ගෝඨාගෙන් ප‍්‍රශ්න කිරීම

අපි මෙවර කතුවැකියෙන් මේ දිනවල වැඩිපුරම සාකච්ඡුා වන මාතෘකාවක්, භාෂාවෙන් කියනවානම් ‘හිට් වෙන’ මාතෘකාවක් කතා කරන්න හිතුවා. ඒ මාතෘකාව තමයි ගෝඨාභයගෙන් ප‍්‍රශ්න කිරීමට පොලිසිය තීරණය කිරීම හා ගෝඨාභය අත්අඩංගුවට ගැනීම අධිකරණ නියෝගයක් මඟින් අත්හිටුවීම. සිද්ධිය මුලසිටම ගත්තොත් හිටපු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන ගෝඨාභය රාජපක්ෂගෙන් මූල්‍ය වංචා ගණනාවක් ගැන ප‍්‍රශ්න කරන්න පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය තීරණය කළා. මීට පෙර මේ අයුරින් ප‍්‍රශ්න කළ බොහෝ අය ප‍්‍රශ්න කිරීම අතරතුරදී අත්අඩංගුවට ගත්තා. බැසිල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, සජින් වාස් ගුණවර්ධන වගේ අය ඊට නිදසුන්. ප‍්‍රශ්න කරන අතරතුර තමන්වත් අත්අඩංගුවට ගනී කියලා ගෝඨාභය බය වුණා. ඒ නිසා ඔහු පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

මේ පෙත්සම විභාග කිරීම සඳහා පත්කර තිබුණේ ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්. සරත් ද ආබෲ, ඊවා වනසුන්දර හා බුවනෙක අලූවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ඒ සඳහා පත්කර තිබුණා. මෙම පෙත්සම විභාග කිරීම සඳහා පත්කරන ලද විනිසුරුවරුන් පිළිබඳව මැයි 12 වැනිදා වන විටම විවිධ කතා බහ ඇති වී තිබුණා. ඊට හේතුව ඔවුන් රාජපක්ෂ පාලන සමයේ එම පාලනයට හිතකර තීන්දු ලබාදුන් බවට එල්ල වී තිබූ චෝදනා. මේ ගැන විවිධාකාර විවාද ඇතිවෙමින් තිබෙන අතරතුර මැයි 13 උදේ බුවනෙක අලූවිහාරේ පෞද්ගලික හේතුවක් මත කියමින් විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා අස්වුණා. සාමාන්‍ය සම්ප‍්‍රදාය එසේ ඉල්ලා අස්වූ කෙනකු වෙනුවට වෙනත් විනිසුරුවරයකු පත්කිරීම වුණත් 13 වැනිදා විනිසුරු මඬුල්ලේ ඉතිරි දෙදෙනා පමණක් පෙත්සම විභාග කළා. කලින් මේ ගැන සැක පහළ කළ අයට තමන්ගේ මතය ගැන වාසි සහගත යමක් කිවහැකි වන සේ නඩු තීන්දුව ලැබුණා. ඒ අනුව පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත නොහැකි වනසේ අධිකරණ නියෝගයක් නිකුත් වී තිබුණා. ගමේ සිරිපාල කෙසෙල් කැනක් හොරකම් කළොත් පරීක්ෂණ පටන් ගන්නේම අත්අඩංගුවට අරන් හොඳට තඩිබාලා. කාර්යාලයක වැඩකරන පියදාස පගාවක් ගත්තොත් පරීක්ෂණ පටන් ගන්නේ මුලින් වැඩ තහනම් කරලා, අත්අඩංගුවට අරන්. නීතිය ලොක්කන්ට එහෙමයි. සොක්කන්ට මෙහෙමයි.

