පේ‍්‍රමය නමින් ඔබ දිවි පුද කෙරුවාද?

diyaluma-deathදෑ කුල සිරිත් සිටියෙන් මඟ අවුරාන

පේ‍්‍රමය නමින් ඔබ දිවි පුද කෙරුවාද?

බලංගොඩ සිට බෙරගල මාර්ගයේ ගමන් ගන්නකුට කොස්ලන්ද නගරය පසුකර කිලෝමීටර හයක් පමණ යන විට සුන්දර දියඇල්ලක් හමුවේ. පූනාගල ඔය නමින් හඳුන්වන දියකඳ කිලෝමීටර ගණනාවක දුරක් ගෙවාගෙන නිසංසලේ පැමිණ කොස්ලන්ද සානුවේ අවසන් ගැට්ටේ දී සිය නිසසල බව අතහරියි. එය සානුවේ ඉහළ සිට පහළ ප‍්‍රපාතයට ඇද හැලෙන්නේ අලංකාර දිය ඇල්ලක් මවාලමිනි. පසුව ඒ ජලය කුඩා ඔයට එකතු වී, කිරිඳි ඔය හා බද්ධ වී හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තිස්සමහාරාම ප‍්‍රදේශයෙන් මුහුදට එක් වේ. සාගරය හා එක්වීමට පෙර මීටර 220 ක මාරක පිම්මක් පනින මේ ජලකඳ එතැන දී හඳුන්වන්නේ ‘දිය හැළුම’ යන වචන සන්ධි කර තැනූ නමක් වන ‘දියළුම’ දියඇල්ල යන නමෙනි. මීටර 220ක් හෙවත් දියඇල්ල අසල ඉදිකර ඇති පුවරුවට අනුව අඩි 628 ක් උස දියළුම දියඇල්ල උස අතින් දෙවැනි වන්නේ මීටර් 263 ක් උස බඹරකන්ද දියඇල්ලට පමණි.

දියළුම දියඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පේ‍්‍රමයට බාධා කළ පර්වතයට ලෝක අවසානය දක්වා හඬා වැලපෙන ලෙස දෙවියන් අණ කළ නිසා යැයි කොස්ලන්දේ ප‍්‍රකට ජනප‍්‍රවාදයක කියැවේ. ඒ ජනප‍්‍රවාදයට අනුව පහතරට ප‍්‍රදේශයේ වාසය කළ ගෝත‍්‍රික කුල කුමාරයකු තමන්ට වඩා කුලයෙන් පහත් යැයි සම්මත තරුණියක හා පෙමින් වෙළී ඇත. නමුත් සිය ගෝත‍්‍ර සාමාජිකයා හීනකුල තරුණියක හා විවාහ වූ බව දැනගත් කුමරාගේ ඥාතීන් ඔවුන් දෙදෙනාම ගෝත‍්‍රයෙන් නෙරපා ඇත. කඳුරටට ගොස් නාඳුනන පෙදෙසක හුදෙකලාවේ ජීවත් වීමට සිතූ මේ තරුණ යුවළ පූනාගල කඳු පන්තිය හරහා කඳුරටට යාම සඳහා දුෂ්කර මාර්ගයෙන් පිටත් වී තිබේ. ඔවුන්ගේ ගමන නැවතී තිබෙන්නේ මේ කොස්ලන්ද සානුව අවසන් වන මහා පර්වතය අසලිනි. පර්වතය තරණය කරන්නට ක‍්‍රමයක් කල්පනා කළ තරුණයා මුලින්ම දිගවැල්පොටක් භාවිත කරමින් අසීරුවෙන් පර්වතය මුදුනට ගොඩ වී තිබේ. ඉන් අනතුරුව එම වැල්පටේ එක් කොනක් පර්වතය මුදුනේ ගසක ගැට ගසා අනෙක් කොන පහළ සිටි තරුණියගේ ඇෙඟ් ගැටගසා ඇයව ඉහළට ගැනීමට උත්සාහ කර ඇත. පර්වතය දිගේ තරුණිය මඳ දුරක් ඉහළට පැමිණි අතරවාරයේ සුළඟක් හමා ඇය එහා මෙහා පැද්දෙන්නට වූ අතර එහිදී ගෙල සිරවන ලෙස වැල ගෙලවටා එතී ඇය මියගොස් ඇත. ඇගේ වියෝවින් කම්පාවට පත් තරුණයා ද පර්වතයෙන් පැන සියදිවි හානිකර ගත් බව ජනප‍්‍රවාදයේ කියවේ. ඒ ජනප‍්‍රවාදයට අනුව පේ‍්‍රමය නිසා සිය ඥාතීන් හා තනතුරු අත්හළ මේ තරුණ යුවළගේ පේ‍්‍රමයට බාධා කළ පර්වතයට ලොව අවසන් දිනය දක්වා හඬා වැලපෙන්නැයි දෙවියන් අණ කර තිබේ. පූනාගල ඔය පහළට ඇදවැටී පර්වතය හඬන්නට පටන් ගත්තේ එදා සිටය. ජාතිභේද, ආගම්භේද, කුලභේද මූලික කරගෙන පේ‍්‍රමයට බාධා පමුණුවන මිනිස් සමාජය ඒ ගැන කම්පා නොවූවත් සොබාදහම පවා එයින් කම්පා වී ඇති බව මේ ජනප‍්‍රවාදයේ හරයයි.

