එහි කොටසක් අප තුළම

Ghotabaya 1.jpgපසුගිය සතියේ මහින්ද රාජපක්ෂ පන්සලක සිට මාධ්‍ය අමතමින් පැවසුවේ යුද්ධය නිමා කළ තමාව දඬුකඳේ ගැසීමට සැරසෙන බවය. මේ අතර ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය. ගෝඨාභය ද යුද්ධයට සම්බන්ධ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම නොමනා ක‍්‍රියාවක් වෙතැයි රටේ සැලකිය යුතු පිරිසක් විශ්වාස කරයි. ආර්ථිකය බිඳ වැටී ඇති බවට චන්ද්‍රිකා කළ චෝදනාවකට පිළිතුරු දෙමින් මහින්ද තමන් ආර්ථිකය හා රජය තවදුරටත් ශක්තිමත් කළ බව පවසන විට ඒ පිරිස එය අනුමත කරයි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මැතිවරණ ක‍්‍රමය පාර්ලිමේන්තුවේ තනි පක්ෂයකට බහුතර බලය ලැබෙන හෝ වෙනස් කරන බව පවසන විට ඒ පිරිස එයට එකඟව හිස සලයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ හොත් රජය අස්ථාවර වී අරාජිකත්වයක් ගොඩනැෙඟනු ඇතැයි අතුරලියේ රතන හිමි පවසන විට ”අපොයි රජය අස්ථාවර වෙන්න දෙන්නෙ නෑ. අරාජිකත්වයක් ඇතිවීම නවත්වන්න  ඕන” කියමින් රජයේ විවිධ ආයතන හරහා පීඩාවට පත්වන අයම ඊට එකඟවෙයි. රජයේ පැවැත්ම රැුකගැනීම, එය අස්ථාවර වන විට මැදිහත් වී ස්ථාවරත්වයක් ඇති කිරීම පුරවැසියන් ලෙස අපගේ යුතුකම බව ගුරුවරු ළමා පරපුරට උගන්වති. මෙම විශ්වාසය දෘෂ්ටිවාදීමය ලෙස සමාජයේ සියලූ ස්ථර තුළ ‘කොන්ක‍්‍රීට් වී’ තිබේ. මහින්ද හා ගෝඨාභය ආශ‍්‍රිත උදාහරණ මඟින් පෙන්වා දෙන්නේ එය සාමාන්‍ය ජනයාගේ සිට මාධ්‍යවේදීන් හා අධිකරණ විනිසුරුවරුන් දක්වා පුළුල් පරාසයක පැතිරී ඇති අන්දමයි.

මේක අපේ යැයි සිතීම ගෝඨාභය සහ මහින්ද පමණක් නොව මෛත‍්‍රී හා රනිල් ද සිය බලය තහවුරු කරගන්නේ සමාජය තුළ ඇති මෙම අන්ධ විශ්වාසය තුළය. රජයේ ප‍්‍රධාන අංග ලෙස පවතින විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන සමාජයේ කුලූනු තුන ගැන සිතීමට සමාජය පුරුදු වෙමින් සිටී. මහින්ද විධායක බලය ඉතා මුග්ධ ලෙසත් අත්තනෝමතික ලෙසත් භාවිත කරන විට, ව්‍යවස්ථාදායකය එක එක දවසට එක එක පිලට පිල් මාරු කරමින් විකාරයක් බවට පත්වන විට, අධිකරණය මුළුමනින්ම මහින්ද රාජපක්ෂලාගේ රූකඩයක් බවට පත් වන විට ඊට එරෙහි යම් විරෝධයක් සමාජය තුළින් පැන නැඟිණි. රජයේ මේ කොටස් අපට අයිති නැති බවත් ඒවා පහළ පන්තීන්ට සතුරු මර්දන ආයතන බවත් සමාජයට ඉගැන්විය යුතුව තිබුණේ එම සංසිද්ධීන් තුළය. විධායක බලය යනු සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් පවතින බලයක් නොවන බවත් ව්‍යවස්ථාදායකය යනු ජනතා පරමාධිපත්‍යය නියෝජනය වන තැන නොවන බවත් අධිකරණය දේශපාලනයෙන් ස්වාධීන නොවන අතර එය පාලක පන්තියේ උපකරණයක් ලෙස භාවිතවන බවත් ඉගෙන ගැනීමට පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් තරම් වටිනා ඉතිහාසමය අත්දැකීම් අපට කවදාවත් ලැබී තිබුණේ නැත. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම තමන් වාමාංශිකයන් යැයි කියන අය පවා කළේ ‘විධායක බලය පාර්ලිමේන්තුව හරහා පාලනය කිරීම’ ‘උගතුන්ගෙන් යුත් පිරිසිදු පාර්ලිමේන්තුවක් හැදීම’ ‘අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම’ වැනි සටන් පාඨ ඉදිරිපත් කරමින් ඒ අගනා අවස්ථාව මඟ හැරීමය. ප‍්‍රශ්නය එම සටන් පාඨ නොවේ. ඒවායෙන් අරඹා සමාජයට රජය ගැන ඇත්ත අධ්‍යාපනයක් ගෙන යන සැලැස්මක් මේ කිසිවකුටත් තිබුණේ නැත. ඒ නිසා සමාජයේ පහළ පන්තීන් තුළ පවා තහවුරු වූයේ අප මෙම ආයතන පිරිසිදු කර, ශක්තිමත් කර, ස්වාධීන කර පවත්වාගෙන යා යුතු බවට වන මතයයි.

