුණ සංවාදයක්. වඩාත් විස්තරාත්මකව කියනවා නම් ලිබරල් දකුණ හා ජාති(ක)වාදී දකුණ අතර සංවාදයක්. හැබැයි මේ එක් කඳවුරක් හදුන්වන්න පසුවට ලිබරල් කීවාට ඒක එහෙම පිටින්ම බටහිර ලිබරල්වාදී මතවාදය දරන නියෝජනයක් නෙවෙයි. ඒක ජාතිකවාදයයි, පසුගාමීත්වයයි විවිධ අනුපාතයන්ට කලවම් කරපු අමුතුම වර්ගයේ ලිබරලයක්. ඒකට අවශ්‍ය ලිබරල් අඩුම කුඩුම ටික හොයාගන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්.

අනිත් අතට සෝමවංශ නියෝජනය කරන ජාති(ක)වාදය ගත්තම ඒකෙත් තියෙනවා යම් යම් ලිබරල් ලක්ෂණ ප‍්‍රමාණයක්. සෝමවංශ ඒ ටික ප‍්‍රංශෙන් හෝ එංගලන්තෙන් ගෙනාව නොවෙයි. පසුගිය කාලය තුළ ඔහුගේ දේශපාලන අදහස්වලින් හා ක‍්‍රියාකාරිත්වයෙන් හෙළිදරව් වුණේ ජවිපෙ මුල් නායකයන් සමඟ සමීපව සිටිය එයා ළ`ග ජාති(ක)වාදය වගේම මේ කියන ලිබරල් ලක්ෂණත් කාලයක පටන්ම තිබුණ බවයි. මේ දවස්වල ඒක ගොඩක් කිට්ටු වෙන්නේ වර්තමාන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ දැක්මට.

  • වමට බලපාන දකුණ

මේ වෙනකොට ලංකාවේ දක්ෂිණාංශික දේශපාලනය තුළ විශාල බලපෑමක් කරන මූලික මතවාදී ප‍්‍රවණතාවන් දෙකක් තියෙනවා. ඒක දේශපාලන භාෂාවකින් සුළු ධනේශ්වර මතවාදය කියලා කියන්න පුළුවන්. එහි ප‍්‍රධාන පාර්ශ්ව දෙකක් වන්නේ ජාති(ක)වාදී මතය හා ලිබරල් මතය. මේ මතවාදයන් දෙකටම පොදු ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒත් මේ මතවාදී කඳවුරු දෙක අතරේ සැලකිය යුතු වෙනස්කම් ප‍්‍රමාණයකුත් තියෙනවා. නාගරික සහ ග‍්‍රාමීය පොදු ජනතාව නියෝජනය කරන විවිධ ජන කොටස් මේ කඳවුරු දෙකින් එකකට ගොදුරු කරලා තියෙනවා. ඒ ඔස්සේ මූලික වශයෙන් මෙම ජනතාවන් බෙදිලා ඉන්නවා. එහෙම නැත්නම් බෙදලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ප‍්‍රධාන අපේක්ෂකයන් දෙන්නා මූලික වශයෙන් කඳවුරු බැඳගත්්තේ මේ මතවාදී ධාරාවන් දෙක ඔස්සේ. හැබැයි රටේ සුක්කානම හසුරුවන මේ ප‍්‍රධාන කඳවුරු දෙකේ දේශපාලන නායකයන්ට රට විකුණන ලංකාවේ කොල්ලකාරී ආර්ථික ප‍්‍රතිපත්තිවලට අදාළව නම් කිසිම වෙනස්කමක් අදාළ නැහැ. මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ කේන්ද්‍රයත් ඔහුව බලයට ගෙන ඒම මඟින් තමන්ගේ පැවැත්ම හදාගන්න වලිකන සංධානයේ සමහර කොටසුත් ශ‍්‍රීලනිප මෛත‍්‍රී කේන්ද්‍රයේ සමහර අයත් ජාතිකවාදී කඳවුර ආමන්ත‍්‍රණය කිරීමට උත්සාහ දරනවා. එක්සත් ජාතික පක්ෂය මූලික වශයෙන් ලිබරල් කඳවුර ආමන්ත‍්‍රණය කිරීමට උත්සාහ දරනවා. මෛත‍්‍රීපාල මහත්තයා මේ දෙක අතරෙ එහෙට මෙහෙට වැනෙනවා. ඒකනේ එයා වැඩිපුරම සමගි සන්ධාන ආණ්ඩුවකට කැමති. ස්වාධීන වාමාංශික මතයක් පිළිබඳ විශ්වාසයක් නොමැති ජනතා විමුක්ති පෙරමුණත් මේ මතවාදී ධාරා දෙකෙන් එකකට වරින්වර දෝලනය වෙනවා. හැබැයි කොහෙට දෝලනය වුණත් සාමාජිකත්වයේ සමහරුන්ට අවශ්‍ය රතු සායම් ටික ටිල්-වින් විසින් කොහොම හරි ආලේප කරලා දෙනවා.

