විද්‍යා අශ්වයාගේ කොන්ද කැඩූ පිදුරු ගසද?

vidyaපසුගිය සතියේ බොහෝ පුවත්පත්වල මුල් පිටු සැරසී තිබුණේ හින්දු දෙවඟනකගේ වැනි මුහුණක් ඇති, පාසල් නිල ඇඳුමෙන් සැරසුනු දැරියකගේ ඡුායාරූපයෙනි. ඇය තවදුරටත් අප අතර නැති සිවලෝගනාදන් විද්‍යාය. විද්‍යා යාපනය, කයිට්ස්, පුන්කුඩුතිව් ප‍්‍රදේශයේදී මරා දමනු ලැබුවේ සමූහ ලිංගික හිංසනයකට ලක්කිරීමෙන් අනතුරුවය. ඇගේ ඝාතකයන් ආරක්ෂා කිරීමට හා එක් සැකකරුවකු විදේශගත කිරීමට පොලිසිය හා නීතිඥයන් කටයුතු කරන බව කියමින් යාපනය නගරයේ පැවැති හර්තාලය අවසන් වූයේ උද්ඝෝෂකයන් යාපනය උසාවියට, යාපනය පොලිසියට හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට පහරදීමෙන් අනතුරුවය. එම උද්ඝෝෂණයෙන් පසුව පොලිසිය 127 දෙනකු අත්අඩංගුවට ගත් අතර යාපනයේ උද්ඝෝෂණ තහනම් කර අධිකරණ නියෝගද නිකුත් විය.

යක්ෂයා සිය කටයුතු ආරම්භ කළේ ඉන් අනතුරුවය. පසුගිය ඉරිදා දිවයින පුවත් පත මෙම සිදුවීම පිළිබඳ ජාතිවාදී අදහස් රැුගත් ලිපියක් පළකර තිබිණි. එම ලිපියට අනුව යාපනයේ උද්ඝෝෂණ එල්.ටී.ටී.ඊ.ය නැවත නැඟිටීමේ පියවරකි. මේ උද්ඝෝෂණය පිටුපස ඇත්තේ ත‍්‍රස්තවාදී වැඩපිළිවෙළකි. මාධ්‍ය එසේ පවසන අතර චම්පික රණවක ඇමැතිවරයා පවසා තිබුණේ මේ සිදුවීම භාවිත කර එල්.ටී.ටී.ඊ. සංවිධානය නැඟී සිටීමට උත්සාහ කරන බවයි. මෙම ද්වේශ සහගත ප‍්‍රචාරවල ඉහළම ලක්ෂණය වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප‍්‍රකාශයකි. මොරටුව මහබෝමළුවේදී ඔහු පැවසුවේ මේ සිදුවීම මුවාවෙන් එල්.ටී.ටී.ඊ.ය මහවිරු දිනය සැමරූ බවයි. ත‍්‍රස්තවාදීන්ට හිතේ හැටියට නටන්නට ඉඩදී ඇතැයි ඔහු ආණ්ඩුවටද චෝදනා කළේය. විද්‍යාට ලිංගික හිංසනයක් සිදුකිරීමත් ඇය මරාදැමීමත් යටපත් වී එයට එරෙහිව කළ උද්ඝෝෂණය ගැන මාතෘකා මැවුණේ ඊට පසුවය. ජාතිවාදී අදහස් මතුකළ හැමදෙනාම උත්සාහ කළේ මේ සිදුවීම භාවිතකර තමන්ගේ දේශපාලන අභිප‍්‍රායන් සපුරා ගැනීමටය.

