ඇවන්ගාඞ් ත‍්‍රස්තවාදයසහ ජවිපෙ

CARTOON‘ඇවන්ගාඞ් අවි ගනුදෙනුවට අදාළ පුද්ගලයන්ට දඩුවම් පමුණුවන්නේ නැත්තේ ඇයි?’ යන්න මේ දිනවල අසනු ලබන පැනයකි.

පසුගිය දිනවල මේ ප‍්‍රශ්නය බලවත් ලෙස මතු කරනු ලැබුවේ ජවිපෙ නායක අනුර කුමාර විසිනි. ඔහු කියා සිටියේ ‘බඳින තුවක්කුවක් ඇල්ලූවත් දඩුවම් කරන රටේ මේ තරම් අවි කන්දරාවක් ගාලූ වරායේ රඳවාගෙන හිටි අයට එරෙහිව පියවර ගන්නෙ නැත්තේ ඇයිද?’ යන්නයි. ඔහු ඒ ද`ඩුවම් දීම සඳහා ක‍්‍රමයක් ලෙස පෙන්වා දුන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අදාළ චූදිතයන්ට දඩුවම් දිය හැකි බවයි.

මේ කියන්නේ මොනතරම් අපූරු අදහසක්දැයි කියා කිසිවකුට සතුටුවීමට පුළුවන. මන්ද එය ඌරාගේ මාළු ඌරාගෙ පිටේ තබා කැපීමක් වැනි යැයි යමකුට සිතිය හැකි නිසාය. තමන් ඉදිරියේ අරක් ගෙන සිටින රාජපක්ෂ ආණ්ඩුවෙන් වරප‍්‍රසාද ලත් දූෂිතයන්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නට යෝජනා කරන අනුර කුමාරගේ කටින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට තමන් විරුද්ධ බවක් නිකමටවත් කියැවෙන්නේ නැත. ඔහුගේ මතකයට එන්නේ එය පාවිච්චි කරමින් දඩුවම් දිය හැකි බව පමණකි.

අපට මේ සටහන ලියන්නට වුවමනා වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මනරම් අදහස් ලියැවෙන හා කියැවෙන මේ වකවානුවේ කුමන හෝ පදනමකින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන අදහසක් ජවිපෙ නායකයා විසින් පළ කරනු ලැබ ඇති නිසාය. මෑතකදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව රටේ විවිධ ප‍්‍රදේශවල පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබෙනු දක්නට ලැබුණ නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තරම් ඉස්මතුව ඒ ගැන අදහස් පළ නොවිණි. දැන් අනුර කුමාර විසින් ඒ ගැන අදහස් පළ කරමින් සිටී.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නවාද නැද්ද යන කතාවට එන්නට පෙර එම නීතියේ අගමුල ගැන මතකයට ගැනීම ප‍්‍රයෝජනවත්ය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත එළියට ආවේ 1979දීය. එවිට වාමාංශිකයන් ඇතුළු ප‍්‍රගතිශීලී කඳවුරේ සියල්ලෝ ඊට එරෙහිව පෙළ ගැසුණහ. ජවිපෙ විජේවීරලා පමණක් නොව ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය ද හවුල් කරගෙන එක්සත් ක‍්‍රියාමාර්ගයක් ලෙස මෙම නව පනතට එරෙහිව කඳවුරු බඳින ලද්දේ එය මර්දන නීතියක් බවට හඳුන්වා දෙමිනි. එදා එක්සත් ජාතික පක්ෂ පාලකයන් කීවේ ත‍්‍රස්තවාදය මැඬලීමට මෙම නීතිය අවශ්‍ය බවකි. ඒ අනුව පළමුව උතුරේද දෙවනුව දකුණේද දේශපාලන ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගන්නට මෙම නීතිය උපයෝගී කොට ගත්හ. කුට්ටුමනීලා ජෙගන්ලා ඇතුළු උතුරේ දේශපාලන ක‍්‍රියාධරයන් මෙන්ම රාගම සෝමෙලා ශාන්ත බණ්ඩාරලා මෙන්ම ටිල්වින්ලා මෙකී මර්දන පනත යටතේ සීමාවක් නොමැතිව අත්අඩංගුවේ රඳවා සිටියහ. අදටත් උතුරේ අරගලයේ සැකකරුවෝ හෙළි නොකළ සංඛ්‍යාවක් මෙම මර්දන නීතිය යටතේ රැුඳවුම් කඳවුරුවල ගාල්කර සිටිති. පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක‍්‍රියාකාරිනියක වන ජෙයකුමාරි මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ද කිසිදු චෝදනාවක් හෝ නඩු කටයුත්තක් හෝ නොමැතිව රඳවනු ලැබුවේ මෙම පනත යටතේය.

