ෙජා්න් කෙරී ඇත්තටම ආපහු ගියාද?

Kerry in Lanka පසුගිය දා මෙරටට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී දැන් රටින් නික්ම ගොසිනි. නික්ම යාමට පෙර මැයි 02 වැනි දා ඔහු ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ දී දේශනයක් පැවැත්වීය. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙම දේශනයට පෙර හඳුන්වාදීමේ කතාව පවත්වන්නේ විදේශ ඇමැති මංගල සමරවීරය.

මංගලගේ කතාවෙන් පසු ජෝන් කෙරී සිය කතාව පටන් ගන්නේ ‘මංගලට’ බෙහෙවින් ස්තුතිවන්ත වෙමිනි. රාජපක්ෂ ආණ්ඩුව තිබුණු කාලයේ අමෙරිකාව සිටියේ ලංකාව සමඟ තරහ වෙලාය. මේ තරහව කොතරම් වීද යත් ලංකාවේ සිදුවූ යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක් කැඳවමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මූලිකත්වය ගන්නා තරමට අමෙරිකාව ලංකාව සමඟ කෝප ගෙන සිටියේය. දැන් එක් වරම සියල්ල උඩු යටිකුරු වී තිබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවේ විදේශ ඇමැතිවරයා හා කෙතරම් කුලූපග වී තිබේද යත් ‘මංගල’ කියා මුල් නමින් ඔහු හේ අමතයි.

  • අමෙරිකානු පැසසුම්

අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධුරය යනු එරට රාජ්‍ය ධූරාවලියේ බලසම්පන්න තනතුරකි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මූලික කටයුත්තක් වන්නේ එරට විදේශ සබඳතා මෙහෙයවීමය. මේ අනුව රාජ්‍ය ලේකම් යනු අමෙරිකාවේ විදේශ කටයුතු සම්බන්ධ ප‍්‍රමුඛ පෙළේ බලධාරියෙකි. වත්මන් අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය දා ලංකාවේ සංචාරය කිරීමට පෙර අවසන් වතාවට මෙරටට එරට රාජ්‍ය ලේකම් කෙනෙක් ආවේ 2005 දීය. ඒ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල්ය. 2005 සිට 2015 දක්වා, රාජපක්ෂ ආණ්ඩුව තිබූ දශකයක කාලය තුළ, මෙරටට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරු පැමිණියේ නැත. ඒ කාලයේ ආවේ චීනයේ ජනාධිපති ආදීහුය. දැන් ආපහු අමෙරිකාවේ රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ලංකාවට ඒම පටන් ගෙන තිබේ.

ජෝන් කෙරීගේ ලංකාගමනය ලංකාව ලෝක දේශපාලන බල සිතියමේ ස්ථානගත වී තිබෙන තැන වෙනස් වෙමින් තිබෙන ආකාරය හකුළුවා දක්වන සංකේතයක් වැන්න. කදිරගාමර් ආයතනයේ දී පැවැත්වූ දේශනයේ සැලකිය යුතු කොටසක් කෙරී වෙන් කොට තිබුණේ නව ආණ්ඩුවේ සාර්ථකත්වය වෙනුවෙන් සුබපැතීම වෙනුවෙනි. කෙරී මෙසේ පැවසීය – ”ශ‍්‍රී ලංකාවේ ජනතාව මෑතක පැවැත්වූ මැතිවරණයේ දී ක‍්‍රියා කළ ආකාරය මහත් ප‍්‍රශංසා කටයුතුය. ඔවුහු සැබැවින්ම විශිෂ්ට ලෙස ක‍්‍රියා කළෝය. ඔබ ඔබගේ අයිතිවාසිකම් අභ්‍යාස කිරීම සඳහා දහස් ගණන්වලින් පෙළ ගැසුණාහ. ඒ සෑම ඡුන්දයක්ම ඔබේ රටේ ජයග‍්‍රහණය සඳහා වූ ඡුන්දයකි.”

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් නව ආණ්ඩුව ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග මෙහිදී කෙරීගේ පැසසුමට බඳුන් විය. එසේම ජාතික ප‍්‍රතිසන්ධානය, යුක්තිය සහ වගවීම සහතික කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම හා රට තුළ තිබෙන ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතන සවිබල ගැන්වීම යන ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් අමෙරිකාවට ලංකාව වෙත උපකාර ලබාදිය හැකි බව කෙරී පොරොන්දු වූයේය.