someනිල ජවිපෙ මේ වන විට ගමන් කරමින් තිබෙන්නේ ලිබරල් දක්ෂිණාංශික උපාය මාර්ගයේ. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’, ‘යහපාලනය’ වැනි එජාපය විසින් අර්ථකථනය කර දුන් අදහස් කරපින්නාගෙන එක්සත් ජාතික පක්ෂය සමඟ අමුතුම ආකාරයේ සභාග දේශපාලනයක නියැළෙමින් ඔවුන් යන ගමන තුළින් එළඹෙන මහ මැතිවරණයකදී ඉලක්ක කරන්න උත්සාහ කරන්නේ ලිබරල් ජාතිකවාදීන් යැයි හඳුනාගන්නා පිරිස්. නමුත් මීට කලකට ඉහත දී ජවිපෙ ගමන් කළේ මුළුමනින්ම ජාතිකවාදී උපායමාර්ගය තුළ. දේශපේ‍්‍රමය, ජාතික සංස්කෘතිය, ව්‍යාජ අධිරාජ්‍ය විරෝධය ආදී අදහස් හරහා ඇරඹුණු එය අවසානයේ දී යුද්ධයට ඍජුවම සහාය දීමේ ජාතිවාදයෙනුත් ශ‍්‍රීලනිපය සමඟ සන්ධානගත වීමෙනුත් කෙළවර වුණා. වර්තමාන ජවිපෙ නායකත්වය තුළ මේ දක්ෂිණාංශික ප‍්‍රවණතා දෙකම විවිධ අනුපාතයන්ගෙන් ක‍්‍රියාත්මක වෙනවා. මේ උපායමාර්ග දෙක ගැනම විවිධ ප‍්‍රමාණයන්ගෙන් විශ්වාස කරන, ඒවා ජයග‍්‍රහණය කිරීමට වලිකන පිරිස් ජවිපෙ නායකත්වය තුළ ඉන්නවා.

  • සෝමවංශ හා අනුර

ජවිපෙ වත්මන් නායකයා බවට පත්ව සිටින අනුර දිසානායක තම ගමන්මඟ සකස් කරගෙන තිබෙන්නේ තමන්ටම අනන්‍ය ආසියාතික ජාතිකවාදයත් ප‍්‍රාදේශීයවාදයත් සමඟ එජාපයේ ලිබරල් දක්ෂිණාංශික උපායමාර්ගය කලවම් කරගෙන. ඒ අනුර, රනිල් වික‍්‍රමසිංහ තරම්වත් ලිබරල් අදහස් දරන්නකු වීම නිසා නෙවෙයි. විමල් වීරවංශගේ දේශපාලනයට හාත්පසින්ම වෙනස් දේශපාලනයක් කෙසේ හෝ කිරීමට ඔහුට තිබෙන උවමනාව මේ සඳහා බලපා තිබෙන නිසා. ජාතිවාදී දකුණට පැන්න වීරවංශව දකුණෙන් ඉස්සර කරන්න ලිබරල් දකුණ හැරෙන්න වෙනත් විකල්පයක් අනුරට පේන්නේ නැහැ. වීරවංශ ජවිපෙ තුළ සිටින කාලයේ දී තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා වූ ඔහු සමඟ අනුරට තිබුණේ ජයගන්න අසීරු තරගයක්. සෝමවංශ ඒ කාලයේ සිටම විශ්වාස කළේ ලිබරල් සම්මිශ‍්‍රණයක් සහිතව වුණත් මූලික වශයෙන් ජාතිකවාදී උපායමාර්ගය.

