1971 අපේ‍්‍රල් – කමලබන්දුගේ මැදිහත්වීම

JVP-suspectකමලබන්දු සහෝදරයා බොහොම නිවුණු ගති පැවතුම් සහිත තරුණයෙක්. ගමේ කා අතරත් හැම වෙලාවෙම කැපී පෙනුණු කෙනෙක්. පාසලේදිත් ඒ ජනප‍්‍රියත්වය තිබුණා. පවුලේ සහෝදර සහෝදරියන් කීපදෙනෙක් හිටියා.

කමලෙ ගැන වැටහීමක් ඇති කරගන්න මම පුංචි සිද්ධියක් කියන්නම්. කමලෙගෙ එක සහෝදරයෙක් පිහියා ඇනුමකින් මැරුම් කෑවා. බීමතින් කරපු මිනීමැරුම නිසා වැරදිකාරයා හිරේ ගියා. ඉතින් එක දවසක් ? එකොළහට දොළහට විතර කමලෙයි මමයි පක්ෂෙ පෝස්ටර් ගහනකොට අනපේක්ෂිත විදියට මේ පුද්ගලයා හමු වුණා. පියසේන කියන මේ මනුස්සයා මෙතනින් යන්න බයිසිකලේක ආවා. එයා එකපාරට බයිසිකලය නතර කරලා අපි ළඟට ආවා.

‘ඔයාගෙ අයිය මගෙ අතින් මරා දැම්මෙ. බීමතින් හිටිය නිසා මම ඒ කළේ වැරැුද්දක් බව දැන් තේරෙනවා. ඒ නිසා දැන් ඔය දෙන්න විතරයි ඉන්නෙ. මම කරපු වරදට දැන් මාව මරා දාලා පළිගන්න කියලා එයා කිව්වා. ඒ වෙලාවෙ කමලෙ කිව්වා, ඔයා වගේ මිනිස්සු නිර්මාණය කරපු සමාජය මරා දමනවා මිස ඔයා මරලා විසඳුමක් වෙන්නෙ නෑ’! අපෙන් කරදරයක් ඔයාට නෑ. ඔයා ගෙදර ගිහින් හොඳ මිනිහෙක් වගේ ජීවත් වෙන්න කිව්වා.

කමලබන්දු සහෝදරයා අපේ‍්‍රල් ප‍්‍රහාරයෙන් පස්සෙ 5 වැනිදා එළිවෙන්න වගේ ආරක්ෂා වෙන්න කියලා අපි විසින් මාජුවාන කියන ගමට පිටත් කළ බව මම කලින් කිව්වනෙ. නමුත් එයා අරගලයෙන් පලා ගියේ නෑ. එයාට අපි කිව්වෙ හික්කඩුවෙ ඉන්න අක්කලාගෙ ගෙදරට හරි වත්තල අක්කලාගෙ ගෙදරට හරි ගිහින් බේරෙන්න කියලා. මොකද එයා අපේ අරගලයෙ ඉදිරි පෙළ ක‍්‍රියාකාරිකයෙක් හැටියට කවුරුත් දන්නවා. ප‍්‍රදේශයේම ප‍්‍රසිද්ධ චේගුවෙරාකාරයෙක්. නමුත් එයා පලායන එක වෙනුවට අරගලය තෝරාගත්තා. එයා අපේ‍්‍රල් හය හෝ හත්වැනිදා බටපොළ අපේ සහෝදරවරුන් හමුවෙලා තියෙනවා.

