වකුගඩු රෝගය හා හෙට දවසේ ඉරණම

ckd victimවකුගඩු රෝගය මේ වන විට ලංකාව පුරා ජීවිත සිය දහස් ගණනින් බිලිගන්නා මානව ඛේදවාචකයක් බවට පත්ව ඇත. මුලින්ම උතුරු මැද පළාත්වලින් ඇරඹුණු මෙම රෝගය දැනටමත් උතුර, වයඹ, ඌව, මධ්‍යම හා දකුණ යන පළාත් කරාද වේගයෙන් ව්‍යාප්ත වනු දැකිය හැකිය. බැලූ බැල්මට වුවද පෙනී යන්නේ එය ක‍්‍රමිකව මුළු රටම ගිල ගනිමින් පවතින රෝගයක් වෙමින් පවතින බවයි.

දැනට මෙම රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 20000 ඉක්මවයි. සංඛ්‍යාලේඛනවලට අනුව උතුරු මැද පළාත්වල පමණක් රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව 16%කි. රෝගීන් හඳුනාගන්නා විට ඔවුන්ගේ වකුගඩුවලින් 60% – 75% ක් පමණ හානිවී ඇති අතර රෝගය මුල් අවස්ථාවන්වලදී හඳුනාගැනීමට ක‍්‍රමවේදයක් හෝ වැඩපිළිවෙළක් නොමැති වීම ගැටලූවකි. ඒ අනුව රෝගයට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව මීට වඩා ඉහළ ප‍්‍රතිශතයක් ගනු ඇතැයි යන්න වෛද්‍යවරුන්ගේ අදහසයි.

  • වකුගඩු රෝගයක් යනු කුමක්ද?

 

වකුගඩුවල සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයට හා පැවැත්මට බලපාන ඕනෑම තත්වයක් වකුගඩු රෝගයක් වශයෙන් හඳුනාගත හැකිය. මේවා දිගුකාලීන හා කෙටිකාලීන වශයෙන් වර්ග දෙකකි. කෙටිකාලීන වකුගඩු රෝගවලින් සිදුවන හානි යථා තත්වයට පත් කළ හැකි ඒවා වේ. නමුත් දිගුකාලීන වකුගඩු රෝග හේතුවෙන් ඇති වන හානි පූර්ණය නොකළ හැකිවීම ගැටලූවකි. වකුගඩු රෝග සඳහා බලපාන හේතු කාරක කිහිපයක් වෛද්‍ය විද්‍යාවේදී සාකච්ඡුා කරනු ලබන අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය, ගුච්චිකාවල ආසාදන හා ඹෟෂධ මීට අයත් වේ. නමුත් අප සාකච්ඡුා කරනු ලබන වකුගඩු රෝගය සඳහා මේ කිසිවක් හේතු නොවේ. ඒ නිසා මෙම රෝගය හඳුන්වනු ලබන්නේ හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය නමිනි.

  • හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය යනු කුමක්ද?

මෙම රෝගය දිගුකාලීන වකුගඩු රෝග ගනයට අයත් වන රෝගයකි. ඒ නිසාම එයින් සිදු වන බලපෑම යථා තත්වයට පත්කිරීමේ හැකියාවක් දැනට පවතින වෛද්‍ය විද්‍යාත්මක දැනුමට නොමැත. ඇති එකම විසඳුම වන්නේ ඇතිවීම වළක්වා ගැනීම පමණි.

මෙම රෝගය පිළිබඳව අධ්‍යයනයන් හා පර්යේෂණයන්ගෙන් සොයාගෙන ඇති පරිදි මෙහිදී සිදුවන්නේ වකුගඩුවල බැරලෝහ තැන්පත්වී වකුගඩුවල ඇති ගුච්චිකා (පෙරන අවයව) විනාශ කිරීමයි. වකුගඩුවක ප‍්‍රධාන කාර්ය වන්නේ රුධිරය පෙරීමයි. එනම් රුධිරයෙහි ඇති අපද්‍රව්‍ය පෙරා මුත‍්‍රා ලෙස ශරීරයෙන් බැහැර කිරීම මෙහිදී සිදු කරයි.

