අවුරුදු අස්පස් කිරීම සහ ජපනාගේ එස් පහ

sinhala_new_year_greetings_4අලූත් අවුරුදු දවස් සාමාන්‍යයෙන් කම්මැලිම දවස්ය. බොහෝ අය තම වාසස්ථාන අස්පස් කරගන්නේ මෙම කාලයේ දීය. මමත් එසේ පොත් කාමරය අස්පස් කරමින් සිටින විටදීය මා මිත‍්‍ර ප‍්‍රවීණ පුහුණුකරු සරත් වික‍්‍රමරත්නයන් ටෙලිෆෝනයෙන් ඇමතුයේ. මා කරන කාර්යය කී විට ‘අස්පස් කිරීම’ පිළිබඳව කොටගම ශූරීන්ගෙන් දැන උගත් බොහෝ දෑ මා සමඟ ද බෙදා ගන්නට තරම් ඔහු නිර්ලෝභී විය. බොහෝ විට සරත් කතා කරන විට අවම වශයෙන් පැය භාගයක් පමණ සල්ලාපයෙහි යෙදෙයි. (දුරකථන ඇමතුම ගන්නේ ද ඔහුය!) එම සංවාදය බොහෝ රසමුසුතැන්වලින් ද ඇති තරම් හිනාවෙන්නට බොහෝ කෙටි කතාවලින් ද බොහෝ න්‍යායාත්මක දේශපාලනමය හා ප‍්‍රායෝගික අත්දැකීම්වලින් ද සපිරිය.

කොටගම ශූරීන් සරත්ව දැනුවත් කොට ඇත්තේ ඇල්මකින් තොරව අස්පස් කරන ලෙසය. එවිට කිසිදා ප‍්‍රයෝජනයට නොගත් හා නොගන්නා බොහෝ දෑ ඉවත් කළ හැකිය. එක් දිනක් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ විද්වතෙක් ද මෙවැනිම දෙයක් පවසා, ඔහුගේ භාර්යාව ඇගේ දරුවන් කුඩා කල ඇඳි ඇඳුම් ‘තොගයක්’ අල්මාරියේ ‘පටවාගෙන’ සිටි බව ද මෙම විද්වත් සම්පත් දායකයාගේ පෙලඹවීම මත එම ඇඳුම් කොට්ටයක් ලෙස සකසා ඇදෙහි තබා ගන්නට සලස්වා අල්මාරියට ‘නිදහසක්’ ලබා දුන් බවද පැවසීය. සරත් හා මා අත්දැක ඇති එංගලන්තයේ ආදර්ශය නම් එවන් බොහෝ භාණ්ඩ නිවෙස්වලින් පිට පදික වේදිකාවේ ගොඩගසා ඇති අන්දමය. සමහර භාණ්ඩ ලංකාවට ගෙන එ්මට තරම් ‘පාවිච්චි කළ හැකි හොඳ මට්ටමේ’ තිබූ එ්වා වුවද එම භාණ්ඩ නගරයේ කුණු එකතු කරගන්නා වාහනයට මිස අන් අයට ඉවත් කරගැනීම තහනම්ය! සමහරු ඔවුනට භාවිත කිරීමට අකමැති ඇඳුම් පැලඳුම් ‘පරිත්‍යාග කිරීමට’ ඉදිරිපත් වෙති. එම ඇඳුම් කන්ටේනර් පිටින් පෙර කලෙක ‘බේල්’ ලෙස ද වත්මනෙහි තොග පිටින් ‘නොනමින්’ ද අප වැනි රටවලට ගොඩබායි. බොහෝ විට පදික වෙළෙඳපොළෙහි රුපියල් 20-30 ට විකිණෙන්නේ ඒවාය. එංගලන්තයේ දී සමහරු මෙවන් ඇඳුම් ‘ඔක්ස්පෑම්’ වැනි සංවිධානවලට ‘පරිත්‍යාග කර’ ඔවුන් විසින් අඩු ආදායම් ජනයා හට මිලදී ගැනීමට සලස්වා ඇත. මෙම වෙළෙඳාම ‘ඔක්ස්පෑම්‘ හී ප‍්‍රධාන ආදායම් මාර්ගයකි.