  • ආර්ථික කොරිඩෝරය

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් ගැන මේ මිහිරි වදන්වලින් පසු ජෝන් කෙරී තමන්ගේ දේශනයෙන් ලංකාවේ පිහිටීමේ තිබෙන උපාය මාර්ගික වැදගත්කම ගැන කතා කළේය. ”ඔබේ රට පිහිටා තිබෙන්නේ අප‍්‍රිකාව, දකුණු ආසියාව සහ නැෙඟනහිර ආසියාව යන කලාපවලට යන පාර අතරමැද. ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඔබේ රට වෙළෙඳ නෞකා සඳහා ප‍්‍රවේශ දොරටුවක් ලෙස ක‍්‍රියා කළා. ඉන්දීය සාගරය ලෝකයේ වඩාත්ම වැදගත් වාණිජ්‍ය මුහුදු මාර්ගයයි” ලංකාවේ පිහිටීමේ වැදගත්කම ගැන කියන ජෝන් කෙරී ඉන් පසු මෙසේ අසයි. මේ තරම් වැදගත් පිහිටීමක් තිබෙන ලංකාවට එම පිහිටීමෙන් ප‍්‍රයෝජනය ගැනීම සඳහා අමෙරිකාව උදවු කරන්නේ කෙසේද? කෙරී ඊට මෙසේ පිළිතුරු දෙයි. ”…අපි අපේ භූමිකාව අර්ධ වශයෙන් දකින්නේ නායකත්ව භූමිකාවක් ලෙස. මොකද අපිට ශක්තිමත් ආර්ථිකයක් තිබෙන අතර අපගේ ව්‍යාපෘතිමය හැකියාව ඉහළයි. ඒ වගේම අපි අපේ භූමිකාව කැඳවුම්කරුවෙක්ගේ භූමිකාව ලෙස සහ වඩාත්ම වැදගත්ව හවුල්කරුවෙක්ගේ භූමිකාවක් ලෙස දකිනවා”

ජෝන් කෙරී වැඩිදුරටත් කියන්නේ ඉන්දීය සාගරයේ සාමුද්‍රීය ආරක්ෂාවට නායකත්වය දෙන්නේ අමෙරිකාව බවයි. එසේම ලෝකයේ ආර්ථික ඒකාබද්ධතාව සඳහා වූ කැඳවුම්කරුවෙක් ලෙස අමෙරිකාව ක‍්‍රියාකරන බව ඔහු පවසයි. ඔහුට අනුව අමෙරිකාව ‘ඉන්දු-පැසිෆික් ආර්ථික කොරිඩෝරය’ නමින් හැඳින්වෙන ව්‍යාපෘතිය දියත් කොට ඇත. මෙහි අරමුණ ඉන්දු පැසිෆික් කලාප අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමය. මෙන්න මේ ක‍්‍රියාවලියට සම්බන්ධ වී ලංකාවට විපුල ආර්ථික පල නෙළාගත හැක. මේ කදිරගාමර් ආයතනයේ දී කෙරී ලංකාවට කළ යෝජනාවය.

ජෝන් කෙරීගේ කතාවේ ලූණු ඇඹුල් සෝදා හළ පසු ඉතිරිවන හරය කුමක්ද? ලෝකයේ බලවතා අමෙරිකාවය. එය අපි සියලූ දෙනා පිළිගත යුතුය. ලංකාවේ පිහිටීම නිසා ජාත්‍යන්තර භූ දේශපාලන අරගලය තුළ ලංකාව සතුව වැදගත් භූමිකාවක් තිබේ. ජෝන් කෙරී නොකියා කියූ ටික මෙසේය – පහුගිය කාලයේ ලංකාව චීනය සමඟ එකතු වී සිටියේය. චීනයේ ‘මුතු පොටේ උපායමාර්ගය’ බඳු භූ දේශපාලන ව්‍යාපෘතිවලට සහාය දක්වමින් හම්බන්තොට වරාය ආදී චීන ආයෝජනවලට ඉඩ දෙමින් චීනයේ ආර්ථික- දේශපාලන අරමුණු සමඟ ලංකාව සන්ධානගත වී සිටියේය. දැන් ඒ කාලය නිමා විය යුතුය. ‘මුතු පොටේ උපායමාර්ගය’ වෙනුවට දැන් ’ ඉන්දු පැසිෆික් ආර්ථික කොරිඩෝරය’ තිබේ. චීන අධිරාජ්‍යයෙන් කැඞී අමෙරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යයට එකතු වෙන්න. එහෙම කළොත් අපි ඔබට මේ මේ ආධාර දෙනවා. මේ කෙරීගේ කතාවේ හරයයි.

  • උන්ගේ ඉත්තාද? මුන්ගේ ඉත්තාද?

ලංකාවේ දේශපාලනය හුදෙකලාව තිබෙන්නක් නොව ලෝක දේශපාලනය සමඟ දහසකුත් එකක් බැමිවලින් ගැට ගැසී තිබෙන්නකි. මේ වන විට ලෝකය ප‍්‍රතිවිරුද්ධ අධිරාජ්‍යවාදී අක්ෂ දෙකක් තුළ සංවිධානය වී සිටී. ඒ අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර අක්ෂය සහ චීනය – රුසියාව ප‍්‍රමුඛ අක්ෂය ලෙසයි. තවමත් ලෝකයේ බල ආධිපත්‍යය දරන්නේ අමෙරිකාව ප‍්‍රමුඛ අක්ෂය විසිනි. ඒත් චීනයේ වේගවත් ආර්ථික වර්ධනයත් සමඟ දැන් මේ අක්ෂ දෙක අතර සීතල යුද්ධයක් හටගෙන තිබේ. ස්වකීය මංකොල්ලකාරී අරමුණු වෙනුවෙන් මේ අක්ෂ දෙකම ලොව කුඩා කුඩා රටවලට මැදිහත් වෙති. ඒ බලය සහ ආධිපත්‍යය සඳහා වූ සිය ගැටුමේ ඉත්තන් ලෙස මේ රටවල් පාවිච්චි කිරීම සඳහාය.

