ජවිපෙයි ජනාධිපතිවරණයි ඇතුලේ අර්බුදයි

JVPලං කාවේ මැතිවරණ ඉතිහාසේ 1982 පළමු ජනාධිපතිවරණයත් සමඟ මේ වන විට ඔක්කෝම ජනාධිපතිවරණ හතක් පැවැත්වී තිබෙනවා. ජවිපෙ ඉතිහාසය බලද්දී ජනාධිපතිවරණය තමන්ට පහසු මැතිවරණයක් වශයෙන් ගැනුණේ නැහැ. 1978 දී විධායක ජනාධිපති ධුරය ගොඩනැගුනෙම 1977 හඳුන්වා දුන්නු විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති ඇදගෙන යන්න අමතර බලයක් අවශ්‍ය වූ නිසා. ඒ නිසා ජවිපෙට එහෙම ධුරයක් සඳහා තරග කිරීමම එක්තරා ප‍්‍රශ්නයක් වුණා. මොකද මේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වූ සටන් පාඨයකුත් මේ ධුරය හඳුන්වා දීමේ සිටම ක‍්‍රියාවට නැගුනා. මුලින්ම 1982 දී රෝහණ විජේවීර ලංකාවේ පවත්වපු මුල්ම ජනාධිපතිවරණෙට ඉදිරිපත් වුණා. එතකොටත් විධායක ක‍්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙන නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ජවිපෙ විසින් ඉදිරිපත් කළා. ඒක අසාර්ථක වුණායින් පස්සේ තමයි විජේවීර තනිවම ජවිපෙ වශයෙන් ඉදිරිපත් වුණේ. කොහොම වුණත් ඒක 1965 දී ජවිපෙ නිර්මාණය කළායින් පස්සේ ජවිපෙ නමින් ඉදිරිපත් වූ පළමු මැතිවරණය. ඒ නිසා බහුජන දේශපාලනයේ තවත් තලයක දේශපාලනය කරන්න අවස්ථාවක් කරගැනීම පැත්තෙනුයි, පක්ෂයේ ප‍්‍රතිපත්ති පුළුල් වශයෙන් රටට ඉදිරිපත් කිරීම පැත්තෙනුයි 1982 ජනාධිපතිවරණය අවස්ථාවක් කරගත්තා. එතකොට ජනාධිපතිවරණයෙන් දිනන්න නොවෙයි, ඒක බහුජනතාව අතරට වාමාංශික දේශපාලනය ගෙන යාමේ අවස්ථාවක් විදියට පාවිච්චි කළා. මේ තේරුමෙන් එදා 1982 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ධනාත්මක පැත්තක් තියෙනවා.

1982 හොඳ සහ නරක එදා ජවිපෙ ලියාපදිංචිය මැතිවරණ කොමසාරිස් විසින් පිළිගත්තෙ ඡුන්දෙට ඉතාම ආසන්නයේ දී. ඒකට හේතුවක් තියෙනවා. ජේ.ආර්. ට  ඕන වුණා ජවිපෙ තනිවම තරග කරවන්න. ඒ වෙනකොට සිරිමාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරලා විරුද්ධ පක්ෂෙන් ආවේ කොබ්බෑකඩුව. ඒ නිසා ජේ.