සම්මත වූ 19 කළුද සුදුද ?

2015.04.27 protest 2රට තුළ බොහෝ සෙයින් විවාදයට බඳුන් වූ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ බහුතර ඡුන්දයෙන් සම්මත වී ඇත. ඒ සඳහා එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටි මන්ත‍්‍රීවරුන්ගෙන් මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කළේ එක් මන්ත‍්‍රීවරයෙක් පමණි. (සරත් වීරසේකර – එක්සත් ජනතා නිදහස් සන්ධානය) තවත් එක් මන්ත‍්‍රීවරයෙක් ඡුන්දය දීමෙන් වැළකී සිට ඇත. (අජිත් කුමාර – පෙරටුගාමී සමාජවාදී පක්ෂය) නමුත් ව්‍යවස්ථා සංශෝධනය වාර ගණනාවක දී විවිධ සංශෝධනවලට බඳුන් විය.

මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත සැලකිය යුතු වගන්ති ප‍්‍රමාණයක් ඉල්ලා අස් කරගැනීමට ආණ්ඩුවට සිදුවිය. එය නීති බාධාවක් ලෙස නොසලකන්නේ නම් ව්‍යවස්ථා සංශෝධනයේ දේශපාලන අරමුණු අතින් ආණ්ඩුවේ සහ එජාප පාර්ශ්වයේ සැලකිය යුතු පසුබෑමකි. දෙවනුව ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පාර්ශ්වය විසින් ද විශාල සංශෝධන ප‍්‍රමාණයක් එක්කර ඇත. පනතේ තුන්වැනි වර කියවීමේ දී එනම් කාරකසභා විවාදයේ දී සංශෝධන 174 ක් ඉදිරිපත් වීම මඟින් ඒ බව පැහැදිලි වේ. කෙසේ වෙතත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතැමුන් සැලකූයේ ව්‍යවස්ථා විප්ලවයක් ලෙසයි. එය පූජනීය කටයුත්තක් ලෙස ඔවුන් විසින් හඳුන්වන ලදී. තවත් පිරිසක් එය සැලකූයේ සිංහලයේ මරණ සහතිකය ලියන ලියැවිල්ලක් ලෙසයි. නමුත් අවසාන වශයෙන් සත්‍ය ලෙසම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ සමන්විත වී ඇත්තේ මොනවාදැයි යන්න විචාරශීලීව විමසා බැලිය යුතු පැනයකි. මන්ද බහුතර ජනතාවට මේ පිළිබඳව තවමත් කරුණුමය වශයෙන් දැනුවත් භාවයක් නැති නිසාය.

72 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා 78 ව්‍යවස්ථාව සංසන්දනාත්මකව බලන කළ 78 ව්‍යවස්ථාවේ ප‍්‍රධාන ලක්ෂණය වන්නේ එය විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ආණ්ඩු ක‍්‍රමයක් වීමයි. කෙසේ වෙතත් විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳ පුළුල් ජනතා විරෝධයක් එය සම්මත වූ දා සිට අද වන තෙක් රට තුළ ගොඩනැෙඟමින් පැවතුණි. ඒ අනුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හෝ එහි බලතල සීමා කිරීම 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් බොහෝ දෙනකු බලාපොරොත්තු විය. එය සිදු වී ඇත් ද
යන්න විමසා බැලීම වැදගත්ය. 72 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ද ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා වන්නේය. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත 78 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා රාජ්‍යයේ මෙන්ම කැබිනට් මණ්ඩලයේ ද ආණ්ඩුවේ ද සන්නද්ධ හමුදාවන්හී ද ප‍්‍රධානියා වන්නේය. විධායක ජනාධිපති ක‍්‍රමයේ විශේෂ ලක්ෂණය වන්නේ එයයි. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් කතා කළද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් නැවත වරක් එය සනාථ කර ඇත. එහි මෙසේ සඳහන් වේ.

”ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානියා ද විධායකයේ ප‍්‍රධානියා ද ආණ්ඩුවේ ප‍්‍රධානියා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේය” (සම්මත වූ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත)
මේ අනුව ඉතාමත් පැහැදිලි ලෙස විධායක ජනාධිපති ක‍්‍රමය සහිත වර්තමාන ආණ්ඩුක‍්‍රමයේ  කිසිදු හරයාත්මක වෙනසක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවී නැත.

