ම්ලේච්ඡ ඝාතන 18කට පසු කොටකෙතන!

kotakethana_4රත්නපුර, කහවත්ත මැණික්වලට ප‍්‍රසිද්ධය. මැණික් තිබෙන්නේ පොළොව අභ්‍යන්තරයේ වැළලීය. හෝඩුවාවන් ඔස්සේ පරීක්ෂා කොට මහත් පරිශ‍්‍රමයකින් යුතුව දෝනා බැස ඒ මැණික් සොයා ගත යුතුය. ඒ තරම් පරිශ‍්‍රමයක් දරා ගොඩගත යුතු මැණිකක් තරම් වටිනා, ඇතැම් විට ඊටත් වඩා වටිනා දෙයක් රත්නපුරට වේ නම් ඒ කොටකෙතන ඝාතන පසුපස තිබෙන සැබෑ හේතුවයි. ඡුන්ද දායකයන් 1500ක් පමණ ජීවත් වන කුඩා ප‍්‍රදේශයක් වන කොටකෙතන ගමේ පමණක් එකම ආකාරයට කාන්තාවන් 18 දෙනකු ඝාතනය වී තිබේ. අවසන් ඝාතනයේ වගකීම මියගිය කාන්තාවගේ 18 හැවිරිදි පුතා විසින් බාරගෙන තිබෙන අතර ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ. කොටකෙතන ඝාතන ගැන ආන්දෝලනය යළිත් ඉස්මත්තට ආවේ 2012 වසරේ ජූලි මස 17 වැනිදා ඝාතනය වූ මවක සහ දියණියකගේ ඝාතනවලට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනා පසුගිය 28 වැනිදා කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීම නිසාය. එම සිදුවීම පදනම් කර ගෙන කොටකෙතන ගම්වාසීහු රත්නපුර-ඇඹිලිපිටිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ. පොලිසිය ඊට අමානුෂික ලෙස පහර දී පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිළිබඳව වෙනම ලිපියක් පුවත්පතේ වෙනත් ස්ථානයක පළ වේ.

කොටකෙතන ඝාතන පෙළ ආරම්භ වූයේ 2008 වසරේ ජූලි 21 වැනිදා සෙල්ලම්මා මරියානි නමැති 56 හැවිරිදි කාන්තාවක කපා කොටා ඝාතනය කිරීමත් සමඟය. ඊට මාස හතරකට පසුව නොවැම්බර් 19 වැනිදා ආරියවතී නමැති අවුරුදු 52ක් වයසැති කාන්තාවක්ද කෲර ලෙස ඝාතනය කරනු ලැබ තිබිණි. 2009 වසර නිසොල්මනේ ගලා ගිය අතර 2010 ජුනි මාසයේදී බේබිනෝනා නමැති 48 හැවිරිදි කාන්තාවක් සහ එම වසරේ දෙසැම්බර් 21 වැනිදා හීන්මැණිකේ නමැති 80 හැවිරිදි කාන්තාවක් ඝාතනය විය. මෙම ඝාතන සමඟ කොටකෙතන වෙත සමාජ අවධානය යොමු විය. ඝාතනය වූ කාන්තාවන් සියලූ දෙනා මැදිවිය ඉක්මවූ අය වීම විශේෂත්වයකි. එමෙන්ම ඝාතකයන් විසින් තියුණු ආයුධවලින් කපා කොටා ම්ලේච්ඡු ලෙස ඝාතනය කර තිබූ අතර ඇතැම් කාන්තාවන්ට ලිංගික හිංසන සිදු කොට තිබිණි. 2012 වසර වන විට මෙලෙස මියගිය කාන්තාවන්ගේ ගණන නවයක් විය.

2012 පෙබරවාරි 02 වැනිදා නයනා නිල්මිණී (52) සහ කාංචනා චතුරාණි (19) නමැති මවක සහ දියණියක ඝාතනය කෙරිණි. ඉන් පසුව මැයි 31 වැනිදා එස්. දයාවතී (61) සහ එස්. තිලකාවතී (65) යන සොයුරියන් දෙදෙනාද ජූලි 17 වැනිදා පේ‍්‍රමවතී (65) සහ පුෂ්පකුමාරි (32) යන මව සහ දියණියද ඔක්තෝබර් 31 වැනිදා යූ. ඒ. නන්දාවතී නමැති 66 හැවිරිදි කාන්තාවද ඝාතනය කෙරිණි. කොටකෙතන පමණක් නොව මුළු රටම මෙම ඝාතන වැලත් සමඟ භීතියට පත් විය.