ශරීරයේ පැවැත්මට හා වර්ධනයට පෝෂණය අවශ්‍ය වේ. එම පෝෂණය අප ගන්නා ආහාරපාන හරහා ශරීරයට උරාගැනීම සිදුවේ. පසුව රුධිරය හරහා ශරීරයේ අවශ්‍ය අවයව කරා බෙදාහැරීම සාමාන්‍ය ක‍්‍රියාවලියයි. මෙම ආහාරවල ඇති සියල්ල ශරීරයට අවශ්‍ය නොවන්නා සේම ශරීරය තුළද ශරීරයට අනවශ්‍ය අපද්‍රව්‍ය නිපදවීම සිදු වේ. නිරෝගී පැවැත්මක් සඳහා මේවා ශරීරයෙන් බැහැර කිරීම සිදු විය යුතු අතර කොටසක් මලපහ වශයෙන්ද රුධිරයෙහි ඇති අපද්‍රව්‍ය වකුගඩු හරහා පෙරීමෙන් අනතුරුව මුත‍්‍රා වශයෙන්ද පිට කරනු ලබයි.

එහෙත් වකුගඩුවල සංයුතියට අනුව බැරලෝහ වර්ග පෙරී ඉවත් වී යාමක් සිදු නොවන අතර ඒවා වකුගඩුවල ඇති ගුච්චිකාවල (පෙරන අවයව) තැන්පත් වේ. ඒවා මුළුමනින්ම ශරීරයට අහිතකර හා විෂ සහිත වන අතර මේවා ශරීරය තුළ තැන්පත් වීම නිසා විශාල හානියක් සිදු වේ. පිළිකා කාරක බවට පත් වීම, ෙසෙල විකෘති වීම හා අවයව විනාශ වීම ආදිය හැඳින්විය හැකිය.

එපමණක් නොව වකුගඩුවල ක‍්‍රියාකාරීත්වය අඩපණ වීම නිසා තවත් රෝග ගණනාවක්ද ඇතිවේ. එනම් වකුගඩු රතු රුධිරාණු වර්ධනය උත්තේජනය කිරීම, අම්ල භස්ම සමතුලිතතාව පවත්වාගෙන යාම, රුධිර පීඩනය පාලනය කිරීම, අයන සමතුලිතතාවට බලපෑම ආදී කර්තව්‍යයන් ගණනාවකට හේතු වන බැවින් වකුගඩු

අක‍්‍රීය වූ විට මේ සියලූ ක‍්‍රියාකාරීත්වයන්ද බිඳ වැටේ. එහි ප‍්‍රතිඵලය වන්නේ රක්තහීනතාවය, කොන්ද කැක්කුම, වමනය, හිසරදය, කෑම අරුචිය, අධික රුධිර පීඩනය, ඇටකටු බොල්වීම ආදී තවත් රෝග ගණනාවකටද හේතුවීමයි. එසේම මෙම රෝගය සුවකිරීම පහසු කාර්යක් නොවේ. මන්ද යත් බැරලෝහ වර්ග ශරීරගත වූ විට ඒවා ඉවත් කිරීමේ ක‍්‍රමවේදයක් හෝ තාක්ෂණයක් නොමැතිවීමයි. තිබුණද එය මිල අධික වීම වැළැක්විය නොහැක්කකි. ඒ නිසා රෝගය වැලඳීම මාරාන්තික වේ. ඇති එකම විසඳුම රෝගය ඇති වීම වැළැක්වීම නොඑසේනම් ඒ සඳහා හේතු වන බැරලෝහ ශරීරගත වීම වළක්වා ගැනීමයි.

  • රෝගයට හේතුව කුමක්ද?

මේ පිළිබඳව කර තිබෙන පර්යේෂණ හා හැදෑරීම් ගණනාවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය, දේශීය විශ්වවිද්‍යාල ගණනාවක පර්යේෂණ කණ්ඩායම් හා ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම් ගණනාවක් පර්යේෂණ කර තිබේ. ඒ සෑම පර්යේෂණයක් තුළම පොදු සාම්‍යයක් බවට පත්ව ඇත්තේ මෙම රෝගයට හේතුව බැරලෝහ ශරීරගත වන බව හා ඒවා කෘෂිකර්මාන්තය තුළ භාවිත කරනු ලබන කෘෂි රසායන හරහා ජලයට හා ආහාරවලට එකතු වන බවත්ය.

