මැයි මල් මත කඳුළු බිංදු

විදේශගත ලාංකික ශ‍්‍රමිකයන්ගේ කතාව මැයි මාසේ පළමුවැනිදා ලොව පුරා කම්කරු ජනතාව උත්සවාකාරයෙන් තමන්ට වෙන්වූ දවස, ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. කම්කරුවන් මැයි දිනය සමරන කාලය වන විට ලංකාවේ නම් ‘මැයි මල්’ නමින් අපි හඳුන්වන රතු පාට මල් තුරුහිස් මත පිපෙමින් තිබෙනවා. මේ වන විටත් ඒ බොහෝ තුරුහිස් රතු පාටින් බැබළෙනවා. කම්කරු දිනයේ වර්ණය රතු පැහැය වුණේ මැයි මල් රතු පාට නිසා නෙවෙයි. 1886 දී අමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර කම්කරුවන් සිය ඉල්ලීම් සඳහා ගිය පෙළපාළියේ රැුගෙන ගිය සුදු පැහැති ධජ පතාක ඔවුන්ගේ ලේවලින් රතු පැහැ වුණු නිසා. පැය 8 වැඩ දිනයක් ඉල්ලා සටන් වැදුණු කම්කරුවන් මරාදැමූ කෲර මර්දනයත් සිය අයිතීන් වෙනුවෙන් කම්කරුවන් කළ අරගලයත් සිහිපත් කරමින් 1890 සිට මැයි පළමු වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස සමරනු ලබනවා. එදින මුළු ලෝකයේම ප‍්‍රධාන නගරවල වීදි රතු පැහැයෙන් පිරී ඉතිරී යනවා.

ජාත්‍යන්තර කම්කරු දිනයේ ඇඟවීම් දෙකක් තියෙනවා. එකක් තමයි කම්කරුවන් සූරාකෑමට ලක්වීම. ශ‍්‍රම සූරාකෑම පිළිබඳ ඇත්ත ලොවට හෙළිකරනු ලැබුවේ පසුගිය සහස‍්‍රකයේ විශිෂ්ටතම දාර්ශනිකයා ලෙස විරුද්ධවාදීන් විසින් පවා පිළිගනු ලබන කාල්මාක්ස් ධනපතියා ලබන ලාභයේ පදනම කම්කරුවාගේ ශ‍්‍රම සූරාකෑම බව පෙන්වා දුන්නා. ශ‍්‍රමයේ තිබෙන වැදගත්ම ලක්ෂණය තමයි එය ජනනය කරන්න යන වටිනාකමට වඩා වැඩි වටිනාකමක් නිර්මාණය කරන්න එයට ඇති හැකියාව. මිනිසෙක් තමන්ගේ යැපීමට හා පසුවදා ශ‍්‍රම ක‍්‍රියාවලියේ නිරත වීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීම සඳහා වැය කරන වටිනාකමට වඩා විශාල වටිනාකමක් නිෂ්පාදන ක‍්‍රියාවලිය හරහා උත්පාදනය කරනවා. ඒ නිසා  ඕනෑම කම්කරුවෙක් තමන්ගේ යැපීමට ‘අවශ්‍ය කාලය’ වැඩ කරලා ඊට අමතරව ‘අතිරික්ත කාලය’කුත් වැඩ කරනවා. ඒ අතිරික්ත කාලයේ දී ‘අතිරික්ත වටිනාකමක්’ නිර්මාණය කරනවා. ධනපතියා ඩැහැ ගන්නේ ඒ අතිරික්ත වටිනාකම. අතිරික්ත වටිනාකම් සූරාකෑම වැඩිකරන්න විවිධ උපක‍්‍රම ධනපතියා භාවිත කරනවා. වැඩ දිනය දීර්ඝ කිරීම, වැඩවල වේගය වැඩි කිරීම, යැපීම සඳහා ගෙවිය යුතු කොටස පවා නොගෙවා අඩු වැටුප් හරහා ඒකෙනුත් කොටසක් උදුරා ගැනීම වගේ ක‍්‍රියාමාර්ග ගණනාවක් මේ අතර තිබෙනවා. එදා චිකාගෝ නුවර කම්කරුවන් අරගල කළේ මේ තත්වයට විරුද්ධව.

