හොරකම ගැන ජනප‍්‍රිය නොවන අදහසක්

මේ දවස්වල හැම දෙනාම කතා කරන්නේ හොරකම ගැන, ජොන්ස්ටන්ට ඇප ලැබුණු එක ගැන, බැසිල්ට ඇප නොලැබුණු එක ගැන, ශිරන්ති රාජපක්ෂ සිරිලිය ගිණුම හරහා හොරලියක් වුණු ආකාරය ගැන, පොලිස් විශේෂ මූල්‍ය අපරාධ කොට්ඨාසය ගැන, මීළඟට ඒකට ගෙනියන්නේ කවුද කියන එක ගැන… මේ වගේ හොරකමට අදාළ ගොඩක් දේවල් කතා වෙනවා. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හොරකමක් කළාද නැද්ද කියලා වාද විවාද කරන්න ගිහින් ජුනි 3 වැනිදා සවස පාර්ලිමේන්තු සැසිවාරයත් අත්හිටුවන්න වුණා. හොරකම් සහ හොරු ඇල්ලීම ගැන හැම දෙනාම කතා කරමින් සිටින මේ මොහොතේ අපි යළිත් වතාවක් හොරකම ගැන කතා කරන්න හිතුවා. ඒත් අපි කියන්න යන කතාව නම් රූපවාහිනී නාළිකාවල පෙන්වන හොරු ඇල්ලීමේ රහස් පරීක්ෂක ජවනිකා වගේ ජනප‍්‍රිය වෙන්නේ නෑ. නමුත් අපි ඒ ජනප‍්‍රිය නොවන හා ඇතැම් අයට අතිධාවනකාරී අදහසක් ලෙස පෙනී යා හැකි අදහස කතා කරමු.

සාමාන්‍යයෙන් හොරකම් නැවැත්වීම ගැන අනුරාගයෙන් කතා කරන අය ඒක කියන්නේ සමාජමය වගකීමකින් නම් අපට ඒකට ලකුණු දෙන්න පුළුවන්. මේ හොරකම් කරන්නේ මහජන මුදල්, මේවා සමාජය සතු දේවල් කියන තැනකින් නම් ප‍්‍රශ්නයක් නෑ. ඒත් බොහෝ දෙනා මේ ප‍්‍රශ්නය ගන්නේ වලිගෙන් අල්ලලා. සමහර අය මෙහෙම කියනවා. ”ඉස්සර දේශපාලනඥයෝ හොරකම් කළේ නෑ. ඒ අය දේශපාලනය වෙනුවෙන් තමන්ගේ සල්ලි වියදම් කළා. දැන් තමයි හොරු ඇවිත් ඉන්නේ” අපි මේ කතාවම විමසා බලමු. මුල් කාලයේ දේශපාලනයට ආවේ ප‍්‍රභූ පන්තිය. දේශපාලනය කිරීමේදී ඔවුන්ගේ අරමුණ වුණේ සල්ලි හොයන එක නොවෙයි. ඒ වන විටත් ඔවුන්ට සල්ලි තිබුණා. ඔවුන්ට අවශ්‍ය වුණේ ඒ ධනය හා සමානුපාතික දේශපාලන බලයක් අත්පත් කර ගන්න. ඔවුන් අතින් වියදම් කරලා දේශපාලනය කළේ ඒ නිසා. නමුත් ඔවුන්ට සල්ලි ලැබුණේ කොහොමද කියලා සොයා බැලූවොත් අපට පෙනෙන්නේ සල්ලි හෙව්වේ හොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන් හා නොපනත්කමින් බව. ලංකාවේ මුල්ම ධනපතියන් හා ප‍්‍රභූන් සකලවිධ දූෂිත මාර්ගවලින් සල්ලි හොයලා ඒ සල්ලි රැුක ගන්න හා තවත් වර්ධනය කරන්න ඕන දේශපාලන බලය ඒ සල්ලිවලින්ම කොටසක් කැප කරලා ගොඩනඟා ගන්නා විට ඒකට ‘මහත්මා දේශපාලනය’ වගේ නම් දාන්න පුළුවන්ද? මහින්ද හොරකම් කරන නිසා මහින්ද නරකයි, රනිල් හොරකම් නොකරන නිසා රනිල් හොඳයි වගේ සරල නිගමනවලට එන්න බෑ. මොකද රනිල්ලාගේ මුතුන් මිත්තන් හොරකම් කළා. දැන් ඒ පවුල් හොරකමින්, ධනයෙන් සංතෘප්ත අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ.