ජාතිකවාදය දේශපාලන උපක‍්‍රමික සන්දර්භයකින් එහාට ගෙනිහිල්ලා ඒක ජවිපෙ සංස්කෘතියක් බවට පත් කරන්නත් ඔහු උත්සාහ කළා. වත්මන් ජවිපෙ, එජාප ව්‍යාපෘතියක් තුළ යන මේ ගමන ඒ නිසා සෝමවංශට රුස්සන්නේ නැති වීම අපට තේරුම් ගන්න පුළුවන්. ඒකනේ සමහර ජවිපෙ නායකයන් තොරොම්බල් කරන මැතිවරණ ක‍්‍රම සංශෝධනය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වගේ දේවල් වැඩකට ඇති දේවල් නොවේය කියලා ඔහු කියන්නේ. ඔහු ඒ ගැන තමන්ට තියෙන විවේචනය ඉදිරිපත් කරන්නේ සංස්කෘතික විවේචනයක් විදියට. පිරිත් ඇසීම, පන්සිල් ගැනීම, පිරිත් නූල් බැඳීම ආයුබෝවන් කීම වැනි උදාහරණ හරහා ඔහු ඉදිරිපත් කරන්නේ ඒක.

මේ සිදුවෙන්නේ 2011 ට පෙර ජවිපෙ තුළ සිදු වූවාක් මෙන් පන්ති සහයෝගීතාව හා පන්ති සටන, ජාතිකවාදය හා ජාත්‍යන්තරවාදය, පසුගාමී සංස්කෘතිය හා වැඩ කරන ජනතාවගේ සංස්කෘතිය, නිලධාරිවාදය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතභාවය අතර සංවාදයක් නෙවෙයි. වම – දකුණ සංවාදයක් නෙවෙයි. නිදසුනක් විදියට ධනපති පක්ෂ සමඟ සන්ධානගත වීම ගැන මේ පාර්ශ්ව දෙකේ ලොකු විවාදයක් නෑ. විවාදය තිබෙන්නේ එසේ සන්ධානගත වන්නේ එජාපය සමඟ ද ශ‍්‍රීලනිපය සමඟ ද යන කරුණ ගැන. සමාජ පසුගාමීත්වයන් සමඟ අරගල කරනවා වෙනුවට ඒවා සමඟ සහජීවනයකට යාම ගැන මොවුන් අතර විවාදයක් නෑ. විවාදය තිබෙන්නේ උපක‍්‍රමික ලෙස පසුගාමීත්වයන් භාවිත කරනවාද නැත්නම් ඒ පසුගාමීත්වය තමන්ට ජීර්ණ කරගන්නවාද යන කරුණ ගැන.

දැන් සෝමවංශ කියන්නේ ජවිපෙ පන්සල් යනවා, පන්සිල් රකිනවා නමුත් පන්සිල් පද කටින් කියන්නේ නැහැ කියලයි. ඔහුගෙ ගැටලූව මතුවෙන්නෙ ජවිපෙ හිටිය කාලෙ පිරිත් අහනවා, ඒත් පිරිත් නූල් ගැට ගහන්නේ නැහැ කියලයි. මේ දියත් වෙමින් තිබෙන සංවාදය විසින් අතීත වමේ පක්ෂයක සිට කෙතරම් නම් දකුණට ජවිපෙ තල්ලූ වී තියෙනවාද, කොතරම් නම් අවස්ථාවාදයට ගොස් තියෙනවාද, කෙතරම් නම් පිරිහී තියෙනවාද යන්න පෙන්නුම් කරනවා. දැනටමත් මේ අර්බුදය හමුවේ තමන්ගේ සාමාජිකයන් සමඟ යම් හෝ දේශපාලන විමසීමක් කරගන්නේ නැතිව ‘බලාගමු මැයි දිනයේ දී එන සෙනග!’ වගේ සුපුරුදු ළදරු ප‍්‍රකාශනවලින් සැනසෙන්න උත්සාහ කරන්නේ ඒ නිසයි.

