සපත්තුවේ තරමට කකුල කැපීම

රාජපක්ෂලාගේ පාලන කාලය ගැන තිබුණු ලොකුම විවේචනයක් වූයේ ජනතා උද්ඝෝෂණවලට දක්වපු ප‍්‍රතිචාරය. වැඩවර්ජන, සත්‍යග‍්‍රහ වගේ සාමාන්‍ය උද්ඝෝෂණ පැවැත්වෙන විට රාජපක්ෂ ආණ්ඩුව කළේ ඒවා නොසලකා හරින එක. වැඩවර්ජනවල බලපෑම නොදැනෙන්න හමුදාවයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිතියි කැඳෙව්වා. සත්‍යග‍්‍රහ දැක්කෙ නෑ වගේ හිටියා. හැබැයි ජනතාව පාරට බැස්සම එහෙම ඉන්න බෑ. ඒ නිසා ඒ වගේ උද්ඝෝෂණ තහනම් කළා. ඒවාට ගැහුවා. ඒවා වළක්වන අධිකරණ නියෝග ගත්තා.

ජනතාවගේ උද්ඝෝෂණවලට ප‍්‍රතිචාර දක්වන අත්තනෝමතික ආකාරය ගැන ගොඩනැඟුණු විවේචනයත් රාජපක්ෂලා ගෙදර යවන්න ප‍්‍රධාන හේතුවක් වුණා. මේ ආණ්ඩුව බලයට ආවේ ඒ විරෝධය හා විවේචනයත් භාවිත කරමින්. (නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම වගේ වියුක්ත අදහස් කීවට උද්ඝෝෂණ තහනම් නොකිරීම වගේ සංයුක්ත පොරොන්දු නොදී ඉන්න මෛත‍්‍රී ප‍්‍රවේසම් වුණා. මෛතී‍්‍රට සහාය දුන් ලිබරලූන් ඒකට උපරිම සහාය දුන්නා) අවසානයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම රොෂේන් චානකලා, ඇන්ටනීලා, ජානකලා, සිසිතලා, රතුපස්වල ජනතාව හා උතුරේ ලක්ෂ ගණනක් ජනතාව ජීවිත කැපකරලා ගොඩනඟපු දේශපාලන පසුබිමක් මත සිදුවීම අමතක කරලා ඒක ෆේස්බුක් විප්ලවයක් ලෙස අර්ථකථනය වුණා.

දැන් මෛත‍්‍රී – රනිල් ආණ්ඩුව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ තහවුරු කරලා තිබෙනවා. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙහෙමයි. තමන්ගේ ව්‍යාපෘතියට ගැළපෙන සීමාවට විරෝධය කපන්න පුළුවන්නම් ඒ විරෝධයට ඉඩ දෙනවා. තමන්ගේ සීමාව ඉක්මවා ජනතාවගේ ඇත්ත අවශ්‍යතාවල සීමාවට යනවා නම් ඒ විරෝධයන් තහනම් කරනවා. තමන් සිවිල් සමාජය ලෙස හඳුන්වා ගන්නා අයට මේ ආණ්ඩුව නිදැල්ලේ හැසිරෙන්න දෙනවා. ලිබරල් අදහස් දරන ආචාර්යවරුන්ට, බ්ලොග්කරුවන්ට, පුවත්පත් කතුවරුන්ට, කලාකරුවන්ට තමන්ගේ විරෝධයන් දක්වන්න පුළුවන්. රනිල් මෑතකදී සමාජ ජාල වෙබ් අඩවි ක‍්‍රියාකාරීත්ව එකතු කර හමුවකුත් පැවැත්වූවා. ඉතින් ඒ නිසා ඒ ගොල්ලන්ට මහින්දට වඩා මෛත‍්‍රීගේ වෙනසක් දැනෙනවා. ”ඇත්තටම අපිට දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හිමිවෙලා. ඉස්සරනම් මෙහෙම කතා කරන්න පුළුවන්ද” කියලා අපෙන් අහනවා.
ඒත් පීඩිත ජනතාව සම්බන්ධයෙන් නම් කිසිම වෙනසක් නෑ. ඒ අයට පරණ ඉරණමමයි. සමහර උද්ඝෝෂණ නොතකා හැරෙනවා. ශිෂ්‍යයෝ දවස් සිය ගණන් අව්වේ වේළෙමින් වැස්සේ තෙමෙමින් සත්‍යග‍්‍රහ කළා. ආණ්ඩුව දැක්කේ නෑ වගේ හිටියා. සෞඛ්‍ය සේවකයෝ වර්ජනය කළොත් හමුදාව දාලා වැඩ කරගෙන යනවා කියලා දැන් කියනවා. ඒ අතර තමන්ගේ ගානට කපා ගන්න බැරි උද්ඝෝෂණ හැම එකක්ම තහනම් කරනවා. පාසල් සිසුවියක් ලිංගික අතවර කර මරා දැමීමට එරෙහිව යාපනයේ ජනතාව කළ උද්ඝෝෂණ උසාවියෙන් තහනම් කළා. උද්ඝෝෂණ කිරීමට එරෙහිව වාරණ ඇප කොන්දේසි ලෙස පනවන්න ශිෂ්‍ය නායකයන් 18 දෙනකුට අධිකරණයේ පෙනී සිටින්න කියලා. පරිසර දූෂණයට එරෙහිව බස්නාහිර පළාතේ මීතොටමුල්ල ජනතාව කරන උද්ඝෝෂණවලටත් උතුරු පළාතේ චුන්නාකම් ජනතාව කළ උද්ඝෝෂණවලටත් තහනම් නියෝග නිකුත් කරලා. ඊනියා සිවිල් ක‍්‍රියාකාරීන්ට උද්ඝෝෂණ පුළුවන්. ඒත් පීඩිත ජනතාවට ඒ අයිතිය නෑ. ඒක තමයි ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය.