මීළඟට අපට විමසා බැලීමට ඇත්තේ විධායක ජනාධිපති සතු බලතලවල යම් සීමාකාරීත්වයක් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සත්‍ය වශයෙන්ම සිදුවී තිබේද යන්නය. බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ විධායක ජනාධිපතිවරයා සතු කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙස තිබෙන බලතල සංශෝධනය කිරීමයි. මෙමඟින් අපේක්ෂා කරන ලද්දේ දැනට පවතින ඒකාධිපති බලතල ඉවත්කොට විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වගකියන තනතුරක් බවට පත්කිරීමයි. එනිසා එය කෙසේ සිදුවී ඇත්දැයි යන්න විමසා බැලිය යුතුය. නමුත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද ජනාධිපතිවරයා සතු එම බලතල එසේම පවතින බව විචාරශීලීව බලන්නකුට පැහැදිලිව පෙනී යයි. එහි දීර්ඝ උපුටාගැනීම් සිදු කළ නොහැකි නිසා එය කෙටියෙන් පවසතොත් අගමැතිවරයා සහ ඔහුගේ ලේකම්වරයා පත්කිරීමේ දීද ඇමැති මණ්ඩලය හා අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීමේ දීද එක් එක් ඇමැතිවරුන්ගේ විෂය පථය තීරණය කිරීමේ දීද පාර්ලිමේන්තුව කැඳවීම වාරාවසාන කිරීම හා විසුරුවා හැරීමේ දීද ඒ හා සම්බන්ධ සියලූ ක්ෂේත‍්‍රයන්හී දී 78 ව්‍යවස්ථාවේ මෙම විෂයෙහිලා වැදගත් වගන්ති සියල්ලම එලෙසම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ ද ඇතුළත් කර ඇත.

”ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවක දී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ද වෙනස් කරනු ලැබිය හැක්කේය. අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට හා පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බලනොපාන්නේය.” (සම්මත වූ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය*
නමුත් එහි මෙසේද සඳහන් වේ. ”අගමැතිවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අගමැතිවරයාගේ අදහස් ද විමසා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ ඒ ඇමැතිවරුන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේය.” නමුත් මෙය අනිවාර්ය අවශ්‍යතාවක් නොවන නිසා ජනාධිපතිවරයාට තම අභිමතය පරිදි එම කාර්ය කළ හැකි බව පැහැදිලිය.

එනිසා මූලධාර්මික වශයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අදාළ ජනාධිපති බලතලවලින් කිසිවක් ඉවත් වී නැත. නමුත් මූලධාර්මිකව වැදගත් නොවන සංශෝධන කිහිපයක් සිදුකර ඇත. එහි ප‍්‍රථම වැදගත් සංශෝධනය වී ඇත්තේ 78 ව්‍යවස්ථාවට පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය විසින් එකතු කරන ලද 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමයි. ඒ අනුව 19 වැනි සංශෝධනය මඟින් ජනාධිපතිවරයකුට දැරිය හැකි උපරිම ධුර කාලය වාර දෙකකට සීමා කිරීමත් තම අභිමතය පරිදි ජනාධිපතිවරණයක් කැඳවීම සිය ප‍්‍රථම ධුර කාලයේ වසර හතරක් ගෙවීමෙන් අනතුරුව පමණක් සිදුකළ හැකි වීමත් එසේම එය දෙවැනි ධුර කාලයේ දී සිදුකළ නොහැකි වීමත් එක් ධුර කාලයක් වසර පහකට සීමා කිරීමත් ආදී වශයෙන් වූ සංශෝධන ඇතුළත් වේ. නමුත් මෙම සංශෝධන පොදු වශයෙන් 78 ව්‍යවස්ථාවට සාපේක්ෂව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉදිරි පියවරක් නොවුණ නමුත් පසුව මෑතකාලීනව එකතු වූ සංශෝධන අහෝසි කිරීමක් පමණි.
මීළඟට ජනාධිපති සතු මුක්තිය පිළිබඳ හිමිකම අහෝසි කිරීම පිළිබඳව ද අදහස් පළවිය. නමුත් 19 වැනි සංශෝධනයේ සැලකිය යුතු වෙනසක් නැති බව එහි පහත සඳහන් වගන්තිවලින් පැහැදිලි වේ.
”යම් තැනැත්තකු ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරන අවස්ථාවක දී ඔහු හෝ ඇය විසින් පෞද්ගලික තත්වයෙහිලා නිල තත්වයෙහිලා හෝ කරන ලද නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට හෝ ඇයට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේය.”
(සම්මත වූ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය)

