දේශපාලන බලපොරයේ ගොදුරක් වූ ඉන්දියානු ධීවර ගැටලූව

North Fishing

සිතියමේ දැක්වෙන්නේ ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී තිබෙන ආකාරය දක්වන සිතියමක්. මුහුදු සීමාව කඩ ඉරෙන් දැක්වෙන අතර තිත්වලින් දැක්වෙන්නේ ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රාය.

උතුරුදිග ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මරමින් සිටියදී නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වූ ඉන්දීය ධීවරයන් 37 දෙනෙක් පසුගිය දා ලංකා ආණ්ඩුව විසින් නිදහස් කරන ලදී. මෙය කාලයක් තිස්සේ ලංකාවේ උතුරු මුහුදේ දිග හැරෙමින් පවතින ප‍්‍රශ්නයක තවත් එක් අවස්ථාවකි. ප‍්‍රශ්නය නම් දකුණු ඉන්දියාවේ ට්‍රෝලර් යාත‍්‍රා ලංකාවේ මුහුදු තීරයට පැමිණ මසුන් ඇල්ලීමේ ප‍්‍රශ්නයයි. ඉන්දීය ධීවරයන් ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම, එම ඇතැම් ධීවරයන් ලංකාවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම සහ පසුව ඔවුන් මුදා හැරීම යනු පසුගිය කාලයේ විටින් විට සුලභව අසන්නට ලැබුණු සංසිද්ධියකි.

  • ට්‍රෝලර්වල බලපෑම

ජාතික ජනමාධ්‍යයන්ගේ අවධානයට එතරම් හසු නොවූවද ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම උතුරු පළාතේ ධීවර ජනතාවට අදාළව මේ වන විට ඉතාම සංවේදී ප‍්‍රශ්නයක් බවට පත්වී තිබේ. දැනට ගණන් බලා තිබෙන ආකාරයට දිනකට ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා දෙදහසත් තුන්දහසත් අතර ප‍්‍රමාණයක් ලංකාවේ මුහුදු කලාපයට මසුන් මැරීම සඳහා ඇතුළු වේ. (ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රාවල පැමිණීම දක්වන නාවික සිතියමක් ලිපිය සමඟ පළ කොට තිබේ* කල්පිටියේ සිට ත‍්‍රිකුණාමලය දක්වා අති විශාල සාගර කලාපයකට මෙලෙස ඉන්දීය ධීවරයෝ ඇතුළු වෙති. මෙහි තිබෙන විශේෂත්වය නම් මෙලෙස ඇතුළු වන්නේ ට්‍රෝලර් යාත‍්‍රාවලින් පැමිණෙන ධීවරයන් වීමයි. මෙම ට්‍රෝලර් යාත‍්‍රා තමිල්නාඩුවේ ධනවත් ධීවර ව්‍යාපාරිකයන්ට අයත් ඒවාය. මෙලෙස විශාල සංඛ්‍යාවලින් ට්‍රෝලර් යාත‍්‍රා උතුරු මුහුදට ඇතුළු වීම උතුරේ ධීවර ප‍්‍රජාවගේ ජීවිකාව සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රශ්නයක් ඇති කොට තිබේ.

ට්‍රෝලර් යාත‍්‍රාවල තිබෙන විශේෂත්වය නම් ඒවා යොදා මසුන් මරන විට ඒවාට හසුවී සාම්ප‍්‍රදායක ධීවරයන් විසින් මසුන් ඇල්ලීම පිණිස යොදවා තිබෙන සාම්ප‍්‍රදායික දැල් ආම්පන්න කැපී යාමය. ට්‍රෝලර් යාත‍්‍රා මඟින් කරන්නේ නොගැඹුරු මුහුදු පතුල සූරාගැනීමය. මෙය එක් අතෙකින් පාරිසරික වශයෙන් අහිතකර බලපෑමක් ඇති කරන මසුන් මැරීමේ ක‍්‍රමයකි. අනිත් අතින් සාම්ප‍්‍රදායික ලෙස මුහුදේ යොදා තිබෙන දැල් ට්‍රෝලර් යන්ත‍්‍රවල පැමිණීම නිසා විනාශ මුඛයට පත් වේ.

