අපේ ප‍්‍රශ්නය හා උන්ගේ ප‍්‍රශ්නය

mahinda maithreeසාමාන්‍ය කාලයකදී රටේ ජනතාවගෙන් ඔබට තිබෙන ප‍්‍රශ්නය කුමක්දැයි විමසුවහොත් ජනතාව විවිධ ප‍්‍රශ්න ඉදිරිපත් කරයි. මූලික වශයෙන් ආර්ථික අසමානතාව නිසා ඇති වූ ප‍්‍රශ්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැනි දේශපාලන ප‍්‍රශ්න, විවිධ සමාජ හා සංස්කෘතික ප‍්‍රශ්න ඒ අතර තිබේ. නමුත් මැතිවරණ කාලසීමාවන්හිදී  ඕනෑම අයකුගෙන් එම ප‍්‍රශ්නය විමසුවහොත් පිළිතුර ලෙස ලැබෙන්නේ වෙනත් පිළිතුරුය. ඒ වෙනත් පිළිතුරු නිර්මාණය කරන්නේ තමන් ලිබරල් බුද්ධිමතුන් හා කලාකරුවන් ලෙස හඳුන්වා ගන්නා පිරිස්ය. ඒවා ජනතාව තුළ තහවුරු කරන්නේ මාධ්‍ය විසිනි. ඉන්පසු ජනතාව ආවේෂ වූවාක් මෙන් තමන්ගේ ප‍්‍රශ්න අමතක කර යහපාලනය, නීතියේ ආධිපත්‍යය, ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වැනි තමන්ටවත් නොතේරෙන ප‍්‍රශ්න ගැන කියන්නට පටන් ගනී. ආණ්ඩු මාරුවෙන්නේ, අලූත් මුහුණු කරළියට එන්නේ, අපට පරණ ප‍්‍රශ්නම ඇති කරන්නට අලූත් අය එන්නේ ඉන් පසුවය. එතැනින් පසු පරණ ප‍්‍රශ්න එලෙසම පවතින අතර ලොවෙත් නැති ලොවි ගහෙත් නැති ප‍්‍රශ්න හඳුන්වාදුන් අයම ඊට විසඳුම් යෝජනා කරයි. ‘ඔන්න ඔබේ ප‍්‍රශ්න විසඳුවා’ කියා කෑ ගසයි. ප‍්‍රශ්නවලින් හෙම්බත්ව සිටින ජනතාවද තාවකාලිකව ප‍්‍රශ්න විසඳුනා යැයි සතුටු වන අතර සිය ඇත්ත ප‍්‍රශ්න ඉස්මතු වන විට ඒ පැත්ත වෙනුවට යළි මේ පැත්ත අත්හදා බලයි. සංසාර චක‍්‍රය මෙන් අඛණ්ඩව ඉදිරියට යන්නේ මේ ක‍්‍රියාවලියයි.