පසුගිය ජනාධිපතිවරණය එළඹුනේ මෙවැනි පරිසරයක් තුළය. මෛත‍්‍රී හරහා සංකේතවත් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද විරෝධී පිරිස්ද රනිල් හරහා සංකේතවත් වන එක්සත් ජාතික පක්ෂය ද තමන්ගේ ඊළඟ මෙහෙයුම සඳහා මේ සරු පස කදිම තෝතැන්නක් කර ගත්තේය. මහින්දගේ ශෛලිය වූයේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, රාජ්‍ය තත්වය, පොලිසිය, හමුදාව, මාධ්‍ය යන මේ සියල්ල විවෘතවම දේශපාලනිකකරණය කර තමන්ගේ මෙහෙයවීම යටතේ පවත්වාගෙන යාමයි. රනිල්ගේ හා මෛත‍්‍රීගේ ශෛලිය වූයේ මේ එක් එක් ආයතනය තම තමන්ගේ කාර්ය භාරයන් ඉටුකිරීම හරහා මහින්ද කළ දේම කරගැනීමත් ඒවාට දේශපාලනයෙන් ස්වාධීනත්වයක් ඇතිබව මවා පෙන්වා සමාජය තුළ රජයේ ක‍්‍රියාකාරීත්වය සුජාතකරණය කිරීමත්ය. ඒ අනුව අධිකරණය අප වෙනුවෙන් නීතියේ ආධිපත්‍යය රකින තැන ලෙස ද පොලිසිය ජනතාවට සේවා සපයන, සාමය පවත්වාගෙන යන ආයතනය ලෙස ද පාර්ලිමේන්තුව අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන දන්සැල ලෙසද, මාධ්‍ය ඉතාම අහිංසක පුවත් වාර්තාකරුවන් ලෙස ද ජනමනස තුළ සටහන් විය. නවලිබරල් ධනවාදයේ පළමු ඉනිම සඳහා ජේ.ආර්. ගේ ‘ධර්මිෂ්ඨ ආණ්ඩුව’ රජයේ බලය ශක්තිමත් කරගත්තේ විවෘතව ඒකාධිපතීත්වය ප‍්‍රදර්ශනය කිරීම හරහාය. එහි දෙවන ඉනිම සඳහා මහින්දගේ ‘දේශපේ‍්‍රමී ආණ්ඩුව’ 18 වැනි සංශෝධනය හරහා ජේ.ආර්.වම අනුගමනය කිරීමට ගත් උත්සාහය සමාජයෙන් ප‍්‍රතික්ෂේප විය. එනිසා රජය ශක්තිමත් කරන, අලූත් වටයකින් තහවුරු කරන මෙහෙයුම මෛත‍්‍රී-රනිල්-අනුර-සම්බන්ධන්-චම්පික ‘යහපාලන ආණ්ඩුව’ වෙනස්ම ආකාරයකින් ආරම්භ කර ඇත.

හැමෝටම ගැළපෙන ලේ සුප‍්‍රකට සෝවියට් කවියකු වන රසුල් ගම්සතොව් කලාකරුවාට  ඕනෑම කෙනකුට ආමන්ත‍්‍රණය කළ හැකි බවත්  ඕනෑම අයකුගේ හදවත කලාවට කම්පනය කළ හැකි බවත් හඟවන්නට මෙවැන්නක් ලියුවේය. එය පරිවර්තනය කර තිබුණේ මංජුල වෙඩිවර්ධන විසිනි.