  • ජවිපෙ අලුත්ම ප‍්‍රතිචාරය

නිල ජවිපෙ තමන් තුළ මෙවැනි විවාදයක්, පරස්පරයක් තිබෙන බව පෙන්වන්නේ නෑ. මොන සංවිධාන අර්බුදය ආවත් ජවිපෙ කියන්නේ ප‍්‍රශ්නයක් නෑ කියලා. ප‍්‍රශ්නය රටට පේන්න ගත්තාම කියනවා කවුරු ගියත් මේක වැටෙන්නේ නෑ කියලා. ඒක ජවිපෙ සංස්කෘතිය බවට පත්වෙලා. මෙවරත් ඒ බොරුවම කරනවා. ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය හමුවක් පවත්වමින් කීවේ නැවත පක්ෂයට එක්වීම ගැන සෝමවංශ සමඟ සාකච්ඡුා කරමින් සිටින බව. නමුත් සඳුදා රාත‍්‍රී විකාශනය වූ පෙර කී රූපවාහිනී වැඩසටහනේ දී සෝමවංශ අමරසිංහ කීවේ තමන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නැති අතර ජවිපෙ නායක මට්ටමේ කිසිවකුත් මුණගැසී නැති බවයි.

මෙවැනි විවාදයක් ඇති බව අනාවරණය නොවෙන්න ජවිපෙ බොරු කීම බලපානවා වගේම සෝමවංශ අමරසිංහ තමන්ට ජවිපෙ ගැන ඇති විවේචනය කෙළින් නොකීමත් කෙළින් කියාගන්න බැරිකමත් දෙකම බලපානවා. ඔහු ඒක කෙලින් නොකීමට අදාළ මනෝවිද්‍යාත්මක සාධකයක් තිබෙනවා. තමන් මීට පෙර ජවිපෙන් ඉවත් වූ අයට වඩා වෙනස් බව පෙන්වීමට ඔහුට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා ඔහු අමාරුවෙන් තතනමින් ව්‍යාජ ලිබරල් සදාචාරයක් රකින්න උත්සාහ කරනවා. ඒක අසාර්ථකයි. එයින් ඉස්මතු වෙලා පෙනෙන්නේ දෙබිඩි ස්වභාවයක්. එක් පැත්තකින් ජවිපෙ යන ගමන වැරදි බවට විවේචනය කරමින් ජවිපෙ විසි හතර වසරක නායකයා වූ තමන් ‘පක්ෂයෙන් ඉවත් වී වෙනත් පක්ෂයක් හදන්න යනවා’ය කියමින් ජවිපෙ හි දේශපාලන අර්බුදය ලෝකයට ඉදිරිපත් කරනවා. තවත් පැත්තකින් ඔහු ව්‍යාජ සදාචාරයක් රකින්න උත්සාහ කිරීම මඟින් ඔහු මුහුණ පා ඇති දේශපාලනමය දෙබිඩි ස්වභාවය හෙළිදරව් වෙනවා. ඒ වාමාංශිකයකු ලෙස යම් ගැටලූවකට ඍජුව ප‍්‍රවේශ නොවීමේ ගැටලූවක් ලෙසත් කිව හැකියි. ඒක ඔහු තුළ කාලාන්තරයක් තිස්සේ පැවතුන බව කරුණු සමීපව නිරීක්ෂණය කරන්නකුට නොපෙනී යා නොහැකියි.