බටපොළ, කහටපිටිය ප‍්‍රදේශයේ තේ වත්තක කඳවුරක් පටන් ගෙන තිබුණා. මේ තේවත්ත අයිතිව තිබුණෙ ඒ කාලෙ කැනඩාවෙ ලංකා තානාපති හැටියට හිටපු ප‍්‍රභූවරයකුටයි. මම දැනගත්ත විදියට සහෝදර සහෝදරියන් තුන්සීයක විතර පිරිසක් අරගලයට පුහුණු වෙන්න මේ ස්ථානයේ එකතු වෙලා හිටියා. ඒ පුහුණුවේ මූලිකත්වය ගත්තෙ නිමල් කොඩිතුවක්කු කියන පේරාදෙණි සරසවියෙ සහෝදරයෙක්. කමලබන්දු සහෝදරයා එතනට ගිහින් මේ අයගෙන් පනහක් තෝරාගෙන තිබුණා. ඒ අයගෙනුත් විසිපහක් නැවත තෝරාගෙන තිබුණා. මේ අය දිවි කැපකරන සටන්කරුවන් හැටියටයි තෝරාගෙන තිබුණෙ. ඕනම මොහොතක කැපවීමෙන් සටන් කරන්න මේ අයට උපදෙස් ලබා දී තිබුණා. අපිට අරගලයකින් ජයගන්න නම් ආයුධ විතරක් විශ්වාස කරන්න බෑ කියලා කමලෙ කියලා තිබුණා. කැපවීමක් නොකර අපට ජනතා අරගලයක් ජයගන්න බෑ, ඒ නිසා කැපවෙන්න සූදානමින් වැඩ කරමු කියලා ඔහු උපදෙස් දී තිබුණා.

මේ දවස්වල හික්කඩුව, තෙල්වත්ත, කලූපෙ කියන ප‍්‍රදේශයේ සිවිල් ඇඳගත්ත සන්නද්ධ කණ්ඩායමක් ස්ථානගත කරලා තිබුණා. මේ අය විප්ලවවාදීන් දඩයම් කිරීමට විශේෂයෙන් පුහුණු කළ පිරිසක් බවට තොරතුරු ලැබිලා තිබුණා. කමලබන්දු සහෝදරයා තමන්ගෙ කණ්ඩායමට නායකත්වය දෙමින් මේ මර්දන කණ්ඩායමට පහරදීලා ඔවුන් නිරායුධ කිරීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළා. අපේ‍්‍රල් 18 වැනිදා තමයි මේ වටලෑම සංවිධානය කෙරුණේ. ඒත් මේ කණ්ඩායම එහි ළඟා වන විට ඔවුන්ට ප‍්‍රහාරයක් ගැන කල්තියා දැනගෙන තිබුණා. ඔවුන් පහර දෙන්න පටන් ගත් නිසා වෙඩි හුවමාරුවක් ඇති වුණා. ඒ නිසා කණ්ඩායම බලාපොරොත්තු වුණු ඉලක්කය සපුරාගන්න බැරි වුණා. ප‍්‍රහාරයෙදි කමලෙගෙ කලවයකට වෙඩි වැදුණා. ඒ වෙලාවෙ එයා එතැනින් ඉවත්වෙන්න තීරණයක් අරගෙන තිබුණා. ඒ ස්ථානයේ ඉණිමගකින් ගොඩවෙන මට්ටමේ උස තාප්පයක් තිබිලා තියෙනවා. ඒ වෙලාවෙ හිටිය සහෝදරවරු විස්තර කරපු විදියට කමලෙ එක පිම්මකින් තාප්පයක් උඩට ගොඩ වෙලා ප‍්‍රහාරකයන්ගෙන් ගැලවුණු බවයි කියන්නෙ. අනෙක් සගයන්ටත් ඒක ලොකු ධෛර්ය උපදවන අවස්ථාවක් බවයි ඔවුන් කිව්වෙ.