  • 19, 20 හා තවත් දේවල්

19 වැනි සංශෝධනය දැන් ව්‍යවස්ථාවට එක් වී හමාරය. එයට සිය අත්සන තැබීම අසාමාන්‍ය ලෙස ප‍්‍රමාද කළ කථානායකවරයා අවසානයේදී සිය අත්සන තබා ඇත. මේ අතර මැයි 27 වැනිදා සවස රැුස්වූ අමාත්‍ය මණ්ඩලය තවදුරටත් සංශෝධනවලට යටත්වීමේ කොන්දේසිය මත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ වන විට සකස් කර ඇති කෙටුම්පත අනුමත කර තිබේ. 19 වැනි සංශෝධනය ජනතාවගේ මහා ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වූ ආකාරයටම 20 වැනි සංශෝධනය මහා ජයග‍්‍රහණයක් බවත් දැන් සියලූ ප‍්‍රශ්න විසඳී ඇති බවත් මාධ්‍යවලින් කියැවෙනු ඇසේ. ඇත්තටම මෙමඟින් සියලූ ප‍්‍රශ්න විසඳී තිබේද?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පොරොන්දුව තිබුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. අඩුම ගානේ විධායක ජනාධිපතිවරයා සතු බලය කප්පාදු කරන බව කියැවිණි. නමුත් අවසානයේදී සිදුවී ඇත්තේ කොමිෂන් සභා ස්ථාපිත කිරීමත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය සීමාවීමත් පමණි. ඉතිරි ඒවා වැඩකට නැති ප‍්‍රතිසංස්කරණ බවත් ඉල්ලූ දේ හා ලබාදී තිබෙන දේ අතර වෙනස ඉතාම විශාල බවත් අපි කිහිපවරක්ම සාකච්ඡුා කළෙමු. නමුත් 19 වැනි සංශෝධනය විශාල ජයග‍්‍රහණයක් බව මාධ්‍ය හරහා නැවත නැවතත් පුනරුච්චාරණය කරනු ලබන්නේ  ඕනෑම බොරුවක් සියවරක් කියූ පසු ඇත්තක් වන බව මේ අය දන්නා හෙයිනි. 28 වැනිදා පුවත්පත් වාර්තා කර තිබෙන ආකාරයට ඉතා ඉක්මනින් ව්‍යවස්ථාදායක සභාව පත් කෙරෙන අතර එමඟින්ද ජනතාවගේ ප‍්‍රශ්න විසඳෙනු ඇත. ජුනි 3 වැනිදා පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් සඳහා කැඳවීමට කථානායකවරයා තීරණය කර ඇත. ඒ කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමට බලය ඇති ව්‍යුහය වන ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත්කිරීම සඳහාය. අගමැති රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, කථානායක චමල් රාජපක්ෂ මේ සඳහා නිලබලයෙන් තේරී පත්වනු ඇත. මීට අමතරව තවත් මන්ත‍්‍රීවරු සිව්දෙනකු පත්කෙරෙන අතර චම්පික රණවක, ජෝන් සෙනෙවිරත්න හා ආර්. සම්බන්ධන් යන නම් දැනටමත් සාකච්ඡුා වෙමින් පවතී. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දැන් තිබෙන තත්වයට අනුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දසදෙනාගෙන් සත් දෙනකුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුය. ඉතිරි තිදෙනා පත්කරනු ලබන්නේ අගමැතිවරයා සහ විපක්ෂ නායකයාය. 28 වැනිදා පුවත්පත්වල රාධිකා කුමාරස්වාමි, ඒ.ටී. ආරියරත්න, සලීම් (හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු) යන නම් සඳහන්ව තිබේ. කලින් මාඳුළුවාවේ සෝභිත හිමි, මුස්තාෆා, පක්‍යසෝති සරවනමුත්තු යන නම් ගැන සාකච්ඡුාවක් තිබිණි. කවුරුන් පත්කරන්නේ දැයි අපි හරියටම දන්නේ නැත. එහෙත් කවුරුන් පත් කළද ඒවා දේශපාලන රූකඩ ව්‍යවස්ථාදායක සභාවක් සඳහා වන පත්කිරීම් බව පැහැදිලිය. එනිසා පොරොන්දු වූ ‘ස්වාධීන’ කොමිෂන් සභාවක් ඇන්දී තිබෙන මන්තී‍්‍රවරු බහුතරයක් සහිත දේශපාලන තන්ත‍්‍රයේ මෙහෙයවීමට යටත් වූ ව්‍යවස්ථාදායක සභාවක් අතර ඇති වෙනස දෙස බැලීම පමණක් වුව ප‍්‍රමාණවත්ය.

19 හා 20 යන සංශෝධන දෙකම සම්බන්ධයෙන් ඇති බරපතළම ප‍්‍රශ්නය වන්නේ ඒවා කිසිදු ආකාරයෙන් ජනතාවගේ අදහස් සමඟ සම්බන්ධ නොවීමයි. මේ ව්‍යවස්ථා සංශෝධන දෙකටම අදාළ කෙටුම්පත් සකස් කරනු ලැබූවේ ප‍්‍රභූතන්ත‍්‍රයක නියෝජිත මණ්ඩල විසිනි. මහජන අදහස් විමසීමක් සිදු නොකෙරුණු අතර සිදු වන්නේ කුමක්දැයි ජනතාව දන්නේවත් නැත. 19 වැනි සංශෝධනයට අදාළව ඉදිරිපත් වූ සියලූ සංශෝධන ඇතුළත්කර සකස් කරන ලද අවසන් කෙටුම්පත මේ දක්වා ගැසට් කර නැත. එනිසා 19, 19, 19 කියා මැතිරුවාට ඇත්තටම අවසානයේදී ඇත්තේ කෙබඳු නීතියක් දැයි ජනතාව දන්නේ නැත. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයද එලෙසමය. එහි දළ කෙටුම්පතක් හෝ ජනතාවට නිකුත් කර නැත. නව ඡුන්ද ක‍්‍රමය ගැන පුවත්පත්වල පළවන්නේ එකිනෙකට පරස්පර තොරතුරුය. මැයි 27 වැනිදා ලංකාදීප ප‍්‍රධාන පුවතට අනුව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු සංඛ්‍යාව 225 ද 255 ද යන්නවත් තවම නිශ්චිතව සමාජයට ඉදිරිපත් කර නැත. ජනතාවගේ සියලූ ප‍්‍රශ්න විසඳන, මනාප ක‍්‍රමය නැති කරන නව මැතිවරණ ක‍්‍රමයට එරෙහි නොවන්නැයි ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවම වශයෙන් එය පෙන්වීමෙන් පවා තොරවය. දෙනවා කිව්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකදැයි අපට අසන්නට හිතෙන්නේ ඒ නිසාය. අලූත් ආණ්ඩුවක් ගැන එවැනි දේවල් ඇසීම අතිධාවනකාරීත්වයක් යැයි කෙතරම් විවේචන එල්ල වුවද එය නොඅසා බැරි බව නම් පැහැදිලිය.