ජපනුන් විසින් හඳුන්වා දුන් ‘එස් 5‘ සංකල්පය තුළ ද ‘ඉවත් කිරීම’ හෝ ‘බැහැර කිරීම’ එහි අඩංගු කරුණු පහෙන් ප‍්‍රධාන එක් කාරණයකි. ජපානයට එය කළ යුතුවම තිබූ දෙයකි. නැතිනම් ඔවුනට පවතින්නට නොහැකිය. අද ජපානය අධි පාරිභෝගික සමාජයකි. එය ධනවාදී අධි සූරාකෑමේ ක‍්‍රමයේම අනිවාර්යය එක් අංගයකි. ජනතාව නිතිපතා – නොනවත්වා භාණ්ඩ මිලදී ගත යුතුය. නොඑසේනම් ධනවාදී අර්ථක‍්‍රමය පවත්වාගෙන යා නොහැකිය. එනිසා ජනතාව නිතිපතා නොනවත්වා භාණ්ඩ අස්-පස් කළ යුතුය, බැහැර කළ යුතුය. අද වන විට නාගරික ජපානය ඉඩකඩ මඳ බවින් බැ?රුම් අර්බුදයකට මුහුණ පා ඇත. එහි ඉඩක් අධික මිලය. ශ‍්‍රී ලංකා ගිටාර් සංගමයේ ප‍්‍රධානී මොහොමඞ් ඉක්බාල් වාර්ෂිකව සංවිධානය කොට නොමිලයේ අහන්න බලන්න සලස්වන ‘ගිටාර් උත්සවයට‘ තරුණ ජපාන ශිල්පියෙක් ද සහභාගි වෙයි. ඔහු තවම අවිවාහකය. විවාහ නොවන්නේ ඇයිදැයි විමසූ විට ඔහු කියා ඇත්තේ තමන් නැවතී සිටින තැන තවත් අයෙක් තබාගැනීමට ඉඩ නොමැති බවය! එහෙයින් ජපානය නුදුරේදීම තමන් සමඟ සිටින කාන්තාව හෝ පිරිමියා කල් ඉකුත් වී ඇති නිසා ඉවත් කළ යුතු හෝ බැහැර කළ යුතු බවට ‘සංකල්පයක්’ ගෙන ආවහොත් අප පුදුම විය යුතු නැත. තවදුරටත් අප පුදුම නොවිය යුත්තේ එම ‘සංකල්පයද’ ‘එස්-5’ සංකල්පය සේම අපගේ අය ද ඉස් මුදුනින් පිළිගන්නා විටදීය.

එක් අතෙකින් ‘එස්-5’ සංකල්පය මෙසේ නොනවතින බැහැර කිරීමක් කරන අතරම, අනෙක් අතෙන් ඉතාම නිර්මාණශීිලී ජන සමූහයක් එක් ආකෘතියක යාන්ත‍්‍රික කොටස් බවට පත්කරයි. එය ද ධනවාදී ක‍්‍රමයක පාරිභෝගිකයන්ට තිබිය යුතු අත්‍යවශ්‍ය ‘ගුණාංගයකි’. එවන් ‘යාන්ත‍්‍රීය පාරිභෝගිකයන්ය’ දැන්වීමක් ඇසූ දුටු පමණින් කිසිවක් නොවිමසා ඒවා මිලදී ගන්නේ. කොටගමයන් සරත්ට පවසා ඇත්තේ මිනිසා හඹායන්නේ ‘අවශ්‍යතා’ පසුපස නොව ‘උවමනාවන්’ පසුපස බවය. මෙම ‘උවමනාවන්’ හා ‘අවශ්‍යතා’ පිළිබඳ අදහස මූලිකවම ඉදිරිපත් කළේ 1975 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන යෝජනාවන්ට විකල්පව අදහස් ඉදිරිපත් කළ කණ්ඩායමක් විසිනි. එහි මූලිකත්වය දැරුවේ මාර්ක් නර්ෆින්ය. අප එක් රැුස් කරගෙන ඇත්තේ අපගේ ‘අවශ්‍යතාවන්’ නම් අස්-පස් කිරීම අදාළ වන්නේ නැත. එ්, අවශ්‍යතා බැහැර කළ නොහැකි නිසාය. මෙසේ අවශ්‍යතාවන්ට එරෙහිව ‘උවමනාවන්’ පාරිභෝගික සිත් තුළට පතිත කරන්නේ වාණිජ දැන්වීම්ය. මෙම මෙගා වෙළෙඳ ව්‍යාපාරවල ආදායමෙන් 25% ට ආසන්න ප‍්‍රමාණයක් ප‍්‍රචාරණය සඳහා වැය කරන්නේ එබැවිනි. අද වන විට අධි පාරිභෝජනය නිසා පරිසරයට ද අනාගත පරපුර සඳහා වෙන්ව ඇති යළි උත්පාදනය කළ නොහැකි සම්පත්වලට ද සිදුව ඇත්තේ යළි සැකසිය නොහැකි ආපදාවක්ය. අද අප ඉතා තිරස්චීන ආකාරයට භුක්ති විඳින්නේ අනාගත පරපුර සඳහා වෙන්ව ඇති සම්පත්ය. බොහෝ අය ජපාන ආදර්ශය ප‍්‍රශස්ථ ආකාරයට වනා ඔවුන් ‘ප‍්‍රතිචක‍්‍රීයකරණය’ වෙනුවෙන් දක්වන කැපවීම ද නොඅලස්ව වනයි. ඔවුන් එසේ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ ප්ලාස්ටික් කැබලිවලින් මුහුද ගොඩකර අලූත් භුමියක් ද නිර්මාණය කර ඇති බව පැවසේ. මෙය වැනීමට කරුණක් නොවන්නේද? එහෙත් අපගේ ගැමි අම්මලා තාත්තලා ඉතා අරපිරිමැස්මෙන් ගෙන යන සරල ජීවන රටාව කාගේවත් වැනීමට භාජනය නොවේ. ඒ වෙනුවට වන්නේ ඔවුන් සමච්චලයට ලක් කිරීමය.

