අලූත් ඡන්ද ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයටද? ඒකාධිපතිත්වයටද?

north election19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත කිරීම සඳහා පසුබිම් සකස් වෙමින් තිබේ. නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබාගන්නා ලදී. දන්නා ආකාරයට එයට එරෙහිව වචනයක් හෝ කතා කර ඇත්තේ රවුෆ් හකීම් ඇමැතිවරයා පමණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මෙන්ම මෙයට ද එජාපයේත් ශ‍්‍රීලනිපයේත් ඒ පක්ෂ දෙකට පන්දම් අල්ලන අනිත් පක්ෂවලත් සහාය ලැබීමට නියමිත බව පෙනේ. පසුගිය ඉරිදා පුවත්පත්වලට අනුව නම් මේ සකස් කර ඇත්තේ ඉතිහාසයේ අති විශිෂ්ටතම ලියකියවිල්ලයි. එය ප‍්‍රශ්න කිරීම පවා පාපකර්මයක් ලෙස සැලකේ. කෙසේ වෙතත් අති පූජනීය ලෙස සැලකුණු 19 වැනි සංශෝධනය විවේචනය කිරීමට ද බිය නොවූ අපට 20 වැනි සංශෝධනයේ ප‍්‍රශ්න ගැන ඉතා විවෘතව කතා කිරීමට බයක් නැත.

නව මැතිවරණ ක‍්‍රමය ගැන කතා කිරීමට පෙර ඒ ගැන ජනාධිපතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ දී වත්මන් ආණ්ඩුවේ ලොක්කන් කළ ප‍්‍රකාශ කිහිපයක් දෙස අවධානය යොමු කරමු.

01. මේ මැතිවරණ ක‍්‍රමය දූෂිතය, අසාධාරණය, ප‍්‍රචණ්ඩය. එබැවින් එය වෙනස් කර නව මැතිවරණ ක‍්‍රමයක් ගෙන ආ යුතුය.
02. වත්මන් මැතිවරණ ක‍්‍රමයේ සකලවිධ දුරාචාරවලට හේතුව මනාප ක‍්‍රමයයි. මනාප ක‍්‍රමය වහා අහෝසි කිරීම අලූත් සංශෝධනයේ අරමුණයි.
03. පවතින ක‍්‍රමය යටතේ කොට්ඨාසවලට වගකියන මන්ත‍්‍රීවරුන් නැති නිසා එය වෙනස් කිරීමට කටයුතු කෙරේ.
04. මනාප ක‍්‍රමය පමණක් නොව සමානුපාතික නියෝජන ක‍්‍රමය ද අහෝසි කළ යුතුය.  19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක ජනාධිපති සතු බලතලවලින් වැඩි කොටසක් ඉවත් කළ විට නිර්මාණය වන අරාජිකත්වය නැතිකිරීම සඳහා තනි පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගත හැකි ආකාරයේ නව ඡුන්ද ක‍්‍රමයක් අවශ්‍ය වේ.
05. පවතින ක‍්‍රමය තුළ දිස්ත‍්‍රික්කයටම ලැයිස්තුවක් නොදා ගම් මට්ටමේ ක‍්‍රියාකාරීන්ට දේශපාලනය කළ නොහැක.

මෙසේ ඉදිරිපත් කළ හේතුවල ද බරපතළ නොමඟ යැවීම් තිබේ.ඒ ගැනත් ඉතා කෙටියෙන් හෝ සාකච්ඡුා නොකර අපට 20 වැනි සංශෝධනය ගැන කතා කළ නොහැක.

01. මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතු බවට විවාදයක් නැත. මේ මැතිවරණ ක‍්‍රමය තුළ ජයග‍්‍රහණ හිමිවන්නේ වැඩිම මුදලක් වියදම් කරන, මාධ්‍ය හැසිරවීමේ හෝ මිල දී ගැනීමේ බලය සහිත, මැර බලය-පවුල් බලය සහිත පුද්ගලයන්ටය. ඇත්තටම මැතිවරණයක දී අවසාන වශයෙන් ගැනෙන්නේ දේශපාලන ප‍්‍රතිපත්තියයි. ඉතිරි සියල්ල ඇත්තේ ඊට ඉහළිනි. මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් විය යුතුය. නමුත් 20 වැනි සංශෝධනයෙන් ඒ කිසිවක් වෙනස් වන්නේ නැත. මැතිවරණ ක‍්‍රමය වෙනස් වන්නේ නැත. වෙනස් වන්නේ නියෝජන ක‍්‍රමයයි. වෙනත් නියෝජන ක‍්‍රමයක් යටතේ මුදල් බලය – මාධ්‍ය බලය – මැර බලය – පවුල් බලය රජ කරන අයුක්ති සහගත මැතිවරණ ඉදිරියේ දී දැකිය හැකි වනු ඇත.

