සැබෑ ආදරයද? මිනිස් සබඳතාවල සංකීර්ණත්වයද?

Sinahawa17මිනිස් ජීවිත මෙන්ම මිනිස් සබඳතාද ඉතා සංකීර්ණය. සමාජය ඒවා මනින්නේ පුරුෂ මූලික සදාචාරවාදී මිනුම් දඬුවලින් වුවත් මිනිස් සබඳතා සැබැවින්ම පවතින්නේ එම මිනුම් දඬුවලට මැනිය නොහැකි ඊට එපිට සීමාවේය. විදේශික තරුණයකු වන රිචඞ් (ක‍්‍රිෂ් හැරිස්)  සමඟ විවාහ වී සිටින සිංහල කාන්තාවක් වන කුමාරි (සේමිණී ඉද්දමල්ගොඩ) ලාංකිකයකු වන විමල් (සනත් ගුණතිලක) සමඟ ඇතිකර ගන්නා ආධ්‍යාත්මික හා කායික සම්බන්ධය ‘සිනහව අතරින්’ චිත‍්‍රපටය තුළ දිගහැරෙන්නේ එය ඉහත කී සදාචාරවාදී සීමාවන්ට පිටින් තිබෙන යථාර්ථය ගැන ඉඟි කරමින්ය.

රිචඞ් ප‍්‍රංශ ජාතික තරුණයෙකි. ඔහු ශ‍්‍රී ලාංකේය සංස්කෘතියට ඇලූම් කරන්නෙකි. කුමාරි සහ රිචඞ් අතර පේ‍්‍රම සම්බන්ධයක් ඇතිවීමට මූලික අඩිතාලම වැටෙන්නේ ඒ අනුවයි. රිචඞ් ලාංකික සංස්කෘතියට ඇලූම් කරන්නෙක් වුවත් ඔහුගේ සිරුරේ ඇත්තේ ඔහු උපන් ප‍්‍රංශයේ සංස්කෘතික ලක්ෂණයි. ඔහු පුද්ගල නිදහසට ගරු කරයි. ? වනතුරු පාඩම් කරන රිචඞ් කුමාරිගේ නිදි යහනට නොයන්නේ ඇගේ නින්දට බාධා කිරීම ඇගේ පෞද්ගලික නිදහසට බාධා කිරීමක් ලෙස සලකන බැවිනි. ඔවුන් දෙදෙනා අතර ඉතා සුළුවෙන් මත ගැටුම් ආරම්භ වන අවස්ථාවේ ඔහු ඒ බව කියයි. එහෙත් කුමාරිගේ සිතුම් පැතුම් තුළ පුද්ගල නිදහස යන්නට දෙන අර්ථකථනය ඊට වඩා වෙනස්ය. ඇය ඔහුගේ බිරිඳ වන බැවින් ඔහු වෙනුවෙන් ජීවත්වීම ඇගේ සිංහල චින්තනයේ අපේක්ෂාවයි. සරලව කියන්නේ නම් ඔහු තමන්ගේ පුද්ගල නිදහසට බාධා කරනු ඇතැයි ඇය බලාපොරොත්තු වේ. සිංහල සංස්කෘතිය තුළ එය අර්ථ ගැන්වෙන්නේ පුද්ගල නිදහසට බාධා කිරීමක් ලෙසින් නොව එකිනෙකා වෙනුවෙන් කැපවීම, ආදරය ලෙසිනි. එසේ නොවුණු කල ඇය ක‍්‍රමයෙන් රිචඞ්ගෙන් ඈත් වන්නට පටන් ගනී. දරුවන් ලැබීම සම්බන්ධවද ඇත්තේ වෙනස් මානයන් දෙකකි. කුමාරි ඉක්මනින් මවක වීමේ ආශාවෙන් පෙළේ. ඇයට මුණ ගැසෙන ශ‍්‍රී ලාංකේය සමාජය නිතර නඟන ප‍්‍රශ්නයක් වන්නේ විවාහ වූ පසු දරුවන් පිළිබඳවයි. එහෙත් රිචඞ් සිතන්නේ සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසුව දරුවකු ගැන අවධානය යොමු කළ යුතු බවයි. රිචඞ්ගේ මුළු අවධානයම රැුකියාවට හා අධ්‍යයන කටයුතුවලට යොමුවී තිබීමද ඔවුන් දෙදෙනා අතර දුරස්ථභාවය තවත් වැඩි කරන්නකි. එය සංස්කෘතික වෙනස්කමකටත් වඩා රිචඞ්ගේ විශේෂ චරිත ලක්ෂණයකි.