නිදසුනක් ලෙස උතුරට බර අවිවලින් පහර දෙන්නැයි මහින්ද රාජපක්ෂගෙන් බලකර ඉල්ලා සිටි ඔහුම දැන් යුද්ධය නිමා වීමෙන් පසු තමිල් ජනතාවට නොරිදෙන ලෙස කටයුතු කළ යුතු යැයි වූ ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මතයක් ගෙන හැර දක්වනවා. ඒ නිසා තමන් ජවිපෙන් ඉවත් වීමට අදාළ දේශපාලන කාරණයවත් නිරවුල්ව ජනතාව වෙත ඉදිරිපත් කිරීමට ඔහු අසමත් වෙනවා. එහි ප‍්‍රතිඵලය වී තිබෙන්නේ ඔහු ජවිපෙන් ඉවත් වූ හේතුව පවා නිරවුල් ලෙස පැහැදිලි නොවීම. හැබැයි ඔහු සම්බන්ධයෙන් ජවිපෙ අනුගමනය කරන මුදු මොළොක් ස්ථාවරයේ යම් යම් වෙනස් වීම් සිද්ධ වෙන්න වෙන්න, ජවිපෙන් ‘පෞද්ගලික හේතුවේ’ තේරුම තම සාමාජිකයන් වෙත යටින් ප‍්‍රචාරණය කරන විට, ඔහුගේ ස්වරයත් එන්න එන්නම වෙනස් වෙමින් රළු පරළු වෙනවා. ‘දෙරණ’ රූපවාහිනියට පස්සේ ‘නෙත් එෆ්එම්’ රේඩියෝ චැනලයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී ඒ ස්වභාවය මතු වී පෙණුනා.

කොහොම වුණත් සෝමවංශ ජවිපෙන් ඉවත්වීමට අදාළව ඔහු විසින් කියන්න උත්සාහ කරන කරුණු දෙකක් තියෙනවා. ඒවා තමයි දැනට ඉදිරිපත් කොට ඇති ප‍්‍රකාශිත කරුණු. නමුත් ඔහු වට වන්දනාවෙන් කියන්න උත්සාහ කරන එහෙත් නිරවුල්ව ඉදිරිපත් නොකරපු සැබෑ හේතුවකුත් තියෙනවා. දැන් ප‍්‍රකාශිත පළමු කාරණය තමයි, ජනවාරි 09 වැනිදා ජනාධිපතිවරණයෙන් පරාජය වූ රාජපක්ෂලා විසින් සිදු කිරීමට නියමිතව තිබුණා යැයි කියන රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයේ දී ජවිපෙ නිසියාකාරව කටයුතු නොකිරීම. අනෙක තමන් යෝජනා කරන ‘දසරාජ ධර්මය’ට අනුව කටයුතු කිරීමට වත්මන් ජවිපෙ නායකත්ව බහුතරය අකමැති වීම. තවමත් අප‍්‍රකාශිත සැබෑ හේතුව පළමුවෙන් සඳහන් කළ ප‍්‍රකාශිත හේතුව හා සම්බන්ධයි. එනම් පසුගිය ජනාධිපතිවරණ අවස්ථාව දේශපාලනමය වශයෙන් විශේෂ වැදගත්කමක් දරනවා.

  • ජනාධිපතිවරණයේ භාග තීරණ

ලංකාවේ දේශපාලනය තුළ එක්තරා කඩඉමක් වන්නේ පසුගිය ජනාධිපතිවරණයයි. බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ට මෙන්ම වාමාංශිකයන්ට තමන්ගේ ඇත්ත සීමාවන් වටහාගන්න මේ දේශපාලන අවස්ථාවක් වුණා. ජවිපෙ තුළ වර්තමානයේ දී දිග හැරෙන මේ අර්බුදයට ආසන්නතම දේශපාලන අවස්ථාව වෙන්නේත් පසුගිය ජනාධිපතිවරණයයි. ඒ ජනාධිපතිවරණයෙන් පස්සේ ආණ්ඩුවට සම්බන්ධ වීම හා නොවීම සම්බන්ධයෙන් මතු වූ විවාදයයි. සෝමවංශ ‘භාග තීරණයක්’ වශයෙන් හඳුන්වන්නේ වත්මන් ජවිපෙ නායකත්වය විසින් අනුගමනය කරනු ලබමින් සිටින කි‍්‍රයාමාර්ගයයි. ජාතික විධායක සභා තීරණයයි. එදා 2005 ජනාධිපතිවරණයෙන් පසුව 2006 දී රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ වීමට දරන ලද සෝමවංශ-වීරවංශ දේශපාලන පිය-පුතු උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසුවත් දෙදෙනා එක් වී අළුත් පක්ෂයක් නිර්මාණය කිරීමේ උත්සාහයක් තිබුණා. එදාත් මේ දෙදෙනාම පැවසුවේ ජනාධිපතිවරණයේ දී රාජපක්ෂට සහාය දී දිනවා ආණ්ඩුවට නොයා විපක්ෂයේ සිට සහාය දීමේ තත්වය භාග තීරණයක් බවයි.