2005 න් පසු ලංකාව වේගයෙන් චීන-රුසියානු අක්ෂය වෙත ඇදී ගියේය. චීනය මෙරට ප‍්‍රධානතම ආර්ථික හවුල්කරුවෙක් ලෙස ඉස්මතු වූ අතර චීන ආයෝජන රට තුළ දෝරෙ ගලායාම පටන් ගත්තේය. චීනයේ තිබෙන්නේ අධිකාරිවාදී දේශපාලන ව්‍යුහයක් තුළ ක‍්‍රියාත්මක වෙන ධනවාදයකි. ඒ නිසා වෙනත් රටවල ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ගැන හැඟීමක් චීනයට නැත. සාම්ප‍්‍රදායිකව ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම තිබෙන අමෙරිකානු හා යුරෝපීය රටවල් ධනවාදය පවත්වාගෙන යන්නේ ලිබරල් ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුව තුළය. මේ නිසා අඩු වැඩි වශයෙන් වෙනත් රටවල් එකී සම්මතයන් සමඟ පෙළගස්වා ගැනීමට ඒ රටවල් උනන්දු වේ. ඒ අනිත් රටවල් ගැන තිබෙන ආදරයක් හින්දා නොව ප‍්‍රාග්ධනයට වඩා සුමටව ක‍්‍රියා කළ හැක්කේ ලිබරල් රාමුව තුළ යැයි ඔවුන් තුළ තිබෙන විශ්වාසය නිසාය. 2005 න් පසු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීව රට පාලනය කළ රාජපක්ෂ රජය වඩා පහසුවෙන් සමීප වූයේ මේ අනුව චීන-රුසියානු අක්ෂය සමඟය. මෙය අමෙරිකානු අක්ෂයේ කෝපය දල්වන්නක් විය. ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳ සැබෑ ප‍්‍රශ්නය දඩමීමා කරගෙන රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ගෙන ඒමට අමෙරිකාව වලිකෑවේ ලංකාව ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයේ සිට චීනයේ න්‍යාය පත‍්‍රය වෙත විතැන්වීම නතර කිරීම සඳහාය.
දැන් අමෙරිකාවේ අපේක්ෂාව ඉටු වී තිබේ. පසුගිය ජනාධිපතිවරණය වටහාගත හැකි එක් ආකාරයක් වන්නේ මෙන්න මේ අන්තර් අධිරාජ්‍ය ප‍්‍රතිවිරෝධය ලංකාව ඇතුළේ උනුන් හා තරගවැදි අවස්ථාවක් වශයෙනි.

මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයත් සමඟ අමෙරිකාව ප‍්‍රීතියෙන් කුල්මත් වී සිටින්නේ අන් කිසිවක් නිසා නොව ඒ තරගය ඔවුන් ජයග‍්‍රහණය කළ නිසාය. දැන් අමෙරිකාව විසින් නායකත්වය දෙන ගෝලීය නවලිබරල් ධනවාදී කඳවුරේ සාමාජිකයෙක් ලෙස ලංකාව එම කඳවුර හා ඒකාබද්ධ වීමට නියමිතය. ජෝන් කෙරීගේ පැමිණීම යනු ඒ ඒකාබද්ධ වීම සංකේතවත් කරන එක් සන්ධිස්ථානාත්මක සන්සිද්ධියකි. ලංකාව චීනයේ දාසයෙක් ගේ භූමිකාවෙන් අමෙරිකාවේ දාසයෙක්ගේ භූමිකාවට මාරු වෙමින් සිටී. ජෝන් කෙරීගේ භෞතික රූපකාය ලංකාවෙන් පිටවී ගියාට දේශපාලනිකව ලංකාව කෙරීලාගේ බල ව්‍යාපෘතිය සමඟ ආබද්ධ වෙමින් තිබේ. මෛත‍්‍රීපාලගේ පීතෘමූලික කරුණාව, රනිල්ගේ බුද්ධි මහිමය, මංගල ජාත්‍යන්තරයේ හොඳ හිත දිනාගැනීම ආදී පාර භෞතිකයන් ගැන විකාර කතා කියමින් ඉන්නේ ලංකාවේ දේශපාලන වෙනස්කම් මෙලෙස පුළුල් ගෝලීය වෙනස්කම් සමඟ ගැට ගැසී තිබෙන විදිහ නොදන්නා දේශපාලන ළදරුවෝය.

රමිඳු පෙරේරා