අපගේ අම්මලා බොහෝ විට ආච්චිලා කිසිවක් ඉවත දාන්නේ නැත. කුස්සියේ ඉඳුල් වතුර පවා ‘ඉවත් කරනවා’ වෙනුවට ‘පැලයකට සත්කාරයක්’ ලෙස ‘එකතු කරයි’. ටින් කබලක් වුවත් විසි නොකොට එය හිල් කොට පැලයකට වතුර දාන්න යොදා ගනියි. පොල් කට්ට ද කලයක – භාජනයක වැස්මක් ලෙස හෝ දරුවකු නාවන්න යොදා ගනී. වැටකොලූ ලෙල්ල ද ඇඟ උලා ගන්නට අරන් තබයි. අද දැන්වීම්කරණය තුළින් ඒවා සමච්චලයට ලක්කොට ප්ලාස්ටික්වලින් ඒ සියල්ලට ආදේශ සපයති. ඒවායෙහි විස මුසු බවද ඉවත්කිරීමේ දී හෝ විනාශකිරීමේ දී හෝ ඇතිවන අති භයංකර පාරිසරික විනාශය, විලාසිතා හා උජාරු දැන්වීම්කරණයෙන් යටපත් කර ඇත. මෙම දැන්වීම් නිර්මාණකරුවෝ හා දැන්වීම් ඒජන්සිවල අයිතිකාරයෝ ද මැජස්ටික් සිටියට ගොසින් පන් වට්ටියක බහා ‘ගමේ තාලෙට’ ලන්ච් බුදිති!

මම පාසල් යන අවධියේ මාගේ ලියන මේසයේ ඇති ලාච්චු දෙක මෙසේ ඉඳ-හිට අස්-පස් කිරීමට පුරුදුව සිටියෙමි. මාගේ බාලම නැගණිය කල්තබා මට දැනුම් දී තිබුණේ ‘ලාච්චු අස්-පස් කරන විට’ ඇයට දැනුම් දෙන ලෙසය! මාගේ ලාච්චුවෙන් ‘ඉවත් කරන’ සියලූ දෑ ඉන් පසුව ගොඩගැසෙන්නේ ඇයගේ ලාච්චුවෙහිය ! සමහර අවස්ථාවල දී ඇගේ ලාච්චුවේ ඇති මගේම දේවල් යළි අවශ්‍ය වී ඉල්ලා සිටි වාරද බොහෝය! අම්මා සමඟ ගෙවල් අස්-පස් කිරීමද එලෙසමය. තරුණව සිටි අප ඉවත් කරන සියලූ දෑ ඇය අපට නොපෙනෙන තැනක යළි ගොඩගසයි. සරත් ද කිවූ පරිදි අම්මාවරුන්ගේ පොදු ප‍්‍රකාශනය, ”උඹලාමයි ආයේ ඕවා හොයන්නේ!” එය සැබෑය. මලකඩ කාගෙන එන ඇණ මුරිච්චි සියල්ල ‘බැහැර කොට’ පසු දිනෙක ‘ඇණයක් නැද්ද’ යි මුළු ගේ උඩු යටිකුරු කොට සොයයි. යළි ඒවා උවමනා වෙයි. එවිට අම්මාවරුන් යළි ඒවා ගෙනවිත් දෙයි.

අප කුඩා කළ අපගේ දුරින් මාමා වන කෙනකුගේ විවාහ මංගල්‍යයක් මතකය. මාමා සියල්ල ‘අලූත් කොට’ අලූත් ගෘහ භාණ්ඩ වර්ගයක් ද ගෙනවිත් ‘පරණ භාණ්ඩ’ ටික ටික පස්සට දමා මහත් අලංකාර ලෙස නිවස සකසා තිබුණි. එහි විසූ සීයා හවසක බැරි බැරි ගාතේ වත්ත පසු පස මහා වළක් කපා ඉතා වටිනා පරණ පිත්තල ලාම්පු, බුලත් තට්ටු, පහන් හා විශාල පඩික්කම් ද වළ දමමින් සිටියේය. ආච්චි වහා දුව විත් ‘මොනවද මේ කරන්නේ’ යැයි විමසූ විට ‘මේවගෙන් දැන් වැඩක් නෑ’යි කියමින් පස් පිරවීය. ‘මෙන්න මෙහාට වෙන්න’ යැයි පවසා සීයාව අස්වසා ගෙදරට යාප්පුවෙන් එක්කරගෙන එ්මට ආච්චි සමත් වූවාය.

ආච්චි ‘එස්-5’ සංකල්පය නොදැන ඉන්න ඇති!

ලලිත් අබේසිංහ