එනිසා රාජපක්ෂ ආණ්ඩුවට යා යුතු බවත් ලැබුණු ‘ජනවරම’ ජවිපෙ විසින් හැසිරවිය යුතු බවත් එසේ ආණ්ඩුවට නොයා සිටීම යනු ජවිපෙට ලැබෙන ස්වර්ණමය අවස්ථා අත් හැරීමක් බවත් එදා ඔහු පැවසුවා. එසේනම් අද දිනයේ ඔහු පවසන භාග තීරණය විය යුත්තේ කුමක්ද? අද දිනයේ දී අත් හරින ලද ස්වර්ණමය අවස්ථාව කුමක් විය හැකිද? ඒ වෙනකක් නොව ජනාධිපතිවරණයේ දී මෛත‍්‍රී ජනාධිපති කරන්නටත් රනිල් අගමැති කරන්නටත් සහාය දී පැත්තකට වී නොසිට මෛත‍්‍රී ජනාධිපති කරන්නට ඡුන්දය දුන් බලවේගයට නායකත්වය දීමට ජවිපෙ සූදානම් විය යුතු බවයි. ඒ සඳහා මෛත‍්‍රීගේ ආණ්ඩුවට සම්බන්ධ වී චම්පික රණවකලා රාජිත සේනාරත්නලා වෙනුවට අනුරලාගේ මැදිහත්වීමෙන් මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා හැසිරවිය යුතු බවයි. එජාපයට නොව ජන වරම ලැබුණේ මෛත‍්‍රීපාලට නිසාත් ඔහු තම දේශපාලන සතුරාගෙන් පළි නොගත් ‘අති විශිෂ්ටයෙක්’ නිසාත් ඔහු ලැබූ ජනවරමට එජාපයට හෝ චම්පිකලාට ඉඩ නොදී ජවිපෙ ආදේශ විය යුතු බවයි. එදා 2006 දී වීරවංශලා ලවා මහින්ද ජනාධිපතිවරයා හැසිරවීමට තිබූ බලාපොරොත්තුව ද මෙලෙසම ප‍්‍රකාශයට පත්වූ බව දැන් රහසක් නොවේ.

මෙසේ ලැබුණු ජනබලයේ වාසිය ජවිපෙ වෙතට හරවා ගතයුතු බවයි. මෛත‍්‍රීපාල දේශපාලනමය වශයෙන් හැසිරවිය යුතු බවයි. සෝමවංශගේ ලිබරල් කලවමක් සහිත ජාති(ක)වාදී චින්තනය විසින් මෙම ස්ථාවරය වෙත එළඹීමට එතරම් ගැටලුවක් මතු නොවන්නේ මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා පිළිබඳව ඔහු තුළ වන සුබවාදී ආකල්පය නිසාය. ඔහුට අනුව මෙම යෝජනාවට සමහර ජවිපෙ නායකයන් අකැමැති වන්නේ ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් එල්ල වන වාමාංශික විවේචනයට ඇති බය නිසා බව නම් නිසැකය. ජවිපෙ වත්මන් ක‍්‍රියාමාර්ගයන් හැසිරවෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ න්‍යාය පත‍්‍රයට ගොදුරු වෙමින් ඔවුන්ගෙන් එල්ල වන විවේචනය මඟ හැරීම අරමුණු කරගනිමින් බව ඔහු පවසන්නේ ඒ නිසා.

  • වමේ දේශපාලනය කොයිබටද?

