යකා සහ අපි

wolf-dozing19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය. සම්මත වූ අවසන් කෙටුම්පත කිසිවකුත් කියවා නැත. ගැසට් කරන ලද මුල් කෙටුම්පතට අධිකරණය ලබාදුන් තීරණයට අනුව සංශෝධන ගණනාවක් සිදුකෙරිණි. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී අවසන් දිනයේ, එනම් අපේ‍්‍රල් 28 වැනිදා සංශෝධන 174 ක් ඇතුළත් විය. ඒ අතරින් සංශෝධන 111 ක්ම ඉදිරිපත් කර තිබුණේ විපක්ෂය විසිනි. යම් ලියවිල්ලකට සංශෝධන දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක් එකතු වූ විට එහි ඉතිරිවන්නේ මුල් ලියවිල්ල නොව වෙනත් ලියවිල්ලකි. එය වඩාත් බලපාන්නේ ඉදිරිපත් වූ සංශෝධන තාක්ෂණික කරුණු මත පදනම් වූ ඒවාට වඩා දේශපාලන – ප‍්‍රතිපත්තිමය කරුණු මත පදනම් වූ ඒවා නිසාය. ඒ සියලූ සංශෝධන ඇතුළත් කරන ලද අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවටවත් තවම ඉදිරිපත් කර නැති අතර කිසිවකු එය කියවා නැත. එහි ඇතුළත තිබෙන්නේ මොනවාද යන්න නොදන්නා මුත් හැම දෙනාම ‘19’ සම්මත වීම ගැන සතුටු වෙති. ඇතැම් අය ‘මේවා අලින්ගේ අපේ වැඩ’ කියා කීර්තියේ කොටසක් අත්පත් කරගැනීමට උත්සාහ කරති. ඉදිරි දින කිහිපය ද ගෙවී යනු ඇත්තේ මේ උදම් ඇනීම් සමඟිනි.

දිනුවේ කවුද?

එළඹ ඇත්තේ ජයගත්තේ කවුදැයි නිශ්චිතව කියන්නට බැරි කාලවකවානුවකි. ඇත්තටම ගත්තොත් හැමදෙනාම ජයග‍්‍රහණය ප‍්‍රකාශයට පත්කරමින් සිටී. ව්‍යවස්ථාදායක සභාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රතිශතය ඉහළ යාමේ සංශෝධනයට පමණක් එකඟ නොවන අතර ඉතිරි සියලූ කරුණුවල දී තමන් ජයග‍්‍රහණය කළේ යැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. කෙසේ හෝ අවසානයේ දී පාර්ලිමේන්තුවේ ගෞරවය රැුකෙන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට තමන් සමත් වූ නිසා මෙය තමන්ගේ ජයග‍්‍රහණයකැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ තමන්ගේ බලපෑම නිසා යැයි කියමින් ජයග‍්‍රහණයේ කොටස්කරුවන් වීමට ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය, රාජ්‍ය නොවන සංවිධාන ආදිය උත්සාහ කරයි. මේ අනුව බලන කල හැමදෙනාම ජයග‍්‍රහණය කර ඇත. පරාජය වී ඇත්තේ ජනතාවයි. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සංවාදයේ කොතැනකවත් ජනතාවගේ සංවාදයක් තිබුණේ නැත. ජනතාව මේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වැඩියමක් දන්නේත් නැත. ජනතාව, පොදුවේ ඡුන්ද දායකයා හිතන්නේ මෛත‍්‍රීද, රනිල්ද, මහින්දද, කියා පමණි. ඔවුන්ගෙන් කෙනෙක් තෝරාගත් අනතුරුව තෝරාගත් කෙනා නිවැරැුදි දෙයක් කරනු ඇතැයි සිතාගෙන තමන්ගේ වැඩක් බලාගෙන සිටීමට ජනතාව පුරුදු වී ඇත. හැමදෙනාම 19 වැනි සංශෝධනය ජයග‍්‍රහණයක් යැයි කියන මුත් එය සැබැවින්ම ජයග‍්‍රහණයක්ද පරාජයක් දැයි සාකච්ඡුා කළ යුතුව තිබේ.

