ෂැං ග‍්‍රී ලා රාජපක්ෂලා කතාව ඉවර නැත

MR02242012Shan_1කෝටි 150ක් අතුරුදන්, ෂැංග‍්‍රී ලාගේ සල්ලි කෝ?’ යනුවෙන් ජනරළ මුල් පිටුවේ සිරස්තලයක් පළ කෙරුණේ 2014 අගෝස්තු 10 වැනිදාය. මෙම පුවත පදනම් කරගෙන පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රශ්න කිරීමකදී විෂයභාර ඇමැතිවරයා කියා සිටියේ එය අසත්‍ය පුවතක් බවයි. අදාළ මුදල විධිමත් ලෙස  ගිණුම්ගත වී ඒකාබද්ධ අරමුදලට එක් වී ඇති බවද සහතික කර කියනු ලැබිණි. එහෙත් අප විසින් පළ කළ පුවත වෙනසක් කිරීමට අප උත්සාහ නොකළෙමු. මක් නිසාද යත් අප විසින් පළ කළ පුවතෙහි හරයට එම පිළිතුරු දීමෙන් කිසිදු හානියක් සිදුව  නොතිබීමය. අප විසින් මතු කළ තර්කය වූයේ අදාළ ගනුදෙනුවේ දී රජයට හිමි වූ මුදල නිසි පරිදි රජයේ ගිණුමකට බැර නොවූ බවය. එසේම ඒ පුවතට පදනම වූයේ 2013 වසරේ අවසානයේ දී විගණකාධිපතිවරයා විසින් කළ විමසීමකදී මතුකරන ලද කාරණාවකි.  රජයේ ඉඩමක් ලෙස සැලකෙන ගාලූ මුවදොර ආසන්න හමුදා මූලස්ථානය පිහිටි ඉඩම විකිණීමෙන් ලැබෙන ආදායම හිමිවිය යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයට නොවේ. රුපියල් බිලියන 54 ක් වූ එම මුදල යායුතු වන්නේ රජයේ භාණ්ඩාගාරය මඟින් පාලනය වන ඒකාබද්ධ අරමුදලටය. එය එසේවන්නේ රජයේ මුදල් රෙගුලාසි අනුව සහ රජයට අයත් සියලූ අරමුදල් හැසිරවීම පිළිබඳ තීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තුව සතුය යන මූලධර්මය හේතුවෙනි. එහෙත්  මේ කියන  විශාල මුදල සම්බන්ධව තීරණගැනීමේදී ආරක්ෂක අමාත්‍යාංශය හා රජයේ භාණ්ඩාගාරය විසින් මහජන නියෝජිතයන්ට හිමි ඒ බලය නොසලකා හැර තිබිණි. රාජපක්ෂ ආණ්ඩුවේ අත්තනෝමතික හැසිරීම විවේචනය කිරීමේදී ඇතැමුන්ට තිබුණේ පුද්ගල කෝන්තරයකි. වෙනත් විවේචන සියල්ල මැද රාජපක්ෂ පවුල්  පාලනය හෝ ඒකාධිපතිවාදය වැනි චෝදනා වෙත එල්ල කිරීමේදී පසුගිය  ජනාධිපතිවරයා සහ ඔහුගේ ඥාතින් රාජ්‍ය පාලනයට එකතුවීමේ සංකීර්ණ තත්වය ප‍්‍රශ්න කිරීමේදී පුද්ගලයන් පිරිසක් වෙතට සියලූම බලය කේන්ද්‍රගතවීමේ ගැටලූව නොසලකා හැරිය යුතු නොවේ.  එහෙත් එවැනි තත්වයන් පිළිබඳ ප‍්‍රශ්න නැඟීම සිදු වියයුත්තේ හුදු පුද්ගල විරෝධයක් වශයෙන් නොව ක‍්‍රමවේදයන් හා නීති ඇසුරෙන්ය. එසේ නොමැතිව හැඟීම්බරව හෝ ආවේගයෙන්  රාජපක්ෂ රෙජීමය විවේචනය කළවුන් අද සිටින්නේ මොනවදෝ කෑ මොක්කුදෝ වැනි තත්වයෙනි. මේ චෝදනාව අප විසින් එල්ල  කළේ සිය සොයුරු ජනාධිපති මහින්ද, ආරක්ෂක ඇමැතියා ලෙසත් කටයුතු කිරීම නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් එහි බලය අනිසි ලෙස තමා වෙත ආරෝපණය කරගෙන තිබියදීය. එහෙත් අප මේ චෝදනාව එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ වෙත හෝ  වෙනයම් පුද්ගලයකු වෙත පමණක් නොවේ. කෙසේ නමුත් මේ කියන පුවත පළ කිරීමේදීත් පාර්ලිමේන්තුවේ එය ප‍්‍රශ්න කිරීමේදීත් පාලක රාජපක්ෂ ආණ්ඩුවේ ඇතැමුන් කලබල වූ බව රහසක් නොවේ. තම වැරදි විවේචනය කිරීමේදී ‘කනා ෂොට්’ ගහන විවේචකයන්ට පිළිතුරු දෙනවාට වඩා කරුණු සහිතව ගෙන එන විවේචනයට පිළිතුරු