ලංකාවේ ජනමාධ්‍යට වෙච්ච දේ සොයන්න සත්‍ය කොමිසමක් ඕනෙ

‘ජනමාධ්‍ය නිදහස’ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශිත දිනය වන්නේ මැයි 3 වැනිදාය. ඒ වෙනුවෙන් ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය විසින්  සංවිධානය කළ විශේෂ සම්මන්ත‍්‍රණයක් මැයි 5 වැනිදා කොළඹදී පැවැත්විණි. යුනෙස්කෝවේ සංවර්ධනය හා සන්නිවේදනය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ විජයානන්ද ජයවීර එහි ප‍්‍රධාන දේශකයා විය. ‘ජනමාධ්‍ය නිදහස සහ ව්‍යුහාත්මක වෙනස්කම්’ යන තේමාවෙන් එහිදී ඔහු දැක්වූ අදහස් ඇසුරෙන් මෙම සටහන සකස් කෙරිණි.

Wijayananda_Jayaweera
ලංකාවේ ජනමාධ්‍ය පිළිබඳව කාලාන්තරයක් මා විසින් කළ නිරීක්ෂණ තිබුණා. දකුණු ආසියාවේ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ සිදුවෙමින් පවතින වර්ධනයන් පිළිබඳ මගේ සංසන්දනාත්මක අවධානයක් තිබුණා. අද මම කතා කරන්නෙ මා විසින් රැුස්කළ ඒ කරුණු අනුවයි.

සමාජයක් වශයෙන් ජනමාධ්‍යයෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?  ජනමාධ්‍ය නිදහසක් නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වාගෙන යන්න බෑ. ඒ විතරක් නෙවෙයි සමාජයට වැදගත්වන මතවාද, අදහස් ජනමාධ්‍ය තුළින් නිරූපණය වෙන්නෙ නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරිහැටි ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. ආඛ්‍යාන, තොරතුරු, මතවාද සමාජගත කිරීම ලෙස අපි සාමාන්‍යයෙන් කියන්නෙ ඒකයි. දැන් අපි මැතිවරණයකදි ආණ්ඩුවක් පත්කර ගන්නවා. ඒ ආණ්ඩුව එක්ක අපි ගනුදෙනු කරන්න වෙන්නෙ අපට ලැබෙන තොරතුරු අනුවයි.  ආණ්ඩුව කරන දේ අපි දන්නෙ නැත්නම් පුරවැසියන් වශයෙන් අපට ඒ ගනුදෙනුව කරන්න වෙන්නෙ නෑ. එවිට ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවත්වාගෙන යන්න බෑ.

  • ජනමාධ්‍ය කාර්යභාරය

තොරතුරු අසමමිතිය අවම කරන්න ජනමාධ්‍යවල මැදිහත්වීම අවශ්‍යයි. ඒ නිසා නිදහස් ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයක් නැතුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවත්වාගෙන යන්න බෑ. ඊට අතිරේකව යමක් සිදුවන විට ඒ සිදුවීම ගැන විචාරශීලීව නිරීක්ෂණය කරමින් වාර්තා කරන්නෙ ජනමාධ්‍ය විසින්. ඒ වගේම ¥ෂණ සහ අයහපත් පාලනය පිළිබඳ හෙළිදරව් කිරීම ජනමාධ්‍ය තුළින් සිදුවෙනවා. ආණ්ඩුවේ විතරක් නොවේ. රජයේ නොවන ආයතනවල හා ව්‍යවසායකත්වයන් තුළ අයහපත් පැවැත්ම හෙළිදරව් කිරීමට ජනමාධ්‍ය අවශ්‍යයි.
ඊටත් අතිරේකව රජයේ කටයුතුවල පාරදෘශ්‍යභාවය වෙනුවෙන් ජනමාධ්‍යයන්ට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම සමාජ ක‍්‍රියාකාරිකයකු ලෙස ජනමාධ්‍ය විසින් ඉටුකරන කාර්ය වැදගත්. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පෙනී සිටින්නකු හැටියට මේ දිනවල ජනමාධ්‍ය විසින් ඉටු කරන කාර්යයක් තිබෙනවා. මේ සියලූ දේට පදනම්වන අදහස ‘මහජන යහපත’ කියන කාරණය බවයි අපි විශ්වාස කරන්නෙ.