ජාත්‍යන්තර කම්කරු දිනයේ දෙවැනි ඇඟවීම තමයි මේ සූරාකෑම වගේම එයින් විමුක්තිය ලැබීමත් ජාතික රාජ්‍යයකට කොටු නොවූ ජාත්‍යන්තර ස්වභාවයක් ගන්නවා කියන එක. විවිධ භාෂා කතා කළත් විවිධ සංස්කෘතීන්වල සිටියත් ලොව පුරා වැඩකරන ජනතාව එකම ආකාරයේ පීඩාවකට ගොදුරු වෙනවා. ලංකාවේ සමහර අය හිතාගෙන ඉන්නේ සූරාකෑම තියෙන්නේ ලංකාවේ, පිටරටකට ගියොත් ශ‍්‍රමයේ ප‍්‍රතිඵල ලබාගන්න පුළුවන් කියලා. එක් එක් රටවල ජීවන මට්ටම්වල තිබෙන විෂමතාව නිසා ශ‍්‍රමයේ මිලත් වෙනස් වෙනවා. ඒත් සූරාකෑම එහෙමම පවතිනවා. ලාංකේය කම්කරු පන්තිය ගැන කියද්දී බොහෝ දෙනෙක් අමතක කරන පිරිස තමයි විදේශගත ලාංකේය ශ‍්‍රමිකයෝ. ලංකාවේ ශ‍්‍රම බලකායෙන් හතරෙන් එකක්ම, ඒ කියන්නේ ලක්ෂ 20 ක් කම්කරුවෝ ඉන්නේ විදේශවල. මැදපෙරදිග ගෘහ සේවයට යන කම්කරු ස්ත‍්‍රීන් ගැන අපි  ඕනතරම් කතා කරලා තිබෙනවා. ඒත් මේ ප‍්‍රශ්නයේ තවත් නොදුටු පැති ගණනාවක් තිබෙනවා. අද අපි ජනරළ අවධානය යොමුකරන්නේ විදේශගත ලාංකේය ශ‍්‍රමිකයන් කිහිපදෙනකුගේ අත්දැකීම්වලට.
එදා 1886 දී චිකාගෝ නුවර කම්කරුවන් ඉල්ලූ ඉල්ලීම් සියවසකට වැඩි කාලයක් ලේ හැලීමෙන් පසුවත් ලැබිලා නෑ. අද ඉල්ලන්නෙත් ඒවාමයි කියලා මේක කියවද්දි හිතෙනවා. ඒ නිසා ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වය හරහා මිස මේ සියල්ල මෙලෙස තිබිය දී විමුක්ති මාර්ගයක් අත්පත් කරගන්න බෑ කියලා අපට හොඳින්ම තහවුරු වෙනවා. ජාත්‍යන්තර, කම්කරු දිනය නිසා සූරාකෑම ගැන අමූර්ත සංකල්පය බොහෝ දෙනා කතා කරන මේ කාලයේ ඒ ගැන ඉදිරිපත් කෙරෙන ජීවමාන අත්දැකීම් දෙස අවධානය යොමු කරන්න. ඉතිහාසය පුරා කඳුළු හලපු දහඩිය හලපු, තමන්ගේ අයිතීන් වෙනුවෙන් ලේ හලපු කම්කරු ජනතාවගේ වත්මන් ඉරණම ගැන දළ සටහනක් ඒකෙන් අපට
ඇඳගන්න පුළුවන්.

සංජීව – ඉතාලිය
”මම වැඩ කරන්නේ ප‍්‍රධාන පෙළේ මස් නිෂ්පාදන ආයතනයක. මෙහි මට තිබෙන වගකීම මරණයට පත්කරන ලද කුකුළන් යන්ත‍්‍රයක් මඟින් කි‍්‍රයාකරන දම්වැලක කොකුවල එල්ලීම. මේ යන්ත‍්‍රය සේවා මුරය ආරම්භවන වෙලාවට ක‍්‍රියාත්මක වී සේවා මුරය අවසන් වනතුරුම තත්පරයකටවත් ක‍්‍රියාවිරහිත නොකර වැඩ කරනවා. මා සමඟ තවත් හත්දෙනකු මේ කාර්යයේ නිරත වෙනවා. මුලින් යන්ත‍්‍රය ක‍්‍රියාත්මක වුණේ ඒකක 100 ක වේගයකින්. එය අපහසුවකින් තොරව වැඩකළ හැකි වේගයක්. නමුත් මාස 5 කට පමණ පෙර එහි වේගය ඒකක 150 ට වැඩි කළා. එවිට පැයකට කුකුළන් 1000 බැගින් එල්ලන්න වෙනවා. කිලෝග‍්‍රෑම් 3-4-5 බර කුකුළකු අරන් කොකුවල එල්ලීම පහසු වැඩක් නෙවෙයි. මෑතක දී සිට යන්ත‍්‍රය ඒකක 200 කින් ක‍්‍රියාකරනවා. දැන් අපි පැයකට කුකුළන් 1350 ක් පමණ කොකුවල එල්ලිය යුතුයි. අපට කෑම පැයක් නෑ. දවසටම තිබෙන්නේ විවේක කාල තුනයි. පළමු වැන්න විනාඩි 10 ක විවේකයක්. දෙවැන්නට විනාඩි 15 ක් හා තුන්වැන්නට විනාඩි 10 ක් ලැබෙනවා. ආපනශාලාවට ඇවිද යන්න හා එන්නත් විනාඩි 2 බැගින් විනාඩි 4 ක් වැයවන නිසා මේ විවේකයෙන් පලක් නෑ. අපට දැනෙන ශාරීරික වෙහෙසත් මානසික පීඩනයත් නිසා ?ට නින්ද යන්නෙත් නෑ. මේ පීඩනය නිසා කම්කරුවන් නිතරම එකිනෙකා සමඟ රණ්ඩු වෙනවා, අසභ්‍ය වචනවලින් බැණ ගන්නවා. වෙහෙස මඟහරවා ගන්නේ සිහි නැතිවනතුරු මත්පැන් පානය කරලා. මෙහෙම වැඩ කරලත් අපට හරහැටි යමක් ලැබෙන්නෙ නෑ. ලැබෙන සොච්චමෙනුත් හැම මාසෙම මොකක් හරි කියලා කීයක් හරි කපා ගන්නවා. කෑවට බීවට පස්සේ ඉතිරියක් නෑ. සමාගම හිතාගෙන ඉන්නෙ අපි සත්තු කියලා”