නමුත් වෙඩි වැදුණු සහෝදරවරු ආරක්ෂක ස්ථානවලට ගෙනයන්න පවා කමලෙ මැදිහත් වී තිබුණා. උණ්ඩයක් සහිත තුවාලය තියෙද්දිම ප‍්‍රදේශයෙන් පහු බැහැලා අනෙක් පිරිසත් ආරක්ෂා කරගන්න ඔහු ලොකු උත්සාහයක් අරගෙන තිබුණා. අපේ‍්‍රල් 23 විතර වෙද්දි නැවත කඳවුරට පැමිණිලා තුවාල ලැබු අයට ප‍්‍රථමාධාර දීලා තිබුණා. ප‍්‍රාථමික ප‍්‍රතිකාර තමයි කරලා තිබුණේ. බෙහෙත් කළේ ශරීරයේ උණ්ඩයක් තියෙද්දි. ඒ නිසා තාවකාලික සුවයක් ඇති වුණාම ඇවිදින්න පටන් අරගෙන තිබුණා. අපේ‍්‍රල් 25 වෙද්දි ගුවන් ප‍්‍රහාර පටන් ගත්තා. පාබල හමුදාවත් ඒ අවට මෙහෙයුමක් කරන්න සූදානම් වෙන බවට තොරතුරු ලැබුණා. ඒ නිසා කහටපිටිය කඳවුරේ ඉන්න එක අවදානම් බව වටහාගෙන සිංහරාජය දෙසට පහුබහින්න කමලබන්දු සහෝදරයා ඇතුළු කණ්ඩායම තීරණයක් ගත්තා. දොරල ප‍්‍රදේශය හරහා බෙරලිය මූකලානට ගිහින් සිංහරාජයට ඇතුළු වුණා. මේ ගමනෙදි කමලබන්දු සහෝදරයට හුඟක් අමාරු වුණා. සහෝදරවරු එයාව ඔසවාගෙන ගිහින් තිබුණා. ගුවන් ප‍්‍රහාර එල්ල වෙනකොට තුවාලකරුවන් ආරක්ෂා කරමින් පහුබහින එක අමාරුයි. කැලෑවක් වුණත් ගුවන් ප‍්‍රහාරයක් එල්ල වෙද්දි මේ වගේ ගමනකදි අවදානම වැඩියි. ඒ නිසා එයා තදින්ම ඉල්ලා හිටියලූ තමන් නිසා ජීවිතය අවදානමට ගන්න එපා කියලා. එයාගෙ ඉල්ලීම කොයිතරම් බලවත්ද කියනවා නම් අන්තිමට සහෝදරවරු ඒකට එකඟවෙලා එයාගෙන් වෙන්වෙලා ගිහින් සිංහරාජ වනය ඇතුළටම පසුබැස ගිහින් තිබුණා. කමලබන්දු සහෝදරයා රාත‍්‍රියෙම උඩුගම ප‍්‍රදේශයේ වනගත ගම්මානයක තිබුණු පැල්පතක පිලට ගොඩවෙලා හාන්සිවෙලා තියෙනවා. වෙහෙස නිසාම එයාට නින්ද ගිහින්. ඒ ගෙදර අය අවදිවෙලා බලද්දි මෙයා ඉන්නවා දැකලා කලබල වෙනකොට කමලෙ අවදි වෙලා. එයා ගෙදර අයට විස්තර කරලා තියෙනවා තමන් කවුද කියන එක.

‘මම මෙහෙ ඉන්න එක ඔයගොල්ලන්ට අනතුරක්. ඒ නිසා ඒ පැත්තෙ ඉන්න ගම්මුලාදෑනියට දැනුම් දීලා මාව එයාට භාර දෙන්න කියලා ඉල්ලීමක් කර තියෙනවා. ඒ විදියට ගම්මුලාදෑනියා ලවා උඩුගම පොලිසියට බාරවෙලා තිබුණා. උඩුගම පොලිසියෙන් ගාල්ල පොලිසියට ගෙනල්ලා එතැනින් ප‍්‍රශ්න කරන්න බද්දේගම පොලිසියට ගෙනත් තිබුණා. ශාරීරිකව ඉතාමත් දුර්වල මට්ටමක හිටපු කෙනෙක් තමයි මේ වෙලාවෙ අත්අඩංගුවෙ ඉඳලා ප‍්‍රශ්න කිරීම්වලට මුහුණ දුන්නෙ.