එවැනි ජනමාධ්‍ය ක‍්‍රියාකාරීත්වයක් සඳහා අප විසින් කළ යුතු ව්‍යුහාත්මක වෙනස්තම් තමයි සැලකිල්ලට ගතයුත්තේ. හැබැයි අපගේ අවධානයට ලක්විය යුතු කාරණයක් තිබෙනවා. මේ කිසිවක් ජනමාධ්‍යයෙන් ඉටු නොකරන තත්වයක් පවා ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ සියල්ලට ප‍්‍රතිවිරුද්ධ ක‍්‍රියාකාරීත්වයක් වුවත් ජනමාධ්‍ය තුළින් සිදුවෙන්නත් පුළුවන්. ජනමාධ්‍ය බලපුළුවන්කාරයන්ට අවශ්‍ය ලෙස හැසිරෙන  ආකාරය පහුගිය කාලයේ ඒක අපට හොඳින්ම නිරීක්ෂණය කරන්න ලැබුණා. ඒ වගේම සමාජය ගැන විචාරශීලි අදහස් දක්වන පාර්ශ්වයන්ට කිසිදු ඉඩක් නොලැබෙන ලෙස ජනමාධ්‍ය ක‍්‍රියාකාරි වෙන්න ඉඩ තිබෙනවා. එවිට බහුවිධභාවයක් නැහැ, අධිපති මතය පමණයි තහවුරු වෙන්නෙ.

පහුගිය කාලෙ අපි දැක්කා ජනමාධ්‍ය විසින් වාර්ගික ගැටුම් තීව‍්‍රවන ආකාරයට කටයුතු කරන ආකාරය. ඒ වගේම අපි දැක්කා මහජන සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා කියන ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව ඇතිවුණ තත්වය. සමහර අයගෙ ජීවිත නැති වුණා. රටෙන් පලායන්න සිදු වුණා. ජනමාධ්‍ය ආයතනවලට විවිධ බලපෑම්වලට නතු වෙන්න සිදුවෙනවා. සිදුවන සියල්ල සාධාරණිකකරණය කරන්න සිදුවන හෝ පුද්ගල ප‍්‍රතිරූප නංවන්න වැඩකරන්න වෙන තත්වයන් තිබුණා. ඉංග‍්‍රීසි බසින් කටයුතු කරන ජනමාධ්‍යවලට වඩා වෙනත් ජනමාධ්‍යවල තමයි මේ තත්වය දක්නට ලැබුණෙ. ඉංග‍්‍රිසි මාධ්‍ය ජනමාධ්‍යවලට තොරතුරු ලබාගන්න

පුුළුල් අවස්ථා තිබෙනවා. නමුත් සිංහල ජනමාධ්‍ය තුළ විශේෂයෙන් තිබුණ සීමාකාරිත්වයක් අපි දැක්කා. ඒක කොයිතරම් බරපතළ වුණාද කියනවා නම් ජනමාධ්‍ය විසින් ඉතිහාසය පවා විකෘති කරවන ආකාරයේ අන්තවලට ගිය අවස්ථා දක්නට ලැබුණා. එක් එක් කාලයේ පවතින සමාජ බලාධිකාරයට නතුව කටයුතු කරන අවස්ථා ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ අපට දකින්න ලැබුණා. මේක අවාසනාවන්ත තත්වයක්. මේක ජනමාධ්‍ය විසින් ඇතිකරගත්ත තත්වයකට වඩා ජනමාධ්‍ය කෙරෙහි ඇතිකළ බලපෑම් නිසා ඇතිවූවක් ලෙස දක්වන්න පුළුවන්.

