කණා සහ කොරාගේ යහ පාලන ආණ්ඩුව

ranil and maithreeසුප‍්‍රකට කතාවක ඇස් නොපෙනෙන පුද්ගලයකුගේ සහ දෙපා විකල් වූ අයකුගේ චරිත ඇතුළත්ය. ඒ ගැන වේදිකා නාට්‍ය පවා බිහි වී ඇත. ඒ අනුව, ‘කණා සහ කොරාගේ ගමන’ යනු කොරා, කණාගේ කරමතින් ගමන් කිරීමයි. මෙය උපහාසාත්මක යෙදුමකි. (එසේ නොමැතිව අප මෙය යොදන්නේ ශරීරාබාධ ඇත්තන්ට කරන අපහාසයක් ලෙස නොවේ) මෙහිදී කොරා ගමන් කළ නොහැකි ශරීරාබාධයකින් පෙළෙන අතර කණාද එවැනිම ආබාධ ඇත්තෙකි. කණාට ගමන් කළ හැකිමුත් දෙනෙත් නොපෙනෙන නිසා නිසි මඟ වේගයෙන් ගමන් කළ නොහැකිය. නමුත් මේ එකිනෙකා මුහුණ දෙන අර්බුදයට කොරා කණාගේ කරමත ගමන් කිරීමෙන් විසඳුමක් නොලැබේ. මන්ද කොරාගේ ඇස පෙනෙන නමුත් කණාගේ දෙපයින් ගමන් කිරීමට සිදු වීමත් කණාට කොරා තම කරමත තබාගෙන ගමන් කිරීමට සිදුවීමත් නැවත නැවත අර්බුද රැුගෙන එන නිසාය. එහෙත් ඒ හැර වෙනත් විකල්පයක්ද ඉතිරිව නැත. වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් මුහුණ දී සිටින්නේ එවැනිම අර්බුදයකටය.

එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස පක්ෂයත් තනි තනිව හෝ එක් එක් පක්ෂය වටා ගොඩනඟා ගත් පෙරමුණකින් හෝ රට පාලනය කර ඇත. නමුත් මේ පක්ෂ දෙකටම ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික ප‍්‍රශ්නවලට සාර්ථක විසඳුමක් නොවූ අතර අද වන විට ජනතාවගේ පූර්ණ විශ්වාසයකින් තනි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි තත්වයට මෙම පක්ෂ දෙකම පත්වී ඇත. එනිසා මෙම පක්ෂ දෙක අද කණා සහ කොරා මෙන් එකිනෙකාගේ කරමතින් ගමන් කරනා තත්වයට පත්වී ඇත. යථාර්ථය එය වුවත් මෙම බෙලහීනකම ප‍්‍රදර්ශනය කිරීමට මෙම පක්ෂ දෙකම සූදානම් නැත. මේ දිගටම පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ඇති වූ දේශපාලන සිදුවීම්වලින් ඒ බව පෙනී යයි.

මේ ආණ්ඩුව ‘තාවකාලික ආණ්ඩුවක්’ යැයි බොහෝ දෙනා හඳුන්වති. මීට අර්ථ දෙකක් තිබිය හැකිය. එකක් වචනාර්ථය අනුව ආණ්ඩුවේ ආයු කාලය කෙටි වීමයි. අනෙකට ඇත්තේ දේශපාලන අර්ථයකි. එනම් සමාජයේ පවතින විවිධ පන්තීන් සහ සතර නියෝජනයෙන් සැදුම් ලත් ආණ්ඩුවක් වීමයි. එහෙත් එලෙස එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ පන්තීන්ගේ නියෝජනයක් සහිතව ඇති වන ආණ්ඩුවක් වුවත් ඊට වැඩි කාලයක් පැවතිය නොහැකිය. රුසියානු ධනේශ්වර විප්ලවය අතරතුර එවැනි දේශපාලන තත්වයක් නිර්මාණය විය. ඉතිහාසයේ අත්විඳි එම උදාහරණයට අනුව එවකට රුසියාවේ පැවැති ධනේශ්වර පක්ෂය වූ කැඩෙට් පක්ෂයට තනිව බලය තහවුරු කර ගත නොහැකි විය. එනිසා විවිධ සමාජ පන්තීන් නියෝජනය කරන පක්ෂ හා කණ්ඩායම් රාශියක් එක්කර ගනිමින් 1917 පෙබරවාරියේ දී සාර් වැඩවසම් පාලනය පෙරළා දමා ආණ්ඩුවක් පිහිටුවා ගත් නමුත් එම වසරේ ඔක්තෝබර්වලදී එය පෙරළා දමා රුසියානු සමාජවාදී විප්ලවය ජයගනු ලැබීය.

නමුත් මෙම අර්ථ දෙකටම වත්මන් ආණ්ඩුව අයත් නැත. වත්මන් ආණ්ඩුව ශ‍්‍රීලනිප, එජාප හවුල් ආණ්ඩුවකි. එනිසා එය එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ සමාජ පන්තීන්ගේ නියෝජනයක් නොවේ. අනෙක් අතට
2005 න් පසු විශේෂයෙන් 2010 යුද්ධය නිමාවීමෙන් පසු පැවැතියේද ශ‍්‍රීලනිප එජාප හවුල් ආණ්ඩුවකි. වත්මන් ආණ්ඩුවද එහිම දිගුවක් පමණය. වෙනසකට සිදු වූයේ ජනාධිපති ධුරයේ සහ අගමැති ධුරයේ නව පත්වීම් පමණි. මීට විකල්ප වැඩපිළිවෙළක් තවමත් ශක්තිමත් ලෙස ඉදිරියට පැමිණ නැත. එනිසා ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුවද බොහෝ දුරට පැවැතිය හැක්කේ ශ‍්‍රීලනිප – එජාප හවුල් ආණ්ඩුවක් මිස වෙන අන් යමක් නොවේ.