1983 දී යුද්ධය ඇතිවීමට පෙර ජාතික මත්ස්‍ය නිෂ්පාදිතයෙන් 1/4 ක් පැමිණියේ උතුරු පළාතෙනි. එහෙත් යුද්ධය නිසා උතුරේ ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණි. යුද්ධය පවතින කාලයේ උතුරේ ධීවරයන් නාවික හමුදාව විසින් පැනවූ විවිධ සීමාවලට මුහුණ දී සිටියේය. මේ නිසා යුද්ධය අවසාන වීමත් සමඟ ධීවර කටයුතුවල යෙදීම සඳහා වැඩි නිදහසක් ලැබෙනු ඇතැයි උතුරේ ධීවර ප‍්‍රජාව අපේක්ෂා කළේය.
එහෙත් දැන් එම ජනයාට මුහුණ දීමට සිදු වී තිබෙන්නේ සුවිශාල ප‍්‍රශ්නයකටය. මහා පරිමාණයෙන් මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඉන්දීය ටෙ‍්‍ර‍්‍රා්ලර් යාත‍්‍රා ලංකා මුහුදු කලාපයට ඇතුළු වීම නිසා එක් අතෙකින් ලංකාවේ ධීවරයන්ට හිමිවිය යුතු මත්ස්‍ය අස්වැන්න අහිමි වීමක් සිදු වේ. අනිත් අතට ට්‍රෝලර් යාත‍්‍රාවල භාවිතය නිසා සාම්ප‍්‍රදායික දැල් ආම්පන්නවලට හානි සිදුවන නිසා අති බහුතරය සාම්ප‍්‍රදායික ධීවරයන් වන උතුරේ ධීවරයන්ට දීර්ඝකාලීනව ජීවිකාව අහිමි වීම පිළිබඳ ප‍්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී තිබේ. මෙය එම ජනතාවගේ පැත්තෙන් බැලූ විට ජීවිතය හා මරණය පිළිබඳ ප‍්‍රශ්නයකි. මන්ද යත් මෙලෙස සීමාන්තික ලෙස ඉන්දීය ට්‍රෝලර් යාත‍්‍රා ඇතුළු වීම නිසා ඔවුන්ගේ ජීවිකාව තීරණාත්මක ලෙස අර්බුදයට ගොස් තිබෙන බැවිනි.

  • රාජ්‍ය සේවය කාටද?

මෙලෙස උතුරේ ධීවරයන්ගේ ජීවිකාව මෙම ප‍්‍රශ්නය නිසා කොතරම් තීරණාත්මක අර්බුදයකට ලක්වී තිබුණත් රජය පැත්තෙන් මෙම ප‍්‍රශ්නය අරභයා ප‍්‍රමාණවත් මැදිහත්වීමක් සිදුවනු දක්නට නොලැබේ. ලංකා ආණ්ඩුව පැත්තෙන් ගත් විට එක් අතෙකින් මෙය භූ දේශපාලනික ප‍්‍රශ්නයකි. එනම් තමිල්නාඩු ප‍්‍රාන්ත ආණ්ඩුවේ සහ අවසන් විග‍්‍රහයේදී ඉන්දියාවේ දේශපාලන තන්ත‍්‍රය සමඟ මෙම ප‍්‍රශ්නය ගැට ගැසී තිබේ. ඒ නිසා ‘ඉන්දියාව අමනාප කරගන්නා’ ප‍්‍රවේශයක් වෙත යාමෙහිලා ලංකා ආණ්ඩුව දක්වන්නේ මැළිකමකි. 2009 වර්ෂයේ සිට මෙම ප‍්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා විවිධ මට්ටම්වලින් සාකච්ඡුා පැවැත්විණ. තමිල්නාඩු ධීවර සංගම් සමඟ මුහුණට මුහුණ ලා සාකච්ඡුා කිරීම සඳහා ලංකාවේ ධීවර සමිතිවලට පහසුකම් සැලසීම ලංකාවේ රජය පැත්තෙන් සිදුවිය. මේ එකදු හෝ සාකච්ඡුාවක් ඵලදායී විසඳුමක් ඇති නොවී අවසාන වී තිබේ.