ආර්. කල්පනා කළා ජවිපෙ මැද්දට පැනලා ආණ්ඩු විරෝධී ඡුන්ද ප‍්‍රමාණයක් කඩයි කියලා. නමුත් එදා ජවිපෙ ඒක එතරම් ප‍්‍රශ්නයක් කරගත්තේ නැහැ. තමන්ගේ කි‍්‍රයාමාර්ගය කාට කොහොම උදව් වෙනවද කියනවට වඩා ජවිපෙ නායකත්වය එදා කල්පනා කළේ වමේ බලයක් ගොඩනැඟීම සඳහා කොහොමද ජනාධිපතිවරණය යොදා ගන්නේ කියලයි. නමුත් ප‍්‍රතිඵලවලින් පස්සේ ජවිපෙ ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. 1983 ජවිපෙ තහනම් කරද්දී පක්ෂෙ හැරදා ගියාටත් වඩා වැඩි පිරිසක් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලවලින් පස්සේ පක්ෂෙ දාලා ගියා. බොහොමයක් පක්ෂ සාමාජිකයන් හිතුවා රෝහණ විජේවීර ජනාධිපතිවරණෙන් දිනයි කියලා. සමහර වගකිව යුතු සංවිධායකයොත් හිතුවා අඩුම තරමින් විජේවීර ඡුන්ද ලක්ෂ පහළොවක් විස්සක් විතර ගනියි කියලා. පක්ෂයෙන් මැතිවරණ සාමාජිකයො බඳවාගන්න දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කළා. මැතිවරණ සාමාජිකයන් ලක්ෂ හතරකටත් වඩා වැඩියෙන් බඳවා ගත්තා. ඉතින් හිතවතා, සාමාජිකයා, සංවිධායකයා තුළ අර වැනි බලාපොරොත්තුවක් ඇති වෙන විදියට තමයි ජවිපෙ මැතිවරණ ව්‍යාපාරය කළේ. ඉතින් පක්ෂයෙන් එවැනි විශ්වාසයක් පක්ෂ සාමාජිකයන් තුළ ගොඩනැඟීමේ විපාකය තමයි මුළු පක්ෂයම මැතිවරණවාදය තුළට ඇදවැටුණු එක. මේ ක‍්‍රමය යටතේ පවත්වන මැතිවරණ ගැන පක්ෂ සාමාජිකයන්ට විතරක් නොවෙයි පක්ෂයේ සමහර නායකයන්ටත් තිබුණු අවබෝධය ප‍්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ලක්ෂ තුනටත් අඩු මැතිවරණ ප‍්‍රතිඵලය ගොඩක් අයට දරාගන්න බැරි වුණා. ඒ නිසා පහළින් විතරක් නොවෙයි උඩිනුත් විශාල පිරිසක් පක්ෂෙන් ගියා. අකර්මණ්‍ය වුණා. ඊට පස්සේ ජවිපෙ මේ තත්වයෙන් ගොඩ ආවා ද? නැහැ. එක පැත්තකින් එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී පෙන්වපු ධනාත්මක පැත්ත අද වෙනකොට සම්පූර්ණයෙන්ම අහිමි කරගෙන. අනිත් පැත්තෙන් මැතිවරණවාදයට ඇදවැටීම නිසා එදා පෙන්වපු දුර්වලකම එදාටත් වඩා අද බොහොම  බරපතළයි. අද ජවිපෙ කටයුතු කරන්නෙ මුළුමනින්ම මැතිවරණවාදයට යට වෙලා, වාමාංශය ගැන විශ්වාසයක් කොහෙත්ම නැතිව. කොහොම හරි ඡුන්ද ටිකක් එකතු කරගන්න මේ තියෙන ක‍්‍රමයට රැුඩිකල් ආකාරයෙන් සුදුහුනු ගාන එක තමයි දිගටම කරන්නේ.
