ජොනී රිමාන්ඞ් බැසිල් රිමාන්ඞ් දැන් හරිද?

අමතක නොකරමු පැරණි කතා – 2

johnnyමැයි 5 වැනිදා සිදුවීම් දෙකක් සිදුවිය. එකක් එදින කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බැසිල් රාජපක්ෂ 6 වැනිදා දක්වා යළි රිමාන්ඞ් කරන ලෙස නියෝගයක් ලැබීමයි. දෙවැන්න කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගතකර කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කිරීමයි. 6 වැනිදා කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ජොන්ස්ටන් මැයි 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග නිකුත් විය. අප පසුගිය සතියේ පළකළ මෙම ලිපි පෙළේ පළමුවන කොටසින් ප‍්‍රශ්න කළේ අලූත් ආණ්ඩුව බලයට පත් වී පළමුවැනි දින 10 තුළ ඇල්ලූ හොරබඩුවලට වුණ දේය. ඇත්තටම හොරුන්ට කිසිදු ද`ඩුවමක් නොලැබෙන බව අප සඳහන් කළා ඔබට මතක ඇති. මේ සතිය වන විට අපි කියූ දෙය වැරදිලාද? දැන් යහපාලන ආණ්ඩුව හොරුන්ට අත දිගහැර ද`ඩුවම්දීම පටන් අරන්ද? දෙවැනි ලිපියෙන් ඒ ගැන සාකච්ඡුා කරන අතරම අමතක වීගෙන යන තවත් ජවනිකා කිහිපයක් සිහිපත් කරගනිමු.

පසුගිය ආණ්ඩුවේ හිටි මැති ඇමැතිවරු මහජන දේපළ හිතුමතේ මංකොල්ලකෑ බව නොදන්නා කෙනෙක් නැත. දැන් චෝදනා වලට ලක්ව උසාවිවලට බඩගාන එක් අයෙක් සතොස කාපු ලෝක හොරෙකි. ඔහු නීති විරෝධී ලෙස එතනෝල් ගෙන්වීම පිළිබඳව චෝදනා ලැබූ අයෙකි. අනෙක් කෙනාට ජනතාව කියන්නේ මිස්ටර් ටෙන් පර්සන්ට් කියාය. එසේ කියන්නේ ලංකාවේ කළ සංවර්ධන ව්‍යාපෘතිවලින් වැඩි ප‍්‍රමාණයකින් ඔහු සියයට 10 ක කොමිස් මුදලක් ගත් නිසාය. මේ අයගේ ඇත්තම හොරකම් ලොකු ලොකු ඒවා මිස පොඩි පොඩි ඒවා නොවේ. ආණ්ඩුව හොරු අල්ලනවා කියමින් මුලින් කළේ ලොකු හොරු සිටියදී පොඩි හොරු ඇල්ලීමයි. දැන් කරන්නේ ලොකු හොරු ලොකු සද්දයක් කර අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ ලොකු හොරකම් නොව ලේසියෙන් බේරී යා  හැකි පොඩි හොරකම්වලට නඩු පැවරීමයි. මෙයින් සිදුවන අවැඩ දෙආකාරය. එකක් මේ අය කර ඇත්තේ මේ තරම් පොඩි හොරකම් යැයි ජනතාව සිතන නිසා හොරකම් ගැන තිබෙන සමාජ විරෝධය දියාරු වේ. අනෙක මේ පොඩි හොරකම්වලට විවිධාකාර කරුණු දක්වා හොරුන්ට ගැලවී යා හැක.

ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට ඇති චෝදනා කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ වැහැර, මල්ලවපිටිය හා යන්තම්පලාව සතොස වෙළෙඳ සැල්වලින් රුපියල් ලක්ෂ 52 ක් වටිනා බඩු (හරියටම කියන්නේ නම් රුපියල් 5,275,316.64 ක්) ලබාගෙන ඒ සඳහා මුදල් නොගෙවීමයි. නඩුව පවරා ඇත්තේ පොදු දේපළ පනත යටතේය. මේ නඩුව ගොනුකර ඇත්තේ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු නිදොස් කිරීමේ අරමුණෙන්දැයි හිතෙන තරමට කි‍්‍රයාවලිය මෝඩ එකකි. අධිකරණයේ දී නීතිඥයන් තර්ක කළ අන්දමට සතොස ලියාපදිංචි වී ඇත්තේ සමාගම් පනත යටතේ නිසා එය රාජ්‍ය දේපළක් නොවේ. එයට පොදු දේපළ පනත යටතේ නඩු පැවරිය නොහැක. අනෙක ණය නොගෙවීමක් ගැන නඩු පැවරීමට නම් මුලින් ණය ගෙවන ලෙස කිහිප වරක් සිහිකැඳවීම් කර තිබිය යුතුය. සතොස ජොන්ස්ටන්ට එකදු ලිපියක්වත් එවා නැත. මෙහි ඇති දුර්වලම කරුණ වන්නේ ඉහත කියූ සතොස ශාඛාවලින් බඩු ගත්තේ ජොන්ස්ටන් බව ඔප්පු කළ නොහැකි වීමයි. බඩු ගැනීමට ජොන්ස්ටන් පෞද්ගලිකව පැමිණ නැත. බඩු නිකුත් කරන ලෙස ලිඛිතව දන්වා ද නැත. මේ නඩුව පවරා ඇති දුර්වල ආකාරය අනුව ජොන්ස්ටන් නිදහස්වන බව කීමට අනාවැකිකරුවන් වියයුතු නැත. ඉන් පසුව ජොනී පැමිණ ”මම නිදහස් වුණා, මම හොරකම් කර නෑ කියා අධිකරණයේදීත් ඔප්පු වුණා” කියා සුද්දවන්තයා වනු ඇත. නැතිනම් උපරිම දේ වන්නේ ඔහුට ඒ ලක්ෂ 52 ගෙවන ලෙස නියෝග කිරීමයි. ජොන්ස්ටන්ට එය අපහසු දෙයක් නොවේ.

ඇතැම් අය සිතා සිටින්නේ බැසිල් රාජපක්ෂට නඩු පවරා ඇත්තේ ඔහු රජයේ මුදල් සොරකම් කිරීමකට හෝ කොමිස් ගැනීමකට කියාය. එය වැරදිය. බැසිල්ට ඇති මූලික චෝදනාව දිවි නැගුම අරමුදලේ තිබූ මුදල් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව ඉන් ඉවත්වෙන සේවකයන්ට වන්දි හා පාරිතෝෂික දීමනා ගෙවීමට වැය කිරීමයි. දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවා ඇති 2013 අංක 1 දරන පනතට අනුව යම් සේවකයෙක් ඉන් ඉවත්වන්නේ නම් වන්දි හා පාරිතෝෂික ගෙවිය යුතුය. බැසිල් කියන්නේ සේවකයන් 1500 ක් ඉවත්වීමට ඉල්ලූ විට ඔවුන්ට නීතියෙන් හිමි මුදල ගෙවූ බවයි. එමෙන්ම බැසිල්ගේ නීතිඥයන් කියන්නේ ඒ සඳහා භාණ්ඩාගාර අනුමැතියක් ලැබී තිබෙන බවයි. අනෙක මේ ප‍්‍රශ්නයට බැසිල් මැදිහත් වී ඇත්තේ කිසිදු ලිඛිත මාර්ගයක් නැතිව වාචිකවය. ඒ නිසා චෝදනා ඔප්පු කිරීම අපහසුය. ආණ්ඩුවට බැසිල්ගේ මීට වඩා වංචාවක් හොයාගත නොහැකි වීද? මෙතන දිවිනැගුම මුදල් හොරකමක් සිදුවී නැත. වෙනත් ආකාරවලින් හොරකම් කිසිවක් සිදුවී නැතිද? ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ බැසිල් නිදොස්කොට වීරයකු කිරීමටද?
හොරු ඇල්ලීමේ ඇත්ත කතාව එබඳුය. ඒ අතර අපි පසුගිය නැවැත්වූ තැනින් අතීත කතා සිහිපත් කිරීම යළි අරඹමු. අප එදා කතා කළේ ජනවාරි 8 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදුකළ හොර බඩු ඇල්ලීමේ මෙහෙයුම් ගැනය.
අද එතැන් සිට…

2