උතුරේ ධීවරයන්ගේ ප‍්‍රශ්නය වෙනුවෙන් ප‍්‍රබල පෙනී සිටීමක් කිරීමට ලංකාවේ රජය උනන්දු නොවන්නේ නැත්තේ ඇයි? මෙය පසුපස පැහැදිලිවම වාර්ගික දේශපාලන හේතූන් ගැබ් වී තිබේ. උතුරේ ධීවර ජනතාවගේ අභිලාෂයන් යන්න රාජ්‍යයේ පැත්තෙන් ගත් විට එතරම් තීරණාත්මක අභිලාෂයක් නොවේ. මැතිවරණ දෘෂ්ටියකින් බලන විට එම ජනයා එතරම් වැදගත් නොවේ. ඒ අනුව රාජ්‍යය සමඟ කේවල් කිරීමට උතුරේ ධීවර ජනයාට තිබෙන හැකියාවද සාපේක්ෂව අඩුය. එනම් රාජ්‍ය ප‍්‍රතිපත්තිය සකස් වන්නේ උතුරේ දෙමළ ධීවර ජනයා බැහැර කරමින්ය. මේ නිසා උතුරේ ධීවර ජනයාගේ ජීවිකාව පිළිබඳ ප‍්‍රශ්නයද එසේත් නැතිනම් ඉන්දියානු ආණ්ඩුව සමඟ පවත්වගන්නා හොඳ හිතද යන වරණයේ දී ලංකා රජය ප‍්‍රමුඛතාව දී තිබෙන්නේ ඉන්දීය රජය සමඟ පවත්වාගන්නා හොඳ හිතටය.

  • ධීවරයන්ද ව්‍යාපාරිකයන්ද?

එසේම මේ ප‍්‍රශ්නය තුළ ප‍්‍රාග්ධනයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ සංකීර්ණ ප‍්‍රශ්නයක් ද ගැබ් වී තිබේ. ඉන්දියානු ට්‍රෝලර් බෝට්ටු හිමියන් යනු තමිල්නාඩුවේ ධනවත් ව්‍යාපාරිකයන්ය. පසුගිය දශක කිහිපයක කාලය තුළ සැලකිය යුතු ප‍්‍රාග්ධනයක් ඒකරාශී කරගත් ධනවත් ස්ථරයක් ලෙස ඔවුහු ඉස්මතු වී සිටිති. ඉන්දියාවේ මෙම දියුණු ධීවර කර්මාන්තය හා සසඳන විට ලංකාවේ උතුරේ ධීවර කර්මාන්තය පවතින්නේ දුබල තැනකය. උතුරේ ධීවරයෝ සාම්ප‍්‍රදායික ආම්පන්න යොදා මසුන් මරති. එනම් උතුරේ ධීවර කර්මාන්තය මත ආයෝජනය වී තිබෙන්නේ සුළු ප‍්‍රාග්ධනයකි. ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ විශාල ප‍්‍රාග්ධනය ඉදිරියේ මේ අනුව අභියෝගයට ලක්වී තිබෙන්නේ උතුරු ලංකාවේ සාම්ප‍්‍රදායික ධීවර කර්මාන්තයයි. මෙය ප‍්‍රාග්ධනයේ ස්වරූප දෙකක් අතර ගැටුමක් ලෙසද අපට හඳුනාගැනීමට පුළුවන.

මේ දේශපාලන විග‍්‍රහයන් කවරාකාර වුවත් යථාර්ථය නම් ජීවිකාව බිඳ වැටීම නිසා මහත් අසරණ තත්වයකට උතුරු පළාතේ ධීවර ජනයා මේ වන විට පත්වී සිටින බවයි. මෙම ප‍්‍රශ්නය ‘ජාතික තලයේ ප‍්‍රශ්නයක්’ නොවීම කෙරෙහි පීඩාවට පත් මෙම ජනයා දෙමළ වීමත් ඔවුන්ට රාජ්‍ය සැකැස්ම තුළ හඬක් නොමැති වීමත් බලපා තිබේ. රාජ්‍ය සැකැස්මේ අද්දරට තල්ලූ වී සිටීම නිසා මෙම ජනතාව අසරණව බලා සිටිද්දී දෛනිකව දහස් ගණන්වලින් තමිල්නාඩු ධනවතුන්ට අයත් ට්‍රෝලර් යාත‍්‍රා ඉන්දියාවේ සිට ලංකාවට ඇතුළු වෙමින් සිටී. තම ජීවිකාව ඇස් පනාපිට බිඳ වැටෙනු බලාගෙන උතුරේ ධීවර ජනයා අපේක්ෂාභංග දේශපාලන මොහොතක් පසුකරමින් සිටී.

රමිඳු පෙරේරා