02. ලංකාවේ දේශපාලන සංස්කෘතියේ ඇති සමස්ත ප‍්‍රශ්නය මනාප ක‍්‍රමයට කොටු කිරීම ඉතා ජනප‍්‍රියතම ප‍්‍රවේශයකි. සියලූ කුණු බේරුවල් බොක්කට කියූ සේ සියලූ මැතිවරණ දූෂණ හා ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ වගකීම පවරා ඇත්තේ මනාප ක‍්‍රමයටය. මෙහි සඟවන කරුණු 2 ක් ඇත. පළමුවැන්න, මනාප ක‍්‍රමය හා සමානුපාතික නියෝජන ක‍්‍රමය යනු එකක් නොවේ. මනාප ක‍්‍රමය අහෝසි කිරීමට සමානුපාතික ක‍්‍රමය නැති කළ යුතු නැත. ලංකාවේ උදාහරණය ගත්තත් සමානුපාතික නියෝජන ක‍්‍රමය හඳුන්වාදෙනු ලැබුවේ 1978 දී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් වන අතර එහි මනාප ක‍්‍රමයක් තිබුණේ නැත. මනාප ක‍්‍රමය හඳුන්වාදෙනු ලැබුවේ 1988 දී සම්මත කරන ලද 14 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟිනි. දෙවැන්න, දූෂිත මැතිවරණ සංස්කෘතියේ හේතුව මනාප ක‍්‍රමය නොවේ. මනාප ක‍්‍රමය අහෝසි කළ විට එකම පක්ෂයේ සාමාජිකයන් ගහමරා ගැනීම නතර කළ හැකි බවට තර්කයක් වෙතත් එකිනෙකට වෙනස් පක්ෂවල අපේක්ෂකයන් මරාගැනීම එයින් නතර වේද? හොර ඡුන්ද දැමීම නතර වේද?

03. මුළු දිස්ත‍්‍රික්කයටම නොව කොට්ඨාසයකට තරග කරන අපේකෂ්කයන් සිටින විට මුදල් බලය තීරණාත්මක නොවන බවට නඟන තර්කයේ කිසිදු පදනමක් නැත. සිදුවිය හැක්කේ දැන් දිස්ත‍්‍රික්කයක් සඳහා වියදම් කරන මුදල අදාළ අපේක්ෂකයා විසින් එක් කොට්ඨාසයකට, සීමිත ප‍්‍රදේශයකට වියදම් කිරීමයි. නිදසුනක් ලෙස පසුගිය මැතිවරණයක දී කුරුණෑගල දිස්ත‍්‍රික්කයටම සාරි හා දුරකථන බෙදූ අහවල් සිරිසිරි මැතිතුමා ඒ මුළු සාරි හා දුරකථන තොගයම නිකවැරටිය ආසනයට බෙදුවොත්? කොළඹ දිස්ත‍්‍රික්කයටම බෙදන සල්ලි අහවල් සිල්වා ඇමැතිතුමා කොළොන්නාවට විතරක් බෙදුවොත්? සිදුවිය හැක්කේ ජනමතය සල්ලි වැස්සකට වැසීයාම තවදුරටත් වර්ධනය වීම මිස ප‍්‍රශ්නය විසඳීම නොවේ.