දක්ෂිණාංශික පක්ෂවල කලින් තිබූ ‘බලය වෙනුවෙන් දේශපාලනය’ පසුව ‘ධනය හා බලය වෙනුවෙන් දේශපාලනය’ දක්වා මාරු වුණු ආකාරය ගැන කතා කිරීම අවශ්‍යයි. ඒක සිදු වුණේ දක්ෂිණාංශික පක්ෂ තමන් සාම්ප‍්‍රදායිකව පදනම් වූ ප‍්‍රභූ ස්තර වෙනුවට තමන්ගේ පක්ෂවල නායක භූමිකාවන් පහළ පන්තීන්ට විවර කිරීමත් සමඟ. 1970 මැතිවරණයේ පරාජයෙන් පස්සේ ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය පොදුජන පක්ෂයක් කරනවා කියලා මෙහෙයුමක් දියත් කළා. ඒකෙදි කළේ පහළම පන්තීන්වල අය ගෙනත් නායකයන් කරපු එක. පේ‍්‍රමදාසලා, සුගතදාසලා වගේ නාගරික පහළ පන්තීන් එජාපයේ නායක භූමිකාවන්ට ඔසවා තැබුවේ ජේ.ආර්. පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේකට අනුගත වුණා.

මේ අලූතෙන් එකතු කරගත් පහළ පන්තිවල චරිත කිසිසේත් තමන්ගේ පන්තිය නියෝජනය කළේ නෑ. ඒ වෙනුවට ඔවුන් තමන්ට අහිමි ධනය ඒකරාශී කරගැනීමේ මාර්ගයක් ලෙස දේශපාලනය භාවිත කළා. තමන්ගේ බලය වෙනුවෙන් රටේ සියලූම ක්ෂේත‍්‍ර දේශපාලනිකකරණය කළා. නිලධාරී තන්ත‍්‍රයත් මේ දූෂිත බව සඳහා තකට තක ගැළපුණා. නිලධාරීන් බොහෝ දෙනාත් පහළ ස්තරවල ඉපිද නිදහස් අධ්‍යාපනය හරහා සමාජයේ ඉහළට සංචලනය වී දේපළ ගොඩනැඟීමේ අභිප‍්‍රායෙන් සිටි අය. ලංකාවේ ව්‍යාපාරික ප‍්‍රජාව අතරත් ජාවාරම්කාරයෝ වැඩි වුණා. නීතියට ව්‍යාපාර කරන අය අඩු නිසා ඒ අයත් ‘ජරාව දෙන්න’ පැකිළුනේ නෑ. මේ සියල්ලේ ප‍්‍රතිඵලය වුණේ දූෂණය ව්‍යුහගත වෙලා ආයතනගත වූ එක. සමාජය තුළ දූෂණය කොන්ක‍්‍රීට් වූ එක. ඒ නිසා හොරකම නවත්වන්න නම් දක්ෂිණාංශික පක්ෂවලට තමන්ගේ පොදුජන පදනම් අහිමි කර ගෙන යළි ප‍්‍රභූ දේශපාලනයක් කරා යන්න වෙනවා. නමුත් ඔවුන්ට එහෙම යන්න බෑ. ඒ නිසා හොරකම පවතිනවා. ඒක මහින්දගේ නරක හෝ රනිල්ගේ හොඳ සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවෙයි.

ඒ නිසා හොරකම් නැති සමාජයක් ගැන වංචාව නැති දේශපාලනයක් ගැන කවුරු හරි හිතනවා නම් ඒක කරන්න වෙන්නේ දකුණේ දේශපාලනය පසුපස ගිහින් නොවෙයි. දක්ෂිණාංශික ප‍්‍රභූන්ගේ ‘පිරිසිදු’ හා ‘මහත්මා’ දේශපාලනයක් ගැන සිහින දැකලා නොවෙයි. සමාජය කෙරෙහි වගකීම් සම්පන්න දේශපාලනයක කොටස්කරුවන් වෙලා. ඒ තරම් වගකීම් සම්පන් දේශපාලනයක් යනු වාමාංශික දේශපාලනයක් බව අප අමුතුවෙන් කිව යුතු නැහැ.