”ලේ ගලන රෝගියකු සිටී නම්
රුධිරය ඇවැසි
වහා කැඳවන්න කිවියකු
කිවියකුගේ රුධිරය
ඕනෑම අයකුට ගැළපේ
එහෙයිනි”

දැන් කලාව වෙනුවට අපේ ඇෙඟ් ලේ තුළට කාවද්දා ඇත්තේ රජය අපේය යන හැඟීමයි. රජයේ පැවැත්මට අදාළ කරන ලේ වර්ගය හැම මිනිසකු තුළටම එන්නත් කර ඇත. එය එන්නත් කරන ලද්දේ දක්ෂිණාංශික දේශපාලකයන් විසින් පමණක් නොවේ. මාධ්‍යය ද ලිබරල් චින්තකයන් ද ආණ්ඩු විරෝධී කලාකරුවන් ද ඊනියා වාමාංශිකයන් ද ආදී සියලූ දෙනා ඒ එන්නතට අඩුවැඩි වශයෙන් දායක විය. එනිසා රජය ජන විඥානය තුළ සාමාන්‍යකරණය වී ඇත. රජය හා රජයේ ආයතන මේ තරම් සාමාන්‍යකරණය වූ කාලයක්, රජයේ සියලූ කටයුතු අප තුළ ස්වාභාවික කරන ලද කාලයක්  පෙර නොවූ විරූ තරම්ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද නවලිබරල් අතුරු අයවැය ද ඖෂධ පනත ද ආදී වශයෙන් වූ ආණ්ඩුවේ සියලූ උත්සාහයන් පාලකයන්ගේ බල ක‍්‍රීඩාවක් බව නොපෙනී ගොස් එය අපේ අභිලාෂයක් යැයි සිතීම පටන් ගන්නේ එනිසාය. රනිල් ද මෛත‍්‍රී ද මහින්ද ද ගෝඨාභය ද චම්පික ද ආදී වශයෙන් හැම දෙනාම තමන්ගේ බල ක‍්‍රීඩාවේ නියැළෙන්නේ
මේ හිස්තැන තුළය. ඔවුන් සෙල්ලම් කරන්නේ ‘රජය අප සතුය. එය රැුකගැනීම අපේ පරම යුතුකමය’ කියා සිතන ජන මනස තුළය.

සමාජයේ ප‍්‍රගතිය ගැන හිතන්නන් පළමුව කළ යුතුව ඇත්තේ මේ අභියෝගය භාර ගැනීමයි. ඒ සමඟ සටන් නොකර, එම සමාජ විඥානය සමඟ හා එය දෘෂ්ටිවාදීව තහවුරු කරන්නන් සමඟ හැප්පෙන්නේ නැතිව අපේ සමාජය ඉදිරියට තල්ලූ කෙරෙන්නේ නැත. සිදුවන්නේ එය පිටුපසට යාම පමණයි. එනිසා අප අභිමුව ඇත්තේ මතවාදීමය, දේශපාලනමය හා තවත් ක්ෂේත‍්‍ර ගණනාවක මුහුණට මුහුණ ලා සටනකි. 2015 ජනවාරි 8 වැනිදා සිදුවූයේ තීව‍්‍රතාවයෙන් අඩු විප්ලවයකැයි විශ්වාස කරන අපේ මිත‍්‍රයන්ට අපට නැවතත් අවධාරණය කිරීමට සිදුවන්නේ සමාජ ප‍්‍රගතිය පිළිබඳ ප‍්‍රශ්නය රාජතාන්ත‍්‍රික කුමන්ත‍්‍රණ හරහා හෝ ව්‍යවස්ථාවේ වචන එහා මෙහා කිරීම හරහා විසඳිය නොහැකි බවය. එය සමාජ සවිඥානය සමඟ ද අවිඥානය සමඟ ද කරන සටනකි. මතවාදීමය ලෙස මෙම සමාජ සිතීම සමඟ පොර බදන්නන් ද එය කරන්නට යන්නේ ලිබරල් දැක්ම හා සුඛපරමවාදී අදහස් සමඟය. ඒවා සමාජයේ පහළ පන්තීන්ට දිරවන්නේ නැති අතරම ඒවා සරල ලෙස බටහිර සංස්කෘතික ආක‍්‍රමණ ලෙස නාමකරණය කරන එහි ප‍්‍රගතිශීලී අන්තර්ගතය බොඳකර හැරිය හැක. එවිට වැඩිපුර සිදුවන්නේ අප පරාජය කිරීමට ගිය අන්තයම යළි තහවුරු වීමයි.

එනිසා වත්මන් මොහොත ඉතා ප‍්‍රවේශමෙන් විග‍්‍රහකර ගැනීම ද ඒ සමඟ පොර බැදීමේදී එය ‘වම දෙස බලා’ කිරීමද හැර සමාජය ඉදිරියට තල්ලූ කිරීමේ ප‍්‍රයත්නය ඇරඹීමට වෙනත් ආරම්භක ලක්ෂයක් නැත.