04. ඇත්තටම 20 වැනි සංශෝධනය හරහා පාලකයන් කරන්නේ ජනතාවගේ බලය නොව තමන්ගේ බලය වැඩි වැඩියෙන් තර කරගැනීමය. පොරොන්දු වූයේ 19 වැනි සංශෝධනය හරහා විධායක බලය දුර්වල කරන අතර එය තුලනය කිරීමට මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමකි. දැන් වෙන්නේ විධායක බලය සුළු සුළු වෙනස්කම් සහිතව වුවත් පෙර පරිදිම බලවත්ව තිබෙන අතර මැතිවරණ ක‍්‍රමයද තනි පක්ෂයකට හිමිවන සේ වෙනස් කිරීමකි. මේ සිදු වන්නේ ජේ.ආර්. 1978 දී නව ව්‍යවස්ථාවක් හරහා ද මහින්ද 2010 දී 18 වැනි සංශෝධනය හරහා ද කළ පරිදි රාජ්‍යය අලූත් වටයකින් ශක්තිමත් කිරීමකි. වෙනදා පාලකයන්ගේ බලය ශක්තිමත් වූයේ ජනතාවගේ විරෝධය මැදය. අද එය සිදු කරන්නේ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයක්’ ලෙස නාමකරණය කරමිනි. 20 වැනි සංශෝධනය මෙතරම් අඩු ප‍්‍රතිවිරෝධයක් සහිතව සම්මත කරගැනීම පාලක පන්තියේ ජයග‍්‍රහණයක් වන අතර පෑගෙන පන්තීන්ගේ ඓතිහාසිික පරාජයකි.

05. කැබිනට් අනුමැතිය ලැබී ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට අනුව පොරොන්දු වූ ආකාරයට ගමේ සිටින සමාජ ක‍්‍රියාකාරීන්ට, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ප‍්‍රජා නායකයන්ට තනිවම වුවත් තරග කර ඒ ගමේ ජනතාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවන්නේ නැත. නව මැතිවරණ ක‍්‍රමය තුළ ද කිසිවිටෙකත් තනි පුද්ගලයකුට අපේක්ෂකයකු ලෙසත් ඉදිරිපත් විය නොහැක. අවම වශයෙන් දිස්ත‍්‍රික් ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා එජාපය නිතරම කියන ‘ගම් මට්ටමේ – බිම් මට්ටමේ’ නායකත්වය ජාතික නායකත්වයක් දක්වා ඔසවා තැබීම කඩවුණු පොරොන්දුවක් බවට පත් වී ඇත.
සාමාන්‍ය ජනතාවට නොව නීති විශාරදයකුට පවා වටහා ගැනීමට අසීරු ලෙස ලියා ඇති 20 වැනි සංශෝධනය මඟින් යෝජනා කර ඇති නව මැතිවරණ ක‍්‍රමය කුමක්දැයි මඳක් විමසා බලමු. මෙම නව මැතිවරණ ක‍්‍රමයට අනුව දැනට 225 ක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සංඛ්‍යාව 255 ක් බවට පත් වේ. එහිදී වර්ග තුනක අපේක්ෂකයන් සිටී. ඇත්තටම කියන්නේ නම් හැම පක්ෂයකටම අපේක්ෂක ලැයිස්තු තුනක් ඇත. පළමුවැන්න කොට්ඨාස පදනමෙන් තෝරාගන්නා අපේක්ෂකයන්ය. එවැනි මන්ත‍්‍රීවරුන් 165 කි. දෙවැන්න දිස්ත‍්‍රික්කය තුළ ලැබෙන ඡුන්ද ප‍්‍රමාණයට අනුව සමානුපාතික නියෝජනයෙන් තේරීපත් වන අපේක්ෂක ලැයිස්තුවකි. එමඟින් තෝරා ගන්නා මන්ත‍්‍රීවරුන් ගණන 31 කි. මීට අමතරව එක් එක් පක්ෂ සමස්ත රටෙන්ම ලබාගන්නා ඡුන්ද ප‍්‍රමාණය මත මන්ත‍්‍රීවරු 59 දෙනකු පත්වන ජාතික ලැයිස්තුවක් ද ඇත. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිරී ඇත්තේ මෙලෙස මන්ත‍්‍රීවරුන් තෝරන ගණිත සූත‍්‍රවලිනි. අපි ඒ ගැන වඩාත් හොඳින් තේරුම් ගැනීමට උදාහරණයක් සලකා බලමු.