කොස්ලන්ද ප‍්‍රදේශයේ ජනතාව කියන ආකාරයට මේ සිදුවීම සිදු වී තිබෙන්නේ ක‍්‍රිස්තු පූර්ව 5 වැනි සියවසටත් පෙරය. ඉන්දියාවේ සිට තමන් ආර්යයන් යැයි හඳුන්වන ජනයා මෙහි ඒමටත් පෙරය. එතැන් සිට වසර තුන්දහසක් පමණ ගෙවී ඇත. එදා මෙන්ම අදත් පේ‍්‍රමයට ජාති – ආගම් – කුල -ගෝත‍්‍ර භේද බාධා කරයි. එදා බාධාව කුලභේදය හා ගෝත‍්‍රභේදයයි. අද ඊට අමතරව ජාතිභේද හා ආගම්භේද ඒ ලයිස්තුවට එක්වී තිබේ. වසර තුන්දහසකට පසුවත් දියළුම ඇල්ල ළඟ දී පෙම්වතුන්ට පේ‍්‍රමය වෙනුවෙන් දිවිතොර කරගැනීමට සිදුව තිබේ. අප මුලින් පැවසුවේ අතීත කතාවයි. දැන් අපි වර්තමාන කතාවට ප‍්‍රවේශ වෙමු.
දිනය අපේ‍්‍රල් 19 වැනිදාය. ඊට දින දෙකකට පෙර සිය 16 වැනි උපන් දිනය සැමරූ සකුන්තලා උදයංගනී සහ 19 හැවිරිදි සර්වනභවන් යෝගරාජ් එකිනෙකාගේ අතින් අල්ලාගෙන දියළුම ඇල්ල ඉහළ ගලක් මත සිටගෙන සිටියෝය. සකුන්තලා මෙන්ම යෝගරාජ් ද ඉගෙනුම ලැබුවේ බදුල්ල නිකපොත මහා විiාලයේය. තරුණිය සිංහලය. තරුණයා දෙමළය. පේ‍්‍රමය ඇති වන්නේ මිනිසුන් අතර නිසා ඒ මිනිසුන් කතා කරන භාෂාව හෝ ඔවුන්ගේ සංස්කෘතිය පේ‍්‍රමයට අදාළ නැත. සකුන්තලා මව සහ පියා සෙවණේ රැුකවරණය ලබමින් සිටි දැරියකි. යෝගරාජ්ට වයස අවුරුදු එක හමාරේ දී ඔහුගේ මව මියගිය අතර මීට වසර දෙකකට පමණ පෙර පියා ද මිය ගියේය. මව්පිය සෙනෙහස අහිමි වූ ඔහු ආදරයේ හෝඩිය කියවූයේ සකුන්තලාගෙනි. සකුන්තලා මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන්නට සූදානම්ව සිටියාය. ආර්ථික දුෂ්කරතා නිසා පාසල් අධ්‍යාපනයට සමුදුන් යෝගරාජ් කොළඹ පැමිණ විවිධ රැුකියා කරමින් සිටියේය. ‘‘අපි දෙන්නා කොළඹ එකට වැඩ කළා. අවුරුද්දට කලින් යෝගා මට කතා කළා. උඹට මම හොඳ අවුරුදු පාටියක් දෙන්නම් 19-20 දිහා අපේ ගෙදර වරෙන් කිව්වා. මාව ෆොක්ස් හිල් බලන්නත් එක්ක යන්නම් කීවා. විසිවැනිදා පාටියකට කියලා මට එන්න කීවේ මළගමටද?”

යෝගරාජ්ගේ හොඳම මිතුරා වන අතුල වැලපෙමින් කියනු අපි රූපවාහිනියේ දුටුවෙමු. මිත‍්‍රත්වයට ද ජාතිභේද නැත.