නවලිබරල් ආර්ථික ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයමින් සිටින ඕනෑම පාලකයකුට එරෙහිව මතුවන ජනතා විරෝධය මැඬලීමට මෙවැනි නීති අවශ්‍ය වේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මනරම් අදහස් පළ කරමින් සිටින අවදියක වුවද මෙම මර්දන නීතිය යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුවේ. වර්තමාන මෛත‍්‍රී පාලනයේ ජනාධිපති විසින්ද එවැනි අත්අඩංගුවට ගැනීම් අහෝසි කරන්නේ නැත. ජනාධිපතිවරයා යටතේ තවදුරටත් පවතින ආරක්ෂක අමාත්‍යාංශයේ ‘වෙනස් නොකළ ක‍්‍රමවේදය’ යටතේ පොලිසියෙන් ඉල්ලා සිටින රැුඳවුම් නියෝගයන්ට ආරක්ෂක ලේකම්වරයා විසින් අත්සන් කිරීම සිදු කෙරේ. වෙනත් වචනයෙන් කිවහොත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු තවදුරටත් ක‍්‍රියාත්මක ඉතා දරුණු මර්දන නීතියකි. කළ යුත්තේ එය භාවිත කරන ලෙස ඉල්ලා සිටීම නොව එය වහාම අහෝසි කරන ලෙස බලකර සිටීමය.

06-111979න් පසු මුළුමහත් සමාජයම ධනේශ්වර ආණ්ඩුවට එරෙහිව කැරලිකාරී ලෙස නැඟී සිටි විට ඒ ජනතා අරගල නිර්දය ලෙස කුඩුපට්ටම් කිරීමට විධායක බලය යොදාගත්තා මෙන්ම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඒ වෙනුවෙන්ම යොදාගත් මර්දන නීතියකි. අනුර කුමාර එම නීතියෙන් බැටකා නැතත් 1983 පක්ෂ තහනමට පෙරත් පසුවත් ඉන් අනතුරුව 1987-89 අරගලයේදීත් එයිනුත් ඔබ්බට උතුරේ මෙන්ම රටපුරා දෙමළ තරුණ තරුණියන් ජීවිතය හා මරණය අතර රැුඳවූ අංක එකේ මර්දන නීතිය මෙයයි. අරගලකරුවන් පමණක් නොව, ආණ්ඩු විරෝධීන් මෙන්ම කිසිදු දේශපාලන ක‍්‍රියාකාරීත්වයකට සක‍්‍රීයව සම්බන්ධ නොවූ පුද්ගලයන් පවා මෙම මර්දන නීතියෙන් ඇති පදම් බැටකා හෙම්බත් වූ බව රහසක් නොවේ. එය තවදුරටත් සිදුවන්නකි.