සරලම උදාහරණයක් ලෙස මොනරාගල දිස්ත‍්‍රික්කය ගත හැක. එක් එක් දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡුන්ද සංඛ්‍යාව අනුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඒ ඒ දිස්ත‍්‍රික්කයට හිමිවන උපරිම මන්ත‍්‍රී ආසන ගණන ගණනය කරයි. අප උදාහරණයක් ලෙස ගත් මොනරාගල දිස්ත‍්‍රික්කයට ඒ අනුව මන්ත‍්‍රී ආසන පහක් හිමි වේ. නමුත් මොනරාගල ඇත්තේ මන්ත‍්‍රී ආසන 3 ක් පමණි. ඒ බිබිල, වැල්ලවාය හා මොනරාගලයි. නව මැතිවරණ ක‍්‍රමයට අනුව සෑම පක්ෂයක්ම දිස්ත‍්‍රික්කයට හිමි උපරිම මන්ත‍්‍රී ධුර සංඛ්‍යාවට වඩා තිදෙනකු වැඩිපුර යෙදූ අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව නිදසුනක් ලෙස එජාපය මොනරාගල දිස්ත‍්‍රික්කයට අපේක්ෂකයන් අට දෙනකුගෙන් නාම යෝජනාව ඉදිරිපත් කළ යුතුය. ඒ අට දෙනා වර්ග දෙකකට අයත්ය. තිදෙනකු ඉදිරිපත් වන්නේ බිබිලට, වැල්ලවායට හා මොනරාගලට ලෙසිනි. ඔවුන් ඡුන්දය ඉල්ලන්නේ එම කොට්ඨාස නියෝජනය කිරීමටය. ඉතිරි පස්දෙනාට කොට්ඨාසයක් නැත. ඔවුන් දිස්ත‍්‍රික්කය පුරා ප‍්‍රචාරක කටයුතු කරමින් හැමතැනින්ම ඡුන්දය ඉල්ලිය යුතුය. එහෙත් ඡුන්දය ඉල්ලිය යුත්තේ පක්ෂයටය. තමන්ට නොවේ. මන්දයත් මනාප ක‍්‍රමය නැති හෙයිනි. මේ උදාහරණයට අනුව එජාපය බිබිල ආසනය ජයගන්නේ යැයි සිතමු. ඉතිරි ආසන දෙක සන්ධානය ජයගත්තා යැයි ද සිතමු. එවිට බිබිල ආසනයෙන් ඡුන්දය ඉල්ලූ එජාප අපේක්ෂකයාට අනිවාර්යෙන්ම මන්ත‍්‍රී ධුරය හිමි වේ. ඉන් අනතුරුව දිස්ත‍්‍රික්කයෙන්ම ලැබූ ඡුන්ද ප‍්‍රමාණයට අනුව ආසන 5 න් 2 ක් එජාපයට හිමිවන්නේ නම් ඉතිරි කෙනා ලෙස අපේක්ෂක ලැයිස්තුවෙන්  ඕනෑම කෙනකු පත්කිරීමේ බලය එජාප මහලේකම්ට හිමි වේ. මීට අමතරව එජාපය මුළු ඡුන්ද ප‍්‍රමාණය සලකා ජාතික මන්ත‍්‍රී ධුර 59 න් යම් ප‍්‍රමාණයක් ඔවුන්ට හිමි වේ. එය තෝරා ගන්නේ ද පක්ෂ ලේකම්වරයායි. නව මැතිවරණ ක‍්‍රමය එබඳුය.

මේ නව මැතිවරණ ක‍්‍රමය මොන දර්ශනයෙන් ගත්තත් ඉතා විහිළු සහගතය. ධනේශ්වර මැතිවරණවල ඇති අසාධාරණය හා බොරුව ප‍්‍රශ්න කිරීම පසුවට තබා අපි පාසලේ දේශපාලන විද්‍යාව පෙළපොත්වල ඇති මූලධර්ම ගැන ප‍්‍රශ්න කිහිපයක් අසමු. ඒ මේ විහිළුව තවත් රසවත් කරගැනීම සඳහාය.