කොහොම උනත් මේ අර්බුදය ගමන් කරමින් තිබෙන්නේ මොනවගේ පැත්තකටද? දැනටමත් ආණ්ඩුවේ කොටස්කරුවෙක් වෙලා එජාපයේ වලිගයක් වෙමින් තිබෙන ජවිපෙට සෝමවංශගේ නික්මීම නිසා තම පක්ෂය අභ්‍යන්තරයේ සිටින ජාතිකවාදී කොටසින් ඇතිවන පීඩනය අවම වීම නිසා නිදහසේ, ප‍්‍රතිරෝධයකින් තොරව එජාපයේ ශාඛා සමිතියක් බවට පත්වීම දක්වාම යන්න පුළුවන්. එහෙමත් නැතිනම් ‘දේශපේ‍්‍රමී බලවේගය’ තමන්ගෙන් ඈත් වෙයි කියලා කලබල වෙලා ජාතිකවාදයේත් ලිබරල්වාදයේත් දෙමුහුමක් හදන්නත් පුළුවන්. ජවිපෙ සමස්ත දේශපාලන භාවිතාව උපයෝගීතාවාදය, ප‍්‍රායෝගිකවාදය මත පදනම් වන නිසා මේ ඕනෑම දෙයක් වීමේ සම්භාවිතාව බැහැර කරන්න බෑ.

එළියට ආ සෝමවංශ අමරසිංහට නම් තමන්ගේ ලිබරල් කලවමක් සහිත ජාතිකවාදී ව්‍යාපෘතිය සඳහා බලවේගයක් අවශ්‍යයි. නමුත් සමාජ බලවේගයන් බෙදී සිටින ආකාරයට තමන්ට නවාතැනක් පෙනෙන තෙක් මානයක නෑ. ඔහු සමඟ විශ්වාසයෙන් යුතුව එක්වීමට යමෙක් සොයා ගැනීම ඊටත් වඩා අසීරු කාරියක්. කොහොම නමුත් ඔහු පවසන ආකාරයටම ජවිපෙ සම්බන්ධයෙන් ඔහුගේ ප‍්‍රතිචාරය තීරණය වන්නේ ජවිපෙ ඔහු සම්බන්ධයෙන් අනුගමනය කරන කි‍්‍රයාමාර්ග අනුව බව ඔහු දැනටමත් ප‍්‍රකාශ කොට තිබෙනවා. තමන් ද නියෝජනය කළ හා පෙනී සිටි ජවිපෙ අගතිගාමී සංස්කෘතික උරුමයේ කෲර ගොදුරක් බවට දැනටමත් සෝමවංශ ලක් වී ඇති බව අපගේ අවබෝධයයි. එය ඔහුගේ ද අවබෝධය වී ඇති සෙයකි. ටිල්වින් සඳහන් කරන ‘පෞද්ගලික හේතු’ මඟින් දැනටමත් තම දේශපාලන සතුරකුටවත් නොගැලපෙන ආකාරයේ දේශපාලනමය නොවන සදාචාර විරෝධී විවේචනයක් ඔහු වෙත එල්ල කිරීම ආරම්භ කොට තිබෙනවා.

කොහොම වුණත් ජවිපෙ තුළ ඇති වී තිබෙන නායයාම් හා ඛාදනයක් අපට නව දේශපාලන සංවාදයක් සඳහා දොරටු විවර කරනවා. ඇත්තටම ගත්තොත් එය 1950 දශකයේ පැරණි වම මුහුණ දුන් දේශපාලන සංවාදයක්. ලංකාව වගේ සුළු ධනේශ්වර මතවාදයන් ආධිපත්‍යය දරන සමාජයක වමේ ව්‍යාපාරයන් එම මතවාදය සහිත බලවේග අතහරින්නේත් නැතිව ඒ මතය ඉදිරිපිට දණගසන්නේත් නැතිව පීඩිත පන්තීන්ගේ ස්වාධීන දේශපාලන බලයක් වර්ධනය කරගන්නේ කොහොමද? ඒ උභතෝකෝටිකයට පිළිතුරු සෙවිය යුතුයි. නැතිනම් එදා ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය තුළ සිදු වූ අද ජනතා විමුක්ති පෙරමුණ තුළ සිදුවන පීලිපැනීම හා බිඳවැටීම හෙට තවත් වමේ පක්ෂයක් තුළ ප‍්‍රතිනිර්මාණය වෙන්න පුළුවන්.

විශේෂ ලියුම්කරුවකු විසිනි.