නෙතන්යාහුගේ මැතිවරණ ජය සහ ඊශ‍්‍රායල් වර්ගවාදය

netanyahuබෙන්ජමින් නෙතන්යාහු පසුගිය මාර්තු මාසයේදී හතරවැනි වතාවටත් එරට පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති ලෙස තේරී පත් වුණා. පලස්තීනය සම්බන්ධයෙන් දැඩි මතධාරියෙක් වශයෙන් නෙතන්යාහු බොහොම ප‍්‍රසිද්ධයි. පලස්තීන ජනතාව කාලාන්තරයක් තිස්සේ අරගල කරන ‘ද්වී-රාජ්‍ය’ ක‍්‍රමයට එරෙහිව ‘තනි-රාජ්‍යය’ සංකල්පයේ පුරෝගාමියා නෙතන්යාහු. කොහොමත් ඊශ‍්‍රායලයේ බලයට පත්වෙන කොයි පක්ෂෙත් ආණ්ඩුවෙත් පලස්තීනය සම්බන්ධ විදේශ ප‍්‍රතිපත්තියේ නම් ලොකු වෙනසක් නැහැ. එනිසා ඔහු නියෝජනය කරන ලිකුඞ් පක්ෂයට බහුතර බලයක් ලැබුණේ නැතත් සභාග ආණ්ඩුවක් ගොඩනඟන්න තරම් ‘සියොන්වාදී’ පක්ෂ මෙවර පාර්ලිමේන්තුවෙත් හිටියා.

මැද පෙරදිග කලාපයේ ඊශ‍්‍රායලය බිහිකළ දා පටන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බළල් අතක් වශයෙන් මැද පෙරදිග පොලිස්කාරයාගේ භූමිකාව ඉටු කරන්නේ ඊශ‍්‍රායලය. අද වෙනකොටත් අමෙරිකා එක්සත් ජනපදයට මැද පෙරදිග ඉන්න ප‍්‍රධානතම සහායකයා වෙනින් කවුරුත් නොවෙයි ඊශ‍්‍රායලයමයි. අමෙරිකාවේ ඩිමොක‍්‍රටික් වේවා, රිපබ්ලිකන් වේවා, කොයි පක්ෂෙන් ආණ්ඩුවක් හැදුවත් මේ දෙකටම විවිධාකාරයේ ආධාර ලබා දෙන අමෙරිකාවේ ජීවත් වෙන ඊශ‍්‍රායල ධන කුවේරයන්ගෙන් අමෙරිකානු විදේශ ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ දී සිද්ධ වෙන්නේ සුවිශාල බලපෑමක්. එක්සත් ජනපදයේ විදේශ ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් සිදු කරන්නා වූ මේ යුදෙව් බලපෑම අමෙරිකාවේ පස්වැනි සේනාංකයක් කි‍්‍රයාත්මක වීමක් වශයෙනුයි දේශපාලන විචාරකයන් හඳුන්වන්නේ.

  • ජාතිවාදී දේශපාලනය

දැන් මේ යුදෙව්-කේන්ද්‍රීය වර්ගවාදී දේශපාලන දෘෂ්ටිවාදයට බොහොමයක් ඊශ‍්‍රායල දේශපාලන පක්ෂ විතරක් නොවෙයි, එරට ජනතාවගෙනුත් විශාල පදාසයක් ගොදුරු වෙලයි ඉන්නේ. පලස්තීන ජනතාවගේ ඉඩම් පැහැර ගැනීමේ අඛණ්ඩව සහ වර්ධනය වන ක‍්‍රියාවලියටත් පලස්තීනුවන්ට අයත් භූමියේ ඊශ‍්‍රායල යුදෙව් ජනපද පිහිටුවීමේ ක‍්‍රියාවලියටත් ලබාදෙන නායකත්වය හා මූල්‍යමය ආධාර, නෙතන්යාහුගේ මැතිවරණ ජයග‍්‍රහණය පසුපස තිබෙන ප‍්‍රධාන සාධකයක්. නෙතන්යාහු දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන එන පලස්තීන ජනතාවගේ ඉඩම් පැහැර ගැනීමේ තිරශ්චීන ප‍්‍රතිපත්තිය නිසා ඊශ‍්‍රායලයේ පහළ සහ මධ්‍ය පරිමාණ ආදායම් ලබන ජනතාවගෙන් ලක්ෂ ගණනක් ප‍්‍රතිලාභ ලබනවා. 1967 යුද්ධයෙන් පස්සේ 650000ක් පමණ යුදෙව් ජාතිකයන් ප‍්‍රමාණයකට පලස්තීනුවන්ගෙන් බලෙන් කොල්ලකාගත් ඉඩම්වල නිවාස ලැබුණා. දැන් වෙනත් ප‍්‍රදේශවල නිවාස හදාගන්න තරම් ආර්ථික හැකියාවක් නැති ජනතාවට බටහිර තීරයේ සහ ජෙරුසලමේ නව නිවාස ජනපද පිහිටුවමින් නිවාස හදන්නේ පලස්තීන ගැටලූවට ‘යුදෙව් විසඳුම’ කියන තේමා පාඨයට මුවා වෙමින්.