එසේ වුවත් අප සමාජයේ නින්නාද වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ මිහිරි සංවාද අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන නම් කිසිවක් නොකියැවේ. උතුරේ අරගලය මුළුමනින්ම කුඩුපට්ටම් කොට වසර 6ක් ඉක්ම ගොස් ඇති මොහොතේ කොටින්ම කිසිදු සන්නද්ධ ක‍්‍රියාකාරීත්වයක් නොපවතින මොහොතක මෙබඳු මර්දන පනත් තවදුරටත් අදාළ වන්නේ නැත.

එහෙත් යහපාලන කතා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන මිහිරි තෙපුල් අතරට මේ සාකච්ඡුා එක්වන්නේ නැත. ඒ වෙනුවට තොග ගණනින් සංවාදයට එන්නේ ‘19වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැනය. මේ කියන ඊනියා ව්‍යවස්ථා සංශෝධන කතා මැද මර්දනයේ කතාව යට ගසනු ලබයි. ත‍්‍රස්තවාදය යනුවෙන් අරුත් ගන්වනු ලබන්නේ පවතින රාජ්‍යයට එරෙහි ක‍්‍රියාකාරීත්වයයි. රාජ්‍යට එරෙහිවන්නේ ත‍්‍රස්තවාදීන්ය. විශේෂයෙන් මර්දනයට එරෙහිව අවි දරමින් සටන්කරන්නන් වැටෙන්නේ ද ත‍්‍රස්තවාදීන් ගනයටය. කෙටියෙන් කිවහොත් පීඩිතයන්ගේ අරගල ඒවා අවිගත් ඒවා වූවා හෝ නොවූවද වැටෙන්නේ ත‍්‍රස්තවාදය නමැති ගනයටය. රාජ්‍ය විරෝධී හෝ කඩාකප්පල්කාරී යන ලේබලයන් යටතේ මෙතෙක් මර්දනයට ලක් කළවුන් මුහුණ දුන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නැෙඟන චෝදනා වැලකටය. පවතින රාජ්‍යය වඩා පිරිසිදුකර ඔපවත් කිරීමට සැදී පැහැදී සිටින ජවිපෙට ද අද මේ පනත වටින්නේය. ඒ සිය බලපරාක‍්‍රමය විප්ලවීය භාවිතයක් හරහා නොව ඊට එරෙහිව ධනවාදය පිළිසකර කිරීමේ කොන්ත‍්‍රාත්තුවක් ලෙස පිහිටුවන්නට අදහස් කරන නිසාය.

එහෙත් පීඩිත ජනයාට මෙම මර්දන පනත සෑම කල්හිම මර්දනය, පීඩාව හා මරණය කැඳවන නීතියක් විනා අන් යමක් නොවේ. ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යනු කිසිවිටෙකත් පීඩිතයාගේ අරගලයේ මෙවලමක් නම් නොවේ. ඒ බව මේ සමාජයේ පීඩිතයන් ඉගෙන ගත්තේ 1979 සිට එම පනත යටතේ සිරගත වන්නට දින නියමයක් නැතිව රැුඳවුම්භාරයේ ඉන්නට සිදුවීමෙනි.

කෙසේ නමුත් එක් දෙයක් පැහැදිලිය. ඒ යහපාලන කතාවලට අදාළ වන්නේ උන්ගේ අයිතිවාසිකම් හා නිදහස ගැන සාකච්ඡුාවලට මිස අපේ නිදහස හා අයිතිවාසිකම් පිළිබඳ කතාවකට නොවන බවයි. පැය 48ක් රඳවා තබාගන්නා නීති මඟින් ද තවදුරටත් බලපවත්වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් ද කියාපාන්නේ එකී සත්‍යයයි. දඹුල්ලේ ගොවීන්ට එල්ල කළ මර්දනය ද අන්තරේ සිසුන්ට එල්ල කළ ප‍්‍රහාරය ද කියාපාන්නේ එම සත්‍යයයි. පීඩිතයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වහන්තරාව යටින් මෝදුවන්නේ නැති බව අප ඉගෙන ගන්නේ කවදාද?

සමන්ත වර්ණසූරිය