කුමාරි පළමු වරට විමල් දකින්නේ පන්සලේදීය. ඔවුන් දෙදෙනා අතර පළමුවරට කතාබහක් ඇති වන්නේ විමල් රාජකාරි අවශ්‍යතාවකට කුමාරිගේ නිවසට පැමිණි විටයි. ඉන් පසුව ඔවුන් දෙදෙනා අතර සබඳතාව වර්ධනය වන්නේ පන්සලේදීය. ඔවුන් දෙදෙනා අතර සිදු වන සංවාදවල වැඩිම කාලයක් වැය වන්්නේ ලෞකික ජීවිතයට අදාළ සිහින දැකීමට නොව බෞද්ධ චින්තනය පදනම් කර ගනිමිනි. ආගම මිනිස් ජීවිත තුළ වැඩ කරන්නේ ඒ ආකාරයටය. බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන කෙනකුට මේ තරම් ආගමික නැඹුරුවක් තිබෙන දෙදෙනකු අතර,  මේ තරම් දහම් කරුණු දන්නා දෙදෙනකු අතර මෙවැනි සම්බන්ධයක් ඇති වන්නේ කෙසේද යන ප‍්‍රශ්නය නැඟිය හැකිය. එහෙත් ජීවිතය එසේය. ආගමද එසේය.
ඒ වන විට ඔවුන් දෙදෙනා නිදහසේ හමු වන්නෝ වෙති. රිචඞ්ගෙන් ඊට බාධාවක් නැත. රිචඞ්ගේ එකම ඉල්ලීම ඔහුගේ විභාගය අවසන් වන තුරු ඒ ගැන අන් අයට දැන ගන්නට ඉඩ නොතබන ලෙස පමණි. ඉන් පසුව ඔහු ප‍්‍රංශයට යාමට තීරණය කරයි. කුමාරිට විමල්ගෙන් දරුවකු පිළිසිඳ ගන්නා අතර ඇය එය ඔහුට පැවසීමට යොදා ගන්නේ කුමාරිගේ උපන්දිනය දවසේ රාත‍්‍රියයි. ඇය එම ‘සුබ පණිවිඩය’ විමල්ට කියන්නේ විමල් එය මහත් ආදරයෙන් බාරගනු ඇතැයි සිතමින්ය. එහෙත් විමල් අසන්නේ ”දැන් අපි මොකද කරන්නේ?” කියාය. කුමාරිගේ සිහින ලෝකය එම පැනය විසින් එහෙම පිටින්ම විනාශ කර දැමෙයි.

ඇය විමල්ට මෙන්ම රිචඞ්ටද දොස් කියයි. ඇයට මුහුණදීමට සිදුව ඇති ඛේදනීය ඉරණමෙහි වරදකරුවන් විමල් හා රිචඞ් ලෙස හඳුන්වන ඇය මුළු පිරිමි සංහතියටම දොස් පවරයි. එහෙත් ඒ මොහොතේ ඇය රැුක ගැනීමට රිචඞ් ඉදිරිපත් වේ. ”දරුව මගේ කියලා මම කියන්නම්.” යැයි ඔහු කියයි. සැබෑ ආදරය එය යැයි හැඳින ගන්නා කුමාරි විමල් අතහැර රිචඞ් වෙත එයි. ඇතැම් විට ඉතා ආත්මාර්ථකාමියෝද ඉතා කුහකයන් යැයි සමාජය හැඳිනගෙන සිටින පුද්ගලයෝද මෙවැනි ආශ්චර්යවත් තීරණ ගනිති. මිනිස් සබඳතාවල සංකීර්ණත්වය එයයි. මිනිස් චින්තනයේ සංකීර්ණත්වය එයයි.

රිචඞ්-කුමාරි යුවළගේ විදේශගතවීමෙන් පසුව විමල් සසුන්ගත වේ. කතාව ආරම්භ වන්නේ විමල් නිසා කුමාරිට උපන් දියණිය (හෂිනි ගෝනගල* යළි ලංකාවට පැමිණ එම භික්ෂුව හමුවේ සිය කතාව හෙළි කරන රූප රාමුවකිනි. කතාව අවසන් වන්නේ ඇය විසින් සිය ජීවිත කතාව ලියා තැබූ, භික්ෂුවට (සනත් ගුණතිලකට) දුන් සටහන් පොත භික්ෂුව විසින් ගඟට දමා ‘නිදහස්’ වීමේ රූප රාමුවකිනි.
‘සිනහව අතරින්’ චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය නිරෝෂා විරාජිණීගේය. ගායිකාවක ලෙස හැඳින සිටි ඇයගේ පළමු සංගීත අධ්‍යක්ෂණය මෙයයි. කැමරා අධ්‍යක්ෂණය සුජිත් ශාන්තයි. නිෂ්පාදනය සුනිල් ටී. ප‍්‍රනාන්දුය.

ජනක තුෂාර