අමතක නොකරමු පැරණි කතා – හොරු ඇල්ලීමේ මෙහෙයුම්

avantgard floating armouryහොරු ඇල්ලීමේ මෙහෙයුම් ගැන සාහිත්‍යයේ සහ සිනමාවේ ඉතාම චිත්තාකර්ෂණීය කතා තිබේ. රහස් පරීක්ෂක කතා, පොතෙන් කියවීමට, සිනමාව හරහා නැරඹීමට, ගුවන්විදුලියෙන් ඇසීමට අප කවුරුත් අකමැති නැත. ලංකාවේ සාහිත්‍යයේ හොරු ඇල්ලීමේ කතාවල ඉතිහාසය පැරණිය. ලංකාවේ ප‍්‍රබන්ධ සාහිත්‍යයේ ඉපැරණිම ලේඛකයකු වන පියදාස සිරිසේනගේ ‘වික‍්‍රමපාලගේ වික‍්‍රම’ කියවපු කාලේ සිටම අපි රහස් පරීක්ෂක කතාවලට කැමතිය. කෝන්ගොඩ වික‍්‍රමපාලගේ පළමු වික‍්‍රමය වන ‘ඩිංගිරි මැණිකා’ පොත පිටවුණේ 1919 දීය. ගුවන්විදුලිය ගත්තොත් සුගතපාල ද සිල්වා ලියූ ගුවන් විදුලි රහස් පරීක්ෂක කතා අපි ඇසුවේ ඉතා කැමැත්තෙනි. 1887 දී ඉංග‍්‍රීසි භාෂාවෙන් නිකුත් වී පසුව සිංහල භාෂාවට ද පරිවර්තනය වූ ෂර්ලොක් හෝම්ස් ද අමතක කළ නොහැක. ඒ සාහිත්‍යයේ හොරු ඇල්ලීම ගැන අදහස් කිහිපයකි.

දැන් අපි දේශපාලනයේ හොරු ඇල්ලීම ගැන අවධානය යොමු කරමු. හැමදාම එක ආණ්ඩුවක් බලයෙන් පහවී  අලූත් ආණ්ඩුවක් බලයට එන විට හොරු අල්ලන කතා ඉදිරියට එයි. හැම අලූත් ආණ්ඩුවක්ම කියන්නේ පරණ ආණ්ඩුවේ සිදු වූ සොරකම් හෙළිදරව් කර ඒවාට දඬුවම් දෙන බවය. 1970 දී බලයට ආ සමගි පෙරමුණු ආණ්ඩුව, පැවැති එජාප ආණ්ඩුවේ හොරකම් හෙළිදරව් කරන බවට පුරසාරම් දුන් මුත් හෙළිකරගත් හොරකමක් නැත. 1977 දී බලයට ආ ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව හොරකම් ඇල්ලීමේ නාමයෙන් කළේ විපක්ෂය දුර්වල කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය දියත් කිරීමය. එවකට විපක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප‍්‍රජා අයිතිය ද අහිමි කරනු ලැබිණි. අනතුරුව 1994 දී බලයට පත් වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ නායිකාව වූ චන්ද්‍රිකා කුමාරතුංගගේ ප‍්‍රධාන පොරොන්දුවක් වූයේ 17 අවුරුදු එජාප පාලන කාලයේ කළ හොරකම්වලට දඬුවම් දීමය. එදා ඇය කීවේ සියලූ හොරු ගාලූ මුවදොර පිටියට ගෙනැවිත් නඩු අසා ජනතාව යෝජනා කරන දඬුවම් දෙන බවය. ජනතාව හොරුන් හමගහන්නැයි යෝජනා කළොත් ගාලූ මුවදොර දී ප‍්‍රසිද්ධියේ හමගසන බවය. චන්ද්‍රිකා පාලනයේ පළමු මාස තුන පිරී තිබුණේ අතනින් මෙතනින් හොර බඩු අල්ලන ජවනිකාවලිනි. හොර බඩු හොරා පිටින් හසුවිය. එහෙත් හොරු ඇල්ලූවේත් නැත. දඬුවම් ලැබුවේත් නැත.

හොරු ඇල්ලීමේ කතාව නැවත කරළියට ආවේ 2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දීය. මහින්ද රාජපක්ෂ පාලනය අතිශය ¥ෂිත එකක් වූ නිසා හොරු ඇල්ලීමේ සටන් පාඨයට විශාල ජනප‍්‍රියභාවයක් හිමිවිය. 1994 දී සිදු වූ දේම වසර 20 කට පසු යළි ප‍්‍රතිනිර්මාණය වෙමින් හොරබඩු ඇල්ලීමේ සන්දර්ශන ක‍්‍රියාත්මක විය. එක හොරෙක්වත් ඇල්ලූවේ නැත. හොරකම් ගැන හෙළිදරව් කළේ ද නැත. තමන්ට දේශපාලන වශයෙන් පක්ෂපාතී වූ එක හොරෙක්වත් අල්ලන්නේ නැති අතර ඒ හොරුන් සුදනන් විය. තමන්ට විරුද්ධ අය දිනාගැනීම සඳහාත් මෙල්ල කිරීම සඳහාත් පමණක් ඔවුන්ගේ හොරකම් ගැන පරීක්ෂණ ක‍්‍රියාත්මක කෙරිණි. ඒ පරීක්ෂණවල අරමුණම හොරකම් තුරන් කිරීම නොව විවිධ දේශපාලන අවශ්‍යතා වූ නිසා පරීක්ෂණ වැඩි දුරදිග ගියේ ද නැත. ඇතැම් අය අත්අඩංගුවට ගැනීම හරහා සිදුවූයේ ඔවුන් වීරයන් වීමය. තවත් අය අත්අඩංගුවට නොගැනීම නිසා සිදුවූයේ ද ඔවුන් වීරයන් වීමයි. ”අපි හොරකම් කරලා නෑ. කරලා තිබෙනවා නම් අල්ලන්න” කියමින් හොරු පමණක් නොව කම්බහොරුන් ද පාරම්බාන තත්වයක් උදා වී ඇත්තේ එහෙයිනි. හොරකම් ගැන කතාවක් නැතිව සිටිනවාට වඩා බොරුවට පරීක්ෂණ කරන බවට කරන සන්දර්ශන අහිතකරය. ඒ එම ව්‍යාජ හා පල රහිත පරීක්ෂණවලින් පසු හොරුන් නිදහස් වන බැවිනි.

පරණ කතා අමතක කර හොරුන්ගේ හොරකම් හා හොරකම් අල්ලන්නට ආ ඊනියා වීරයන්ගේ ක‍්‍රියාවන් අමතක කරන්නට අප කැමති නැත. එනිසා මෙතැන් සිට අපි ඒ පරණ හොරු ඇල්ලීමේ සන්දර්ශන සිහිපත් කරගනිමු. මෙවර අප පළකරන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දිවුරුම් දුන් ජනවාරි 8 වැනිදායින් පසු පළමු දින 10 තුළ කළ ප‍්‍රකාශ හා ඇල්ලූ හොරබඩු ගැන තොරතුරු පමණි. දෙවැනි හා තුන්වැනි මාස ගැන පසුව කතා කළ හැක. ඒ එක එකක් ගැන අපේ අදහස ද ලියන්නේ පාඨක ඔබට මේ ව්‍යාජය ගැන මඳක් සිතා බැලීම සඳහාය.

1

මනෝජ් ප්‍රසන්න