‘මාස්ටර් සර්’ ජීවන ගග අද්දරින් නික්ම යයි

nimal-mendisතවත් මිනිසෙක් මියගොස් ඇත. දිනපතා දස දහස් ගණනක් මිනිසුන් ඉපදෙයි මිය යයි. සාතිශය බහුතරයක් ඉපදීම හා මියයාම හැර කිසිවක් ඉතිරි නොකරයි. එනමුදු ඇතමුන් උපතත් මරණයත් අතර බොහෝ දෑ ඉතිරි කොට පිටව යයි. ඇතැම් විට අපි එවැන්නවුන්ට මියගියත් ජීවත් වෙනවා යැයි කියන්නෙමු. උපුල් නුවන් විහිදා සිනාසුණු ඇගෙන් නිම් හිම් සෙවූ නිමල් මෙන්ඩිස් ජීවන ගමන අතරතුර ස්වර තාල අතර බොහෝ දේ ඉතිරි කොට දිවියෙන් සමුගෙන ඇත. දස දහස් ගණනින් මියයන අතර එක් මියගිය අයකු ගැන මේ ලෙස පත්තර පිටු වෙන්වන්නේ ඒ නිසාය.

1934 මාර්තු 29 බම්බලපිටියේ ධනවත් පවුලක උපදින නිමල් මෙන්ඩිස් පවුල් පසුබිමින් කලාවට නැඹුරුවක් ලබයි. ඔහුගේ මව ප‍්‍රසිද්ධ ලේඛිකාවක් වන අතර ළමා කාලයේදීම වැඩිමල් සොයුරියගේ පියානෝ වාදනයෙන් ඔහු සංගීතයේ හෝඩිපොත කියවන ලදී. කතෝලික ආගම, නගරබද බටහිර සංස්කෘතියත් ඇසුරේ හැදුණු වැඩුණු නිමල් මෙන්ඩිස් ඉංදියානු සංගීතයේ ප‍්‍රමුඛ ආභාසය ලැබූ ලංකාවේ සංස්කෘතියට බටහිර සංගීතය බද්ධ කිරීමේ ශල්‍ය කර්මයට පරිචය ලැබීය.

මේ සමාජ ක‍්‍රමය සෑමවිටම අපට අප අහිමි කොට එයට අවශ්‍ය පුද්ගලයන් වීමට බලකරයි. නිමල් මෙන්ඩිස්ට ද ඒ බලපෑම ඇති විය. ධනවත් පවුලක පුත‍්‍රයා ඉදිරි ආර්ථික කටයුතු සඳහා ගණකාධිකාරවරයකු කිරීම පියාගේ අපේක්ෂාව විය. නමුත් නිමල් මෙන්ඩිස් තමන්ට හිමි දිවිය උදෙසා අරගලයක නිරත වූ අතර ගණකාධිකාරවරයකු කිරීමට පියා එංගලන්තයට යැවූ නිමල් සංගීතය හදාරන්නට විය. සංගීත කණ්ඩායමක් ද මිතුරන් සමඟ ඇතිකර ගන්නා ලදී. අවන්හලක ඔහු වයන ගීතයක් අසා සිටින මේරි මාර්ෂ්වි නම් ප‍්‍රසිද්ධ ගායිකාව ඔහු ගයමින් සිටි නසිි නසිි ගීතය ඉල්ලාගෙන ගායනය කරන අතර ඒ සමඟම ලාංකිකයකුට ඉතා දුර්ලභව හිමිවන යුරෝපයේ සංගීත අධ්‍යක්ෂවරයකු වීමට අවස්ථාව හිමි විය.

අද මෙන්ම එකලද පහළ පාන්තික ජනතාව තමන්ගේ පීඩාවේ හේතුව ලෙස හිතුවේ සංක‍්‍රමණික ශ‍්‍රමිකයන්ය. ඒ අනුව එකල සුදු ජාතික වර්ගවාදය දරුණුව කි‍්‍රයාත්මක වන්නට විය. දිනක් එවැනි පිරිසකගේ ප‍්‍රහාරයට නිමල් මෙන්ඩිස් ලක්වන අතර දැඩි සේ කලකිරීමට පත්වෙන ඔහු ලංකාවට පැමිණ වැවිලි කර්මාන්තයට යොමුවන අතර මැණික් චන්ද්‍ර සාගර ඔහුව කළු දිය දහරින් ලාංකේය සිනමාවට කැඳවාගෙන එයි. මාස්ටර් සර් නමින් නිමල් මෙන්ඩිස්ගේ අනන්‍යතාව ගොඩනැෙඟන්නේ මෙම චිත‍්‍රපටයත් සමඟය.