  • අපේක්ෂිත වෙනසක්

ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ ව්‍යුහාත්මක වෙනස්කම් ගැන අප කතා කරනවා නම් ජනමාධ්‍යවලට බලපෑම් කරන මෙම තත්වය වෙනස් වියයුතුයි.  ඕනෑම ආණ්ඩුවක් වෙනස් වුණාම යම් නිදහස් තත්වයක් ඇති වෙනවා. සීමිත කාලයක්  තුළ නිදහස් අවස්ථාවක් හිමි වෙනවා.  නමුත් ඒක අපි කොහොමද වාසිදායක ලෙස භාවිතයට ගන්නෙ කියන කාරණය ගැන අවධානය යොමු කළ යුතුයි. අපි දන්නවා 1996 පමණ ආර්.කේ.ඩබ්. ගුණසේකර වාර්තාව විසින් නිරීක්ෂණය කළ සහ යෝජනා කළ කරුණු ප‍්‍රමාණයක් තිබුණා. තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන විතරක් නෙවෙයි, ඉන් ඔබ්බට ගිහින් ජනමාධ්‍ය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා වැදගත් වෙනස්කම් යෝජනා කෙරුණා. නමුත් ඒවා ක‍්‍රියාත්මක කෙරුණෙ නෑ. එවකට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති තීරකයන් ඒ දෙස සුබවාදීව බැලූවෙ නැති නිසා ඒ යෝජනා සියල්ල යට ගියා. 1996න් පස්සෙ අද දක්වා නැවත නැවත ඒ ගැන කතාකරන්නයි අපට සිදුවෙලා තියෙන්නෙ.  දැන් අපට නැවතත් අවස්ථාවක් උදාවෙලා තියෙනවා ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා කතිකාවකට. අපි ආපහු මේ ගැන අදහස් විමසලා නැවත වතාවක් වාර්තාවක් එළිදක්වන තැනට යනවද? නැද්ද වෙනම කාරණයක්.
පහුගිය කාලෙ මම යුනෙස්කෝ එකත් එක්ක වැඩ කළ නිසා ඉන්දියාවෙ, නේපාලයේ සහ බංග්ලාදේශයේ අත්දැකීම් ගැන මට සමීප අත්දැකීම් තියෙනවා. මේ රටවල් තුනේම මාධ්‍ය බහුවිධකරණය අපට වඩා පුළුල්.   තොරතුරු දැනගැනීමේ පනතක් ලෙස අප සාකච්ඡුා කරන කෙටුම්පතට වඩා හොඳ පනත් මේ රටවල ක‍්‍රියාත්මක වෙනවා. මේ තත්වය මෙහෙම වුණේ ඇයි? අපි මේ ප‍්‍රතිසංස්කරණ කරන්න යෝජනා කරන කතිකාවට වඩා වෙනස් තත්වයක් මේ රටවල ඇති වුණා.

ඉන්දියාව, නේපාලය බංග්ලාදේශය කියන්නෙ එක්තරා ප‍්‍රමාණයකට විමුක්ති අරගලවල නිරතවෙලා සමාජ ප‍්‍රතිසංස්කරණ දිනාගත්ත රටවල්. සිවිල් සමාජයේ කොටස් ඒ විමුක්ති අරගලවල යෙදුණා. ඉන්දියානු නිදහස් සටනෙදි, බංග්ලාදේශ නිදහස් අරගලයෙදි ඒ වගේම රාජාණ්ඩුවට එරෙහිව 1992 නේපාලයේ හටගත් අරගලයෙදි සිවිල් සමාජය විසින් කළ දායකත්වයක් තිබෙනවා. ජනමාධ්‍ය නිදහස පිළිබඳ මෙම අරගලවලදි සාකච්ඡුාවක් තිබුණා. නමුත් අපේ කතිකාව ඒ ආකාරයට සමාජගත කරන්න අවස්ථාවක් හිමි වුණේ නෑ. අපට එහෙම කතිකාවක් තිබුණෙ නෑ නෙවෙයි. එක්තරා දුරකට අපේ කතිකාව තිබුණේ ජනමාධ්‍ය සමාජය තුළ පමණයි. මේ කතිකාව සමාජගත වුණේ තොරතුරු දැනගැනීමේ පනත නිසයි. මෙවැනි පනතක් සමාජය හමුවට ආවම විවිධ දේශපාලන පක්ෂවලට සිය ස්ථාවරය ප‍්‍රකාශ කරන්න සිදුවෙනවා.

  • හචින්ස් වාර්තාව

අපට අවශ්‍ය ජනමාධ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කරගැනීම  සඳහා අපේ සමාජයේ පොදු කතිකාවක් අවශ්‍ය වෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයේ මෙවැනි කතිකාවක් ඇති වුණා. ඒ කතිකාව නිසා ප‍්‍රතිඵලයක්  ලෙස ‘හචින්ස් වාර්තාව’ නමැති වාර්තාවක් නිකුත් කෙරුණා. ඒ කාලයේ ජනමාධ්‍ය භාවිතය ගැන ඇති වුණු විවාදය නිසා ‘ටයිම් ’ සහ ‘ලයිෆ්’ සඟරා ප‍්‍රකාශකයා ඉදිරිපත් වෙලා මේ ගැන අදහස් විමසලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා චිකාගෝ සරසවියෙ සභාපති රොබට් හචින්ස්ට ආරාධනා කළා. ටයිම් ආයතනය විසින් ඩොලර් දෙදාහක අරමුදලක් පිහිටුවලා මේ කොමිසම පවක්වාගෙන ගියා. විවිධ අයගෙන්  අදහස් අරගෙන ඔවුන් විසින් ඉදිරිපත් කළ කොමිෂන් වාර්තාව තුළින් ඒ දක්වා ජනමාධය පිළිබඳ පැවැති සම්මතයන් අභියෝගයට ලක් කළා. එක්සත් ජනපදයේ පැවැති ප‍්‍රධාන මතයක් තමයි ජනමාධ්‍ය භාවිතය මුළුමනින්ම නිදහස් වෙළෙඳපොළ අවශ්‍යතා අනුව සිදුවිය යුතු බව. එයින් කියන්නෙ මොකක්ද? මහජන අරමුදල්, නීතිමය නියාමනයන් යොදාගෙන රජයෙන් ජනමාධ්‍ය පාලනය නොකළ යුතුයි කියන අදහසයි. ඒ කියන්නෙ ජනමාධ්‍ය හැසිරවීමේ හිමිකාරීත්වය ව්‍යාපාරිකයන් අත තිබිය යුතුයි කියන එක. එක්සත් ජනපදයෙ ව්‍යවස්ථාව තුළ තිබුණෙත් ජනමාධ්‍ය පාලනය කරන්න නීති පනවන්න බෑ කියන ස්ථාවරයයි. නමුත් හචිසන් කොමිසම විසින් නිර්දේශ කළේ ජනමාධ්‍ය නිදහස කියන එකේ අරමුණ ආණ්ඩුවේ ඇඟිලි ගැසීම්වලින් ජනමාධ්‍ය මුදාගැනීම විතරක් නෙවෙයි, මහජන යහපත පිණිස කටයුතු කරන බවට වගබලා ගන්න ඒවා සකස් කළ යුතුයි කියන එක.
ජනමාධ්‍ය වෙත ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් සිදුවෙන එකට අපි විරුද්ධ වෙන්න  ඕන. ඒ විතරක් නෙවෙයි, දැන් ලංකාවෙ විවිධ බල කණ්ඩායම් ඉන්නවා. ආණ්ඩුව වගේම විවිධ බලපෑම් කරන ජාතිවාදී කණ්ඩායම් ඉන්නවා. පරාජිත දේශපාන බල කණ්ඩායම්වලටත් එවැනි ඇඟිලි ගැසීම් කරන්න හැකියාව තිබෙනවා. අපි කියන ප‍්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණ වියයුත්තෙ මේ හැම ආකාරයකම බලපෑමෙන් ජනමාධ්‍ය නිදහස් කරගැනීමයි.

හචිසන් වාර්තාව විසින් එක්සත් ජනපදයෙදි යෝජනා කළ දෙයක් තමයි ජනමාධ්‍ය තුළ වෘත්තිකභාවය (professionalism) වැඩිදියුණු කිරීම. වෘත්තියමය කාර්යයන්වලදි කාටවත් බලපෑම් කරන්න බෑ. මෙතැනදි ප‍්‍රධාන අදහස් දෙකක් මතු වෙනවා. එකක් සංලේඛ්‍ය නිදහස (Editorial Freedom) තහවුරුකිරීම සහ අනෙක ජනමාධ්‍යවේදීන්ගෙ හැකියාව  වර්ධනය කිරීම.

එක්සත් ජනපදයෙ‘ වොෂින්ටන් පෝස්ට්’ හෝ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත් ගැන කතා කරනකොට ඉදිරියෙන්ම කියැවෙන්නෙ ඒවා සතු වෘත්තීමය ගුණාංග ගැනයි. කාගෙවත් බලපෑමට යටත් නොවී වැඩකරන්න ඒවායේ ජනමාධ්‍යවේදීන් සතු වෘත්තිකභාවය පිළිබඳ ස්ථාවරයන් කිබෙනවා. නමුත් යම් වෙලාවක මේක වෙනස් නොවෙනවා නෙවෙයි. අපි දන්නවා අමෙරිකාව විසින් ඉරාකය ආක‍්‍රමණය කරපු වෙලාවෙ ජනමාධ්‍ය ඒ ගැන විචාරශීලීව බැලූවෙ නෑ. ඒ පිළිබඳ ජනමාධ්‍යකරුවන්ගෙ විවේචනයක් තිබෙනවා. ‘ඇයි අපි වෘත්තිකභාවයෙන් ඈත්වුණේ?’ කියන කාරණය සම්බන්ධව ජනමාධ්‍යවේදීන් විසින් අදහස් පළ කළ ප‍්‍රකාශන පවා තිබෙනවා. දැන් අපටත් අද අවශ්‍යයි, පසුගිය කාලයේ අපේ ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය ගැන පසුවිපරමක්. ඒක එක්තරා ආකාරයකින් ‘ජනමාධ්‍ය සඳහා සත්‍ය කොමිසමක්’ :පැාස් එරමඑය ජදපපසිිසදබ* ලෙස හඳුන්වන්න පුළුවන්. පහුගිය කාලෙ සිදුවුණු දේවල් ඇයි එහෙම වුණේ කියන කාරණය ගැන කතා කරන්න මෙයින් අවස්ථාව ලැබෙනවා. ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යකරුවන්ට එල්ල වුණු බලපෑම ගැන සහ කවුද ඒවට වගකිවයුතු කියන කාරණා සමාජයට ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලෙස ඒක පාවිච්චි කරන්න පුළුවන්.

  • අපට මොකද වුණේ?

ජනමාධ්‍ය පිළිබඳ කොමිසමකදි අවධානයට ලක්කළ යුතු වෙන්නෙ ‘ඇයි අපට එහෙම වුණේ’ කියන කාරණය විතරක් නෙවෙයි. මේවා නැවත සිදුවන එක වළක්වාගන්න අපේ ජනමාධ්‍ය තුළ මොනවද වෙන්න  ඕන ව්‍යුහාත්මක වෙනස්කම් කියන කාරණයත් අවධානයට ගැනීම වැදගත් වෙනවා. ඒක සාකච්ඡුා කරන්න හොඳම ක‍්‍රමවේදය තමයි සත්‍ය කොමිසමක් පිහිටුවා ගැනීම.

මෙන්න මේවා තමයි අපට අවශ්‍ය වෙනස්කම් කියලා කතා කරන්න පුළුවන්. අපි දන්නවා සමහර ජනමාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් හැසිරුණු විධිය. ඇයි එහෙම වුණේ? සමහර ආයතනවල ව්‍යුහාත්මක අඩුපාඩු ඒකට හේතු වුණා. තවමත් ඒවා වෙනස් කරලා නෑ. දැන් අපට හොඳ හිතක් තියෙනවා. එච්චරයි. ඒ නිසා අද අපි ජනමාධ්‍ය නිදහස පිළිබඳ කතාකරන මේ වෙලාවෙ අවධානයට ගතයුතු කාරණයක් තමයි මේ කතාව සමාජ කතිකාවක් බවට පත්කරන එක. මේ ගැන අදහස් දැනගන්න එක සත්‍ය කතාකරන එක වැදගත්. එහෙම සමාජ කතිකාවක් නැතුව සමාජ වුවමනාවක් ඇති නොකර අපට වෙනසක් කරන්න බෑ.