සියලූ දෙනාම ඝාතනය කර තිබුණේ තියුණු ආයුධවලින් කපා කොටා වන අතර ඝාතනය කොට නිවස සමඟ ගිනි තැබීමේ අවස්ථාද වාර්තා විය.

ඉන් පසුව යළිත් නිහඬතාවක් රජ කළේය. 2013 වසරේ ජූලි මාසයේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන එහි ගිය පසුව ඝාතන රැුල්ල නතර විය. එය යළිත් ආරම්භ වූයේ ඔහු මොහොමඞ් සියාම් ඝාතනයට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත වීමෙන් හා ආණ්ඩු මාරුවෙන් පසුවයි. 2015 ජනවාරි 15 වැනිදා තෛපොංගල් දිනයේදී ඕපාතවත්තේ දෙමළ තරුණියක ඝාතනයට ලක් විය. ඉන් පසුව අපේ‍්‍රල් 04 වැනිදා පුතා විසින් මව ඝාතනය කරන ලද බවට සැක කරන ඝාතනය සිදු විය.

2012 වසරේ ගමට පොලිස් මුරපොළක් ලැබිණි. විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ද යෙදවිණි. එහෙත් ගමට ආරක්ෂාවක් නොලැබිණි. පොලිස් මුරපොළ ආසන්නයේම ඝාතන සිදු විය. ඝාතකයෝ නිදහසේ පලා ගියහ.

මෙම ඝාතන පිළිබඳව පොලිසිය කටයුතු කරන ආකාරය සම්බන්ධව සැක කටයුතු තත්වයක් මතු වන බව 28 වැනිදා සැකකරුවන් නිදහස් කළ නඩු තීන්දුව අවස්ථාවේදී අධිකරණයේද කතාබහට ලක් විය. එම නඩු තීන්දුව විසින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ නාමල් චමින්ද සිල්වා, ලොකුගම්හේවගේ තුෂාර සහ ලොකුගම්හේවගේ මිථිල යන සැකකරුවන් තිදෙනාය. ඔවුන්ට විරුද්ධ නඩුව වසර එකහමාරක් තිස්සේ කොළඹ මහාධිකරණයේ විභාග විය. ඒ කාලය තුළ සැකකරුවන් සිටියේ බන්ධනාගාරගතවය.

kotakethana_3මෙම නඩුවේදී පොලිසිය කළ වැරදි කිහිපයක් ගැන අවධානය යොමු වී තිබේ.

  1. සෝකෝ නිලධාරීන් විසින් ඝාතනය සිදු වූ නිවස පරීක්ෂා කරනු ලැබීය. එහිදී අනාවරණය වූයේ ඝාතකයන් ජනේලයක දැල් නවා ඉන් නිවසට ඇතුළු වී ඇති බවයි. එහෙත් පොලිසිය එම පරීක්ෂණ සාක්ෂි සැලකිල්ලට නොගෙන සැකකරුවන් නිවසේ ඉදිරිපස දොරෙන් ඇතුළු වූ බව අධිකරණයට පැවසීය. සැකකරුවන් නිවසේ ඉදිරිපසින් පැමිණි බව කියන්නේ ආචාරිගේ සිරිපාල නමැති පසුව පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වී කොන්දේසි සහිත සමාවක් ලැබූ ඝාතනයේ සහායකයකු ලෙස සැක කරන පුද්ගලයෙකි. ඔහුගේ සාක්ෂි පරස්පර වීම සෙසු සැකකරුවන් නිදහස් වීමට හේතුවක් විය. එමෙන්ම, ඝාතකයන් නිවස තුළ මත්පැන් සහ දුම්වැටි භාවිත කර ඇතැයි සෝකෝ නිලධාරීන්ගේ පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණත් පොලිසිය අධිකරණයේදී සැකකරුවන් මඟින් එම කරුණ කියවා ගැනීමට උත්සාහ නොකළේය.
  2. මියගිය කාන්තාවන් ලිංගික බලහත්කාරයකට ලක්ව තිබූ අතර ඔවුන්ගේ සිරුරුවල තිබී හඳුනාගන්නා

ලද පුරුෂ ශුක‍්‍රාණුවල ඞී.එන්.ඒ. පිටපත් සහ සැකකරුවන්ගේ ඞී.එන්.ඒ. පිටපත් එකිනෙක ගැලපෙන්නේ නැත. මේ නිසා ඔවුන් ඝාතනයට සම්බන්ධ නැති බවට කරුණු තහවුරු කෙරිණි. විත්තියේ නීතිඥයන් පෙන්වා දුන්නේ පොලිසිය මෙම සාක්ෂි සැඟවීම නිසා විත්තිකරුවන්ට අනවශ්‍ය කාලයක් බන්ධනාගාරයේ සිටීමට සිදු වූ බවයි.