නමුත් මූලික අයිතිවාසිකම් කඩවීමක දී මෙය බලනොපවත්නා බව අදාළ සංශෝධනයේ සඳහන්ව ඇතත් එවැනි හේතුවක් මත ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ජනාධිපතිවරයාට ද දඬුවම් කළ නොහැකි බවද එහි සඳහන්ය. එනිසා මෙමඟින් සැලකිය යුතු බලපෑමක් එවැන්නක් වැළැක්වීම සඳහා සිදු නොවන බව ඒ අනුව පැහැදිලිය.
සියල්ල මෙසේ තිබිය දී වුවද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් කිසියම් සාධනීය ඉදිරි පියවරක් තබා ඇත. එනම් 18 වැනි සංශෝධනය මඟින් අහෝසි කළ 17 වැනි සංශෝධනය වඩා විධිමත් ලෙස 19 වැනි සංශෝධනයට ඇතුළත් කර තිබීමයි. එනම් ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමයි. නමුත් එහිදී ව්‍යවස්ථාදායක සභාව මුළුමනින්ම පාර්ලිමේන්තුවට නතු වූ එහි සාමාජිකයන්ගෙන් බහුතරය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගෙන් සමන්විත වීම පිළිබඳව විවාද සම්පන්න තත්වයක් පවතී. එහි මුළු නියෝජිත සංඛ්‍යාව 15 ක් වන විට ඉන් 10 ක්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ය. නමුත් ව්‍යවස්ථාදායක සභාව මඟින් අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා පත්කෙරෙන අතර එහිදී ජනාධිපතිවරයා සතුව පැවැති ඇතැම් රාජ්‍ය සේවයේ පත්කිරීම් පිළිබඳ එහි ඒකාධිපති බලතල ඉවත් කොට ඇත. මෙහිදී ඇතැම් පත්කිරීම් යනුවෙන් අදහස් කරන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය සේවයේ පත්කිරීම් සහ අධිකරණ ක්ෂේත‍්‍රයේ පත්කිරීම්ය.

තොරතුරු දැනගැනීමේ අයිතිය 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති අතර කැබිනට් මණ්ඩලය 30 කට සීමා කිරීමේ වගන්තියක් ද ඇතුළත්ව තිබීම තවත් සංශෝධනයක් වේ. නමුත් ජාතික ආණ්ඩුවක දී ඇමැති මණ්ඩලයේ ප‍්‍රමාණය මීට වඩා වෙනස් වන බව එහි සඳහන්ය.
කෙසේ වෙතත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිළිබඳ ප‍්‍රශ්නය සමඟ සලකන විට 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැදගත් ප‍්‍රජාතාන්ත‍්‍රීය සංශෝධනයක් ලෙස සැලකිය නොහැකිය. ජනතාවගේ දේශපාලනය කිරීමේ, උද්ඝෝෂණය කිරීමේ හෝ වැඩ වර්ජනය කිරීමේ වැනි ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තවදුරටත් තහවුරු නොවන අතර බොහෝ දුරට ඒවා දැනටමත් මර්දනය කරන පිළිවෙළටම ඉදිරියේදීත් සිදුවෙතැයි අපේක්ෂා කළ හැකිය. දැනට ඒ සඳහා පොලිසිය ආරක්ෂක හමුදාව යොදා ගැනීම මෙන්ම අධිකරණ වාරණ නියෝග මඟින් ද එය සිදුකරයි. අනෙක් අතට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය වන්නේ නම් එම කටයුත්ත වැදගත් ජනතා අවශ්‍යතාවක් ලෙස සලකා ජනමත විචාරණයකින් එය කළ හැකිය. ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දී තිබෙන ප‍්‍රතිපාදනවලට යටත්ව පාර්ලිමේන්තුවේ 2/3 ක ඡුන්දයෙන් පමණක් එය කළ නොහැකි බව 78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් ඇති සියලූ දෙනාම දන්නා කරුණකි. එනිසා එය  විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකිරීමට නිදහසට කරුණක් නොවේ. එනිසා අවසාන වශයෙන් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනතාවගේ ප‍්‍රජාතාන්තී‍්‍රය අයිතීන් උදෙසා කෙරෙන අඛණ්ඩ අරගලයක අවශ්‍යතාව බැහැර නොයනු ඇත.

චන්ද්‍රසිරි ලන්දගේ