  • ඇත්ත ප‍්‍රශ්නය

ජනතාව මුහුණ පා සිටින ඇත්තම ප‍්‍රශ්නවල මූලය වී ඇත්තේ නවලිබරල් ධනවාදී සමාජ – ආර්ථික – දේශපාලන ප‍්‍රතිපත්තියයි. ඒ බව අපි අමුතුවෙන් නොකිව්වාට ජනතා අරගල දෙස බලන විට පැහැදිලි වේ. මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි, තීරණාත්මක ජනතා නැගිටීම් මඳක් සිහිපත් කර බලමු. පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි කටුනායක කම්කරු අරගලය රොෂේන් චානක වෙඩි තබා මරාදැමූ පසුත් ජයග‍්‍රාහී විය. ආර්ථික සහනාධාර හා සමාජ ආරක්ෂණ සේවාවන් ඉල්ලා සිටී. ඇන්තනීව වෙඩි තබා මරාදැමූ ධිවර අරගලය තවත් එවැනි තීරණාත්මක එකකි. අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් කිරීමට හා පැවැති ආර්ථිකයට ගැළපෙන ලෙස කපාකොටා සකස් කිරීමට එරෙහිව පැන නැඟුනු ශිෂ්‍ය අරගලයට විශාල මර්දනයක් එල්ල විය. ජානක හා සිසිත මරා දමන ලදී. දහස් ගණනක් විශ්වවිiාලවලින් නෙරපන ලදී. පොලිසිය අත්අඩංගුවට ගත් සිසුන්ට පහර දුන්නේය. ඇස් ගැලවීමේ සිදුවීම ඒ කාලයේ බෙහෙවින් ජනප‍්‍රිය වූ එකකි. ආර්ථික ප‍්‍රතිපත්තිය විසින් කර්මාන්තකරුවන්්ට කම්හල් ඉදිකිරීමට අවසර දී එමඟින් පරිසරය දූෂණය වූ බවට චෝදනා කරමින් රතුපස්වල, තුන්නාන, බෝගහගොඩ, කොබෙයිගනේ දියත් වූ අරගල මර්දනයට ගොදුරු විය. රතුපස්වලදී පොලිසිය වෙඩි තබා තිදෙනෙක් ඝාතනය කරනු ලැබීය. තවත් ජනතා අවධානයට පාත‍්‍රවූ අරගලයක් වනුයේ ඊනියා නගර සංවර්ධනය වෙනුවෙන් සිය වාසභූමි අහිමිකරවනු ලැබීමට එරෙහිව වනාතමුල්ල ජනතාව කළ අරගලයයි. මේ සියල්ල නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියේ පීඩාවට එරෙහි අරගලය. ඊනියා ලිබරල් බුද්ධිමතුන්, කලාකරුවන් හා මාධ්‍ය කළේ මේ ජනතා ප‍්‍රශ්න යටපත් කරමින් එක්සත් ජාතික පක්ෂයට බලය ගැනීමට අවශ්‍ය සැලැස්මට අනුව යහපාලනය, නීතියේ ආධිපත්‍යය ආදී වශයෙන් අරගල බිම යළි සැකසීමයි.