නමුත් දේශපාලන වේදිකාවේ මේ දිනවල රඟ දැක්වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් ජවනිකාවන්ය. එහි ඇඟ කිලිපොළා යන සටන් ජවනිකා ඇත. ඒ සඳහා අති දක්ෂ සටන් නළුවන්ගේ දායකත්වය ලැබේ. නමුත් අවසානයේ කිසිවක් නොවූ පරිද්දෙන් මෙම හවුල් ආණ්ඩුව ඉදිරි මහමැතිවරණයෙන් පසුවත් තිබිය හැකිය. ගිය ජනාධිපති මැතිවරණයේදීද සිදු වූයේ එවැනිම තත්වයකි. ජනාධිපති මැතිවරණයකට වසරකට පමණ පෙර සිට එජාපය කියා සිටියේ අලියා ලකුණින් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත් වන බවයි. අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ තිබෙන මෛත‍්‍රී – මහින්ද ගැටුම මෙන් එදා එජාපය තුළද සජිත් පිල හා රනිල් පිල අතර ගැටුමක් තිබුණි. මතුපිටින් එසේ තිබියදී ඇතුළතින් එජාපයේ න්‍යාය පත‍්‍රය මත මෙහෙයවෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ විපක්ෂය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මඟින් ගෙනයන ලදී. අවසානයේදී කවුරුත් නොසිතූ ලෙස එම අපේක්ෂකයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන වූ අතර ඔහු බාර ගැනීමට සජිත් හෝ රනිල් කිසිදු මැළිකමක් දැක්වූයේ නැත. එලෙසම මෛතී‍්‍ර ජනාධිපති වීමෙන් පසු ඔහු පැරදවීමට මැතිවරණයේදී කටයුතු කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම දෙනාට තම පක්ෂයේ සභාපති ලෙස ඔහු බාරගැනීමටද පසුව හැකි විය. එනිසා අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින මහින්ද පිලද ඉදිරි මහ මැතිවරණයෙන් පසුව වාෂ්ප වී ගොස් නැවත හවුල් ආණ්ඩුවක් සඳහා එකඟ වනු ඇත.

මෛතී‍්‍රපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද සභාපතීත්වය දරයි. නමුත් මේ සංවිධාන දෙක තුළම තනි බලයක් මෛත‍්‍රීට නොමැත. විශේෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බලය තහවුරු කරගැනීම ක්ෂණිකව කළ නොහැකිය. මෛත‍්‍රීට ඇත්තේ ඒ සඳහා වූ දිගුකාලීන සැලැස්මකි. ඒ නිසා සත්‍ය වශයෙන්ම ඉදිරි මහ මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැඟීමේ කැමැත්තක් මෛත‍්‍රීට නැත. වසර 2 ක ශ‍්‍රීලනිප එජාප හවුල් ආණ්ඩුවක් යෝජනා කරන්නේ ඒ නිසාය. ඒ සඳහා රනිල් අගමැති විය යුතුය. නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පැමිණීමට නම් ඒ සඳහා ශක්තිමත් නායකයෙක් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ වුවමනාවක් එම පක්ෂයේ බොහෝ දෙනකුට ඇත. නමුත් ඒ සඳහා වූ නම් ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා වන්නේ මහින්ද රාජපක්ෂයි. එය මෛත‍්‍රීට පක්ෂය තුළ බලය තහවුරු කරගැනීමට බලවත් බාධාවක් වේ. ඒ නිසා එය කිසිසේත් ඉටුකිරීමට මෛත‍්‍රී කැමති නැත. අනෙක් අතට මහින්දට ඊට අභියෝග කර ජයගත හැකි බලයක්ද නැත. ඒ නිසා මහින්ද අගමැති අපේක්ෂකයා කිරීමේ රැුලි මාලාවට හෝ මහින්ද සහභාගි වූයේ නැත. දැන් නැවතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ඉදිරි මහ මැතිවරණයට තරග කළ යුතු යැයි යෝජනාවක් ඉදිරිපත් වී ඇත. විමල්, දිනේෂ්, ගම්මන්පිල, වාසු වැන්නවුන්ටත් එය හැර විකල්පයක් නැත. මෙහිදී එජාපයටද ඇත්තේ එවැනිම උපක‍්‍රමයකි. ඉදිරි මහ මැතිවරණයෙන් තනි ආණ්ඩුවක් පිහිටුවීමට තරම් බලයක් එජාපයට නොමැති බව රනිල් හොඳාකාරව දනී. යම් හෙයකින් එසේ ආණ්ඩුවක් පිහිටුවා ගත්තද විධායක ජනාධිපති ධුරය තම පක්ෂයට නොමැතිව එය පවත්වාගෙන යා නොහැකි බව 2002 ආණ්ඩු අත්දැකීමෙන්ම ඉගෙන ගෙන ඇත. එනිසා එජාපය ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණ ලෙස ඉදිරිපත් වීමට ඉඩ ඇත. මෙම සියලූ කරුණු පෙළගැසී ඇත්තේ ඉදිරි මහ මැතිවරණයෙන් අනතුරුවද මෛත‍්‍රී – රනිල් හවුල් ආණ්ඩුවක් ගොඩනැඟීමේ දිශාවට මිස වෙනකක් සඳහා නම් නොවේ.

චන්ද්‍රසිරි ලන්දගේ