රම්‍යා – ප‍්‍රංශය
”මම සේවය කරන්නේ උපස්ථායිකාවක් විදියට. මම ඉතාම දුෂ්කර සේවයක් කරමින් ඉන්නේ. කලින් මට දවසට පැය දෙකක විවේකයක් සහ සතියට වරු දෙකක විවේකයක් ලැබුණා. නමුත් මම
රැුකබලා ගන්නා කාන්තාව මෑතකදී බිම ඇදවැටී රෝගාතුර වීම නිසා පැය 24 ම ඇය ළඟ ඉන්න සිදු වී තිබෙනවා. මම හදිසි අවශ්‍යතාවකට හෝ බැහැර යනවා නම් ඇය ළඟ වෙනත් සේවිකාවක් තබා යා යුතුයි. ඒ ඉන්න කෙනාට භාරකරුවන් ගෙවන්නේ නෑ. ඇයට වැටුප් ගෙවන්න වෙන්නේ මගේ වැටුපෙන්. මම මගේ රැුකියාව රැුකගන්නත් වැටුපෙන් කොටසක් වැය කරනවා. මෙහේ සමහර අය අනෙක් අයගේ රැුකියා රැුකගන්නත් වැටුපෙන් කොටසක් වැය කරනවා. අලූතෙන් තිබෙන සාමූහික සේවා කොන්දේසි යටතේ යම් ආයතනයක සේවකයන් ප‍්‍රමාණය අඩු කරන විට ඒ ගැන සේවකයන්ට දැනුම් දෙනවා. එහිදී සේවක පිරිසක් ඉවත් නොකර තබාගන්න නම් අනෙක් සේවකයන් කැප කිරීමක් කර තමන්ගේ වැටුපෙන් කොටසක් අඩුකර ඉවත් කිරීමට යෝජිත අයට ලබාදෙන්න කැමති විය යුතුයි. අපිව වහලූන් කරලා වැඩ අරන් ඒකට දෙන වැටුපත් ආයෙ උදුර ගන්නවා”

ප‍්‍රදීප් – දකුණු කොරියාව
”අපට පැය 8 වැඩ දිනය නෑ. අපි දවසට පැය 10 ක් 12 ක් වැඩ කරනවා. මම වැඩ කරන්නේ යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සමාගමක. අපේ රාජකාරියේ දී නිතරම අවධානය රඳවා තබාගත යුතුයි. පොඞ්ඩක් හරි අවධානය ගිලිහුනොත් අනතුරු වෙනවා. නමුත් කරන්න තිබෙන්නෙත් බර වැඩ නිසා හවස් වන විට අවධානය නැති වෙනවා. ඒ වෙහෙස දරාගන්න අමාරුයි. පසුගිය දවසක වෙහෙස නිසාම අවධානය ගිලිහිලා යකඩ කුට්ටියක් මගේ කකුලට ඇද වැටුණා. රාජකාරි වෙලාවේ දී සිදුවුණු අනතුරකට වන්දි ගෙවනවා වෙනුවට සමාගම කළේ සමාගමේ කීර්තිනාමය විනාශ කිරීම ගැන දොස් කියන එක. ප‍්‍රතිකාර ගන්න වැය වුණු මාස තුනටම වැටුප් ගෙව්වෙ නෑ. සමාගමේ කීර්තිනාමයට හානි කරලත් රැුකියාව අහිමි නොකිරීම ගැන සතුටු වෙන්න කියලයි කියන්නේ. ‘සේෆ්ටි ෆස්ට්’ කියලා ආරක්ෂණ ප‍්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා. ඒත් ඒක ක‍්‍රියාත්මක කරන්න පුළුවන් විදියට නෙවෙයි වැඩ පවරන්නේ. වැඩ ඉලක්ක සම්පූර්ණ කරන්න නම් අවදානමක් දරාගන්න වෙනවා. වැරදිලා අනතුරක් උනොත් වරද පටවන්නේ අපට. අපි මැෂින් නෙවෙයිනේ. වෙහෙස වැඩි උනාම වැරදි වෙනවා”