දීම දුෂ්කර බව රාජපක්ෂ පාලනයේ ලොක්කන් හා බක්කන් දැන සිටියාක් මෙනි. ඔවුන් විසින් එම චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වූයේ නිහ`ඩතාවයේ ගිල්වා දැමීමේ පදනමෙනි. එහෙත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර විසින් එය ප‍්‍රශ්න කිරීමේදී මුදල් නියෝජ්‍ය ඇමැති සරත් අමුණුගම විසින් දුන් පිළිතුර වූයේ ‘ෂැන්ග‍්‍රී ලා’ ගාලූ මුවදොර ඉඩම් ගනුදෙනුවෙන් රජයට හිමි මුදල් නිසි මුල්‍ය රෙගුලාසිවලට අනුව රාජය භාණ්ඩාගාරයට හා ඒකාබද්ධ අරමුදලට හිමිව ඇති බවයි. Sri_Lanka_highlights_the_img2නමුත් ඒ ගල් පැලෙන කෙප්පය වලංගු වූයේ රාජපක්ෂ පාලනය අවසන් වූ අවස්ථාව දක්වා පමණකි. ආරක්ෂක ලේකම්වරයා යටතේ පැවැති ආරක්ෂක අමාත්‍යාංශයට අයත් යැයි කියන ගිණුමක් පිළිබඳ රහස පසුගිය කාලයේ හෙළිදරව් විය. ඒ ගිණුමේ තැන්පත්කර තිබුණේ ගාලූ මුවදොර ඉඩම විකිණීමෙන් රජයට හිමි වියයුතු රුපියල් බිලියන  20 ක් බව දැන් ප‍්‍රසිද්ධ කාරණයකි. ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ පවත්වාගෙන ගිය මේ කියන ගිණුම ආරක්ෂක අමාත්‍යාංශ ලේබලය යටතේ පවත්වාගෙන ගියේ එවකට ආරක්ෂක ලේකම්වරයාට හිමි  නොවූ එහෙත් ආරෝපිත බලයක් යටතේය. මේ ගිණුම ආරම්භ කළේ ගෝඨාභය රාජපක්ෂගේ හිතුවක්කාරකමට යැයි මොහොතකට සිතමු. මෙපමණ මුදලක් ගනුදෙනුවකින් හුවමාරු වන විට ඊට වගකිව යුතු එකම තැනැත්තා ගෝඨා යැයි සිතීම මුලාවකි. ඔහුගේ තීරණයට එකඟ වූ හෝ තීරණය ක‍්‍රියාත්මක කිරීමට දායක වූවන් චෝදනාවෙන් නිදහස් වෙතිද? භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මේ ගිණුම ගැන හෝ ෂැංග‍්‍රි ලා ගනුදෙනුවේ මුදල් යන දිසාව නොදැන සිටියේද? ලංකා බැංකුවේ ශාඛාවක මේ ගිණුම විවෘත කරන අවස්ථාවේ සිට  එහි මේ තරම් විශාල මුදලක් තැන්පත් කරන හා ඒ මුදල් පරිහරණය කරන අවස්ථාව වනවිට ලංකා බැංකුවේ වගකිව යුතු නිලධාරීන් ඒ ගැන නොදැන සිටියාද? වංචනික අරමුණකින් මේ ගිණුම නඩත්තු කළ බවට සාධක බොහෝය. එහෙත් ඒ චෝදනා අධිකරණය හමුවේ සැකයකින් තොරව ඔප්පු කිරීමේ අවස්ථාව දැන් විවරව තිබේ. වංචාව, දූෂණය හා අත්තනෝමතික පාලනය නිසා රාජපක්ෂ පවුලේ හා රෙජීමයේ සියලූ වැරදි දැන් ජනතාවගේ තීන්දුවට යටත් වී හමාරය. ලක්ෂ ගණනක පරතරයකින් ජනතාව මෛත‍්‍රීපාල – රනිල් ආණ්ඩුවට බලය මාරු කළේ ඒ වෙනුවෙනි. යහපාලනය ස්ථාපිත කිරීමටත් විනිවිදභාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමටත් පොරොන්දු වූවන් දැන් කරන්නේ කුමක්ද? රාජපක්ෂලා සීඅයිඩියට ගෙන්වීමෙන් හෝ වංචා දූෂණ කොමිසමට ගෙන්වීමේ නිවේදනවලින් කළ හැකිවන්නේ ඔවුන් දේශපාලනිකව දුබල කිරීමකි. ඇත්ත වශයෙන්ම ඔවුන් කළ වංචා දූෂණ පිළිබඳ චෝදනා අධිකරණ ක‍්‍රියාමාර්ගයකිනි. ඒ සඳහා විමර්ශන කිරීම අවශ්‍ය බව ඇත්තකි. සාධක සහිතව සනාථ කළ හැකි වැරදි ගැන කරුණු නිරාවරණය වී තිබියදී ඒවා නීති කෘත්‍ය ලෙස ඉදිරියට ගෙන නොයන්නේ කුමන හේතුවක් නිසාදැයි විමසිය යුතුව තිබේ. එහෙත් වත්මන් ආණ්ඩුව ගෙන යන්නේ අශ්වයා ගිය පසුව  ඉස්තාලය වසා දමන ක‍්‍රියා මාර්ගයක් බව පැහැදිලිය.