යකාගේ බෙල්ල කැපීම
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන තක්සේරුවක් කිරීමට නම් ජනවාරි 8 වැනිදා වන විට පැවැති තත්වය යළි සිහිපත් කරගත යුතුය. ඒ වන විට සමාජය තුළ විධායක ජනාධිපති ක‍්‍රමයට එරෙහි විරෝධයක් තහවුරු වී තිබිණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ද ඒකාධිපතීත්වය පිළිබඳව ද කතිකාවක් වර්ධනය වී තිබිණි. එම අවස්ථාව තුළ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වුවත් විභවයක් තිබිණි. නමුත් එය සැලසුම් සහගතව දියාරුකර විධායක බලතල එකක් දෙකක් පමණක් වෙනස් කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කෙරිණි. මෙහිදී තමන් කළ කාර්යභාරය ගැන පුරාජේරු කියමින් චම්පික රණවක පවසා ඇත්තේ විධායක ක‍්‍රමයේ බෙල්ල කැපීමට ඇතැම් අය උත්සාහ කළමුත් තමන් කළ මැදිහත් වීම නිසා අවසානයේ දී එය පිහාටුවක් ගැලවීමේ තැනින් නතර කරගත් බවයි. සිදුව තිබෙන දේ වටහා ගැනීමට කළ යුත්තේ චම්පික පවසන දේම නැවත වරක් විචාරාත්මකව සිතා බැලීමයි. ජනතා විමුක්ති පෙරමුණ පවසා ඇත්තේ ගලවා ඇත්තේ යකාගේ දත් දෙකක් පමණක් වුවත් දත් තිස් දෙකක් තිබෙනවාට වඩා දත් තිහක් තිබීම හොඳ නිසා තමන් සතුටු වන බවයි.

යකාගේ දත් ගැලවීම ගැන තවදුරටත් කතා කළ යුතුය. චම්පික කියන්නාක් මෙන් ජනවාරි 8 වන විට තිබුණේ යකාගේ බෙල්ල කැපීමට අදාළ ජනමතයකි. බෙල්ල කැපීම කෙසේ වෙතත් අඩුම ගානේ යකාගේ අතපය කැඞීමටවත් හැකියාවක්, විභවයක් තිබිණි. නමුත් අන්තිමේ දී සිදුකර ඇත්තේ යකාගේ දත් දෙකක් ගැලවීම පමණි. එහිදීත් ජවිපෙ කරන්නාක් මෙන් දත් සංඛ්‍යාව අඩු වූයේ යැයි සතුටු විය නොහැක. ප‍්‍රමාණය පමණක් සලකන්නකුට හිතෙන්නේ දත් 32 කට වඩා 30 ක් හානි අවම බවය. එහෙත් ප‍්‍රමාණය පමණක් නොව ගුණය ද සැලකිල්ලට ගත යුතුය. රනිල් – මෛත‍්‍රී – මහින්ද අතර එකඟතාව ඇත්තේ යකාගේ දත් දෙකක් ගලවන අතර ඉතිරි දත් තවදුරටත් උල් කර ඒවාට විස පෙවීමටය. ඒ නිසා ‘දත් දෙකක් අඩුයි’ කියා සතුටු වීම මුග්ධකමකි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හුදෙකලාව නොගෙන එය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ එකට ගෙන විමසා බැලිය යුතුය. එවිට පෙනෙන්නේ මෙවැනි චිත‍්‍රයකි.