මේ අදහස් සම්පිණ්ඩනය කර බලන විට පෙනී යන්නේ යාපනයේ ජනතාව දැරිය මරාදැමීමේ සිදුවීමත් සමඟ කම්පනයට පත්වීම හා සාමූහික උද්ඝෝෂණ ක‍්‍රියාවලියකට ඉදිරිපත් වීම අස්වාභාවික තත්වයක් හා විය හැක්කක් ලෙස මේ අය හිතන බවය. ඇත්තටම යාපනයේ සිදුවූයේ ඇදහිය නොහැකි සිදුවීමක්ද එසේත් නැතිනම්  ඕනෑම සක‍්‍රීය ප‍්‍රජා සමාජයක සිදුවිය යුතු දෙයක්ද? නවලිබරල් ධනවාදයේ නිර්දේශපාලනිකරණ ව්‍යාපෘතිය තුළ දශක තුනකට වඩා ගතකර ඇති දකුණේ සමාජයට එය පුදුමයක් සේ පෙනීයාම ගැන අප පුදුම වන්නේ නැත. නිරෝගී ප‍්‍රජා සමාජය යනු සක‍්‍රීය සමාජයක් නොව නිහඬ හා අක‍්‍රීය සමාජයක් යැයි සිතන්නට අප පුරුදු කර තිබේ. විද්‍යාගේ සිදුවීම ලංකාවේ මේ ආකාරයේ ප‍්‍රථම සිදුවීම නොවේ. ඒවා නිරන්තරයෙන් සිදුවේ. වඩාත් ප‍්‍රකට උදාහරණයක් ගන්නේ නම් අපට අකුරැුස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සිහිපත් වනු ඇත. අකුරැුස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දැරියන් හා ස්ත‍්‍රීන් 99 දෙනකු ලිංගික බලහත්කාරයට ලක්කර සිය ‘ශතකය’ සමරනු ලැබුවේ 13 හැවිරිදි කුඩා දැරියක් පැහැරගෙනවිත් බලහත්කාරයෙන් සමූහ ලිංගික ක‍්‍රියාවන්ට යොදා ගනිමිනි. මේ තරම් ඛේදජනක සිදුවීමකින් පසුවත් සමාජය අවදි වූයේ නැත. එම සිය දෙනාට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් පාරට බැස්සේ නැත. උද්ඝෝෂණ සිදුකෙරුණේ අදාළ ප‍්‍රාදේශීය දේශපාලන බලවතා නිදහස් කරගැනීමටය. අවම වශයෙන් ‘සාරුවා සුනිල් නිදහස් කරනු’ යනුවෙන් සඳහන් බැනරයක් කපා දැමීමට තරම් මහජන ක‍්‍රියාකාරීත්වයක්වත් තිබුණේ නැත. යාපනයේ සිදුවීමේදී සමාජය හැසිරුණු ආකාරය වැරදි යැයි බණ දේශනා කරන අයගෙන් අපට අසන්නට ඇත්තේ ‘අකුරැුස්සේදී සමාජය හැසිරුණු ආකාරය නිවැරදිද’ යන පැනයයි.

president1මෙම සිදුවීමට සමාජයේ ඇති ප‍්‍රතිචාර දෙආකාරය. එක පිරිසක් කරන්නේ උද්ඝෝෂණ කොරහේ ත‍්‍රස්තවාදී කිඹුලන් දැකීමය. ඔවුන් සිතන ආකාරයට කුමන හෝ ජනතා ක‍්‍රියාකාරීත්වයක් යනු කුමන්ත‍්‍රණකාරී සිදුවීමකි. අනෙක් පිරිස කරන්නේ ජනතාව පොලිසියට පහරදීම ගැන, උසාවියට පහරදීම ගැන සතුටුවීමයි. මෙම ප‍්‍රතිචාර දෙකම සමාජයක් ලෙස අප ගොඳුරුවී ඇති අශිෂ්ටත්වයේ ගැඹුර පෙන්වයි. අප මේ පිළිබඳව වෙනත් ආකාරයකින් ප‍්‍රවේශවිය යුතුය. එකක් යාපනයේ උද්ඝෝෂණය එල්.ටී.ටී.ඊ. සැලැස්මක් යැයි සැකකිරීම වෙනුවට මේවා අතර හේතුඵල සම්බන්ධය සෙවිය යුතුය. උද්ඝෝෂණය සඳහා උත්පේ‍්‍රරණය ඇති වන්නේ දැරිය ලිංගික බලහත්කාරයට ලක්කර මරාදැමීමත් සමඟය. එම ජනතා කෝපය අපට තේරුම්ගත හැක. අනෙක මෙවැනි පරීක්ෂණ සම්බන්ධයෙන් පොලිසිය කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බවට ජනතාව තුළ වන ආකල්පයද අපට තේරුම්ගත හැක. යුද්ධයෙන් පසු ගෙවීගිය වසර 6 තුළ උතුරේ සමාජය සිටියේ බලවත් පීඩාවක ගොදුරු බවට පත්වෙමිනි. සිටියේ යටත් භාවයකය. එම සඟවාගෙන තිබූ පීඩනය පුපුරා යාමට මෙම සිදුවීම හේතුවූවා විය හැක. යුරෝ්පා මහාද්වීපයේ ප‍්‍රකට ජනවහරකට අනුව අසන්නේ ‘අශ්වයාගේ පිටට ක‍්‍රමයෙන් පිදුරු පටවමින් යන විට උගේ කොන්ද කැඩෙන්නේ මොන පිදුරු ගහ පැටවූ පසුවද’ කියාය. ඇත්තටම කොන්ද කැඩෙන අවස්ථාවේ පටවන පිදුරු ගසෙහි ඇති විශේෂත්වය කුමක්ද? ඒ පිදුරු ගසෙහි කිසිදු විශේෂයක් නැත. කොන්ද කැඩෙන්නේ ඒ වනතුරුත් පටවා තිබූ සියලූ බරට මේ පිදුරු ගසත් එක්වීම නිසාය. විiාගේ මරණය හරහා ජනතා කෝපය පුපුරා ගියද එය මේ සිදුවීමට පමණක් සීමා කළ නොහැක. අනෙක් අතට කොරහේ කිඹුලන් දකින අය කියන පරිදි මෙය කාගේ හෝ සැලැස්මක් නොවූවත් මේ සිදුවීම හරහා ඉදිරියේදී වෙනත් ක‍්‍රියාවලියක් වර්ධනය වීමට ඉඩ ඇත. එවැන්නක් සිදු වුවත් කළ යුත්තේ එය මැඩපැවැත්වීම, අවලාද ගැසීම හා මිලිටරි බලහත්කාරය යෙදවීම නොව සමාජය හැසිරවීම ගැන ගැඹුරෙන් කල්පනා කර පියවරක් ගැනීමය.