නීතිය කියන්නේ පාලක පන්තියේ අවිය කියලා අපි දන්නා නිසාත් ලංකාව වගේ පසුගාමී රටවල නීතිය පාලක කණ්ඩායමේම රූකඩයක් වන බව ඊටත් වඩා හොඳින් අත්දැකීමෙන්ම දන්නා නිසාත් අපට නම් මේවා ගැන පුදුම හිතෙන්නෙ නෑ. අනෙක් එක අධිකරණය කියන්නේ කුලූනු තුනෙන් එකක්, ඒක ආරක්ෂා කරගන්න  ඕන කියලා කෑගහන පිරිසට අපි අයිති නැති නිසා අපිට දුක හිතෙන්නෙත් නෑ. අපිට තියෙන ප‍්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂගෙන් ප‍්‍රශ්න කරන්න  ඕන මේවගේ දේවල්ද කියන එක විතරයි. ගෝඨාභය සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට. ඒ කාලය තුළ විවිධ අපරාධ සිදු වුණා. යුද්ධයේ අවසන් වකවානුවේ දී දසදහස් ගණන් සමූල ඝාතනයට ලක්වුණා. යුද මුක්ත කලාප ලෙස නම්කර තිබූ ප‍්‍රදේශවලට පවා බරඅවි ප‍්‍රහාර එල්ල වුණා. අත්අඩංගුවට ගත් අය ඝාතනය වුණා. යුද්ධයෙන් පසුව රටපුරා සුදු වෑන් කල්ලි වලින් මිනිස්සු පැහැර ගත්තා. බොහෝ අයව මරා දැමුවා. වධහිංසා කළා. මේ අපරාධවලට ආරක්ෂක අංශවල සම්බන්ධයක් තිබෙන බවට හැමදෙනාම චෝදනා කරනවා. ඒ නිසා ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස සිටි කෙනාගෙන් ප‍්‍රශ්න කළොත් ඒ ගැන හොයන්න පුළුවන්. නමුත් ආණ්ඩුව ගෝඨාභයගෙන් ඒ ගැන අහන්නේ නෑ. අහන්නේ හොරකම් ගැන විතරයි.

අපි මෙහෙම කියනකොට ආණ්ඩුව කියන්නේ, අපි පොරොන්දු වුණේ හොරු අල්ලන්න විතරයි,මිනීමරුවො අල්ලන්න නෙවෙයි කියලා. ඒකම තමයි ප‍්‍රශ්නේ. රාජපක්ෂ ආණ්ඩුව ගැන විශාල ජනතා අප‍්‍රසාදයක්, අතෘප්තියක් ගොඩනැඟී තිබුණා. ඒකට ඇත්ත හේතුව වුණේ රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීත්වය. උදාහරණයක් විදියට ඒ කාලයේ සිදුවුණු තීරණාත්මක අරගල ලෙස නම් කළ හැකි ශිෂ්‍ය අරගල සිදුවුණේ අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහිව. රතුපස්වල හා තුන්නාන අරගල සිදු වුණේ කොල්ලකාරී ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා සිදුවුණු පරිසර ¥ෂණයට එරෙහිව, වනාතමුල්ල ඇතුළු නාගරික පීඩිතයන්ගේ අරගල සිදු වුණේ අධිරාජ්‍යගැති ආර්ථික වැඩපිළිවෙළේ නගර සංවර්ධන සැලැස්මට අනුව නගරවලින් දුප්පතුන් ඉවත් කිරීමට එරෙහිව. මීට අමතර බොහෝ අරගල සිදුවුණේ ශිෂ්‍ය – කම්කරු – ධීවර බලවේග මර්දනය, දේශපාලන සිරකරුවන් අතුරුදන් කිරීම්, දේශපාලන ඝාතන ආදිය මූලික කරගනිමින්. රාජපක්ෂ ආණ්ඩුව ගැන විරෝධය ගොඩනැඟුණේ මේ පදනම් මත. මේවාට එරෙහි සමාජ විරෝධය ක‍්‍රමය වෙනස් කිරීම දක්වා වන විප්ලවීය මහජන නැඟිටීමක් දක්වා වර්ධනය වෙන්න ඉඩ තිබුණා.

මාධ්‍යකරුවොයි, ලිබරල් චින්තකයොයි, කලාකරුවොයි, දක්ෂිණාංශික දේශපාලකයොයි හැමදෙනාම එකතු වෙලා කළේ මේ ක‍්‍රම වෙනස දක්වා තිබුණු සමාජ විභවය රෙජීම වෙනසක පරිමාණයට කපා ගැනීම. ඒ සඳහා රාජපක්ෂ ආණ්ඩුවේ ඉතිරි ප‍්‍රශ්න සියල්ල පසුබිමට තල්ලූ කරලා ඒ සමාජ අප‍්‍රසාදයට හේතුව හොරකම හා වංචාව කියලා තහවුරු කරන්න උත්සාහ කළා. ගෝඨාභයගෙනුත් ඉතිරි අපරාධ ගැන ප‍්‍රශ්න නොකර හොරකම් ගැන අහන්නේ ඒ නිසා. මේ තත්වයේ ගැඹුරු වෙනසක් අපේක්ෂා කරන අය කළ යුත්තේ රාජපක්ෂ විරෝධය ක‍්‍රමවිරෝධයක් වෙත වර්ධනය කිරීම. ඒ සඳහා වන පළමු පියවර මේ අපරාධ, හොරකමේ තේමාවට විතරක් කප්පාදු කරන්න ඉඩනොදී ඉතිරි අපරාධ ඉදිරියට ගැනීම.