  1. එම ඞී.එන්.ඒ. පිටපත් සැකකරුවන් සමඟ සැසඳුනේ නැතත් මීට පෙර සිදු වූ ඝාතනයක, ඝාතනය වූ ස්ථානයේ තිබූ බුලත් කෙළ පහරකින් ගත් ඞී.එන්.ඒ. පිටපත් සමඟ සමපාත විය. ඒ අනුව එම ඝාතන දෙකටම එකම පුද්ගලයකු සම්බන්ධ බව අනාවරණය වී තිබේ. එහෙත් එම පුද්ගලයා සෙවීමට පොලිසිය ප‍්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කර නැත.
  2. සැකකරුවන් පවසන අන්දමට ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 2012 සැප්තැම්බර් 26 වැනිදාය. එහෙත් පොලිස් පරීක්ෂක සමන් පේ‍්‍රමතිලක අධිකරණයට පැවසුවේ ඔවුන් ඔක්තෝබර් පළමුවැනිදා අත්අඩංගුවට ගත් බවයි. මිථිල නමැති සැකකරුගේ බිරිඳ සැප්තැම්බර් 26 හා ඔක්තෝබර් පළමුවැනිදා අතර කාලය තුළදී පරීක්ෂණ කණ්ඩායම්වල නිලධාරීන් සමඟ දුරකතනයෙන් නිතර නිතර කතා කර තිබේ. එපමණක් නොව සැකකරුවන් අත්අඩංගුවට ගත්තා යැයි කියන ඔක්තෝබර් පළමුවැනිදා සමන් පේ‍්‍රමතිලක ඇතුළු පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරීන් සිට ඇත්තේ කොළඹ දෙමටගොඩ ප‍්‍රදේශයේය. ඒ නිසා සැකකරුවන් අත්අඩංගුවට ගෙන දින ගණනාවක් තිස්සේ රඳවා තබා ගෙන පොලිසිය සිදු කළේ කුමක්ද? ඇතැම් ගම්වැසියන් චෝදනා කරන්නේ පොලිසිය සැබෑ අපරාධකරුවන්ට සැඟවීමට කල් ලබාදුන්නාද යන සැකය තමන්ට ඇති වන බවයි.

කාවින්ද්‍යානයනා නිල්මිණී සහ කාවින්ද්‍යාගේ ඝාතනවලට සැකපිට අත්අඩංගුවට ගත් ධර්මසිරි නමැත්තා ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයාද විය. ඔවුන් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරිණි. එක් සැකකරුවකු මේ වන විට අතුරුදන් වී සිටී.

28 වැනිදා අධිකරණය විසින් නිදහස් කරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගත් ආකාරය බරපතළ සැකයට තුඩු දී ඇත. ඉදිරිපත් වී තිබෙන කරුණුවලින් පෙනී යන්නේ ඔවුන් සැප්තැම්බර් 26 වැනිදා සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වා පොලිසිය විසින් කිසියම් ස්ථානයක රඳවාගෙන සිටි බවයි. ඒ කුමක් සඳහාද යන්න පොලිසිය පැහැදිලි කළ යුතුව තිබේ. මහජන නොසන්සුන්තාව පාලනය කිරීමට කවුරුන් හෝ අත්අඩංගුවට ගෙන සාක්ෂි නිපදවා අර්ථ විරහිත අධිකරණ ක‍්‍රියාවලියක් පවත්වාගෙන යාමට කවරකුට හෝ අවශ්‍යතාවක් තිබුණේද? කොළඹ ජාතික කෞතුකාගාරයේ සිදු වූ සොරකමෙන් පසුව කන්ගැට්ටා නමැත්තකු අත්අඩංගුවට ගැනීම හා ඊට අදාළ ක‍්‍රියාමාර්ග පෙළ මෙහිදී සිහිපත්වීම වැළැක්විය නොහැකිය. ඝාතන අවස්ථා දෙකකටම එකම පුද්ගලයකු සම්බන්ධ බවට දැන් පැහැදිලි සාක්ෂි තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් සමත් වී නැත. ඒ කවුද? එසේ නම් සැබෑ ඝාතකයන් තවමත් සිටින්නේ නිදැල්ලේද? සියලූ ඝාතන එකම ආකාරයකට සිදුවීම පසුපස තිබෙන හේතු කවරේද? දැනට ඝාතන වැල අවසන්ව තිබුණත් කොටකෙතනට සාමය උදා වී තිබුණත් ඒ ප‍්‍රශ්නවලට අංග සම්පූර්ණ පිළිතුරු අවශ්‍යව තිබේ. ඒ පිළිතුර සමාජයට අවශ්‍යය.

ජනක තුෂාර