Vidya-Protest-Jaffna-schools-2මෙහි තවත් පැත්තක් ඇත. ඇතැම් අය කියන්නේ විද්‍යාගේ ඝාතකයන්ට මරණ දඬුවම දියයුතු බවය. සැකකරුවන් අධිකරණයට ගෙනා දින එහි සිටි උද්ඝෝෂකයන් කැරලි ගැසුවේද ඔවුන්ට මරණ ද`ඩුවම දීම සඳහා තමන්ට බාර දෙන ලෙස කියමිනි. නමුත් මෙවැනි සිදුවීම් මරණ ද`ඩුවම පැවරීම වැනි සරල ක‍්‍රියාමාර්ග හරහා විසඳිය නොහැකි තරම් සංකීර්ණය. අප පිළිගන්නා විසඳුම එය නම් සිදුවන්නේ පිරිසක් ලිංගික බලහත්කාරය හරහා මියයන අතර තවත් පිරිසක් එල්ලූම්ගස හරහා මරණයට ගොදුරු වීමයි. එවිට ප‍්‍රශ්නය විසඳේද? ලංකාවේ සමාජයේ මෙම සිදුවීම් ඉතාම ඛේදජනක වන අතර ඒවාට දක්වන ප‍්‍රතිචාරද පසුගාමීය. සිදුවීමේ වරදකරුවන් අල්ලා මරා දැමීමෙන් ප‍්‍රශ්නය විසඳිය නොහැක. ඒ මෙම අපරාධයේ වරදකරුවන්ද මහා සමාජමය වරදක ගොදුරු වන හෙයිනි. ඝාතනය වූ දැරිය මෙන්ම ඝාතකයන්ද ඒ එකම ඛේදවාචකයක ගොදුරු පමණි. එබැවින් මේ මොහොත උපයෝගී කරගත යුතුව ඇත්තේ පවතින සමාජ ව්‍යවසනයේ ගැඹුරුකම ගැන යළි මෙනෙහි කිරීමට හා එයට පිළිතුරු සෙවීමටය. විද්‍යා අප සෑමදෙනාටම පතිත කළ විද්‍යාලෝකය එයයි. ඇත්තටම ඇය අශ්වයාගේ කොන්ද කැඩූ පිදුරු ගස වන්නේ දැයි තීරණය කළ හැක්කේ ඉතිහාසය තුළය.

මනෝජ් ප‍්‍රසන්න