කමලබන්දු සහෝදරයා කියපු අදහස් මේ වෙලාවෙ මට මතක් වෙනවා. ඔහු කිව්වා පාලක පන්තිය රකින ආරක්ෂකයන්ගෙ මර්දනය ගැනත්. ”අපි උත්සාහ කරන්නෙ කිසියම් පිරිසක් මර්දනය කරන්න නෙවෙයි. අප අතර මනුස්සකම එළියට ගන්න සාධාරණ සමාජ ක‍්‍රමයක් ඇතිකරන්න තමයි අපි උත්සාහ කරන්නෙ. නමුත් මේ සමාජ ක‍්‍රමය තුළ සියල්ල තනිව භුක්ති විඳින පාලක පන්තිය විසින් තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ක‍්‍රමය රකින්න පවත්වාගෙන යන පොලිසියක් හමුදාවක් ඉන්නවා. ඒ අය රකින්න ආපහු බඳවා ගන්නෙත් අපේ පන්තියෙම පෑගෙන පීඩිත මිනිස්සු පිරිසක්මයි. පාලකයන් තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් අපේම පන්තියෙ සගයන් පාවිච්චි කරද්දි තමන් සටන් කරන්නෙ තමන්ටම විරුද්ධව බව අපේ අය දන්නෙ නෑ. ඒ නිසා අපි යම් කාලෙක අරගලය තුළ මරා දමන්න පුළුවන්.” කියලා සමහර අවස්ථාවල ඔහු කිව්වා. අපේ මරණයට මල්වඩම් පාවාඩ හෝ මිනී පෙට්ටි නොලැබෙන්න පුළුවන් බව ඔහු අපට කියා තිබුණා. නමුත් අපේ අරමුණ වෙන්න ඕන පාලක පන්තිය හෝ ඔවුන් රකින අය දුකට පීඩාවට පත් කරන එක නෙවෙයි. හැමදෙනාටම හැමදෙයක්ම සහෝදරත්වයෙන් බෙදාගන්නා සමාජ ක‍්‍රමයක් හදන එකයි අපේ කාර්ය කියලා ඔහු හැමතැනකදිම පැහැදිලි කළා.

පසුව ඔහුගෙ හිස ගිංගගේ පාවෙලා ආව බව දැකපු අය ඉන්නවා. නමුත් මේ අරමුණ වෙනුවෙන් සටන් කළ සගයන් අතර එක් චරිතයක් විතරයි ඔහු. ඔහු ගැන මතකය අවදි කරද්දි අපි ඒක අවධාරණය කරන්න ඕන.

———————

71 අපේ‍්‍රල් අරගලය පිළිබඳ සිරගෙදරතුළදී කළ ස්වයංවිවේචනයේ සාරාංශයක්

  1. නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයෙන් වෙනස්ව ජාතිකවාදය වෙතට නැඹුරුවීම මෙන්ෂෙවික්වාදී ප‍්‍රවණතාවක් වූ අතර කුණු වී දුගඳ හමන මළකුණක් ලෙස ලෙනින් විසින් දෙවැනි ජාත්‍යන්තරයේ මෙම ප‍්‍රවණතාව බැහැර කරන ලදී. නමුත් ලෙනින්ගෙන් පසු ස්ටැලින්ගේ සමයේ දී නැවත මෙම මෙන්ෂෙවික් ප‍්‍රතිපත්තිය හිස ඔසවන්නට විය. එය කොතරම් දුරට විහිදුනේද යත් කොමියුනිස්ට් ජාත්‍යන්තරය එහි 6 වැනි සමුළුවේ දී තනි රටක සමාජවාදය නම් ස්ටැලින්වාදී ප‍්‍රතිපත්තිය පිළිගනු ලැබූවා. සෝවියට් දේශය නම් තනි රටක සමාජවාදය ගොඩනැඟීම වෙනුවෙන් සමස්ත නිර්ධන පන්ති ව්‍යාපාරයේම අරමුණු කැපකරන ලදී. මෙහිදී යම් තනි රටක හැකියාවන් කෙරෙහි විශ්වාසය තබා සමාජවාදය ගොඩනැඟීම බලාපොරොත්තු වුණා.

මා ඕ සේතුං මෙම සංකල්පයම ඉදිරියට ගෙනයමින් ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තබමු යන සංකල්පය ඉදිරිපත් කරන ලදී. මේ ලෙසට කොමියුනිස්ට් ව්‍යාපාරය ජාත්‍යන්තරවාදයෙන් ජාතිකවාදය වෙත ගමන් කරන්නට විය. එය කෙතරම් ශෝචනීය තත්වයක් වූයේදයත් ඉන්දු චීනයට විමුක්තිය ලබා ගැනීමට ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය සටන් වදින අතරතුර එයට එරෙහිව ප‍්‍රංශ රජයට එම ජාත්‍යන්තරයේම සාමාජිකයකු වූ ප‍්‍රංශ කොමියුනිස්ට් පක්ෂය සහාය දැක්වීය.