ඊශ‍්‍රායලයේදී පලස්තීනුවන්ව බොහොම ජනප‍්‍රියවාදී ලෙස හඳුන්වන්නේ ‘අරාබි කුණු කන්දල්’ (්ර්ඉ ිජ්ප* වශයෙන්. නෙතන්යාහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී නිර්මාණය කරන ලද ගීතවලත් මෙවැනි යෙදුම් දක්නට ලැබුණා. මෙමඟින් පෙන්නුම් කරන්නේ පලස්තීනුවන්ට එරෙහි වර්ගවාදී චින්තනය කෙතරම් නම් ප‍්‍රබලව වර්තමාන නායකයා විසින් තමාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගන්නවාද කියන කාරණයයි. අනෙක් පැත්තෙන් ඒ වගේ චින්තනයක් ජනප‍්‍රිය වෙන්න කොයි තරම් නම් දුරකට සාමාන්‍ය ඊශ‍්‍රායල් ජනතාව තුළ ජාතිවාදය පැලපදියම් වෙලා තියෙන්න  ඕනද?

  • පලස්තීන ඉඩම්

ඊශ‍්‍රායලය විසින් සිදුකරන මේ බලහත්කාරී ජනපදකරණයට විරුද්ධව තමන්ගේ පරවේණි ඉඩම් රැුකගැනීම සඳහා සිදුකරන  ඕනෑම අරගලයක් විරෝධතාවක් කෙළවර වෙන්නේ තව තවත් පලස්තීනුවන්ට තමන්ගේ ඉඩම් අහිමි වීමෙන්. මෙවැනි විරෝධතා බොහොමයක්ම මේ ඊශ‍්‍රායල් යුදෙව් ජනපද වාසීන් තව තවත් පලස්තීන ඉඩම් අත්පත් කරගැනීමේ නිමිත්තක් බවට පත් කර ගන්නවා. ඒ පිටුපස්සෙන් නෙතන්යාහුගේ බුල්ඩෝසර් පෝලිමක් එනවා. ඊශ‍්‍රායල් හමුදාවන්ට ගල්මුල් ප‍්‍රහාර මඟින් විරෝධය දක්වන පලස්තීන මුල් පදිංචිකරුවන්ට ජීව උණ්ඩ යොදාගනිමින් සිදුකරන ඊශ‍්‍රායල් ප‍්‍රහාර බොහොම සාමාන්‍යකරණය වෙලයි තියෙන්නේ. එනිසා නෙතන්යාහුගේ මැතිවරණ ජයග‍්‍රහණය පිටුපස තියෙන ප‍්‍රධානතම හේතුව තමයි මේ බලහත්කාරී ජනපදකරණය සඳහා ඔහු ලබාදෙන නායකත්වය.

නෙතන්යාහුගේ ලිකුඞ් පක්ෂයට විරුද්ධ සමහර පක්ෂ හා කණ්ඩායම්වලින් ඔහුට විරුද්ධව එල්ල වෙන ප‍්‍රධානතම විවේචනයක් තමයි ඊශ‍්‍රායල ජනතාවගෙන් විශාල පදාසයකගේ සමාජ-ආර්ථික තත්වයන් බලවත් ලෙස බිඳ වැටීම. විශේෂයෙන්ම මෙහිදී වැඩිපුරම කතා වුණේ නාගරික ප‍්‍රදේශවල නිවාස ප‍්‍රශ්නය. නමුත් මේ සියලූ විවේචන අබිබවා යන්න නෙතන්යාහු සමත් වෙලා ඉන්නේ බොහොම ආකර්ෂණීය විදියට තව තවත් පලස්තීන ඉඩම් පැහැර ගැනීම මේ නිවාස අර්බුදය සඳහා එකම විසඳුම වශයෙන් යෝජනා කරමින්. බලගතු ඉඩම් හා දේපළ ව්‍යාපාරිකයන් එක්ක සටන් කරලා සාමාන්‍ය ඊශ‍්‍රායල් ජනතාවගේ නිවාස අර්බුදයට පිළියම් හොයනවාට වඩා ජාතිවාදී නෙතන්යාහුට මේ වැඬේ ලේසි පාටයි.