1. දිස්ත‍්‍රික් ලැයිස්තුවල කොට්ඨාසයක් ඇති හා නැති අපේක්ෂකයන් ලෙස වර්ග දෙකක් ඇති නිසා සියලූ අපේක්ෂකයන් සමාන විය යුතුය යන එම මූලධර්මය උල්ලංඝනය වී නැද්ද?
2. කොට්ඨාසයක් නැති පිරිස දිස්ත‍්‍රික්කය පුරා ඇවිදිමින් තම පක්ෂය වෙනුවෙන් අතේ මුදලින් ප‍්‍රචාරක කටයුතු කරන තරමට එජාපයේ හා ශ‍්‍රීලනිපයේ දේශපාලන සංස්කෘතිය වෙනස් වී තිබේද? (එතරම් විශිෂ්ට පාක්ෂිකභාවයක් ඇත්නම් මෙතරම් පිල් මාරු සිදුවන්නේ ඇයි?)
3. කොට්ඨාස හිමි නොවන ලැයිස්තුවෙන් මන්ත‍්‍රීවරු තෝරා ගන්නා ක‍්‍රමවේදය කුමක්ද? (එය පැහැදිලි නැත.)
4. දිස්ත‍්‍රික් සමානුපාත ක‍්‍රමයෙන් ලැබෙන මන්ත‍්‍රී ධුර කොට්ඨාසවලට ඡුන්දය ඉල්ලා පරාජය වන අපේක්ෂකයන්ටත් ලැබෙන්නේද? (එය පැහැදිලිව සඳහන් කර නැත.)
5. පසුගිය ජනාධිපතිවරණයේ දී පුත්තලම දිස්ත‍්‍රික්කයේ එජාපයට ඡුන්ද 202,073 ක් ද සන්ධානයට ඡුන්ද 197,751 ක් ද ලැබිණි. නමුත් මැතිවරණ කොට්ඨාස 5 න් එජාපය ඡුන්දය ජයගත්තේ පුත්තලම ආසනය පමණි. හලාවත, නාත්තණ්ඩිය, ආනමඩුව, වෙන්නප්පුව යන ආසන 4 ම ජයගත්තේ ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයයි. නමුත් ඡුන්ද ප‍්‍රතිශතයට අනුව දිස්ත‍්‍රික්කයකට වෙන් කළ ආසන 8 න් 5 ක් එජාපයටත් 3 ක් සන්ධානයටත් හිමිවේ. නමුත් සන්ධානයේ 4 දෙනකු ආසන ජයග‍්‍රහණය කර ඇත. එවිට ජයගත් කෙනෙක්ටත් මන්ත‍්‍රී ධුරය අහිමිවේද? (කෙටුම්පතේ මෙය පැහැදිලි කර නොමැත)
6. පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරු 255 න් ඍජු මහජන ඡන්දයෙන් තේරී පත්වන්නේ මන්ත‍්‍රීවරු 165 ක් පමණි. ඉතිරි 90 දෙනා විවිධ ගණිත සූත‍්‍ර මඟින් තෝරා ගැනෙන අතර ඔවුන් තේරීමේ අවසන් බලධාරියා පක්ෂ ලේකම්වරයාය. පාර්ලිමේන්තුවෙන් 35.29% ක්ම (නැතහොත් තුනෙන් එකකටත් වඩා) පක්ෂවල නායකයන් විසින් තෝරන තත්වය රනිල්ලා මෛත‍්‍රීලාම කියන ජනතා පරමාධිපත්‍යය සමඟ ගැළපෙන්නේ කෙසේද?
7. එජාප, ශ‍්‍රීලනිප, ජවිපෙ වැනි පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය කප්පාදු කෙරුණු තත්වයක් තුළ මෙවැනි පාර්ලිමේන්තුවක් මඟින් අනාගතයේ දී මතුවිය හැකි ගැටලූ ගැන වග කියන්නේද?
8. දිස්ත‍්‍රික්කයේ මුළු ඡුන්ද ගණනින් ද රටේ මුළු ඡුන්ද ගණනින් ද ගෙන එකම ආකාරයෙන් පක්ෂ ලේකම්වරයා විසින් තෝරාපත් කිරීම සඳහා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කිරීමේ අර්ථය කුමක්ද?
9. මෙමඟින් දැනට මැතිවරණ ක‍්‍රමයේ පවතින දූෂණ, අක‍්‍රමිකතා, ප‍්‍රචණ්ඩත්වය රාජ්‍යය දේපළ අවභාවිතය, මුදල් බලය -මාධ්‍යය බලය භාවිතය, මැර ක‍්‍රියා ආදිය නතර වන්නේ කෙසේද?
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ මේ එක ප‍්‍රශ්නයකටවත් පිළිතුරක් නැත. සිදුකර ඇත්තේ අටුව කඩා පුටුව සෑදීමකි. ප‍්‍රශ්නය විසඳෙන්නේ එළුවාගේ බෙල්ල කපා මුට්ටියත් බිඳින මහදැන මුත්තා වර්ගයේ ‘මිශ‍්‍ර නියෝග’වලින් නොව ධනය – බලය – මාධ්‍ය මත පදනම් වූ මේ අසාධාරණ මැතිවරණ ක‍්‍රමයම වෙනස් කිරීමෙනි.

සුධීර ප‍්‍රභාෂ්වර