71 අරගලය තුළද හුදෙක්ම ස්වශක්තිය මත විශ්වාසය තබා කටයුතු කරන්නට යෙදුණි. ජාතිකවාදී ස්ටැලින්වාදී මෙන්ෂෙවික් ප‍්‍රතිපත්තීන්ගෙන් බැහැරව සැබෑ බොල්ෂෙවික් පක්ෂයක් ගොඩනැඟීමේ කාර්යභාරයට අප අතගැසිය යුතුය.

  1. එම කාලයේ අප සතුව පැවැති අත්දැකීම් හා දැනුමට අනුව අපි හැකි පමණ මෙන්ෂෙවික්වාදී ප‍්‍රවණතාවන්ගෙන් බැහැර වුවද අපි එහි හරයෙන්ම හඳුනාගෙන ඉන් වෙන්වීමට අපොහොසත් වීමු. එම වැරදි වහාම නිවැරදි කරගනිමින් මෙන්ෂෙවික් ප‍්‍රවණතාවන්ගෙන් අප බැහැරවිය යුතුය.
  2. මෙන්ෂෙවික් ප‍්‍රවණතාවක් ලෙස අප පාර්ලිමේන්තුවාදය ප‍්‍රතික්ෂේප කළ නමුදු අප එහි අනෙක් අන්තය වෙත ගමන් කළෙමු. පන්ති අරගලය සඳහා වේදිකාවක් නැතිනම් උපකරණයක් ලෙස පාර්ලිමේන්තුව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව අපගේ අවධානය ගිලිහුණි.
  3. කියුබාවේ දී දියුණු බොල්ෂෙවික් පක්ෂයක් නොමැතිව විප්ලවයක් සිදුවුණු අතර ඒ පැවැති ප‍්‍රායෝගික තත්වයන් මත සීමිත පන්ති බලවේගයන්ගේ දායකත්වයක් තුළ විප්ලවය කළ හැකි වුවද වර්තමාන තත්වයන් තුළ පුළුල් පන්ති බලවේගයන්ගේ සහභාගීත්වයකින් තොරව විප්ලවය මෙරට සාර්ථක කරගත නොහැකි බවට ද ඒ සඳහා ශක්තිමත් බොල්ෂෙවික් පක්ෂයක අවශ්‍යතාව පිළිබඳව ද වූ අවබෝධයක් තුළ අප සිටි නමුදු කියුබානු විප්ලවීය ආස්වාදයන් තුළ ඒ පිළිබඳ විශ්වාසය දුර්වල විය.
  1. මෙන්ෂෙවික්වාදයෙන් බැහැරව පන්තිය වෙත අධ්‍යාපනය ගෙන යාමට අප දැඩි උත්සාහයක යෙදුණි. නමුදු අරගලයට ආසන්න වසර කිහිපය තුළ බොහෝ සාමාජිකයන් පක්ෂයට එක්වූ අතර ඔවුන් සතුව ප‍්‍රමාණවත් දැනුමක්, අධ්‍යාපනයක් නොතිබුණි.
  2. සුළු ධනේශ්වර අදහස් දැරූ කණ්ඩායම් ඍජුවම පක්ෂයට සම්බන්ධ කරගැනීම පක්ෂයේ බොල්ෂෙවික් ආකෘතිය මෙන්ම පක්ෂයේ පැවැත්ම ද අර්බුදයට යන ලදී. එම කණඩායම් පක්ෂය තුළත් කණ්ඩායම්වාදී ස්වරූපයෙන් කි‍්‍රයාත්මක වන්නට විය. මුලින්ම පක්ෂය ධනේශ්වර පන්තියට පාවාදෙනු ලබන්නේද මෙම කණ්ඩායම විසිනි. එසේම මෙවැනි පාර්ශ්ව දැඩි මර්දනයකට මුහුණ දීමට අවශ්‍ය දැඩි මධ්‍යගතභාවය පවත්වාගෙන යාමට ද බාධාකාරී විය.

(මෙය අත්අකුරින් ලියූ දීර්ඝ සටහනක සාරාංශයක් බව සලකන්න)

Advertisements