ඔවුන්ම නිර්මාණය කළ ප‍්‍රශ්නවලට ඔවුන්ම විසඳුම් දී එසේ විසඳුම් දීම ගැන ඔවුන්ම ඔල්වරසන් දෙමින් සිටින අතර ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්න යළි ඉස්මතු වෙමින් තිබේ. ඒවා නිශ්චිතවම වත්මන් ආණ්ඩුවේත් ආර්ථික උපාය මාර්ගය වන නවලිබරල් ධනවාදය සමඟ සම්බන්ධය. පාසල්වල මුදල් අයකිරීමට හා පෞද්ගලික විශ්වවිiාලවලට එරෙහිව පැවැති මාර්තු 30 වැනිදා ශිෂ්‍ය අරගලයටත් ශාස්ත‍්‍රීය විෂය කප්පාදුවට එරෙහි අපේ‍්‍රල් 29 වැනිදා භික්ෂු අරගලයටත් එරෙහි දැවැන්ත මර්දනයක් දියත් වූ නමුදු ශිෂ්‍ය අරගල නොනැවතී පෙරට යමින් තිබේ. පෙබරවාරි 27 වැනිදා දඹුල්ලේ පැල්වැහැර ගොවි අරගලයට මර්දනය එල්ල වුවත් කෘෂිකර්මය වෙළෙඳපොළකරණයට එරෙහි ගොවි අරගල වර්ධනය වෙමින් තිබේ. තමන්ට ලබාදුන් පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීමට එරෙහිව දිගුකාලීන අරගලයකට ප‍්‍රවේශ වීමට ධීවරයන් තීරණය කළේ පසුගිය සතියේය. ආර්ථික අසමානතාවයට එරෙහිව සෞඛ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්යමණ්ඩල සටන් බිමට පැමිණ ඇත. ඊනියා ආර්ථික සංවර්ධනය මඟින් කරන පරිසර විනාශයට එරෙහිව යාපනය චුන්නාකම් ජනතාව කළ අරගලය වාරණය කරමින් අධිකරණ නියෝග නිකුත් කර ඇතත් එය ඉදිරියට යයි. කොළොන්නාව කුණු කන්ද ඉවත් කරන්නැයි මීතොටමුල්ල ජනතාව කළ උද්ඝෝෂණයට කෲර මර්දනයක් දියත් වුවත් එය ඉදිරි පියවරවලට ප‍්‍රවේශ වෙමින් තිබේ. නවලිබරල් ධනවාදය විසින් ජනිත කර ඇති සංස්කෘතික විකෘතිය මඟින් ස්ත‍්‍රීන්ට හා ළමුන්ට එල්ල වන හිංසනය පිටුදකිමින් යාපනයේ ජනතාව කළ උද්ඝෝෂණය පසුගිය දෙසතියේ වැඩිපුරම කතාබහට ලක්වූ සිදුවීම විය. මේ අතර තමන් නිදහස් කරන්නැයි ඉල්ලා දේශපාලන රැුඳවියන් අරගල ආරම්භ කර ඇත. මේ සියල්ල ආණ්ඩුවේ සමාජ ආර්ථික දේශපාලන උපායමාර්ගය සමඟ සම්බන්ධ අරගලය.

ඇත්ත ප‍්‍රශ්න පෙරට ඒම ගැන සතුටු වන අතරම ඒවා නවලිබරල් ධනවාදය සමඟ ඇති සම්බන්ධය අනාවරණය කරගැනීමට ප‍්‍රමුඛතාව ලැබිය යුතුව තිබේ. නැතිනම් සිදුවිය හැක්කේ මීළඟ මහ මැතිවරණය කිට්ටු වන විට ඒ ඇත්ත ප‍්‍රශ්න වෙනුවට මවන ලද ඇත්ත අපේ න්‍යාය පත‍්‍රයේ ඉදිරියට පැමිණීමයි. රනිල්ගේ බලය රැුකගැනීම සඳහාද මහින්ද, යළි බලය ඩැහැගැනීම සඳහාද, මෛතී‍්‍ර සිය පක්ෂය තුළ බලය තහවුරු කරගැනීම සඳහාද, න්‍යායපත‍්‍ර වේගවත් කරමින් සිටින මොහොතක ඔවුන් විසින්ම අපේ ප‍්‍රශ්න අලූතෙන් අර්ථකථනය කර, නැති ප‍්‍රශ්න මවා දෙනු ඇත. මේ මොහොතේ වාම බලවේගවල උත්සාහය විය යුත්තේ ජාතිවාදීන්, ලිබරල් මත දරන්නන්, අරාජිකවාදීන් හා දක්ෂිණාංශිකයන් මවන ප‍්‍රශ්න වෙනුවට ජනතාවගේ ඇත්ත ප‍්‍රශ්නය ගැන සමාජය සවිඥානික කරන දේශපාලන භාවිතයක් ආරම්භ කිරීමයි.