(1) ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව :- ඒකාධිපති විධායක ජනාධිපති බලතල + තනි පක්ෂයකට විශාල බහුතරයක් හිමි නොවන සමානුපාතික ඡුන්ද ක‍්‍රමයෙන් සැකසුණු පාර්ලිමේන්තුව.
(2) මෛත‍්‍රී – රනිල් පොරොන්දුව :- විධායක ජනාධිපතිගේ බලතල කප්පාදු කිරීම + අරාජිකත්වයක් වැළැක්වීම සඳහා තනි පක්ෂයකට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ලැබෙන සේ ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීම.
(3) අවසානයේ දී සිදුකරන දේ :- සුළු වෙනස්කම් සහිතව එලෙසම පවතින විධායක ජනාධිපති ක‍්‍රමය + තනි පක්ෂයකට විශාල බහුතර බලයක් හිමි පාර්ලිමේන්තුව.
ඉහත (1), (2), (3) අවස්ථා විමසා බලන විට පෙනී යන්නේ (2) අවස්ථාව තුළ යම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩක් විවෘත වන අතර දැන් සිදුකරන්නට යන (3) අවස්ථාව කලින් පැවැති (1) අවස්ථාවටත් වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි කර බවය. එය ව්‍යවස්ථානුකූල ඒකාධිපතීත්වයක් නිර්මාණය කිරීමට ඉඩ ඇති බවය. එකම වෙනස ඇත්තේ ජේ.ආර්. සහ මහින්ද මෙවැනි ව්‍යවස්ථාමය ඒකාධිපතීත්වයක් ගොඩනඟන විට එය විවෘතව කළ නිසා එයට එරෙහි විරෝධයක් පැන නැඟීමත් මෛත‍්‍රීපාල සිරිසේන එය වෙස්සන්තර – සිරිසඟබෝ නාමකරණය යටතේ කළ නිසා එය ප‍්‍රබල සමාජ විරෝධයක් නිර්මාණය නොවීමත්ය. නමුත් 19 හා 20 සංශෝධන එක්ව ගත් කළ නිර්මාණය වෙමින් පවතින්නේ ඉතා භයානක ගමන්මඟක් බව පැහැදිලිය.

දුන්න ගේමක රඟ

කෙසේ වෙතත් සිදුවී ඇති දේ අපට මෙසේ සංක්ෂිප්ත කර පැවැතිය හැක. ජනවාරි 8 ජනාධිපතිවරණය දිනය වන විට සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ උද්යෝගයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමේ ලාලසාවක් ගොඩනැඟී තිබිණි. ඒ වෙනුවෙන් තනිවම ප‍්‍රචාරක කටයුතුවල නිරත වන්නන්, තනිවම හෝ මතවාදය පතුරු වන්නන් එකල දුලබ නොවීය. අවසානයේ දී සිදුකර ඇත්තේ ඒ සමාජමය අපේක්ෂා සියල්ල දක්ෂිණාංශික දේශපාලන නායකත්වය විසින් තමන්ට ගැලපෙන තරමට කපා කොටා සකස් කරගැනීමයි. අපේක්ෂාව තිබුණේ ප‍්‍රජා සමාජය බලවත් කිරීම හා එය ශක්තිමත් කර සක‍්‍රීය කිරීම සඳහාය. නමුත් ලාභාපේක්ෂාවේ නිරත ඊනියා සිවිල් සමාජයත් බල අරගලයේ නිරත දක්ෂිණාංශික දේශපාලන සමාජයත් එක්ව ඒ සටන් පාඨ මඟහැර ප‍්‍රජා සමාජයට ‘ගේමක් දී’ ඇත. සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ භාවිත වන ‘ගේමක් දීම’ යන වචනය තරම් මේ ක‍්‍රියාවලිය හැඳින්වීමට සුදුසු වෙනත් වචනයක් නැති තරම්ය. බැ?රුම් හා ගැඹුරු පරිවර්තනයක් ගැන සිතීම වෙනුවට පවතින යථාර්ථයට ගැළපෙන දේ කරන දේශපාලනයට ලබාදිය හැක්කේ මෙපමණකි. එයට ලබාදිය හැක්කේ මේ සොච්චම පමණි. ඊට වඩා වැඩි ප‍්‍රතිලාභයක් අත්පත් කරගැනීමට නම් සමාජයේ දේශපාලන සවිඥානකත්වය හා සක‍්‍රීයත්වය මීට වඩා ඉහළ නැංවිය යුතුය. කලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව පැවැති විභවයට සාපේක්ෂව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ලැබිය හැකි අවම ප‍්‍රතිලාභයයි. උපරිමය දිනාගැනීමට කෙසේ වෙතත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තත්වය වඩාත් අයහපත් වීම වළක්වා ගැනීමටත් අරගලයක් අවශ්‍ය වේ.

Advertisements