ආයෙත් ගිනි ගොඩටද?

මේ දිනවල බොහෝ දෙනා කතා කරන්නේ මහින්දගේ නැවත පැමිණීම ගැන. මහින්ද රාජපක්ෂ නැවත හිස ඔසවමින් සිටින බව, ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පහළ ස්තර තමන් වෙත දිනාගෙන සිටින බව, පක්ෂයේ තෙරපුම නිසා ජනපති මෛතී‍්‍රටත් මහින්ද සමඟ සාකච්ඡුා කිරීමට සිදුවන තත්වයක් මතුවීම වැනි කාරණා ගණනාවක් මේ දිනවල දේශපාලන ලෝකය දෙස බලන අයගේ ඇස ගැටෙනවා. මහින්දගේ නැවත ආගමනය ජාතිවාදයත් සමඟ ආගම්වාදයත් සමඟ සම්බන්ධයි. ඔහුගේ දේශපාලන පදනම ඒක. ඒ නිසා මහින්දගේ පුනරාගමනය ජාතිවාදයේ නැඟීමක් සමඟ සම්බන්ධයි. ඒ බව මහින්දව යළි කැදවන්න උඩ පනින වීරවංශ, ගම්මන්පිල, දිනේෂ් ආදීන් දෙස බැලූවහම පේනවා. මහින්ද නැවත එන්න තියෙන එකම විදිහ පළමුවන මහින්ද නැවත රජ පුටුවට පැමිණීම පමණක් නෙවෙයි. මේ ඉන්න නායකයන් අතරින් කෙනෙක්, මෛතී‍්‍ර උනත් දෙවැනි මහින්ද කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. මොකද මෛතී‍්‍රපාලත් දැන් තමන්ගේ ඉදිරි දේශපාලන ගමන තෝරාගෙන තිබෙන්නේ ඒ බලවේගය සමඟ නිසා. ඒ නිසාම මහින්දගේ පුනරාගමනය පිළිබඳ ප‍්‍රශ්නය පුද්ගලයෙක් පිළිබඳ ප‍්‍රශ්නයකට වඩා බලවේග පිළිබඳ ප‍්‍රශ්නයක්.

ලංකාවේ බලවේග පක්ෂවලට බෙදී තිබෙන ආකාරයේත් යම් රටාවක් තිබෙනවා. 1978 දී නවලිබරල් ධනවාදය ආපු ගමන් එජාපය ශක්තිමත් කළ දෘෂ්ටිවාදය තමයි සුඛපරමවාදය. තේරෙන භාෂාවෙන් කියනවා නම් ‘ඉන්න ටිකේ ඉදිමු සුදෝ ජොලිය දමාලා’ දර්ශනය. ‘එව-කව-බොව-ජීවිතය කෙටිය-උපරිම සැප විඳිනු’ දර්ශනය. සමාජයේ එක පිරිසක් ඒ දර්ශනයට නතු වුණා. ඒ අතර තවත් පිරිසක් ඊට එරෙහිව බෞද්ධ ආගමික මූලයන්ට ආකර්ශනය වුණා. ජාතිකවාදී අදහස් වර්ධනය වුණේ මේ බලවේග අතර තේරුම් ගැනීමේ පහසුව සඳහා මෙහෙම සරලව කීවට මේ බලවේගවල චින්තනයේ ඉතිහාසය ගොඩක් පරණයි. ඉතිං ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වැඩිපුර පදනම් වුණේ දෙවනුව කී බලවේග මත. නමුත් ලංකාවේ බෙලහීන ධනවාදයට ලෞකික සුඛපරමවාදයක් වැඩිකල් නඩත්තු කරන්න පුළුවන් වුණේ නෑ. ඒක අර්බුදයට යද්දී ඒ අර්බුදය විසින් තමන්ගේ අතිවිශාල පදාසයක් ජාතිකවාදය හා ආගමික උමතුව වෙත ගියා. මහින්ද තමන්ගේ දේශපාලන උපායමාර්ගය සකස් කළේ ඒ තත්වයට ගැළපෙන විදිහට. ඒ නිසා උමතුලෙස පුපුරා යන ජාතිවාදය හා ආගම්වාදය මහින්දගේ නිර්මාණයක් කියල හිතනවට වඩා මහින්ද ඒ බලවේගයේ
ප‍්‍රකාශකයෙක් හා ඒකට හයිය දුන් කෙනෙක් කියල හිතෙන එක වඩා නිවැරදියි. ඒ නිසා මහින්ද පැරදුනා කියල අත පිහිදගන්න බෑ. ආයෙත් පරණ ගිනිිගොඩටම නොවැටෙන්න නම් මේ බලවේගය වෙනස් කරන ව්‍යාපෘතියක් අවශ්‍යයි.