මේ පිළිබඳව කරන ලද හැදැරීම්වලට අනුව මෙම රෝගය බහුල ප‍්‍රදේශවල ජලයේ, පස්වල, ශාක ප‍්‍රජාවන්ගේ හා පරිසරයේ සියලූ තැන්හි බැරලෝහ තැන්පත් වී ඇති බව හඳුනාගෙන ඇති අතර මෙම ප‍්‍රදේශ වැඩි වශයෙන් කෘෂිකාර්මික ප‍්‍රදේශ වීම විශේෂිතය. රෝගීන් පිළිබඳව කරන ලද සායනවලට අනුව ඔවුන්ගේ මුත‍්‍රාවල, රුධිරයේ, කෙස්වල, නියපොතුවල පවා තිබිය යුතු ප‍්‍රමාණයට වඩා අධික ප‍්‍රතිශතයන්ගෙන් මෙම විෂ රසායන අඩංගු බව හඳුනාගෙන තිබේ. එසේම මේවා පරිසරයට එක්වූයේ කෙසේද යන්න පිළිබඳව කරන ලද සොයා බැලීම්වලට අනුව සොයාගෙන ඇත්තේ ස්වාභාවික පරිසරයේ ඒවා නොමැති බව හා කෘෂිකර්මාන්තයට යොදාගන්නා කෘෂි රසායනවලින් පරිසරයට එකතුවන බවයි.

ඒ සඳහා කෘෂි රසායන සමාගම් ලාභ වෙනුවෙන් අඩු පිරිවැයක් සහිතව නිසි ප‍්‍රමිතියකින් තොරව කරනු ලබන කෘෂි රසායන හා ඒවා අධි භාවිතය බලපා ඇත. ජලයට එක්ව ඇති බැරලෝහ පිරිපහදු කිරීම කළ හැකි වුවත් කෘෂි නිෂ්පාදනවලට එක්ව ඇති බැරලෝහ ඉවත් කිරීමේ තාක්ෂණයක් නොමැත. ඒ නිසා මෙම රෝගයෙන් කිසිවකුටත් ආරක්ෂා වීමේ හැකියාවක් නොමැති අතර ඒ සඳහා ඇති විසඳුම වන්නේ ලාභ අරමුණු වෙනුවෙන් කෘෂිකර්මාන්තය තුළ කරනු ලබන විනාශය නතර කිරීම පමණි. ඒ සඳහා අද වන විට මේ පිළිබඳ සමාජමය කතිකාවක් හා සාමූහික මැදිහත්වීමක් අවශ්‍යව ඇත.

  • ප‍්‍රතිකාර හා ඒ පිළිබඳ තත්වය

මෙම රෝගය වැලඳීමෙන් අනතුරුව සුව කළ නොහැකි බව අපි මීට ඉහතදී පැහැදිලි කළෙමු. එසේම රෝගීන් හඳුනාගැනීම වකුගඩු 75% කින් පමණ අකර්මණ්‍ය වූ විට සිදු වන බැවින් ඒ සඳහා අවම හෝ සම්භාවිතාවක්ද නැති කරයි. ඇති එකම විසඳුම වන්නේ පිටින් සවිකරනු ලබන යන්ත‍්‍රයක් හරහා රුධිරය පිරිපහදු කිරීමයි. එයද සාර්ථකම විසඳුම නොවන අතර සාර්ථක විසඳුම වන්නේ වකුගඩු බද්ධ කිරීමයි. එහෙත් ගැටලූව වන්නේ 16% ක් පමණ රෝගයට ගොදුරු වූවන් සිටින විට ඒ තරම් ප‍්‍රමාණයක් පරිත්‍යාගශීලීන් සොයාගත හැකිද යන්නයි.

ඒ නිසා මෙම රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමත් ඒ සඳහා පිළියම් යෙදීමත් කඩිනම් අවශ්‍යතාවකි. නමුත් බලධාරීන්ගේ පාර්ශ්වයෙන් එවැනි මැදිහත්වීමක් සිදු වනු දැකිය නොහැකි වීම කනගාටුවට කරුණකි. පහුගිය ජනාධිපතිවරණයේදී ලබාදීමට පොරොන්දු වූ රු. 3000 ලබාගැනීමට පවා රෝගීන්ට උද්ඝෝෂණ කිරීමට සිදුව තිබේ. සායන සඳහා හා ප‍්‍රතිකාර සඳහා රෝහල්වල පහසුකම් නොමැති වීම නිසාද රෝගීහු බලවත් සේ පීඩා විඳිති. ඒ නිසා අප අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය වශයෙන් මෙම ප‍්‍රශ්නයෙන් පීඩා විඳින සහෝදර පුරවැසියන් වෙනුවෙන් අපගේ සහෝදරත්වයේ දෑත දිගුකිරීමට කටයුතු කරමින් සිටිමු. එය අප කිහිප දෙනකුගේ ප‍්‍රශ්නයක් මෙන්ම වගකීමක්ද නොවන අතර හෘද සාක්ෂියක් සහිත සැමගේ වගකීමකි.

ස්තුතියි.

මෙයට,

තැන්නේ ඥාණානන්ද හිමි

කැඳවුම්කරු – අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය