උතුරේ ඉවරයිද යුද්දය?

යුද සැමරුම ගැන සංතාප සටහනක්

war victory2009 මැයි මසෙ 18 වැනිදා රතිඤ්ඤා හ`ඩ ඇහෙද්දි මම හිටියෙ දෙල්කඳ ‘ලංකා’ කාර්යාලයේ. සොල්දාදුවන් විසින් එල්ටිටීඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගෙ මළසිරුර ඔසවාගෙන යන දර්ශන රූපවාහිනී තිර මත දිස්වෙද්දි වීදිවල හංදි ගානෙ කිරිබත් බෙදන්න පටන් ගත්තා. සමහරු බලහත්කාරයෙන් වාහන නවත්වලා කිරිබත් දුන්නෙ. දහස් ගණනක් මියගිය යුද්ධෙදි මියගිය ‘රණවිරුවන්’ වෙනුවෙන් බැනර් දාපු අයම යුද්ධය අවසන් වෙලාවෙ උමතුවෙන් මෙන් කිරිබත් සාද පැවැත්වුවා.

‘යුද්ධයේ ලේ පිරුණු පත්තර ගොටුවල
සුදුම සුදු පාට මල් දමාගෙන
අපි ආවෙ එහා කොනින්
නාගදීපය වඳින්න‘

පහුගිය කාලෙ යුද්ධය සමරන සමාජයට අමතක වුණු බොහෝ දේ සිහිකැඳවන මේ කවි පද අප වෙත ලියා එව්වේ භාග්‍යා ප්‍රනාන්දු. ඒ කවියෙ යුද්ධයෙන් පසුව ඇතිවුණු තත්වය ගැන බොහෝ දේ කියැවෙනවා.

displaced camp”අම්මපා හැමතැනම ආශ්චර්යය
හරිම අහිංසකයි දෙමළ මිනිස්සු
හ්ම් කියන්නෙත් නෑ
ඔළුව උස්සන්නෙත් නෑ
අම්මපා ඇත්තයි
ආශ්චර්යයි

උන්ගේ ලේ හිඳුණු ඇස්වල
හෙව්වෙමි මම ලද නිදහස
තවම හොටු කබ පෙරෙන යුද්ධයට
බියෙන් ඇකිළ බිම බලාන
ගියා උන් මා දිහා නොබලාම

එහේ තිබුණේ නෑ උද්ඝෝෂණ
මෙහෙ තරම්වත් වැඩවර්ජන
බිම බලන් තම තමන්ගේ වැඩ
බෝම්බත් පිපිරුණු තැනක
මොන එකද අල්පෙනෙති වැටුණම

නිදන අළුයට තිබේ ගින්දර
කොහේ හරි පෙර අසා ඇත මම
කට අරින්නත් බයයි ඇත්තට
උණ්ඩයක් ඇත මටද වෙන්කර”

මෙවැනි කවිවලින් පමණක් පරාජිත දෙමළ සමාජයේ පිළිබිඹුව දකින්නට නොහැකිය.
කම්පාවකින් මේ තත්වය දිහා බැලූවෙ අතළොස්සක් විතරයි. බොහෝ දෙනා ලැබුවාය කියන ජයග‍්‍රහණයකින් උද්දාම වෙලා හිටියෙ. අඩුම ගානෙ එක මිනිහෙක් මැරුණා නෙවෙයි, මිනිස්සු දහස් ගණනක් මිය ගිහින් යුද්ධය අවසන් වුණා කියන අදහස කාටවත් අවධාරණය වෙලා තිබුණෙ නෑ. රාජපක්ෂ ආණ්ඩුව එම නිශ්චිත සිදුවීමෙන් පසුව ජනප‍්‍රියත්වයේ ඉහළටම නැඟ තිබුණා. 2010 ජනවාරිය වනවිට ජනාධිපතිවරණයක් කැඳවලා නැවත පහසුවෙන් බලය ස්ථාපිත කරන්න පුළුවන් කියන නිගමනය කරන්න මහින්ද රාජපක්ෂට හැකි වුණේ ඒ ජනප‍්‍රියභාවය නිසයි.

නමුත් යුද්ධය අවසන් වෙනකොට සිදුවී තිබුුණු ව්‍යසනයේ දිග පළල සමස්ත සමාජයටම අවබෝධ වෙලා තිබුණෙ නෑ. යුද ජයග‍්‍රහණයේ මායා පටල ඉරා දමන්නත් ඇත්තටම වෙන්නෙ මොකක්ද කියන දේ ජනතාවට කියන්නත් පෙළ ගැහුනේ ඉතාමත් අඩු පිරිසක්. 2009 මැයි යුද ජයග‍්‍රහණයේ උන්මාදය පහ වෙමින් තිබියදී ජනමාධ්‍ය ආයතනවලටත් ජනමාධ්‍යවේදීන්ටත් මර්දනයේ අත්දැකීම් විඳින්න සිදු වුණේ ඇත්ත කියන්න දරපු උත්සාහ නිසයි. ඒත් බොහෝ නිර්මාණකරුවන් යුද්ධයේ ඇත්ත ප‍්‍රතිඵල කර්කෂ බව දැන සිටියා. ඒ කියන්නෙ ඔවුන් ජාතික ප‍්‍රශ්නය දේශපාලන අවශ්‍යතා අනුව තොරම්බල් වෙද්දි බිඳවැටුණු මානව සම්බන්ධතා ගැන සංවේදී වුණා. යුද්ධය අවසානයේ ජයපැන් බීලා අත්පත් කරගත්ත භූමියේ විනෝද චාරිකා සහ වන්දනා ගමන් යන මිනිස්සු පරාජිත තමිල් ජනයාට ඇති කළේ තවත් ආගන්තුක බවක්.
home යුද්ධය අවසන්ව බොහෝ දෙනා යාපනේ ටි‍්‍රප් යනවිට එය කෙතරම් විකෘතියක්දැයි වටහාගන්නට ඒ යන බොහෝ දෙනාට සංවේදීභාවයක් තිබුණාදැයි ප‍්‍රශ්නයක් මතු වේ. ඔවුන් නැවත ගම්පළාතට පැමිණ සිය චාරිකාව මහත් අභිරුචියෙන් වර්ණනා කරන විට ඒ අසා සිටියවුන්ද චාරිකාව සඳහා දින නියම කළා මිස තමිල් ජනයාගේ තතු විචාරන්නට ගියේ නැත. 2010 ජූනි මාසයේ එක්තරා දවසක ලියුම්කරුට යාපනයේ හා කිලිනොච්චියේ ගම්මාන කිහිපයක ඇවිදින්නට අවස්ථාව ලැබිණි. විජයග‍්‍රහණය සැමරූ මහින්ද රාජපක්ෂ පාලනයේ රාජපක්ෂ යුද යාන්ත‍්‍රණය විසින් අතුරුදන් කරනු ලැබූ ලලිත් කුමාර් විසින් මඟ පෙන්වනු ලැබූ ඒ ගමන කිසිදා අමතක කළ නොහැකි ලෙස සටහන් විය.

යුද්ධයෙන් විනාශව ගිය මිනිස් වාසස්ථාන හැම තැනම පෙන්වූයේ මළගිය ජනාවාසයකි. ඒ අතර ඇතැම් බිඳවැටුණු නිවහනක ආවරණය වී ‘නැවත පදිංචි වූවෝ’ සිටියහ. යාන්තමට බිත්තියක් දෙකක් ගොඩනංවා එසේත් නැත්නම් ටකරං සහ ලෑලි යොදාගෙන සැකසූ නිවහන් යැයි සිතිය හැකි ආවරණවල මහලූ මව්පියන් සමඟ වැන්දඹු කාන්තාවෝ සහ කුඩා දරුවෝ ජීවිත ගැටගසා ගන්නට යත්න දරමින් සිටියහ.
සන්නද්ධ හමුදා පෙළපාළි පවත්වමින් වෙඩිමුර පත්තුකරමින් ජය සැමරුවේත් අද එය ‘රණවිරු සැමරුම් දිනය’ ලෙස සමරන්නේත් තමිල් ජනයා පරාජිතභාවයක සිටින අතරතුරය. මිලිටරි බලය යොදවා මිනිස් ජීවිත ඉරා දමා ඇති ජන සමාජයක සමරන්නට ඇත්තේ කුමන නම් ජයක්ද? රාජපක්ෂ ආණ්ඩුව කියූ විදියට දේශපේ‍්‍රමී බලවේග ජය ලබා තිබුණේලූ.

sri-lanka-soldiersඑහෙත් මේ ජයග‍්‍රහණය පසුපස වැටුණු සමාජයේ බහුතරයක් ඒ කාට හිමි ජයක්දැයි ප‍්‍රශ්නයක් මතු කළේ නැත. පරාජය කෙරුණේ තමිල් ජනයා වෙනුවෙන් යැයි වෙනම රාජ්‍යයක් පිහිටුවන්නට මරාගෙන මැරෙන්නට පවා තීරණය කළ තරුණ ගරිල්ලන් පිරිසකි. ඒ නිසා වාර්ෂිකව මැයි 19 වැනිදා සමරන ජය ඇත්තේ තමිල් ජනයාට නොවේ. එසේම ඒ ජය කුසගින්නේ නගර වීදියක සිඟා යදින මිනිස්සුන්ට අයත් නොවේ. ජීවත් වෙන්නට සොච්චමක් ලබමින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වීදි බසින කම්කරුවන්ට කැරලි මර්දන හමුදා යොදා පහර දෙන පරිසරයකදී ඔවුන්ට ද දැනගන්නට ලැබෙන්නේ තමන්ට දැන් ජය වෙනුවට හිමිව ඇත්තේ පරාජය බවයි. අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙළපාළි යන ශිෂ්‍යයන්ට බැටන් පහර එල්ල කරන ආකාරයට ඔවුන් ලබා ඇත්තේ ජයක් නොවන බව පැහැදිලිය. ඒ ජය හිමිව ඇත්තේ පහර දෙන යුද හමුදාවට හෝ පොලිසියට හෝ වීදි සටන්, උද්ඝෝෂණ ඇතුළු ජනතා සටන් ගැන ඔත්තු සපයන ආරක්ෂක සේවා ඔත්තුකාරයන්ට ද නොවන බව පැහැදිලිය.

මන්ද යත්, යුද ජයග‍්‍රහණයෙන් පසුව කඳ බඩ මහත්ව තර වූයේ ඒ කිසිවකු නොවන බැවිනි. යුද්ධය සමයේ බැංකු ගිණුම් තර කළේ ද ඔවුන් කිසිවකු නොවේ. විසල් මන්දිර ගොඩනැඟුවේ කවුරුන්දැයි ජනතාව දනී. අලූතින් මිල අධික සැප කාර් ගෙන්වූයේ කවුරුන්දැයි හැමෝම දන්නා සත්‍යයකි.

යුද්ධය අවසන් කරනතුරු පටි තද කරගන්න කියා ජනතාව කියූ පාලකයන් යුද්ධය අවසන් වන විට මර්දනය දකුණට ගෙන ආ බව කෙසේ අමතක කළ හැකිද? යුද්ධය ජයගෙන ඇතිකරගත් කීර්තියෙන් උපයාගත් කොටසක් ලෙස තර කෙරුණු ‘රණවිරු අරමුදල’ පවා වංචනික ලෙස කොල්ලකෑ පාලකයන් විසින් හමුදා බලය යෙදවූයේ ජනතා සටන් මර්දනයටයි.

18th mayහලාවත ඇන්ටනි ධීවර තරුණයා හමුදා වෙඩි පහරින් මියගියේ ඉන්ධන සහන ධීවරයන්ට දෙන ලෙස ඉල්ලා සිටි වරදටය. කටුනායක වෙළෙඳ කලාපයේ දී රොෂේන් චානක වෙඩි කෑවේ තමන්ට හිමි වැටුපෙන් කපාගෙන පිහිටුවාගත් අරමුදලේ හිමිකම වෙනුවෙන් හ`ඩනැගූ වරදටය. රතුපස්වලදී තරුණයන් තිදෙනෙක් දිවි පිදුවේ කම්හලක අපජලයෙන් භූ ජලය අපවිත‍්‍ර කිරීමට එරෙහිව ජනතාව පෙළ ගැස්වූ විරෝධතාවකට වෙඩි තැබූ අවස්ථාවේදීය.

මෙවරත් නැවත වතාවක් යුද්ධ ජයග‍්‍රහණය වෙනුවෙන් කෙරෙන රාජ්‍ය උත්සවයක් මාතර නගරයේ දී පැවැත්වීමට නියමිතයි. වෙනදා රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කළේ යුද ජයග‍්‍රහණයේ දිනය ලෙස ඍජුව පවසමින් සිය ව්‍යාජ දේශපේ‍්‍රමී ඇඳිවත අලූත් කරපු එකයි. මෙවර එය ‘රණවිරු දිනය’ ලෙස නම් කර තිබෙනවා. ඒ අතර හමුදා ආචාර පෙළපාළියක් සහ වෙනත් කාරණා සිදුකරන්නට නියමිතයි. මේ වෙනුවෙන් මුද්‍රිත ඇරයුම්පත නිමැවී ඇත්තේ පැරණි රාජ සමයේ සිටියා යැයි සිතෙන සෙබළ රුවක් හා පුන් කලසක් සහිතවයි. එය මුද්‍රණය කරන්නට අධික වියදමක් දරා ඇති බව නිසැකයි. මෙවැනි නාස්තිකාර කටයුතුවලින් පෙනෙන්නෙ දකුණේ ජනතාව බොරු දේශපේ‍්‍රමයක ගාල්කර තබන්නට ඇති සූදානමයි. ඒ වෙනුවට දකුණේ සහ උතුරේ ජනතාව පෙළන තත්වයන් වෙනස් කරන්නට අලූත් යැයි කිව හැකි එහෙත් පරණ ආණ්ඩුවේ පාරෙම යන නායකයන් සූදානම් නැති බවත් පැහැදිලියි.

චන්දන සිරිමල්වත්ත