එවැනි ව්‍යාපෘතියක් සඳහා අවශ්‍ය දැක්ම හෝ අධිෂ්ඨානය මෛතී‍්‍රපාලට නෑ. රනිල්ටත් නෑ. වැඩිපුර ඉඩ තිබෙන්නේ ඔවුන් මේ නපුර සමගම යම් ආකාරයක සම්මුතියකට යන එක. එවැනි ව්‍යාපෘතියක් සාර්ථක කරගන්න තරම් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට උරදුන් ලිබරල් බලවේගවලටත් ශක්තියක් නෑ. ඒ අයත් මහින්ද එළවීම නමැති සටන් පාඨයේ එල්ලී ඉන්නවා මිස ප‍්‍රශ්නයේ ගැඹුර දකින්නේ නැහැ. මහින්ද හිටියත් නැතත් මහින්දගේ උපායමාර්ග ඉදිරියට යන්න පුළුවන්. ඒක ඉතාම හානිකර හා සමාජ විරෝධී ව්‍යාපෘතියක්. ලොව හැම තැනම ජාතිවාදය ෆැසිස්ට් ලක්ෂණ යම් ප‍්‍රමාණයක් මුහු කරගන්නවා. ලංකාවේත් එහෙමයි. මැයි පළමුවෙනිදා කිරුළපනදී නිර්මාල් රංජිත් දේවසිරිට පහරදීම ජාතිවාදීන්ට අන් මත ඉවසීමට තරම් ඉවසිල්ලක් නැති ෆැසිස්ට් මනෝභාවයක් පිළිබඳ උදාහරණයක්.

මහින්ද පරාජය වුණාට මේ බලවේගයේ උවමනාවන් සඳහා විවිධ අය නායකත්වය දෙන්න යනව. තමන් වෙනම දේශපාලන පක්ෂයක් පිහිටුවීම සදහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ කතාකරනවා කියල බොදු බල සේනාව පවසනවා. ඔවුන් කියන්නෙ බෞද්ධයන් නියෝජනය කරන්න නියෝජිතයෙක් නැති නිසා තමන් ඒ වෙනුවෙන් පක්ෂයක් හදනව කියල. මේ තත්වය ඉදිරියේ දී සිංහල ජනතාව තුළ ජාතිවාදී හා ආගම්වාදී මනෝභාවයන් වර්ධනය කරන්න බලපාන්න පුළුවන්. ඒ අතර වෙනම රාජ්‍යයකින් මෙහා විසඳුමක් නෑ, ඒ වෙනුවෙන් සටන් කරනව කියල ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනයේ දී ප‍්‍රකාශ කරලා.  දමිළ පුවත්පතක් බොදු බල සේනා දේශපාලන ව්‍යාපෘතිය ගැන කියමින් දමිළ ජනතාව අතර බිය බෝ කරනව. සිංහල පුවත්පත් ගජේන්ද්‍ර කුමාරගේ වචනවල එල්ලීගෙන සිංහල ප‍්‍රජාව අතර වෙනම රාජ්‍යයක්  බිහිවීම ගැන සැක බිය බෝ කරනව.  ඕනෑම මොහොතක ඇවිළ යා හැකි ගිනි පුපුරු බහුල පරිසරයක සිටයි අපි මේ කතුවැකිය ලියන්නේ.

ජාතිවාද හෝ ආගම්වාද හෝ ගිනි ගොඩට නොවැටෙන්න හිතන අයට අපට කියන්න දෙයක් තියෙනවා. ඔබේ ශ‍්‍රමය මහින්ද එළවීමේ ව්‍යාපෘතියක වැනි පටු තැනක හිර නොකර ජාතික වාදී සමාජ පදනම් හා ඒ මත ගොඩනැඟුණු බලවේග වෙනස් කිරීමේ ව්‍යපෘතිය වැනි පුළුල් තැනකට වර්ධනය කරන්න. යකාට එන්න පුළුවන් සාටකේ දාගෙන විතරක් නෙමෙයි. මෝඩිගේ කෝට් එක ඇඳගෙනත්, ටයි කෝට් සූට් බූට් සහිතවත් යකාට එන්න පුළුවන්. යකා පෝෂණය වන තැන හොයා ගනිමු. අදට කියන්නෙ එපමණයි.