අපේ රටේ තිබෙන ආර්.කේ.ඩබ්. ගුණසේකර  වාර්තාව වැනි දේවල් ප‍්‍රමාණවත්. නමුත් අපේ රටේ විශාල පරිමාණයෙන් පුවත්පත් පවත්වාගෙන යන්න අමාරුයි. ඒ වගේම විවිධ හේතු නිසා සමහර පුවත්පත් ආරම්භක අරමුණුවලින් දුරස් වෙනවා. මෙවැනි කුඩා පරිමාණ පුවත්පත් පවත්වාගෙන යන්න ආධාර දෙන ක‍්‍රමවේදයක් අවශ්‍ය වෙනවා. දැන් ප‍්‍රංශයේ තිබෙනවා එවැනි කුඩා පුවත්පත්වලට මහජන ආධාර ලබාදෙන ක‍්‍රමයක්. ලංකාවෙ ජනමාධ්‍ය ප‍්‍රතිව්‍යුහගතකිරීමේ අවශ්‍යතා දෙකක් මම දකිනවා. එකක් තමයි ජනමාධ්‍යකරුවන්ට හිමි නිදහස, සංලේඛ්‍ය (කර්තෘ මාණ්ඩලික කටයුතු* නිදහස. ජනමාධ්‍ය නිදහස විතරක් නෙවෙයි,  ආණ්ඩුවෙන් වගේම, ජනමාධ්‍ය අයිතිකරුවන්ගෙනුත් එල්ලවන බලපෑමෙන් නිදහස්වන ක‍්‍රමයක් අවශ්‍යයි. සමහර රටවල ඇති නීති අනුව, ජනමාධ්‍ය ආයතනයක අනෙකුත් ජනමාධ්‍යවේදීන්ගෙ අදහස් නොතකා කර්තෘ මණ්ඩල ප‍්‍රධානියකු පත් කරන්න ජනමාධ්‍ය ආයතන හිමිකරුවන්ට බෑ.

  • සංලේඛ්‍ය නිදහස සුරැුකීම

ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමේ අරමුණ වෙනුවෙන් ජනමාධ්‍යයේ සංලේඛ්‍ය නිදහස ආරක්ෂා කිරීමේ නියාමන ක‍්‍රමයක් අවශ්‍යයි. ඒක ජනමාධ්‍ය නියාමනයට නෙවෙයි, දැන් ලංකාවෙ තියෙනවා ආණ්ඩුවේ පුවත්පත් මණ්ඩලය සහ පුවත්පත් පැමිණිලි කොමිසම. මේවගෙ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ආණ්ඩුවේ පුවත්පත් මණ්ඩලය ගැන නම් මම හිතන්නෙ ඒක විසුරුවා හැරිය යුතුයි. මොකද ඒකෙන් ජනමාධ්‍ය නිදහස ආරක්ෂා වෙන්නෙත් නෑ, ජනමාධ්‍යකරුවන්ගෙ සංලේඛ්‍ය නිදහස රකින්නෙත් නෑ. ඉන්දුනීසියාවෙ පුවත්පත් කොමිසම ව්‍යවස්ථාපිත වුණාට ඒකට සාමාජිකයන් පත් කරන්නෙ ජනමාධ්‍ය වෘත්තියේ නියුතු අයයි. ඒ සාමාජිකයන් කෙබඳු අය වියයුතුද කියලා විවිධ ප‍්‍රමිතීන් තිබෙනවා වුණත් පත් කිරීම කරන්නෙ පාලකයන් නෙවෙයි.

සමහර ජනමාධ්‍ය ආයතනවල සේවා ගිවිසුමේම තිබෙනවා ජනමාධ්‍ය ආචාරධර්ම පිළිබඳ කරුණු. අපේ රටේ එහෙම නෑ. ඉතින් අපට අවශ්‍ය වෙන්නෙ මහජනයා සහ ජනමාධ්‍ය ඒකාබද්ධ වෙලා සම නියාමන ක‍්‍රමයක් සකස් කරගැනීමයි.

මෙහිදී අරමුණු තුනක් සපුරාගන්න වෙනවා. ජනමාධ්‍ය නිදහස හා වගකීම තහවුරුකිරීම එයින් එකක්. ඊළඟට ජනමාධ්‍යකරුවන් කෙසේ ක‍්‍රියාත්මක වියයුතුද කියන පැත්තෙන් ආචාරධර්ම පිළිබඳ ප‍්‍රමිතීන් ඇති කිරීම අවශ්‍යයි. ඒ වගේම තුන්වැන්න ලෙස ජනමාධ්‍ය අයිතිය අනවශ්‍ය ලෙස සංකේන්ද්‍රණයවීම වෙනස් කිරීම අවශ්‍යයි. මේ සංකේන්ද්‍රණය කියන්නෙ ව්‍යාපාරික වශයෙන් අයිතිකරුවන් පැත්තෙන් විතරක් නෙවෙයි, මතවාදී පැත්තෙන් පවා එක් පැත්තකට පමණක් සංකේන්ද්‍රණය වෙන්න පුළුවන්. එක සමාන මතවාදයක් දරන පිරිසක් අත ජනමාධය සියල්ල පවතින තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක වළක්වන්න නම් සමහර කුඩා පුවත්පත්වලට ආධාර දෙන ක‍්‍රම අවශ්‍ය වෙයි. මහජන අවශ්‍යතා සපුරාගැනීම පෞද්ගලික අංශයෙන් ඉටුවෙයි කියලා බාරදීලා බලන් ඉන්න බෑ. පෞද්ගලික අංශයේ වගකීමක් තිබෙනවා. නමුත් ඔවුන්ගෙන්
ඒක වෙන්නෙ නැත්නම් වෙනත් ක‍්‍රම තිබිය යුතුයි. මහජන අවධානය හා ක‍්‍රියාකාරීත්වය මෙහිදී වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, පුවත්පත් බෙදාහැරීම යහපත් ලෙස සිදුවෙනවද නැත්නම් ආණ්ඩුවේ පුවත්පත් විතරද හොඳින් බෙදන්නෙ කියන කාරණා සොයා බැලිය යුතුයි.

ඒ වගේම ලංකාවෙ විiුත් ජනමාධ්‍ය සම්බන්ධ  ස්වාධීන නියාමන ක‍්‍රමයක් අවශ්‍යයි. දැන් අපි දන්නවා විiුත් මාධ්‍ය සඳහා තරංග මාලා ලබා දෙන්නෙ බලයට පත්වන එක් එක් අයගෙ උවමනාවටයි. අනෙක් අතට අපේ රටේ ප‍්‍රජා ගුවන්විදුලි සේවා නෑ. මහජන ගුවන්විදුලි සේවා නෑ. ඒවා ගැන අවධානය යොමු වෙන්න  ඕන. දැන් අපි දන්නවා අඩුවෙන් වියදම් කරලා වැඩියෙන් ආදායම් හොයන විiුත් ජනමාධ්‍ය ක‍්‍රමයක් තියෙන්නෙ. ඊට වඩා මහජන පරිමණ්ඩලය පෝෂණය කරගන්න ක‍්‍රමයක් අවශ්‍ය වෙනවා.  මට දැනගන්න ලැබුණා සමහර අය කියනවලූ රාජ්‍ය මාධ්‍ය ආයතනවලින් අපට අවශ්‍ය ලාභදායක ලෙස පවත්වාගැනීම කියලා. ඒකද අපට අවශ්‍ය? මං හිතන විදියට අපට රජයෙ ජනමාධ්‍ය ආයතනවලින් අවශ්‍ය වෙන්නෙ ඒවා මහජනයා සඳහා පවත්වාගෙන යන ආයතන බවට පත්කරගැනීම.