ආණ්ඩුව හදන්නේ පවතින නීතියේ හැඩතලවලට අනුව ජනතාවගේ උද්ඝෝෂණ කපා හරින්න. ජනතාවගේ උවමනාවන්ට සරිලන විදියට නීති හදනවා වෙනුවට නීතියේ සීමාවට අනුව ජනතාවගේ අයිතීන් කපන එක තමයි ‘නීතියේ හා විධානයේ ආධිපත්‍යය’ කියන ගාම්භීර වචනයෙන් නම් කරලා තිබෙන්නේ. ඒ කියන්නේ කකුලේ ප‍්‍රමාණයට ගැළපෙන සපත්තුවක් ගන්නවා වෙනුවට මහපු සපත්තුවේ ගානට කකුල කපනවා. උද්ඝෝෂණ කියන්නේ අපේ වගේ රටවල ජනතාව දේශපාලනයට සහභාගි වෙන විදිය. දේශපාලනයට ප‍්‍රතිචාර දක්වන විදිය. මේ කරන්නේ ජනතාවගේ දේශපාලන ක‍්‍රියාකාරීත්වය තහනම් කරලා ඒක ඊනියා සිවිල් සමාජයට බාර දෙන එක. ජනතාවට උද්ඝෝෂණ තහනම් කරලා මේ සිවිලූන්ට හා ලිබරලූන්ට විතරක් ඒ අයිතිය දුන්නාම ඒ අය ප‍්‍රජාවගේ නියෝජිතයෙක් බවට පත්වෙනවා. ප‍්‍රජාව වෙනුවෙන් උද්ඝෝෂණ කරන කොන්ත‍්‍රාත් එක ඒ අයට හිමිවෙනවා. එතකොට ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවල ඇත්ත ප‍්‍රකාශනය එළියට එනවා වෙනුවට පාලකයන්ට  ඕන හැඩතලවලට විරෝධය කපා ගන්න පුළුවන්.

ජනතාව කරන උද්ඝෝෂණ ගැන මේ ලිබරල් චරිත බලන්නේ හරිම අවඥාවෙන්. ෆේස්බුක් එකේ චණ්ඩිපාට්දාන අතර මිනිස්සු පාරට බැහැලා ගලක් ගැහුවොත් හරියට කලබල වෙනවා. චණ්ඩි පාට් අතහැරලා, බොරුවට පරිණත වෙලා අති ධාවනකාරීත්වය ගැන බණ දේශනා කරනවා. පසුගිය කාලයේ ශිෂ්‍ය උද්ඝෝෂණවලින් හා යාපනයේ උද්ඝෝෂණවලින් මේ අය පොලිසියයි ආණ්ඩුවයි කලබල උනාටත් වැඩියෙන් කලබල වුණා. අපි මේ වෙලාවේ පෙනී ඉන්නේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් නෙවෙයි, පීඩිත ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්. අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ප‍්‍රජාවගේ විරෝධයන්ට ඉඩ සැලසීමත් ඇතුළු තවත් කරුණු ගණනාවකට. ඒකෙන් අදහස් වෙන්නේ ජනතා උද්ඝෝෂණ සර්ව සම්පූර්ණයි කියලා නෙවෙයි. ජනතා උද්ඝෝෂණ, අරගල ඇති වෙන්නේ ධනේශ්වර සන්දර්භයක. ඒවා දෘෂ්ටිවාදීමය වශයෙන් ධනේශ්වරයි. ඒවායේ අරමුණු හා ඉලක්ක ධනේශ්වරයි. ඒත් වාමාංශිකයන් හා ප‍්‍රගතිශීලීන් කළ යුත්තේ ඒ සාංසිද්ධික අරගලවලට මැදිහත් වෙලා ඒවායේ දේශපාලනය වර්ධනය කරන එක, ඒවා අවඥාවෙන් බැහැර කරලා, ඒවා අතහැරලා, නොදැක්කා වගේ ඉඳලා ප‍්‍රජාවගේ දේශපාලන චින්තනය වර්ධනය කරන්න බෑ. ඒ වගේම ඒවා අතහැරීමෙන් වෙන්නේ ප‍්‍රජාවගේ අවම හෝ දේශපාලන ක‍්‍රියාකාරීත්වය විනාශ වෙන එක.