  • අවසන් විසඳුම නිවාස විසඳුමක්ලූ

ඊශ‍්‍රායල යුදෙව් ජනතාවන්ගේ නිවාස ප‍්‍රශ්න විසඳෙනවා නම් ‘වාර්ගික අන්තවාදය’ එතරම් දුෂ්ටත්වයක් නොවේය කියන සිතුවිල්ල කරා ඊශ‍්‍රායල් සමාජයේ සැලකිය යුතු කොටසක් ගොදුරුවෙලා ඉන්න එක නම් බරපතළ ඛේදවාචකයක්. රජයේ මැදිහත්වීම යටතේ ගොඩනඟන පහසු, මැද පාන්තික නිවාස යෝජනා ක‍්‍රමයන්ට සාමාන්‍ය ඊශ‍්‍රායල් ජනතාවගේ ඇති කැමැත්ත නිසා පලස්තීන ජනතාවගේ ඉඩම් කොල්ලකෑමෙන් ඉදිරිපත් වෙලා තියෙන විසඳුම පහසු සහ ප‍්‍රායෝගික විසඳුමක් වශයෙන් වටහා ගැනීමේ තත්වයකට මොවුන් ඇද වැටිලා තිබීම කෙතරම් නම් ඛේදවාචකයක්ද? පලස්තීන ගැටලූව සම්බන්ධයෙන් නෙතන්යාහුගේ ‘අවසන් විසඳුම’ වෙන්නේ පලස්තීනුවන්ට මොනයම්ම හෝ ආකාරයක රාජ්‍යයක් අහිමි කිරීමයි. එනම් ‘ටූ ස්ටේට්’ ඉල්ලීම කෙසේ වෙතත් පලස්තීනුවන් සම්බන්ධයෙන් ‘නෝ ස්ටේට්’ ඔහුගේ අවසන් විසඳුම වී ඇති බවයි පේන්න තියෙන්නේ. එනිසා පලස්තීනුවන්ට ස්වාධීන රාජ්‍යයක් ගොඩනැඟීම සම්බන්ධයෙන් තියෙන අයිතිය කෙසේ වෙතත් ඔවුන් සඳහා ‘අවසන් විසඳුම’ නෙතන්යාහුට අනුව නම් යුදෙව් ජනතාව සඳහා වූ ‘නිවාස විසඳුමක්’ වෙලයි තියෙන්නේ. නෙතන්යාහු යටතේ 2013 ඉඳන් 2015 දක්වා ක‍්‍රියාත්මක කළ නිවාස ගොඩනැඟීමේ ව්‍යාපෘතිවලින් තුනෙන් දෙකක්ම ක‍්‍රියාත්මක කළේ පලස්තීනුවන්ගෙන් පැහැර ගන්නා ලද ඉඩම් යොදා ගැනීමෙනුයි. ජෙරුසලමේ ජීවත් වන යුදෙව් ජනතාවට නෙතන්යාහු පොරොන්දු වෙන්නේ එය හැමදාටමත් ඊශ‍්‍රායල් අග නගරය වන බවයි. එය ඔවුන්ගේ නගරය බවත් එය නොබෙදුණු යුදෙව් නගරයක් බවට පත්් කරන බවටත් ඔහු පොරොන්දු වෙනවා.

  • ඔබාමාගේ බොරු විරෝධය

එක්සත් ජනපදය තුළ කි‍්‍රයාත්මක ඊශ‍්‍රායල ධන කුවේරයන් හරහා අමෙරිකා එක්සත් ජනපදය තමන්ට විරුද්ධ නොවන තැනකට වග බලාගන්න බලයට පත් වෙන අනෙක් හැම ඊශ‍්‍රායල නායකයෙක් වගේම නෙතන්යාහුත් කටයුතු කරනවා. ඊශ‍්‍රායලයට එරෙහිව ඉඳහිට කෙරෙන විචේචනයකින් එහාට යන ක‍්‍රියාමාර්ග ගැනීමට බලයට පත්වෙන කොයි අමෙරිකන් ආණ්ඩුවත් වගබලාගන්නේ මේ දෙගොල්ලන් අතර තියෙන අවබෝධය නිසයි. ‘පිරිසිදු මහා ඊශ‍්‍රායලයක්’ ගොඩනැඟීමේත් ජෙරුසලම එහි ‘සර්වකාලීන අග නගරය’ වශයෙන් නම් කිරීමේත් ඊශ‍්‍රායල සැලසුමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයෙන් කිසිදු බාධාවක් නෑ. ඊශ‍්‍රායලය මානව හිමිකම් කඩ කරද්දී, වත්මන් ඔබාමා පරිපාලනයත් නොයෙක් අවස්ථාවල ‘එක්සත් ජනපද-ඊශ‍්‍රායල සබඳතා’ යළි සලකා බැලීමට සිදුවන බවට විවිධ ප‍්‍රකාශ නිකුත් කෙරුවට ඊශ‍්‍රායලය සමඟත් නෙතන්යාහු සමඟත් තියෙන ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා දිනෙන් දිනම වර්ධනය වනවා මිස පලූදු වීමක් නම් දකින්න නැහැ.

නිලන්ත ගුණරත්න