මර්දනයෙන් පසු 1982 න් පස්සේ ජවිපෙ නැවත වතාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ 1994 දී. එදා ගලප්පත්තිව ඡුන්දෙන් අයින් කරගන්න  ඕන වුණාම චන්ද්‍රිකාගෙන් නොකෙරෙන පොරොන්දුවක් ලබාගෙන ඡුන්දෙන් අයින් වුණා. කොහොම නමුත් ජවිපෙ අඩුවෙන්ම අර්බුදයකට මුහුණ දුන්නේ 1999 ජනාධිපතිවරණයෙදි. ජවිපෙ වාමාංශික පක්ෂ කිහිපයක් එක්ක එකතු වෙලා වාමාංශික සන්ධානයකින් ‘‘විධායක ක‍්‍රමය අහෝසි කිරීම’’ සටන් පාඨය බවට පත් කරගෙන මැතිවරණයට ඉදිරිපත් වුණා. මැතිවරණය ගැන අධි තක්සේරු නොකරන්නත් වගබලා ගත්තා. කොහොමත් ඉදිරිපත් වූ අපේක්ෂකයා, නන්දන ගුණතිලකත් තමන්ගේ ඇල්මැරුණු ස්වභාවයෙන්ම එවැනි අධි තක්සේරුවකට ඉඩ තියපු කෙනෙක් නොවෙයි. ජාතික ගැටලූව සම්බන්ධයෙන් ජවිපෙ යම් තරමක හෝ ප‍්‍රගතිශීලී සටන් පාඨයන් ප‍්‍රමාණයක් ඉදිරිපත් කළේ මේ අවස්ථාවේදී. ‘ජාතිවාදීන්ගේ යුද්ධය පරදවමු’ කියන්න තරම් ධෛර්යක් ජවිපෙට එදා තිබුණා. අද සම්පූර්ණයෙන්ම ජාතිවාදය තමන්ගේ වැඩපිළිවෙළ බවට පත්කරගෙන ඉන්න වීරවංශ පවා ජාතිවාදයට විරුද්ධ මේ සටන් පාඨ තුළ හිටියා. හැබැයි එදත් ජාති(ක*වාදී සෝමවංශ පිටරට ඉඳන් මේ සන්ධානයට කකුල් මාට්ටු දාන්න සෑහෙන්න උත්සාහ කළා. දැන් බුදු දහම ගැනයි අවිහිංසාව ගැනයි කතා කරන සෝමවංශ එදා වීරවංශ, ටිල්වින්, අනුර ඇතුළු පිරිස එක්ක ජනාධිපති මන්දිරයට ගිහින් උතුරට බර අවි යොදා පහර නොදීම ගැන 2005 දී තමන්ගේ ද සහායෙන් බලයට පත් වූ ජනාධිපතිවරයාව ප‍්‍රශ්න කළා. එතකොට තමයි මහින්ද ‘බඩු නැහැ, මො ….කෙන්ද ගහන්නේ’ කියන ජනප‍්‍රිය පිළිතුර දුන්නේ. පෞද්ගලික වෛරයක් සෑම ජනාධිපතිවරණයක් පසු පසුම ලොකු අර්බුදයක් ආවා.

කොහොම නමුත් 2000 න් පස්සේ පරිවාසෙත් එක්කම ජවිපෙ දකුණට හේදිලා යන්න පටන් ගත්තා. 2004 ඉපැරණි වම වගේම චන්ද්‍රිකා එක්ක සභාගයකට ගිහින් පැරණි වම බවට පත් වුණා. 2005, 2010 සහ 2015 ජනාධිපතිවරණවල දී සම්පූර්ණයෙන්ම ජවිපෙ ආරම්භක අරමුණුවලට පිටුපාමින් තව තවත් සභාග දේශපාලනයට ගියා. තවත් එක් සුළු-ධනේශ්වර පක්ෂයක් බවට පත් වුණා. මේකෙ ප‍්‍රතිඵල මේ සෑම ජනාධිපතිවරණයක් අවසානයේ දීම ජවිපෙ පසුපසින් අර්බුදයක් ලෙසින් ආවා. 2005 දී මහින්දව ජයග‍්‍රහණය කරන්න උදව් කළේ මහින්ද රජතුමාට සිංදු එහෙමත් ලියලා දීලා. ප‍්‍රභාකරන් පරද්දන්න තමයි වැඩපිළිවෙළ හැදුවේ. හැබැයි හවුල් ආණ්ඩුවකට යන්න තමයි ආසාව තිබුණේ. සභාග දේශපාලනයේ රස සමහර නායකයන්ට 2004 සභාගයෙන් දැනිලා තිබුණා. 2005 දී තමන්ගේ ස්වාධීන අදහසක් පොදු ජනතාවට ඉදිරිපත් කරන්න තරම් දේශපාලන ධෛර්යයක් ජවිපෙට තිබුණේ නැහැ.