  • ජනමාධ්‍ය අයිතිය කාටද?

යහපත් මහජන සේවා විiුත් ජනමාධ්‍ය ආයතන පවතිනවා නම් රටක විiුත් ජනමාධ්‍ය ප‍්‍රමිතියක් ඇති වෙන්නෙ ඒ තුළින්. ලෝකයේ ඉතාමත් හොඳම වෘත්තිකභාවයක් හා ආවරණයක් පවතින්නෙ බීබීසී වැනි ආයතනවලින්. ඒ ප‍්‍රමිතිය පවත්වාගෙන යාමෙන් අනෙක් ජනමාධ්‍යවලට යහපත් බලපෑමක් වෙනවා. ඉන්දියාවෙ ප‍්‍රජා ගුවන්විදුලි සේවා පිළිබඳ මූලික සාකච්ඡුාවලට දායක වෙන්න යුනෙස්කොව තුළ මට හැකි වුණා. මේ වන විට ඉන්දියාවෙ ‘පංචායත් සභා’ මට්ටමෙන් ප‍්‍රජා ගුවන්විදුලි ආයතන ජනප‍්‍රිය වෙලා තියෙනවා. ඒ නිසා ගුවන්විදුලියේ කතා කරන්නෙ කොහොමද කියන එක විතරක් නෙවෙයි අනෙක් අයගෙ මත ඉවසන්නේ කොහොමද කියන එක ගැන අත්දැකීමක් දෙන්න හැකි වෙලා තිබෙනවා.

එක මතවාදී කණ්ඩායම්වලට සීමා වුණාම අනෙකුත් මත පිළිබඳ සංවාද නැති වුණාම එක කණ්ඩායමකට පමණක් අනෙක් සියලූ දෙනා දක්කගෙන යන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා සමාජය තුළ යහපත් සංවාදයක් පැවතීමට ජනමාධ්‍ය හිමිකාරීත්වය හා සංලේඛ්‍ය නිදහස අවශ්‍ය වෙනවා. දැන් විiුත් ජනමාධ්‍ය කියන්නෙ තරංගමාලා භාවිතයයි. තරංග මාලා කියන්නෙ පොදු දේපළක්. ඒක පටු අරමුණින් පාවිච්චි කරන්න දෙන්න බෑ. මැතිවරණවලදි නම් ජනමාධ්‍යවේදීන්ට ප‍්‍රතිමාන දෙනවනෙ. මම නම් හිතන්නෙ නෑ ඒ විදියට ජනමාධ්‍ය ප‍්‍රමිතින් රකින්න පුළුවන් කියලා. ඒ ඒ ජනමාධ්‍ය විසින් තීරණය කරන්න  ඕන තමන් කොයි තරම් දුරට නිදහස් අදහස් පවත්වාගෙන යන්න දායක වෙනවද නැද්ද කියන එක. ඒ සඳහා ස්වාධීන නියාමනයක් පවත්වාගෙන යන්න පුළුවන්.

අපි 1996 දී ව්‍යුහාත්මක වෙනස්කම් යෝජනා කරලා ඒක නොවුණු නිසා වෙච්ච හානිය ගැන කල්පනා කරන්න වෙන්නෙ පහුගිය කාලෙ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ වෙච්ච දේ ගැන ඇති අත්දැකීම් අනුවයි. රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සිදු වුණා එක් එක් පුද්ගල ප‍්‍රතිරූප නංවන්න වැඩ කරන්න. සමහර අය කැමැත්තෙන් කළත් බොහෝ දෙනා හිටියෙ අකැමැත්තෙන්. ඒ නිසා ව්‍යුහාත්මක වෙනස්කම්වලින් එම තත්වය නැවත ඇති නොවන ලෙස වෙනස් කළ යුතුයි.

සටහන
අජන්තා එම්. ජයසේකර