බටහිර සංගීතය මැනවින් ප‍්‍රගුණ කළ ඔහු ලාංකේය ජනතාවගේ ජීවන ස්වරය සමඟ එය මැනවින් එකට මුසු කරන්නට යෙදුණි. සංගීතයෙන් පමණක් නොව නිම් හිම් සෙව්වා, ග`ග අද්දර ඇතුළු ගීත රැුසක රචකයා ද ඔහුයි. විශේෂත්වය නම් ඔහු විසින් ඉංගී‍්‍රසියෙන් රචනා කරන ලද ගීත ඔගස්ටිස් ඉලංගරත්න වැනි අය අතින් සිංහලට පරිවර්තනය වී සිංහල සිනමාවට දායාද වීමයි. මැණික් චන්ද්‍ර සාගර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුනේත‍්‍රා පීරිස් වැනි සීමිත අධ්‍යක්ෂකවරුන් පිරිසක් සමඟ කටයුතු කළ ඔහු සිංහල සිනමාවේ සදාකාලික නොමැකෙන අනන්‍යතාවයේ සලකුණු තබන්නට ඔහු සමත් විය. සුනේත‍්‍රා පීරිස් සමඟ ගැහැනු ළමයි ඇතුළු සිනමා චාරිකාවක නිරත වූ ඔහු බටහිර සංගීතය මුල් කොටගෙන සංගීතය නිර්මාණ කරන අතර සිතාරය ඇතුළු පෙරදිග සංගීත භාණ්ඩයන් ද යොදාගන්නා ලදී. ගොඞ් කිංග් නම් දැවැන්ත සිනමා නිර්මාණයන්ට ද සංගීත නිර්මාණයෙන් දායක වූ ඔහු එම චිත‍්‍රපටියේ සංගීත නිර්මාණයට එංගලන්තයේ ශබ්දාගාරයක් තුළ සියයකට අධික වාදකයන් පිරිසක් යොදා ගන්නා ලදී.

ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ බැද්දේගම වැනි සිනමා නිර්මාණයන්ට දායක වන නිමල් මෙන්ඩිස් සමන් කඹුක්ගේ සමඟ එක්ව කැසට් පට සඳහා ගීත නිර්මාණය කිරීම ආරම්භ කරන ලදී. නීලා වික‍්‍රමසිංහ, ටී.එම්. ජයරත්න, වික්ටර් රත්නායක මේ සඳහා දායක වූ අතර නිමල් මෙන්ඩිස් ද ගායනයෙන් එක්විය. 1979 වසරේ දී අහසින් පොළොවට චිත‍්‍රපටයට හොඳම සංගීතයට හිමි සම්මානය ද 1980 ගඟ අද්දර චිත‍්‍රපටයට හොඳම සංගීත නිර්මාණය සඳහා සරසවි සම්මානය ද හිමි විය. 1997 දී සංගීතය වෙනුවෙන් ඔහුට ජනාධිපති සම්මානය ද හිමිවිය. තරුණ කලාකරුවන් සමඟ ද උරෙනුර ගැටී බාධාවකින් තොරව කටයුතු කිරීමට ඔහුට හැකිවිය. බ්ලූස් ජැක් වැනි විවිධ සංගීත ශෛල්‍යයන්ගේ ආභාසය මෙරට සංගීත ක්ෂේත‍්‍රය වෙත ලබාදීමට ඔහුට හැකිවිය. ඉතිං ඔහු සමුගන්නේ අතීතය වර්තමානය පමණක් නොව අනාගතය තුළ ද හෘදස්පන්දනය වෙමින්ය.

රිවිහාර පින්නදූව