ඡුන්දෙන් පස්සේ නිතර නිතර ජනාධිපති මන්දිරයට ගාටන්න පටන් ගත්තා. මහින්දගේ ආණ්ඩුවට ඇතුල් වෙන්න සෑහෙන උත්සාහක් ගත්තා. ඒ කාලේ පක්ෂෙ ඇතුලේ වමෙන් ආපු බලපෑම නිසා ඒක වැළකුණා. ඒත් අර්බුදය පුපුරා ගියා. සෝමවංශ-වීරවංශ දේශපාලන පිය-පුතු දෙපළ අලූත් පක්ෂයක් හදාගෙනම මහින්දගේ ආණ්ඩුවට යන්න උත්සාහ කළා. ක‍්‍රමානුකූලව ජවිපෙ සමහර නායකයන් එකා දෙන්නා බැගින් මහින්දගේ ආණ්ඩුවට යෑම සඳහා ස`ගවාගෙන තිබුණු කැමැත්ත පොඞ්ඩ පොඞ්ඩ එළියට දැම්මා. ටිල්වින් අන්තිමේ දී කැමැත්ත දුන්නා. දැනුත් වීරවංශ එක්ක අදේශපාලනික ‘පෞද්ගලික වෛරයකින්’ පෙළෙන අනුරත් වැඬේට සූදානම් වෙලයි හිටියේ. මේ අය තුළ තිබුණු මේ කැමැත්තට තිබුණු එකම බාධාව වුණේ වීරවංශ ආණ්ඩුවට යන්න පෙන්නපු විශේෂ කැමැත්ත. එහෙම නැතිව වාමාංශික ප‍්‍රතිපත්ති මත පදනම් වෙලා තිබුණු විරුද්ධත්වයක් නොවෙයි. ඉතින් විය යුතු පරිදිම වීරවංශ ඇතුළු පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ වුණා. එහෙමත් නැත්නම් මහින්දට එක් වුණා. තාමත් ඒ අයගේ ගැලවුම්කාරයා මහින්ද.

2015 ජනාධිපතිවරණයවාමාංශික ප‍්‍රතිපත්ති මත සභාග දේශපාලනයට විරුද්ධ නොවුණ අනුරලා ටිල්වින්ලා ඇතුළු පිරිස ඊට පස්සේ හැරුනේ යූ.ඇන්.පී ය දිහාවට. 2010 ජනාධිපතිවරණයේ දී තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාව සම්බන්ධයෙන් වාර්තා පිට වාර්තා තබා සිටි සරත් ෆොන්සේකාව දිනවන්න යූඇන්පියත් එක්ක ආයෙමත් වතාවක් සභාගයකට ගියා. වැරදි ප‍්‍රතිපත්තිමය තීරණ නිසා තමන්ගේම සහායෙන් පත් කරපු මහින්දගේ ඒකාධිපති පාලනය පරද්දන්න ජනරාල් දිහාට මේ අය හැරුනේ මෙහෙමයි. එදාත් ස්වාධීන වාමාංශික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න අසමත් වුණා. අවසානයේ දී මොකද වුනේ. පක්ෂයේ වම-දකුණු සංවාදය තවදුරටත් වර්ධනය වෙලා පුපුරලා ගියා. ජවිපෙ ඉතිහාසයේ විශාලතම අර්බුදය පුපුරලා ගියා. ලංකාවේ නව වාමාංශික දේ්ශපාලන පක්ෂයක් නිර්මාණය කරමින් නිල නාමය විතරක් ඉතුරු කරගෙන ජවිපෙ දකුණටම හේත්තු වුණා. දැන් අනුර වගේ අය වීරවංශව ඉස්සර කරන්න හදන්නේ වමෙන් නොවෙයි, දකුණෙන්. මහින්දගේ පැත්තෙන් නොවෙයි, රනිල්ගේ කරට අත දාගෙන.