තරුණ යුවළක් දියළුම දියඇල්ලෙන් පනින බවට පොලිසියේ 119 අංකයට නිර්නාමික දුරකථන පණිවිඩයක් ලැබී ඇති අතර එය වහාම කොස්ලන්ද පොලිසියට දැනුම් දී තිබේ. කොස්ලන්ද පොලිසියේ ස්ථානාධිපති එන්.එම්. සුගතදාස තමන් ඇසින් දුටු සිද්ධිය මාධ්‍යවලට පැවසුවේ මෙලෙසය. ”මාත් එක්ක චමින්දයි, සමීරයි තව රාළහාමි කෙනෙකුයි ගියා. අපි ඒ ළමයි ඉන්න තැනට ප‍්‍රවේශමෙන් කිට්ටු කළා. ඒ දෙන්නා හිටියේ දියඇල්ල ප‍්‍රපාතයට ඇද වැටෙන අයිනේ. අඟලක් දෙකක් කකුල ලිස්සුවත් අඩි 630 ක් විතර පහළට වැටෙනවා. කොච්චර වැඩකාරයො වුණත් දියඇල්ල එතන ඉඳන් බලන්නේ දිගා වෙලා. ඒ වෙලාවේ ගෑනු ළමයාගේ තාත්තයි, තවත් කෙනෙකුයි එතනට ඇවිල්ලා හිටියා. ඒ ගොල්ලො වතුර ටැංකියෙන් පහළටත් බහිනවා දැක්කා. විනාඩි 20 ක් විතර මෙහෙම කට්ටිය හිටියා. ඒ අය පහළ දිය ඇල්ල පාමුල ඉන්න අයත් එක්ක අතින් පයින් කතා කරනවා. අපට එතනට යන්න කිසිම ආධාරකයක් නෑ. චමින්ද පහළ පැත්තෙන් ඒ දෙන්නා ආසන්නයටම ගියා. ඒත් එක්කම ගෑනු ළමයාගේ තාත්තා ඇවිල්ලා දුව සකුන්තලා කියලා හයියෙන් කෑ ගැහුවා. ඒත් එක්කම පිරිමි ළමයා හැරිලා බැලූවා. එතකොට එයාගෙ පය ලිස්සුවා. ඒත් එක්කම දෙන්නා අත් අල්ල ගත්තා. චමින්දට මොකුත් කරන්න වෙලාවක් ඉතුරු වුණේ නෑ. දෙන්නම ඇල්ලෙන් පහළට වැටුණා. මගේ පේන නොපෙනෙන මානයේ සිදු වූ සිදුවීම මට මානසිකව තදින් දැනුණා. මම තවමත් කම්පනෙන් ඉන්නේ. සකුන්තලාගේ තාත්තා එතනට ආවෙ නැතිනම් මේ අවදානම් තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. කොහොම වුණත් දරුවන්ගෙ සංවේදී ප‍්‍රශ්නවලදී මව්පියන් මීට වඩා කල්පනාකාරීව අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.”

සකුන්තලා සහ යෝගරාජ් එතැනට පැමිණියේ සිය පේ‍්‍රමයට පටු සංස්කෘතික කරුණු මත බාධා කරන මේ ලෝකයෙන් සමුගැනීමට බව ඉතා පැහැදිලිය. එහෙත් ඔවුන් දෙදෙනා දියඇල්ලෙන් පහළට පැන්නාද නැතිනම් පියා කෑ ගැසූ නිසා කලබල වී පය ලිස්සුවාද? ඒ පැනයට පිළිතුර අපට කවදාවත් සොයාගැනීමට නොහැක්කේ අද යෝගරාජ් මෙන්ම සකුන්තලා ද අප අතර නැති බැවිනි. ඔවුන්ගේ නිසල සිරුරු එකම දිනෙක, ඉකුත් 22 වැනිදා නිකපොත හා ගල්කන්ද පොදු සුසාන භූමිවලදී මිහිදන් කෙරිණි. මානව සබඳතාවලට හරස් කපන පටු වාද භේද නිසා අහිමි වන තරුණ ජීවිත ගැන තවමත් හඬන්නේ කොස්ලන්ද පර්වතය පමණද? එදා පුරාවෘත්තයේ හැටියට දෙවියන් කම්පාවන ලෙස නියෝග කරඇත්තේ සොබාදහමටය. අද අපි කම්පා වන ලෙස මිනිසුන්ගෙන්, සමාජයෙන් ඉල්ලා සිටිමු.

දිනිත් හෙට්ටිආරච්චි