2015 ජනාධිපතිවරණයෙ දී ජවිපෙ අලූත්ම ප්‍රෝඩාවක් කළා. පළමු වතාවට අපේක්ෂකයෙක් දිනවන්න නොවෙයි පරද්දන්න වැඩ කිරීම කියලයි ඒ අය මේ ගැන කියන්නේ. මහින්ද පරද්දන්නලූ මේ අය මෛත‍්‍රී සමඟ වැඩ කළේ, එහෙම නැතිව මෛත‍්‍රී දිනවන්න නොවෙයිලූ. දේශපාලනය ගැන අබමල් රොනක් නොදන්නා බබ්බුන්ට හොඳයි මේ වගේ කතා. කොහොමත් දැන් ඉතින් ජවිපෙ ඇතුළේ වම-දකුණු සංවාදයක් තියෙන්න ජවිපෙ නායකත්වය ඇතුලේ වාමාංශයක් නැහැ. සාමාජිකත්වයේ පිරිසක් නම් තවමත් වම ගැන බලාපොරොත්තු තියාගෙන ඉතුරුවෙලා ඇති. ජනප‍්‍රිය නායකත්වය ඇතුළේ ඉතින් ඉතුරු වෙන්නේ දකුණු-දකුණු සංවාදයක් විතරයි. වියයුතු පරිදිම දකුණේ පාර්ශ්වයන් දෙක ගැටුණා.

මුදුනින් පිපිරීම මෙවර ජනාධිපතිවරණයෙන් පස්සේ අර්බුදය පුපුරලා ගියේ මුදුනෙන්මයි. අවුරුදු 46 ක් පක්ෂයේ හිටියාය කියන වසර 24 ක් එහි නායකයාව සිටි සෝමවංශ අමරසිංහ මෙවර ජනාධිපතිවරණයෙන් පස්සේ එළියට ආවා. එයාටයි සමහර අයටයි  ඕන වුණා මෛත‍්‍රීත් එක්ක මෛත‍්‍රීගේ (පිලට* ආණ්ඩුවට යන්න. හෙළ උරුමයට ඉඩ නොදී ඒ තැන ජවිපෙ විදියට අත්පත් කරගන්න. නමුත් ජවිපෙ සමහරුන්ට  ඕන වුණේ රනිල්ගේ ආණ්ඩුවට ‘ලැජ්ජා නොහිතෙන’ ක‍්‍රමයකට ‘හොරාට’ සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ ජාතික විධායක සභාව හරහා සම්බන්ධ වෙන්න. ඒකනෙ සෝමවංශ කියන්නේ මේවා භාග තීරණ කියලා. ජවිපෙ සුපුරුදු පරිදි මේ ගැටලූවලට දේශපාලනමය වශයෙන් මුහුණ දෙන්න දන්නේ නැතිකමට සෝමවංශගේ නික්මීම ‘පෞද්ගලික හේතුවක්’ ය කියලා දරුණුම ආකාරයේ මඩ ව්‍යාපාරයක් දියත් කරලා.
විශේෂයෙන්ම 2000 න් පස්සේ ජවිපෙ ගමන මුළුමනින්ම දකුණට හැරවූවායින් පස්සේ සෑම ජනාධිපතිවරණක් පස්සෙන්ම පිට පිට එන අර්බුද කියාපාන පාඩමක් තියෙනවා. ඒ වාමාංශික ව්‍යාපාරයන් නිවැරදිව තමන්ගේ උපක‍්‍රම සකස් කරගන්න  ඕනේ කොහොමද කියන කාරණය. කොහොමත් ජවිපෙ අර්බුදය තවදුරටත් වමේ අර්බුදයක් නොවෙයි. ඒක දකුණේ සුළු-දිය අර්බුදයක්. අනිත් පැත්තෙන් ජවිපෙ අර්බුදය වමට ජයග‍්‍රහණයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා නව වාමාංශය විසින් මේ අත්දැකීම් ඉගෙන ගැනීමයි අවශ්‍ය වෙන්නේ.